Thursday 28 September 2017

කැනඩාවේ අත්දැකීම් (4) මල් ගැන මගේ අදහස් මල්

කැනඩාවේ අත්දැකීම් (4) මල් ගැන මගේ අදහස් මල් 


1.       කැනඩාවේ මිසිසාගා පෙදෙසේ දක්නට ලැබෙනුයේ දියුණු මාර්ග පද්ධතියකි. මග දෙපස නවීන ගොඩනැගිලි ය; නිවාස ය. මාර්ගය තරණය කරන වාහන සහ ඒවායේ වේගය නූතන සංවර්ධනය විදහා පායි.   2. සමහර ගොඩනැගිලිවලට-නිවාසවලට පිවිසෙන තැන්වල දෙපස  ඉතා අලංකාර ලෙස මල් පාත්ති සකස් කර ඇත. ඒවාට දෙඇස් යොමු වන්නේ නිතැතිනි. 3. පාර දෙපස වවා ඇති ගස්වල කොළ, සරත් ඍතුවෙහි ලක්ෂණ පෙන්වමින්, විවිධ පාටවලින් දිස්වෙන්නේ, උස් -මිටි ගොඩනැගිලිවල විවිධත්වය තවතවත් විවිධත්වයෙන් අලංකාර කරමිනි.  4. මේ සංවර්ධන රටාවල ආශ්වාදය  නරඹමින් දෝ, සමහර විට සංවර්ධනය නිසා යටපත් වූ තම උරුමය පෙන්වමින් දෝ, මාර්ග දෙපස ඇති තණ තීරුවෙහි තැන් තැන්වල, කුඩා පැළ ද මල් ද පැළ වී පිපී ඇත්තේ ය.  කෘත්‍රීම නගරයට ස්වාභාවික ලස්සනක් ලබා දෙන මේ මල් දෙස බලන්නට පාරේ ගමන් කරන අයට වාසනාව ඇත.එහෙත් ඒ වාසනාව පාරේ ඇවිදින කී දෙනකු භුක්ති විදින්නේ දැයි නොදනිමි.  වාහනවල යන්නෝ මේවා දෙස නො බලති. නැත හොත් ඔවුනට ඒවා දෙස බලන්නට අවකාශ නැත  (මට මතක් වූයේ එඩ්වින් ආරියදාස 1980 දශකයේ දී පැවැත්වූ දේශනයක දී කී කරුණු ය.  - මේ විශ්වයේ ඉතා දියුණු ජීවින් ඉන්නවා. ඔවුන් පෘථිවිය ළගිනුත් අභ්‍යවකාශයේ ගමන් කරනවා. ඔවුන්ට පේනවා පෘථිවියේ මිනිස්සු කියලා ජීවින් වගයක් කාලය ගත කරනවා. ඒත් ගණන් ගන්නේ නෑ.  හරියට පෘථිවියේ අපි පාරේ යන කොට කුහුඹුවන් පනුවන් කටුස්සන් හිටියට ඒ සතුන්  ගැන නො සලකා අපේ වැඩවලට මුල් තැන දී යනවා වගෙයි).

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (5) සංසිද්ධි විද්‍යා පර්යේෂණ (Phenomenology research)

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (5) සංසිද්ධි විද්‍යා පර්යේෂණ (Phenomenology research)
මුහුණු පොතේ (Facebook) විවිධ සංසිද්ධි පිළිබද පුවත් පළ වන්නේ ය. මෑතක උදාහරණ තුනක් නම් රොහින්ග්යා, පිඩූ සිගා යාම සහ ශිෂ්‍යාවන් සාරි පොට ඔසවා ගෙන සිටීම ය. මේ සංසිද්ධි ගැන විවිධ අදහස් ද මත ද ආකල්ප ද සංජානන ද මුහුණු පොතේ පළ වන්නේ ය. මුහුණු පොත්වල පළ වෙන මේ කරුණු එකතු කර, ඒවායින් ශ්‍රී ලාංකික සමාජයේ සිතිවිලි ධාරාවල ස්වරූපය හදුනා ගැනීමට භාවිත කළ හැකි පර්යේෂණ ක්‍රමයක් වන්නේ සංසිද්ධි විද්‍යා පර්යේෂණ (Phenomenology research) ය. මේ පර්යේෂණ ක්‍රමය පිළිබද ව මා ලියූ ලිපියක් ඔබ සැමගේ පරිහරණය සදහා ඉදිරිපත් කරමි. ඒ අනුව මෙවැනි සංසිද්ධි ගැනත් සංසිද්ධිවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන්ගේ සහ අපගේ ම සිතිවිලි ධාරා ගැනත් ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට පුඵවන.

Tuesday 19 September 2017

කැනඩාවේ අත්දැකීම් (3) ආහාර

කැනඩාවේ අත්දැකීම් (3) ආහාර
1. ශ්‍රී ලංකාවේ එදිනෙදා කන බත්-එළවඵවලට වඩා වෙනසක් කෑමවල දකිමි. බාස්මතී බත් පිගානට එකතු වන මාඵ මිරිසේ පාට සහ රස මදක් වෙනස් ය. ශ්‍රී ලංකාවේ දී ඉදහිට කැවෙන ගෝවා සහ Bell pepper එළවඵ ලෙස ජනප්‍රිය ය; රසවත් ය. 
2. 3. කිරිබත් සහ උපන් දින කේක් අවශ්‍ය විට සිංහල නිවෙස්වල සකස් වේ. 
4. 5. 6. රූපවලින් ද නිවෙස්වල විවිධ ආහාර නිරූපණය වේ. 
7. 8. 9. 10. 11. ටොරොන්ටෝ නගරයේ ටිම් හෝර්ටන්ස් යනු, ශ්‍රී ලංකාවේ KFC සහ මැක්ඩොනල්ඩ්ස් කෑම ශාලාවලට සමාන, ආහාර සැපයුම් මධ්‍යස්ථාන ය. එහි ආහාර (Maple Pecan Danish, Nanaimo bar, S'mores pocket donut, Pumpkin Spice Muffin, Croissants, Bagels වැනි) කැනඩාවේ දී මෙන් ම ඔස්ට්‍රේලියාවේ දී ද සමහර විට ශ්‍රී ලංකාවේ හෝටල්වල හෝ සමහර ගෙවල හෝ විශේෂ උත්සවවල දී ද  අනුභව කරන්නට ලැබෙයි. 
12. පළතුරු ද සමාන ය. ශ්‍රී ලංකාවේ මෙන් කල් තබා ගැනීමට හෝ ඉක්මනින් ඉදවීමට බෙහෙත් විද ඇත්දැයි නොදනිමි. ඇපල් කන විට උණු වතුරින් සෝදා කන්නට යයි උපදෙස් දී ඇත. ඊට හේතුව කල් තබා ගැනීමට කිසියම් Wax වර්ගයක් ගල්වන නිසා ය. ශ්‍රී ලංකාවේ මෙන් විවිධ වර්ගයේ කෙසෙල් ගෙඩි තව ම දක්නට නොලැබිණි. ඒ අතින් ශ්‍රි ලංකාව පලතුරු අතින් සරුසාර ය. 
13. 14. 15. රතු භාජනයේ ඇති Crab Apple යන පළතුර තද ඇඹුල් ය. කන්නට ආසාව ඇති කරවනසුලු ය. පාරේ ඇවිදින විට, සමහර තැන්වල ඇති Crab Apple ගස්වලින් එම ඇපල් ගෙඩි කඩා ගත හැකි ය. පළතුරු බිම ද ඉහිරී ඇති නිසා කිව හැක්කේ, මේවා කෑමට, වැඩි දෙනා නො පෙලඹෙන බවයි. 
16. 17. 18. වෙළෙදසැල් රාක්ක අසුරනවල ඇති විවිධ කෑමබීම වර්ග මොනවා දැයි හදුනා ගැනීමට කොතරම් කල් ගත වේ දැයි නො දනිමි. 
19. 20. තැන් තැන්වල පිහිටි ජලාශවල සිටින තාරාවෝ මිනිසුන් දකින විට, මිනිසුන් හා ළමයින් දමන කෑම ලබා ගැනීම සදහා පීනා ගෙන එති. මෙහි දී නිරීක්ෂණය කළ ලක්ෂණයක් වූයේ හොදින් වැඩුණු තාරාවුන් දෙදෙනකු ඉදිරිපසට වී සිටීමත් කුඩාවුන් ඔවුන්ට වඩා ඉදිරියට එන විට, හොටයෙන් කොටා උන් පලවා හරින බවත් ය. මිනිස් සමාජයේ මෙන් ම සතුන් අතර ද බලවතා ඉදිරියෙන් සිටිනුයේ මර්දනයෙන් බව පසක් විය.

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (4) ප්‍රශ්න පත්‍රයක් ගැන පර්යේෂණ

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන්  (4)  ප්‍රශ්න පත්‍රයක් ගැන පර්යේෂණ
ඉන්දු සිල්වා මට එවූ ඇමුණුම (මෙහි අමුණා ඇති උත්තර පත්‍රය) ගැන පර්යේෂණ ගණනාවක් කළ හැකි ය. මේ උත්තර පත්තරය ගැන අහන්න පුඵවන් පර්යේෂණ ප්‍රශ්න පහක් මෙසේ ය. 
1) ප්‍රශ්න පත්‍රය සකස් කළ තැනැත්තා වැරදි කීයක් සහිත ව ප්‍රශ්න පත්‍රය හදා තිබේ ද? 
2) උත්තර පත්‍රය ලියූ ශිෂ්‍යයා කෙතරම් වැරදි කර තිබේ ද?
3) උත්තර පත්‍රයෙන් ශිෂ්‍යයාගේ නිර්මාණාත්මක බව මතු වේ ද? (මේ කරුණ ප්‍රශ්නයෙන් අපේක්ෂා නො කළත්) 
4) උත්තර පත්‍රය ගැන තම අදහස් දක්වන කෝසල කෝරලගේ හෝ දිනූෂගේ අදහස්වල ස්වභාවය කෙබදු ද? 5) ප්‍රශ්න පත්‍ර පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපත්තිය කෙබදු ද? 

ප්‍රශ්න පත්‍රය සකස් කළ තැනැත්තාගේ සිංහල භාෂා වැරදි නම් අ) -වාක්‍යයකට- කියූ පසු ඊට පෙර -එක්- කියා කීම අවශ්‍ය නැත. -වාක්‍යයකට- යනුවෙන් කීම සෑහේ. ආ) වචන යනු කතා කරන දෑ ය. ලියනුයේ පද ය. එහෙයින් -පද හතරක්වත්- ලෙස නිවැරදි විය යුතු ය. ඇ) -ව- යනු නිපාතයක් නිසා ඈත් කළ යුතු ය. එහෙයින් ඇතුළත්ව යනු වැරදි ය. ඈ)- වනසේ- යනු -වන සේ- ලෙස පද දෙකක් විය යුතු ය. ඉ) ඇතුළත් ව යන පද දෙකට පසු කොමාවක් තිබිය යුතු ය. . --උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි වන සේ, වාක්‍යයකට පද හතරක්වත් ඇතුළත් කර, වැකි තුනක් ලියන්න-- නැත හොත් වාක්‍ය දෙකක් ලෙස උපදෙස ලිවිය යුතු ව තිබුණි. මෙසේ ය. (වාක්‍යයකට පද හතරක්වත් ඇතුළත් කර වැකි තුනක් ලියන්න. උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි විය යුතු ය.) 

2, 3, 4, 5 වන ප්‍රශ්න ගැන කාලය තිබුන හොත් ලියන්නම්. 
මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න භාවිත කළ හැකි පර්යේෂණ ක්‍රම නම් ප්‍රතිපත්ති පර්යේෂණ (Policy research උදා- ප්‍රශ්න පත්‍ර සකසන අයගේ වැරදි පිළිබද ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය අධ්‍යයනය කිරීම ), සන්ධාර විශ්ලේෂණය (Content analysis උදා- ඉහත ප්‍රශ්න සන්ධාර විශ්ලේෂණයට අදාළ ය.) සහ සංසිද්ධි විද්‍යා පර්යේෂණ ක්‍රම (Phenomenology උදා- උත්තර පත්‍රය සකසන අයගේ - බලන අයගේ - උත්තර ලියන ශිෂ්‍යයාගේ සහ කෝසලගේ සිතුවිලි වැඩ කරන ආකාරය සෙවීම) ය.

 

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (3) මුහුණු පොත ගැන කළ හැකි පර්යේෂණ

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන්  (3) මුහුණු පොත ගැන කළ හැකි පර්යේෂණ
ශ්‍රී ලංකාවේ රජයේ ගුරුවරු Government teachers Sri Lanka යන කණ්ඩායමේ සාමාජිකත්වය පිරිනැමීම පිළිබද ව පළමු ව නුවන් ද සිල්වා මහතාට තුති පුදමි.
පර්යේෂණයට ළැදි අයකු ලෙස, විවිධ පාඨමාලා අවශ්‍යතා සදහා පාඨමාලා හදාරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් ඇතුඵ සාමාජිකයන්ට, මුහුණු පොත ගැන කළ හැකි පර්යේෂණ ගැන ඉගි මෙසේ ලබා දෙමි. පළමු ව මේ කණ්ඩායමට අදාළ ව කළ හැකි පර්යේෂණ බලමු. මේ සදහා සියලු ම පෝස්ට් හෝ කිසියම් නිශ්චිත කාලයකට (උදා- මාසයකට) අදාළ පෝස්ට් ගත හැකි ය.
• පෝස්ට් දමන අයගෙන් කී දෙනකු තමා ම නිර්මාණය කළ පෝස්ට් දමන්නේ ද? අන් අයගේ පෝස්ට් කී දෙනකු දමන්නේ ද?
• පෝස්ට්වලට ලැබෙන ප්‍රතිචාර සහ ප්‍රතිචාර ගණන ඒ ඒ පෝස්ට් අනුව වෙනස් වන්නේ කෙසේ ද?
• පෝස්ට් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කුමන පැතිවලට සම්බන්ධ ද?
  උදා- 1) පුද්ගලයන් (ගුරුවරුන් -විදුහල්පතිවරුන් - ශිෂ්‍යයන්- අධ්‍යාපන ඇමති- )
උදා- 2) සිද්ධි (පාසලක වන සිද්ධි- අධ්‍යාපන කාර්යාලයක වන සිද්ධි-)
උදා- 3) ගැටලුවලට විසදුම් අපේක්ෂිත (නිවාඩුවල ස්වභාවය- අනුයුක්ත කිරීම් අවසන් ද?-)
උදා- 4) උසස් අධ්‍යාපනයට සම්බන්ධ (සයිටම්-)
උදා- 5) වෘත්තීය සමිතිවලට සම්බන්ධ
• පෝස්ට්වලින් පිළිබිඹු වන අධ්‍යාපන ප්‍රතිපත්තියේ ස්වභාවය, එය සංශෝධනය විය අයුරු
• පෝස්ට්වල භාෂා ශෛලි (ව්‍යාකරණ භාවිතය, භාෂා දෝෂ, භාෂාවෙන් හැගීම් පාලනය කරන අයුරු, සිංහල-ඉංග්‍රිසි මිශ්‍ර පද භාවිතය, අකුරු රටා-ප්‍රමාණ)
• පෝස්ට්වල ඇති රූපවල -කාටුන්වල ශෛලි
වැඩි විස්තර පසුවට තබමින්, ඔබට මගේ මුහුණ පොතට හෝ http://godwinkodi.blogspot.com වෙත පිවිස මා ලියන -පර්යේෂණ පිළිබද මිතුරු ශෛලියෙන් - යන ලිපි පෙළ ද අධ්‍යයනය කරන මෙන් කරැණාවෙන් ඉල්ලමි.

Wednesday 13 September 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (2) විවිධ පර්යේෂණ ක්‍රම

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (2) විවිධ පර්යේෂණ ක්‍රම

(අ.) වසරකට පෙර 2016 සැප්තැම්බර් 10 වන දින You tube වෙතින් මේ ගීය බාගත කරලූයේ දුහුනන් දැනුම් සදහා වූ අධ්‍යාපන පර්යේෂණ වැඩමුඵවල දී භාවිත කිරීම සදහා ය. පර්යේෂණ සංකල්ප සංකීර්ණ සංකල්ප ලෙස නො ව, සරල ව පැහැදිලි කිරීම සදහා ගීත නිර්මාණ භාවිත කිරීම මගේ පුරැද්දකි. ඒ හුරුව කවදා කෙසේ ලැබිණි දැයි සෙවීමේ ජීවිත ඉතිහාස පර්යේෂණය (Life history research) පසු ව කරන්නට සිතා ගෙන, මේ ගීයෙන් කුමන පර්යේෂණ සංකල්ප පැහැදිලි කරන්නට මා වෑයම් කළේ දැයි කරුණු බිදක් දක්වමි. 

 (ආ) මේ ගීය සහිත රූප රාමු පෙළින් ඉන්දියාව පිළිබද ව කුමන කරුණු ඉස්මතු වේ ද? ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල විවිධ ජනකොටස්වල ශරීර ලක්ෂණ සහිත ළමයි මෙහි රගති. ඉන්දියාවේ පළමු අගමැති ශ්‍රී නේරු සිහි ගන්වන වැඩිහිටි නඵවෙකි. ඉන්දීය ජන සමාජයේ විවිධ සමාජ තල සහ පරිසර ද නිරූපිත ය. මේ නිසා සමීක්ෂණ (Survey) පර්යේෂණයක් කර ගීතයෙන් ඉන්දියාව නිරූපණය වන අයුරැ විශ්ලේෂණය කළ හැකි ය.

(ඇ) ළමයින්ට ශත 5ක් විසි කරන මව, එය තම දරුවාගේ හිස වටා කරකවා ආශිර්වාද කළ පසුවයි, එම දානය ලබා දෙනුයේ. එමගින් ජන කණ්ඩායමක විශ්වාස පද්ධතිය සහ ජීවත් වන ක්‍රම ගැන කළ හැකි මානව වංශ විවරණ (Ethnography) පර්යේෂණ ගැන ඉගියක් ලබා ගත හැකි ය. වීථිවල ගීයක් ගයමින් යන මේ ළමා කණඩායම ද ඔවුනට විවිධ පරිත්‍යාග ලබා දෙන මිනිස් කණඩායම් ගැන ද අධ්‍යයනයට එකී පර්යේෂණ ක්‍රමය ම උචිත ය.

(ඈ) දුප්පතකුට මුදලින් උදව් කිරීම යන සංසිද්ධිය, එකී මව දකින-අර්ථකථනය කරන ස්වභාවය සහ ශත පහ ලබන ළමයා දකින-අර්ථකථනය කරන ස්වභාවය අතර වෙනසක් පවති. මෙසේ සංසිද්ධියක්, විවිධ සමාජ කණ්ඩායම් විසින් විවිධ පරිදි අර්ථනිරූපණය කරන අයුරු හදුනා ගැනීමට සංසිද්ධිවිද්‍යා පර්යේෂණ (Phenomenological research) කළ හැකි ය. පරිත්‍යාග ලබා දෙන නිවසේ ඉහළ මාලයක සිටින ගැහැනු ළමයාගේ ද අනිකුත් මිනිසුන්ගේ ද සිතිවිලි සමාන හෝ අසමාන වන අයුරු ද එකී පර්යේෂණ ක්‍රමයෙන් හදුනා ගත හැකි ය. 

(ඉ) ගීතයෙන්, එය අසන ශ්‍රාවක සමූහයට ඇති වන හැගීමි පාදක කර ගෙන, ගීතයෙන් කියැවෙන පණිවිඩය සන්නිවේදනය වන ආකාරය පිළිබද ව සන්නිවේදනය පිළිබද මානවවංශ විවරණ පර්යේෂණයක් (Ethnography research on communication) කළ හැකි ය. ගීතය ආරම්භයේ මන්ද්‍ර ස්වරයෙන් ගැයෙන ගීය අග භාගයේ සමහර අවස්ථාවල දී උච්ච ස්වරයට හැරේ. මේ ස්වර පරාසවලින් සන්නිවේදනය කිරීමට අපේක්ෂා කළ හැගීම් ද සන්නිවේදනය පිළිබද මානවවංශ විවරණයෙන් හදුනා ගත හැකි ය. 

(ඊ) ගීතයේ පදමාලාව, සංගීත ස්වර රටාවේ අන්තර්ගතය, රූප කැමරාගත කර ඇති විවිධ කෝණ, කඵ-සුදු වර්ණ මිශ්‍ර වී ඇති ආකාරය සහ එ්වා රටාගත වී ඇති ආකාරය ගැන සන්ධාර හෙවත් අන්තර්ගත විශ්ලේෂණ පර්යේෂණයක් (Content analysis) කළ හැකි ය. 

(උ) 1953 දී, එනම් මා ඉපදෙන්නට වර්ෂයකට පෙර ප්‍රදර්ශනය වූ චිත්‍රපටයක ගීතයක්, මෙතරම් කලක් මිනිස් සිත් ගත් ගීතයක් ලෙස පවතින්නට හැකි වන ලෙස නිර්මාණය කළ, පද රචක, සංගීත නිර්මාපක, ගායක ගායිකා කණඩායම සහ චිත්‍රපට නිර්මාණශීලින් ගැන වෙන වෙන ම ප්‍රත්‍යෙක අධ්‍යයන (Case studies) කළ හැකි ය.

Wednesday 6 September 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (1) නිරීක්ෂණය

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (1) නිරීක්ෂණය
කැනඩාවේ සිටින නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පර්යේෂණ පිළිබද වැඩමුඵවකට සහභාගි වීමේ අවස්ථාව දැන් නැත. එහෙයින් එකී වැඩමුඵවල දී මා පර්යේෂණ හදුන්වා දීමට- වෙසෙසින් නිරීක්ෂණය හදුන්වා දීමට- භාවිත කළ ක්‍රමයක් මෙසේ පෙළ ගස්වමි.
1 වෛජියන්තිමාලා රගපාන අාම්රපාලි චිත්‍රපටයේ ඇති ගීතයක තත්පර 42ක දර්ශනය නරඹන්න. නරඹා මා අසන ප්‍රශ්න දෙකට පිළිතුරැ දෙන්න. අසන ප්‍රශ්න දෙක මෙසේ ය.
      අ) මේ දර්ශනයේ කී දෙනකු පෙනී සිටියා ද?
     ආ) ප්‍රධාන රංගනය කළ නිළිය, වෛජියන්තිමාලා කී සැරයක් ඇස් පිල්ලම් ගැසුවා ද?
පළමු ප්‍රශ්නය ඇසීමෙන් අපේක්ෂා කරනුයේ නිරීක්ෂණය කරන විට සමස්තය නිරීක්ෂණය කරන්නේ දැයි විමසීම ය. නිරීක්ෂණයේ දී සමස්තය මෙන් ම සුවිශේෂී දේ ද හදුනා ගැනීමේ හැකියාව පර්යේෂකයකු ලබා ගත යුතු ය. සුවිශේෂී දෑ නිරීක්ෂණය කළා දැයි දැන ගැනීමට දෙ වන ප්‍රශ්නය අසනු ලැබේ. 

2. මෙවන් වීඩියෝ පටයක් මේ ක්‍රියාකාරකමේ දී භාවිත කරනුයේ පර්යේෂණයක් කරන අයගේ අවධානය විකෘති කරන සාධකත් තිබෙන බව පෙන්වන්නට ය. එම නිසා සමස්තය හෝ සුවිශේෂ කරුණු දෙස, පර්යේෂණාත්මක ව නො ව, වෙනත් හැගීම්-ඇලීම් මත නිරීක්ෂණයට පෙලඹීමක් පර්යේෂකයාට ඇති විය හැකි බව පෙන්වා දීමට ය. 

3. මේ ක්‍රියාකාරකම භාවිතයේ යොදන විට, මා විවිධ වැඩමුඵවල දී ලද අත්දැකීම වනුයේ, කිසි දු අයකු නිවැරදි ව පිළිතුරු ලබා නොදීමයි. එමගින් පැහැදිලි වූයේ ද පර්යේෂණයක් කරන විට හා එහි දී නිරීක්ෂණය කරන විට සමස්තය සහ සුවිශේෂය දැකීම යන සංකල්ප සංවර්ධනය ව නැති බවත් නිරීක්ෂණය කරන අයගේ අවධානය විකෘති කරන සාධක, නිරීක්ෂණයට භාජනය වන දෙයෙහි තිබෙන බවත් ය. සමස්තය හෝ සුවිශේෂ කරුණු දෙස පර්යේෂණාත්මක ව නො ව වෙනත් හැගීම්-ඇලීම් මත නිරීක්ෂණයට පෙලඹීමක් පර්යේෂකයාට ඇති වන බව ද පැහැදිලි විය. ටෙලි නාට්‍යයක් නරඹන විට ඔහේ බැලීමේ පුරැද්ද ප්‍රෙක්ෂකයනට වේ. බැලීම (Look) සහ නිරීක්ෂණය (Observation) අතර වෙනසක් ඇති බව ද මේ ක්‍රියාකාරකමින් පැහැදිලි කිරීමට අපේක්ෂා කෙරේ.

4. පළමු වර නිවැරදි පිළිතුරු නො ලද විට වැවත වරක් දර්ශනය පෙන්වූ විට පළමු වන ප්‍රශ්නයට පිළිතුරු නිවැරදි ව ලැබේ. එහෙත් දෙ වන ප්‍රශ්නයට පිළිතුරු නිවැරදි ව නො ලැබේ. ඊට හේතුවක් වනුයේ 'කී සැරයක් ඇස් පිල්ලම් ගැසුවා ද?' යන පැණය නිවැරදි ව තේරුම් නො ගැනීමයි. වෛජියන්තිමාලා ඇස් වැසීම සහ ඇසි පිල්ලම් ගැසීම යන ක්‍රියාකාරකම් දෙකින් කරනුයේ ඇස් වැසීම ය. එහෙත් එය ඇස් පිල්ලම් ගැසීමක් ලෙස බොහෝ අය වැරදි ලෙස දකිති. මේ අනුව නිරීක්ෂණයේ දී ප්‍රශ්නය නිවැරදි ව තේරුම් ගැනීමටත් නිරීක්ෂණය ඒ පදනම මත සුවිශේෂී ව කිරීමටත් අවශ්‍ය හුරුව ද ක්‍රියාකාරකමින් ලබා දීමට අපේක්ෂිතයි.

Tuesday 5 September 2017

කැනඩාවේ අත්දැකීම් (2) ලෝකවාසීන්ගේ කැනඩාව

කැනඩාවේ අත්දැකීම් (2) ලෝකවාසීන්ගේ කැනඩාව
ඡායාරූපවල අංක අනුව විස්තර කරමි
1. හොදින් හිරු එළිය ඇත. ආලෝකය සැම තැන වේ. එහෙත් දැඩි ශීතල මුසු නිසා, දරා ගන්නට අපහසු මද සුළග, මා සිටින්නේ කැනඩාවේ බව සිහි ගන්වයි.
2. ස්වභාවික ගහ කොළ රැක ගනිමින් ගොඩනැගිලි ඉදි කර ඇති අපූරැව?
3. මාර්ගයේ එක් පැත්තක බැම්ම, වාහනවල ශබ්දය පාලනය කිරීමට තැනූ බාධකයක් පෙන්වයි. අනෙක් පස නිවාස සහ ගොඩනැගිලි ඉදිරිපස බැමි නැත. තනි මහල් නිවාස මෙන් ම මහල් නිවාස ද වේ. මේ විවිධත්වය , කැනඩාව විවිධත්වය ගරු කරන බවට සංකේත ය. සතර වන ඡායාරෑපයේ සිටින ඉන්දියානු ජාතිකයා ද වෙළෙද සැලකට ගොඩ වූ විට හමු වන විවිධ රටවල මිනිසුන් ද නිරූපණය කරනුයේ ද මේ සුදු ජාතිකයනගේ කැනඩාව පමණක් නො ව ලෝක වාසින්ගේ කැනඩාව බව ය.
4. සුන්දර පරිසරය අසුන්දර කරන ලොකු-කුඩා පොලිතින් කොල ද තැන තැන වේ. "මේවා කැනේඩියානුවන් සිතා මතා විසි කර ඇති කසලවලට වඩා ස්වභාවික සුළගේ බලපෑමකින් විසිරුණු දැ" වේ යන කල්පිතය ගොඩ නගමි. කසල කළමනාකරණයට විධිමත් විධි පවතින නිසා ය.
5. පස් වන ඡායාරූපයේ ඇති අහසේ ගමන් කරන ගුවන් යානය, මාර්ගයේ යන වාහන සහ රතු කාරය අසල පා ගමනින් කරත්තයක් තල්ලු කර ගෙන යන මහඵ කාන්තාව මිනිසාගේ ගමනේ වේගය අඩු වැඩි ව ඇති ආකාරය පෙන්නුම් කරයි.
6. විවිධ හැඩ රැව ඇති - ලොකු කුඩා බල්ලන්ට, ළමයින්ට මෙන් සලකා ඇති දැඩි කිරීමේ පුරැද්දක් දක්නට ලැබේ.
7. ඇන්ටන් චෙකොව් ගේ බල්ලා කැටුව යන කාන්තාව   (Anton Chekhov ගේ Lady with lapdog) සිහිගන්වන අවස්ථා ද හමු වේ.






කැනඩාවේ අත්දැකීම් (1) පළමු-දෙ වන පෙළ අත්දැකීම්



කැනඩාවේ අත්දැකීම් (1) පළමු-දෙ වන පෙළ අත්දැකීම්
2017.08.30 වන දින සවස 8.00, කැනඩාවේ ටොරොන්ටො නගරයේ මිසිසාගා උප කලාපයේ 20 මහල් ගොඩනැගිල්ලේ 10 වන මහලේ සිටින විට, නගරය දිස් වන අයුරැයි. තවමත් ඉර එළිය ඇත. උත්තර-දක්ෂිණ ගෝල කරා යන විට, දිවා කාලය වැඩි-අඩු වන බව, 1966 මාතර සාන්ත සර්වේෂස් විදුහලේ 8 වන ශ්‍රේණියේ දී අපට උගැන්වූ ෆ්‍රැන්සිස්කෝ ගුරුතුමියගේ පාඩමින් ලද දෙ වන පෙළ අත්දැකීම, අද නැවතත් පළමු පෙළ අත්දැකීමක් වූයේ ය. 1994 ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ද මේ අත්දැකීම මඳක් ලද බව මගේ -ඉන්දියාවේ අධ්‍යාපනික චාරිකාවක් හා සබැදි ක්ෂේත්‍ර සගරාව- පොතේ සදහන් කළෙමි. ෆ්‍රැන්සිස්කෝ ගුරුතුමිය වරෙක ලෝක සිතියමක් ඇඳ එහි ඔස්ට්‍රියාව යන රට ඇතුඵ තව රටවල්  ලකුණු කරන්නැයි පැවරුමක් දුන්නා ය. මා ඔස්ට්‍රේලියානු මහාද්වීපය උඩ ඔස්ට්‍රියාව ලෙස නම් කර  ලකුණු කළේ  ඔස්ට්‍රියාව යනුවෙන් රටක් ගැන මා දැන නොසිටි නිසා ය.  ගුරුතුමිය මගේ අභ්‍යාස පොතේ, ඔස්ට්‍රියාව, යුරෝපයේ පිහිටි  නිවැරදි ස්ථානය පෙන්වා ලකුණු කළා ය.  මේ සිද්ධිය ගැන අද ප්‍රත්‍යවේක්ෂණය කරන විට සිතෙනුයේ මෙලෙස ය. 'මේ ගුරුතුමිය සමහර විට කවදාවත් පිටරටකට ගොස් නැතිවා විය හැකි ය.  අවම වසයෙන් දඹදිව වන්දනා චාරිකාවේවත් යන්නට අවස්ථාව ලැබුණි දැයි නො දනිමි. එහෙත් ඇගෙන් උගත් මා, ඇය උගැන්වූ ලෝක සිතියමේ රටවල ඇවිදිමින්, පළමු පෙළ අත්දැකීම් ලබමින් සිටිමි. ගුරු වෘත්තියේ උදාරත්වය ගැනත්  මෙනෙහි කරමි' First hand experience gained on time span at Mississauga, Toronto, Canada today. The second hand experience was given by the Geography teacher (Mrs. Francisco) in 1966 when I was at grade 8 (St. Servatius College, Matara).