Tuesday 24 October 2017

කැනඩාවේ අත්දැකීම් (9) බස් ගැන වෙනස් බසක්


කැනඩාවේ අත්දැකීම් (9) බස් ගැන වෙනස් බසක්
            1-7            වන ඡායාරූප
ගස්වල විවිධත්වය සමග දුටු තව විවිධත්වයක් වේ. බස් නැවතුම් කුටිවල අලවා ඇති මිනිස් රූපවල විවිධත්වයයි.  බස්නැවතුම් කුටිවල ඇති දැන්වීම් පුවරුවල විවිධ ජාතිකයන්ගේ පිරිමි හා කාන්තා රුව නිරූපණය  වේ. එය විවිධ ජාතීන් ඇද ගැනීමේ වෙළෙද උපක්‍රමයක් ද? සමානතාව පිළිබද ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් දැයි නො දනිමි.

            8-10          වන ඡායාරූප
ස්වරූප දෙකක බස් ධාවනය වේ. තනි බසය සහ බස් දෙකක එකතුවක් වැනි බසයක්  වසයෙනි.  බසයක සිටිනුයේ රියදුරු පමණී. කඵ-සුදු-දුඹුරු-ගැහැනු-පිරිමි විවිධ ජාතිකයෝ බස් පදවති. හිජාබ් පැළදි මුස්ලිම් කාන්තාවෝ ද බස් පදවති. 
රියදුරු ළග ම මුදල් දමන කවුඵවකි. ගොඩ වන මගියෝ එක්කෝ අදාළ තැනට මුදල් දමා ටිකට්පතක් ගනිති. නැති නම් පෙර මුදල් ගෙවා මිලට ගත් කාඩ්පත (ප්‍රෙස්ටො කාඩ් -prepaid card-)  එතැන ම ඇති තීරයේ ගාවා ගාස්තුව ගෙවති (ශ්‍රී ලංකාවේ මහනුවර සහ කොළඹ සමහර තැන්වලට මේ කාඩ්  ක්‍රමය දැන් හදුන්වා දී තිබේ. එහෙත් එය ටිකට් ලබා දෙන මැසිමට අල්ලා මුදල් අඩු කර ගනු ලබනුයේ කොන්දොස්තර විසිනි). 
මිසිසාගා උප නගරයේ ඩොලර් 3.50ට පැය දෙකක කාලයක් ඕන දුරක් ඕන තැනකට ඕන බසයකින්  යා හැකි ය. සිගප්පූරුවේ ද මෙසේ නිශ්චිත මුදලක් ගෙවා ඕන තැනක ගමන් කිරීමේ ක්‍රමය වේ. එහෙත් ටොරොන්ටෝ නගරයේ බස් ගාස්තුව ඩොලර් 7කි.  ඊට හේතුව  සහ බස් නීති ගැන තව කරුණු යට විස්තර වේ.
ටිකට් ගැනීමට නිශ්චිත මුදල ම දැමීම උචිත ය. මුදල් තැන්පත් කිරීම සහ රියදුරු අතර සම්බන්ධයක් නැති නිසා ය. ඒවා ගණන් බලනුයේ බස් කොම්පැනියෙනි. මාරු සල්ලි නැති ව බසයට ගොඩ වුව හොත්, ඩොලර් 3.50ක ගාස්තුවට ඩොලර් 5 කාසියක් හෝ ඩොලර් 10ක කොළයක් මුදල් කුටියට දමා වුව ටිකට් පතක් ගත හැකි ය. නියමිත මුදල රැගෙන බසයට ගොඩ වීම  මගියා සතු වගකීමකි. එහෙත් ඉතිරි සල්ලි ගන්නට ක්‍රමයක් නැත්තේ ඒ මුදල් පරිපාලනය රියදුරුට අයත් නො වීමත් බසයේ පාලක කොම්පැනියට අයත් නිසාත් ය.   ශ්‍රී ලංකාවේ මෙන් උදේ පානාතිපාතා වේරමණී ලෙස පන්සිල්  රැගෙන, ඉතිරි සල්ලි නො දී කිසි ගාණක් නැති ව හොරකම් කරන කොන්දොස්තර ගතිගුණය" මෙහි නැත.

11-15 වන ඡායාරූප
බස් සදහා නිශ්චිත කාලසටහනක් පවති. එය බස් නැවතුම් පළවල ඉදි කර ඇති කුටියේ හෝ අසල කනුවක අලවා ඇත.  කුටියේ දෙදෙනකුට හිද ගන්නට පහසුකම් ඇත. සමහර විට මගීහු අසල තණකොළ වැවුණු පිටියේ හිදගෙන ද සිටිති. කුටි රහිත බස්නැවතුම් පළ ද වේ.  සෑම බස් නැවතුම් පළක් අසල ම, කුණු දැමීමට බදුනක් ඇත.  එහෙත් තැන තැන කඩදාසි, බීම ටින් සහ සිගරට් කොට දැකිය හැකි ය. ඒවා විනය-හොද පුරුදු නුපුරුදු කීප දෙනකු ද මිසිසාගාවල සිටින බවට සංකේත ය. සිගරට් මෙහි ඇති ඍණ ලක්ෂණයක් ද වේ. කැනඩා වැසියන් (කාන්තාවන් ද ඇතුඵ ව), ප්‍රසිද්ධ ස්ථානවල සිගරට් පානය කරනු දැකීම සුලභ දසුනකි.  ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල දුම් නොබොන නිසා අපට සතුටු විය හැකි ය.  ශ්‍රී ලංකාවේ මෙන් Mobile Phone දෙස ඇස්-හිත් යොමා සිටින පිරිස් ද වෙති.
නියමිත ස්ථානවල පමණක් බස් නැවැත්වීම ද විශේෂ ලක්ෂණකි. මාලදිවයිනේ දී ද මේ අත්දැකීම ලැබුවෙමි. බසය ගමන් කරන විට ඊළග බස් නැවතුම ගැන විස්තර බසයේ පටිගත කර ඇති යන්ත්‍රයකින් කියනු ලැබේ. බසය නැවතු පසු  ද එම ස්ථානයේ නම කියනු ලැබේ.
බසයට වඩා වාහනයක් ගෙන ගමන් යාම ලාභ හා ඉක්මන් බවට ද අදහස් පළ වෙයි. ශීත කාලයේ දී හිම සහිත බස් නැවතුම්පළවල ශීතලේ සිටිනවාට වඩා කාරයක යාම පහසු ය. එහෙත් හිමේ වාහන එලවීම කල් ගත වන, ලිස්සීමේ අනතුරු සහිත ක්‍රියාවක් නිසා බසයේ යාම පහසු බවට ද අදහසක් වේ.  මෙහි කාරයක් තබා ගැනීම යනු ජීවත් වීමට අවශ්‍ය සාමාන්‍ය දෙයක් ළග තබා ගැනීමක් මිස, ශ්‍රී ලංකාවේ මෙන් (මහන්) තත්ත්වය හගවන ලකුණක් නො වේ.  ටැක්ෂි සේවා ද ලබා ගත හැකි නමුත් ත්‍රීවීලර් සංස්කෘතියක්" නැත.

16-18 වන ඡායාරූප
පාසල් බස් රථ කහපාට ය.  පාසල් බසයක් ළමයින් බැස්සවීමට නැවැත්වූ විට බසය පසුකර වෙනත් වාහනවලට යාම ඒම නවත්වන සංඥාවක් දැක්වේ. ඒ අනුව ඉදිරියෙන් හා පසුපසින් එන වාහන නවතනු ලැබෙයි. එසේ කරනුයේ ළමයින්ගේ ආරක්ෂාවට ය. බසය පාසලට ගිය පසු ද පාසලේ ගුරුවරයකු හෝ විදුහල්පති පැමිණ ළමයින් බාර ගනු ලැබේ. ළමා ආරක්ෂාව රියදුරු වගකීම නිසා ළමයින් බසයෙන් බසින විට රියදුරු අදාළ භාරකරු පැමිණ සිටී දැයි විමසිලිමත් වීම විශේෂ ලක්ෂණයකි. ඉක්මනින් බහින්න", “ඉක්මනින් නගින්න", “බහින්න ළගයි, නැගිටලා ඉස්සරහට එන්න", " තේරෙන්න නැද්ද හෝල්ට් එක ළං වුණාම දොර ගාවට එන්න"  වැනි ශ්‍රී ලාංකික අපට හුරු (අමිහිරි-කන්දොස්කිරියා) වදන් නම් නො ඇසේ. පෙර ලිපියක කී පරිදි දොස්තරට වඩා ලෙඩාට ගරු කරන සංස්කෘතියක් මෙන් ම, කොන්දොස්තරට වඩා මගියාට ගරු කරන සංස්කෘතියක් ද තිබෙන නිසා ය. 
බස් රථ කොම්පැනියේ ලියාපදිංචි වූ විට, පාසල් බසයක් විනාඩි 10ක් හෝ ප්‍රමාද වේ නම් ඊමේල් මගින් දන්වනු ලැබීම ද විශේෂ ලක්ෂණයකි. .
බුද්ධිණී රුහුනුහේවා මහත්මිය විග්‍රහ කරන පරිදි ගමනාගමනය පාලනය වෙන්නේ නගර සභා (municipal government) මගිනි. ඒ ඒ නගර සභා ප්‍රදේශයේ නීති එකිනෙකට වෙනස් ය. ඒ නිසා එක එක නගර සීමා බල ප්‍රදේශයට සුවිශේෂී  ගමනාගමන (බස්, දුම්රිය) ගාස්තු ද වෙයි.  ගමනාගමනය පාලනය වෙන්නෙත් වෙන ම transit commissionවලිනි. උදා. ටොරොන්ටෝ ttc,  මිසිසාගා miway,  බ්‍රැම්ටන් brampton tc ලෙස වෙන ම බස් සේවා කොමිෂන් වෙයි.  බස් ගාස්තු ද මේ එක එක commission අනුව වෙනස් ය. මගියාගේ වයස අනුවත් ගාස්තු වෙනස් වීම ලක්ෂණයකි. උදාහරණයක් ලෙස ටොරොන්ටෝවේ  TTC කොමිෂමේ වැඩිහිටියකුට ගාස්තුව $3.25කි.  පාසල් සිසුන් හා අවුරුදු 65ට වැඩි කෙනකුට  $2.10කි.  ශ්‍රී ලංකාවෙ සීසන් වැනි මාසික වාර ප්‍රවේශ පත් ක්‍රමයකුත් තිබේ.  උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටත් සහන ගාස්තුවට සීසන් (monthly pass) බලපත්‍ර දෙනු ලැබේ.
බුද්ධිණී තවදුරටත් පවසන  විදියට, මේ වන විට  pilot project එකක් මිසිසාගා උපනගරයේ ක්‍රියාත්මක ය. ඒ අනුව  miway senior citizen මහඵ අයට, උදේ 9 සිට හවස 3 අතර කාලයේ  බස් ගාස්තුව $1කි. ඒ සදහා වයස ඔප්පු කරන age prove ක්‍රමයක් තිබිය හැකි ය. මේ ගැන වැඩිපුර විස්තර සෙවිය යුතු ය.
ටිකට් පතකට පැය දෙකක් ගමන් කළ හැකි නමුත් උපනගර දෙකක වෙනස් ට්‍රාන්සිට් කොම්පැණි දෙකක බස් දෙකක ගිය හොත් බස් දෙකට වෙන වෙන ම ටිකට් සදහා ගෙවන්න අවශ්‍ය වේ.  පෙර ගෙවුම් ප්‍රෙස්ටො කාඩ් (prepaid card එකක්) හැම බසයක ම පාවිච්චි කරන්න පුඵවන් වුණත් උපනගර දෙකක කම්පැණි දෙකක බස්වල ගිය හොත්, වෙන ම බස් ගාස්තු, බස් දෙකට ම අඩු කර ගනු ලැබේ. නම් පැය 2 ඇතුළත කොම්පැනි දෙකක බස් දෙකක ගමන් කළ හොත් දෙවරක් ගෙවිය යුතුයි. පෙර ද සදහන් කළ පරිදි එක කම්පැණියේ ඒ කියන්නෙ miway බසයේ යන්නේ නම් පැය දෙකක් ඇතුළත ඕන තරම් බස් ගණනක ඕන දුරක් යන්නට පුඵවන.  Myway සමාගමේ  බසයේ පැයක් ගමන් කොට ඊළඟට brampton tc සමාගමේ බසයට නැගි විට පෙර බසයේ ගාස්තු වලංගු නැත. ඒ සදහා වෙන ම ගාස්තු ගෙවිය යුතු ය. බලය විවිධ ප්‍රදේශවලට බෙදීමේ දී ඒඒ පෙදෙසේ නීතියට මහජනයා අවනත විය යුතු නිසා ය.
කැනඩාව ලොකු රටක් නිසා මෙසේ බලය බෙදීමේ වැරැද්දක් නැත. අප ඉන්න කැනඩාවේ ඔන්ටාරියෝ පළාත, ලංකාව වගේ දහ ගුණයක් පමණ ඇත. ඉතින් බෙදා නො ගෙන පාලනය අමාරු ය.

Tuesday 17 October 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (11) පර්යේෂණ ක්‍රම (Methods) සහ පර්යේෂණ පිරිසැලසුම් (Designs)


අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන්  (11) පර්යේෂණ ක්‍රම (Methods)  සහ පර්යේෂණ පිරිසැලසුම් (Designs)
සාරිය ඇදුමකි. එය ඇදීමේ දී කාන්තාවෝ විවිධ වර්ණ ද විවිධ මෝස්තර ද භාවිත කරති. එක් එක් කාන්තාව, සාරි පොට එක් රැල්ල, දෙරැල්ල, තෙරැල්ල ලෙස සකස් කරන ආකාරය ද විවිධ ය. සමහරු සාරි පොට දකුණු උරහිසට දමති. තවත් සමහරු වම් උරහිසට දමති. සමහරු ඔසරි පොට කර වටා ඔතා ගනිති. ඉන්දියාවේ නම් සමහර කාන්තාවෝ හිස ද වසා ගනිති. සාරිය සමග අදින හැට්ටය ද විවිධ ය. හැට්ටයේ වර්ණය-මෝස්තර මෙන් ම හැට්ට අතේ-කරේ ප්‍රමාණය ද කාන්තාවගේ රුචිය අනුව වෙනස් ය. මේ අනුව සාරිය නැමැති ඇදුම් ඇදීමේ ක්‍රමය, විවිධ මෝස්තර හෙවත් සැලසුම්  (පිරිසැලසුම්) පදනම් කර ගෙන භාවිතයට ගත හැකි ය.  
පර්යේෂණ ක්‍රමය සහ පිරිසැලසුම අතර වෙනස ද මීට සමාන ය. එක් පර්යේෂණ ක්‍රමයක්, විවිධ පිරිසැලසුම්වලට අනුව වෙනස් කර ගෙන-පර්යේෂණ සැලැස්ම සකස් කර ගෙන, විවිධ ලක්ෂණ සහිත ව  භාවිත කළ හැකි ය. මුඵ ලංකාවේ ම 5 වන ශ්‍රෙණියේ ශිෂ්‍යයන් නියැදිය ලෙස ගෙන සමීක්ෂණයක් කළ හොත් එහි දී පර්යේෂක භාවිත කරන පිරිසැලසුම, 5 වන ශ්‍රෙණියේ ශිෂ්‍යයන්  100ක් රැගෙන කරන සමීක්ෂණයක පිරිසැලසුමට වඩා වෙනස් ය. මුහුණු පොත දේශපාලන පක්ෂ ප්‍රචාරය සදහා  භාවිත කරන අයගේ ආකල්ප කෙබදු දැයි හදුනා ගැනීමට කරන ආකල්ප සමීක්ෂණයක (Attitude survey)  පිරිසැලැස්ම, මුහුණු පොත පවුලේ හෝ තමා සේවය කරන පාසල හෝ ආයතනයට අදාළ කාර්ය ප්‍රචලිත කිරීමට භාවිත කරන අයගේ ආකල්ප  ගැන කරන සමීක්ෂණයකට වඩා වෙනස් වූ පිරිසැලැස්මක් සහිත විය යුතු ය. මේ අනුව සමීක්ෂණ පර්යේෂණ ක්‍රමය එක වුවත්, සමීක්ෂණ පර්යේෂණයක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට භාවිත කරන පිරිසැලසුම් විවිධ විය හැකි ය.  
අනෙකුත් පර්යේෂණ ක්‍රම හා  පිරිසැලසුම් ද තේරුම් ගත යුත්තේ මෙසේ ම ය. උදාහරණයක් ලෙස මහාචාර්ය නන්දසේන රතනපාල යාචකයන් ගැන හා ගණිකාවන් ගැන මානව වංශ විවරණ පර්යේෂණ ක්‍රමය භාවිතයෙන් කළ පර්යේෂණ දෙකේ පිරිසැලසුම් එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත ය. ඒ හා සම්බන්ධ ව ඔහු ලියූ පොත් දෙක ද කියවා බලන්න.   තවත් උදාහරණයක් අනුව විද්‍යාත්මක ක්‍රමයට අනුගත සම්පරීක්ෂණ පර්යේෂණයක්  කිරීමේ දී, භාවිතයට ගත හැකි නිර්දේශිත පිරිසැලසුම් 16ක් පවතින අතර,  එයින් ඔබේ පර්යේෂණ ගැටලුවට උචිත වන එක පිරිසැලසුමක් අනුව සම්පරීක්ෂණ පර්යේෂණයක් කළ හැකි ය.
            ගීත ඇසුරින් ද මේ සංකල්පය තේරුම් ගනිමු. මිතුන් (Mithoon) සංගීතය සැපයූ ආර්ජිත් සින් (Arijit Singh) ගැයූ  Tum Hi Ho (English meaning: "You are the one") යන Filmfare සම්මාන ලද  ගීය Aashiqui යන චිත්‍රපටයේ වැයෙන විට දර්ශනය වන රූප රාමු පළමු ව නරඹන්න. දෙවනු ව එම ගීය ම  Veer-Zaara චිත්‍රපටයේ දී ෂාරුක් ඛාන් සහ ප්‍රීති සින්තා රගපාන දර්ශනයේ දී එසේ ම භාවිත වුණත්, දර්ශන සමූහය හාත්පසින් වෙනස් ය.  ඉන්දුනීසියානු විවාහ මංගල්‍යයකට සම්බන්ධ ව  වාදනය කිරීමේ දී ගීයේ මූලික ව්‍යූහය වෙනස් නො කර ගීතයේ ස්වර රටාත් ගායන රිද්මත් පසුබිම් පරිසරයත් නඵ නිළි හැසිරීමත් වෙනස් ව භාවිත වන අයුරු නිරීක්ෂණය කරන්න. අවසන් ලෙස ඇමරිකානු පරිසරයේ දී, එහි සංස්කෘතියට අනුගත ව, පියානෝව සහ බටනළාව භාවිතයෙන් ද බටහිර ඔපෙරා ශෛලියේ රංගනයකින් ද ගීතයට අදාළ පසුබිම විකරණය (Modify) කර ඇති සැටි බලන්න. එහි දී පදමාලාවෙන් තොර ව සංගීතය පමණක් භාවිත කර ඇති අයුරු ද අධ්‍යhනය කරන්න. මෙයින් පැහැදිලි වන්නේ ගීතයේ පදනම එක වුවත් එහි භාවිතය, ඒ ඒ රට ද රටෙහි සංස්කෘතිය ද ගීතය භාවිත කරන සන්දර්භය (Context)  ද අනුව වෙනස් වන බව ය. 
ඕනෑ ම පර්යේෂණ ක්‍රමයක් භාවිතයේ දී ද, සන්දර්භයේ විවිධත්වය පදනම් කර ගනිමින් පර්යේෂණය සැලසුම් කරන විට,  විවිධ පිරිසැලසුම් ජනනය වන්නේ ද මෙයාකාරයෙනි. 

Monday 16 October 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (10) සිංහල ගීතයක් නිරීක්ෂණය කරමු

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන්  (10) සිංහල ගීතයක් නිරීක්ෂණය කරමු
1. අධ්‍යාපන පර්යේෂණ වැඩමුඵවල දී, පර්යේෂණ පිළිබද සංකල්ප පැහැදිලි කිරීම සදහා “සැමියා බිරිදගේ දෙවියාය" චිත්‍රපටයේ, රුක්මනී දේවි ගයන “කියන්න රන් කද-මොන හිතකින් ඔබ - කීවා දැයි මට මේවා" යන ගීතය ද මවිසින් භාවිත කරනු ලැබේ. ඒ අනුව පළමු ව සහභාගි වන්නන්ට ගීතයේ පළමු විනාඩිය නරඹන්නට අවස්ථාව දෙනු ලැබේ. ඔබ ද දැන් ගීතයේ පළමු විනාඩිය නරඹන්න.
2. නැරඹීමෙන් පසු මා සහභාගි වන්නන්ගෙන් අසනුයේ ඔබ නිරීක්ෂණය කළ දේ පවසන ලෙසයි. ඔබට ද දැන් ඒ අවස්ථාව දෙමි. විනාඩියක් ගත කර ඔබ නිරීක්ෂණය කළ දේ ලියන්න.
3. ලියන්නට කී දේ අනුව, වැඩමුඵවල දී මා සුලභ ව ලද ප්‍රතිචාර මෙසේ ය.
• රුක්මනි දේවි දුකින් කියන සින්දුවක්
• නඵවගෙයි නිළියගෙයි ප්‍රශ්නයක් නිසා නිළිය දුක් ගීයක් කියනවා
• රුක්මනි දේවි ගායිකාවක් වගේ ම හොද නිළියක් නිසා හොදට රගපානවා
• “කියන්න රන් කද කියන්න" යන අදහසින් කාන්තාවගේ ආදරයේ ගැඹුර පේනවා
• කඵ-සුදු චිත්‍රපටියක්
• සර් සින්දුව හරි ම ලස්සනයි. මුඵ සින්දුව ම අහමු ද?
4. සම්පූර්ණ ගීතය ඇසීමට පෙර තව ක්‍රියාකාරකමක් කරමු යයි යෝජනා කරන මා "ඔයගොල්ලන් ලියා ඇති කරුණු මා ඔබට ලියන්නට කී පරිදි, ඔබේ නිරීක්ෂණ ද? නැති නම් නිරීක්ෂණ නො වන ඔබේ හැගීම් ද? ආකල්ප ද? මත ද? නිගමන ද? මේක තීරණය කරන්නට ඔබ ලියා ඇති කරුණු ඒ දෙවර්ගයට වර්ග කරමු ද?" ලෙස යෝජනා කරමි. තමතමන් ලියූ දේ ගැන නැවත සිතන හෙවත් පශ්චාද් ප්‍රත්‍යවේක්ෂණයේ (Reflection on action) නියැළෙන සහභාගිකයෝ තමන් ලියූ දේ මෙසේ වර්ග කර ගනිති.
නිරීක්ෂණ: රුක්මනි දේවි-සින්දුවක්-නඵවා-නිළිය-ගීයක් කියනවා- ගායිකාවක්- කියන්න රන් කද-කඵසුදු චිත්‍රපටියක්
හැගීම්/ආකල්ප/මත/නිගමන: දුකින් කියන සින්දුවක්- නඵවගෙයි නිළියගෙයි ප්‍රශ්නයක් නිසා නිළිය දුක් ගීයක් කියනවා- හොද නිළියක්- හොදට රගපානවා- ආදරයේ ගැඹුර පේනවා- හරි ම ලස්සනයි
5. මේ වර්ගීකරණයේ යෙදෙන විට සහභාගි වන්නන් මතු කරන ගැටලුවක් වනුයේ, කනට ඇසුණු සින්දුවක් සහ එහි තිබූ "කියන්න රන් කද" යන කනට ඇසුණු වචන තුන නිරීක්ෂණ ද යනු ය. ගීත කනින් අහනවා මිස ඇසින් නිරීක්ෂණය කරන්නේ කෙසේ ද? මේ අනුව “රුක්මනී දේවි ගැයූ ගීතයේ වචන නිරීක්ෂණය කළේ කවුරුන් ද?" යන ප්‍රශ්නය නිවැරදි ද? යන ප්‍රශ්නය ද පැන නැගේ.
මෙහි දී මා පැහැදිලි කරනුයේ, නිරීක්ෂණය යනු ඇසින් පමණක් නො ව පසිදුරන් (ඇස්-කන්-නාසා-මුඛය-සිරුර) මගින් ම කළ යුතු කාර්යයක් බවයි. ඇසින් බලන දේ මෙන් ම කනින් අහන දේත් නිරීක්ෂණයකි. නැහැයෙන් සුවද බැලීමත් නිරීක්ෂණයකි. දිවෙන් රස බැලීමත් නිරීක්ෂණයකි. රුක්මනී දේවී සින්දුව කියන ගමන් අත්තක් අල්ලා ගන්නා අවස්ථාවක් ගීතයේ වේ. එවිට ඇයට අත්තේ කොළවල ශීතලක් දැනේ නම් එය ඇගේ ගතට දැනුණු නිරීක්ෂණයකි.
“මට ද කියන්නේ වෙන කෙනෙකුන්ගේ තුරුළේ ඉන්නට කියලා" ලෙස රුක්මනී දේවි ගයන විට (මෙය සහභාගි වන්නා කනින් කළ නිරීක්ෂණයකි) කටු පදුරක් ඇය ඉදිරියෙන් වේ (ඇසින් කළ නිරීක්ෂණයකි). එයින් ගම්‍යමාන වනුයේ වෙන කෙනකු හා සිටීම, කටු පදුරක් හා සමග සිටීමට සමාන ලෙස ය (මෙය නරඹන්නාගේ හැගීමකි-මතයකි-නිගමනයකි). මෙය චිත්‍රපට අධ්‍යක්ෂ හිතාමතා සැලසුම් කළ පසුතලයක් ද විය හැකි ය (අනුමානයකි). එය අපි නො දනිමු. ඒ ගැන දැන ගන්නට චිත්‍රපට අධ්‍යක්ෂ සමග සම්මුඛ සාකච්ඡා කළ යුතු ව තිබේ. අපේ ඇග කටු පදුරක ගැටුණු විට, තුවාල වීමෙන් වන වේදනාවත්, කයට දැනෙන නිරීක්ෂණයකි.
නිරික්ෂණය පිළිබද මේ අදහස් අනුව, රුක්මනී දේවි ගැයූ ගීතයේ පද නිරීක්ෂණය කළේ කවුරුන් ද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසීමේ වරදක් නැත.
මේ පෝස්ටුව බලන ගමන් ඔබ තේ එකක් රස විදිනවා නම්, පර්යේෂණ මූලධර්ම අනුව, ඔබ කරනුයේ තේ කෝප්පයේ රස, කට නැමැති අවයවයෙන් නිරීක්ෂණය කිරීමකි. “මොක ද අද තේ එකේ කහට වැඩි. නෝනට තරහ ගිහිල්ලා ද දන්නෑ, මෙච්චර ගෙදර වැඩ තියෙද්දී මම මුහුණු පොත බල බලා ඉන්නවා කියලා. ඒ නිසා කහට වැඩියෙන් දාලා තේ හැදුව ද දන්නෑ" (මෙය මගේ හැගීමකි).
6. වර්ගීකරණයට අදාළ කරුණු දෙවර්ගය (නිරීක්ෂණ සහ නිරීක්ෂණ නො වන හැගීම් ආදිය) අනුව මා පෙන්වා දෙන්නේ, ඔබ සැම නිරීක්ෂණය කරන විට වැඩිපුර කරනුයේ නිරීක්ෂණයට වඩා ඔබේ ම හැගීම්-ආකල්ප -මත-නිගමන ඉදිරිපත් කිරීම බවයි. පර්යේෂණකරණයේ දී අවශ්‍ය වනුයේ අපේ මත-හැගීම්-ආකල්ප-නිගමනවලට වඩා, අප බලන දේ වාස්තවික (Objective) ව පසිදුරන් මගින් නිරීක්ෂණයයි.
7. මෙයාකාරයේ හැගීම්-ආකල්ප -මත-නිගමන හා බැදි උත්තර වැඩිපුර අපෙන් ලැබෙනුයේ, බැලීම (Look) යන සංකල්පය පදනම් කර ගෙන ය. නිරීක්ෂණය (Observation) පදනම් කර ගෙන නො වේ. අප ටෙලි නාට්‍යයක් නැති නම් මුහුණු පොතේ සමහර විවාදාපන්න ප්‍රශ්න (Issues) ගැන පෝස්ටු (Post) ඔහේ බලා-ගැඹුරින් නො බලා" අපේ අදහස් පළ කරනුයේ “බැලීම" පදනම් කර ගෙන ය. නිරීක්ෂණ පදනම් කර ගෙන නො වේ. මේ අනුව, බැලීම සහ නිරීක්ෂණය අතර ද වෙනසක් වේ.
8. නිරීක්ෂණයට අදාළ ව මම මීළගට මේ ප්‍රශ්නය අසමි.
(අ) නිළිය, නඵවා කෙරෙන් ඈත් ව අනෙක් පසට යන විට, සාරි පොටට වෙන්නේ කුමක් ද? එය කී දෙනකු නිරීක්ෂණය කළා ද?
(ආ) ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර කුමක් ද? මගේ වැඩමුඵ සහභාගිකයන්ගේ පිළිතුර ම වනු ඇත. “එහෙම දෙයක් වුණා ද? නැවත නරඹා උත්තරය දෙන්නම්." එහෙයින් ගීතයේ පළමු විනාඩිය නැවතත් නරඹන්න.
නැවත නරඹන විට පැහැදිලි වනුයේ සාරි පොට පදුරක ඇමිණෙන බව ය. ඇමිණී එය ගැළවෙන විට විහිදී යන්නේ ය. සැමියා කෙරෙන් අනික් පැත්තට යන කාන්තාවගේ සාරිය මෙසේ ඇමිණිම නැමැති නිරීක්ෂණයෙන් ඇගවෙන්නේ, ඇය සැමියාගෙන් අනෙක් පසට ගියත් ඔහු කෙරෙහි ම සිතින් බැදී සිටින බව විය හැකි ය. සාරි පොට විහිදීමෙන් නිරූපණය කරනුයේ ඇයගේ පැතුරුණු ආදරය වන්නට පුඵවන. මෙය අගවන්නට. චිත්‍රපට අධ්‍යක්ෂ, හිතාමතා ම මේ ලෙස සාරි පොට පදුරක ඇමිණෙන පරිදි දර්ශනය රූ ගත කරන්නටත් ඇත (මේ කොටසේ අදහස් නිරීක්ෂණ නො ව, හුදෙක් අපේ හැගීම් සහ මත බව දැන් ඔබට කීම අනවශ්‍යයි). ඒවා සත්‍ය දැයි බැලීමට නිර්මාණකරුවන් හා සම්මුඛ සාකච්ඡා කළ යුතු ය.
රුක්මනි දේවියගේ සාරි පොට පිළිබද සිද්ධිය, ගීතයට සහ චිත්‍රපටයේ දර්ශනයට ගැඹුරක් එකතු කරනවා ද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසූ විට එම හැගීමට/මතයට/නිගමනයට නම් අපට එකග විය හැකි ය.
9. මා දැන් විවෘත ප්‍රශ්න ඉදිරිපත් කොට ඔබට ම ස්වාධීන ව නිරීක්ෂණය කරන්නට-ප්‍රත්‍යවේක්ෂණය කරන්නට ඉඩ දෙමි.
(අ) ඔබ නිරීක්ෂණය කළ නාද බිහි කළ සංගීත භාණඩ මොනවා ද?
(ආ) තාල භාණඩය සහිත ව සහ තාල භාණඩය රහිත ව ගායනය කරන ගීතයේ කොටස් දෙක අතර ඇති වෙනස්කම් මොනවා ද?
ඇ) ගස්වලත් ඇන්තූරියම් පැලවලත් අතු-කොළ චලනය වන රිද්මය ඔබ නිරීක්ෂණය කළෙහි ද?
(ඈ) රුක්මනී “ඇයි මගෙ රන්කද" යයි කියන විට අත්තක් අල්ලා ගන්නේ ඇයි?
(ඉ) රුක්මනී, ගීය ගයන විට මුහුණ විවිධ ලෙස හසුරුවන්නේ කෙසේ ද?
(ඊ) ඩොමී ජයවර්ධන නඵවා සහ ඔහුගේ ඇදුම් ගැන ඔබේ නිරීක්ෂණ මොනවා ද?
(උ) රූපගත කළ කැමරාව චලනය වූයේ කුමන රටාවට ද?
10. විනාඩි 150ක් වැනි කාලයක් ධාවනය වන චිත්‍රපටයක, විනාඩියක් වැනි කෙටි කාලයක් ගැන, නිරීක්ෂණය පාදක කර ගෙන මෙතරම් කතා කළ හැකි නම්, පර්යේෂණකරණයේ දී අප කෙතරම් ගැඹුරට නිරීක්ෂණය කළ යුතු දැයි ඔබට අවබෝධ වන්නට ඇත. දැන් මුඵ ගීතයේ ම රසය, නිරීක්ෂණය පාදක ව, ලබන්න.

කැනඩාවේ අත්දැකීම් (7) මිරිස් ගසේ විවිධ රටා - කැනඩාවේ වෙනස් රටා

කැනඩාවේ අත්දැකීම් (7) මිරිස් ගසේ විවිධ රටා-කැනඩාවේ වෙනස් රටා 
      1)      ඔක්තෝබර් මස පළමු වන දින බුද්ධිණී  නිවසෙන්, තෑග්ගක් ලෙස ලැබුණු විට මිරිස් ගසෙහි  මිරිස් කරල් ද මලක් ද පිපී තිබුණි.
      2)      ඔක්තෝබර් 15 වන දින, විවිධ තලවලින්, ගසෙහි  ඡායාරූප ගතිමි. ශාකයේ පවතින විවිධත්වය නිරූපණය කරන  පරිදි රතු මිරිස් කරලක්, කොළ පාට මිරිස් කරලක් සහ අනාගත මිරිස් කරල්වල පෙරනිමිති ලෙස අලුතින් පිපුණු මල්, එක විට නිරූපණය වන අපූරුව!  
      3)      මිරිස් රස සහිත ව කෑම ඉවීමට අවශ්‍ය බඩු ගන්නට, සුපර්මාර්කට් වෙත යන විට, කටට රස හුරු බතල ද අර්තාපල් ද විකුණන්නට තිබේ.  මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේ දී, බොහෝ කලකට පෙර පැවති දේශනයක දී, ආචාර්ය නලීන් ද සිල්වා පැවසු අදහස්  (බටහිර ජාතිකයන් අපට හදුන්වා දුන් අර්තාපල්වලින් අල හොද්ද හදා ගෙන -බටහිර මිනිසුන් මෙන් චිප්ස් නො කා- දේශීය කර ගන්නට සිංහලයන් සමතුන් වූ බව සහ එවන් දේශියකරණයක් දේශපානයේ දීත් අවශ්‍ය වේ) මතක් වෙයි. 
     4)      පේරු රටේ උපත ලැබූ අර්තාපල් අලය, ලෝකය වටේ යමින් කරන විපර්යාසය?  පිළිවෙළින් ඉරිගු, තිරිගු සහ සහල්වලට පසු ලෝවැසියන්ගේ ප්‍රධාන ම ආහාරය අර්තාපල් ය. ශ්‍රී ලාංකික අපි, දේශීය ව සිතන (නො සිතන?)  ගමන්, මේ ආහාර වර්ග හතර ම බුදින ලෝක පුරවැසියෝ ද වී ඇත්තෙමු.
     5)      සුපර්මාර්කට්වල තව රාක්කයක පොල් ය. පැපොල්  ද ඒ අසල ම ය.  මේ සිංහල පද දෙකේ සමාන බව,  දැන ගෙන දෝ, මේ දෙක එක ළඟ විකුණන්නට තබා තිබෙන අපූරුව!  එහෙත් පොල් ගෙඩිය, ඉටි කොළවලින් ඔතා තිබීම විශේෂත්වයකි. ඒවා ආනයනය කර තිබෙන්නේ ඩොමීනිකන් රිපබ්ලික් රටිනි.      ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ පොල් ද දෙමළ ජාතිකයන් සතු කඩවල තිබේ. එහෙත් ඒවා ද මෙසේ කැනඩා සම්ප්‍රදායය අනුව ඉටි කොළවලින් ඔතා තිබේ. ඉටි කොළය, මගේ සිහිය ශ්‍රී ලංකාවෙන් කැනඩාවට යොමු කරවයි. පොල් ගෙඩියක මිල කැනඩා ඩොලර් 2ක් පමණ ය (ශ්‍රී ලංකාවේ මුදලේ  විටිනාකම අනුව රුපියල් 220ක් පමණ ය).
     6)      අපේ නිවෙස්වල පොල් වතුර කෙතරම් නාස්ති කරන්නේ ද? යන වග සිහියට එන්නේ පොල් වතුර පැකට් කර විකුණන්නට තිබෙනු දකින විට ය. තායිලන්තයෙන් ආනයනය කර ඇති මේ පොල් වතුර පැකැට්ටුවක කල් ඉකුත් වීමේ දිනය  2018 දෙසැම්බර් දක්වා වේ. සැලසුම් කරත හොත් ලංකාවට ද විදේශ විනිමය ඉපැයිය හැකි මගකි.  
    7)      පොල් වතුර පැකට් කිරීම මෙන් ම, ළමයින්ගේ කටින් ගැළවී වැටෙන දත් පැකට්ටුවක බහාලීමේ කලාවක් ද කැනඩාවේ වේ. සිංහල අප පුරුදු ව සිටිනුයේ අවුරුදු 6-7 දී දත් ගැළවෙන විට, ඒවා ළමයා ලවා වහලට වීසි කරවමින්, “ටින් ටින් ගානා-  මගෙ පොඩි ලේනා- මේ කිරි දත අර ගෙන- වෙනින් දතක් දියෝ දියෝ"  ලෙස රිද්මයට කවියක් ළමයින් ලවා කියවීමට ය. එහෙත් කැනඩාවේ පාසල්වල පුරුද්ද වනුයේ ළමයින්ට දත දැමීමට,  දතක රටාවෙන් යුතු කුඩා සෙල්ලම් පෙට්ටියක් තෑගි දීම ය. බුද්ධිණී සමහර ගෙවල පුරුද්දක් ගැන මෙසේ පවසන්නී ය. --ළමයකුගේ දතක් වැටුණු පසු, රෑ නිදියන්නට යන එම දරුවාගේ කොට්ටය යට එම දත තබන බවත් එය සුරගනක් පැමිණ, ගෙන යන බවත් ළමයාට පවසනු ලැබේ.  දරුවාට නින්ද ගිය විට, දත රැගෙන විසි කරන දෙමාපියන්, එතැන කාසියක් තබා, උදෑසන ඇහැරෙන දරුවාට, එම කාසිය සුරගන ලබා දුන් තෑග්ගක් ලෙස දැනෙන්නට සලස්වයි.   එවිට දරුවා සතුටු වෙයි.-- 

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (8) ක්‍රියාමූලික පර්යේෂණ ගැන තවත් අදහසක්

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන්  (8) ක්‍රියාමූලික පර්යේෂණ ගැන තවත් අදහසක්


1) ලලන්තිකා විජේසිංහ ගුරුතුමිය, ගුරු භූමිකාව ගැන හොද රූපයක් පළ කර තිබුණා. එය දුටු මට ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති සම්මන්ත්‍රණයක දී ප්‍රදර්ශනය වූ පොස්ටරයක් (It's all about roots behind the fruits) ද මතක් විය. ගුරුවරයා සැම වෘත්තියක ම මූල බීජය බව අපූරුවට මේ රූප දෙකින් ම හොදට නිරූපණය වෙනවා. 2) ඔබ සැමට සාර්ථක ගුරු දිවියක් පතන අතර ගුරු භූමිකාව සාර්ථක කර ගැනීමට, විභාග සමත් වේ යයි සිතන සිසුන් පසුපස ම නො යා, පන්ති කාමරයේ දී සමානතාව මූලධර්මය ලෙස භාවිත කරන අතර ම අවශ්‍ය විට සමතා මූලධර්මය අනුව ද කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. 3) මේ සදහා, ලියෝ ටෝල්ස්ටෝයි පැවසු පරිදි, අපගේ ම භූමිකාව වෙනස් කර ගන්නට කටයුතු කරමු.එසේ වෙනස් වූ විට ගුරුවරයකුට ස්වභාවික ව ම ක්‍රියාමූලික පර්යේෂකයකු විය හැකි ය.

Sunday 8 October 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (9) ක්‍රියාමූලික පර්යේෂණ කරන බව නො දැන අපි ක්‍රියාමූලික පර්යේෂණ කරමු.. We conduct action research without knowing that we are doing action research




අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන්  (9)  ක්‍රියාමූලික පර්යේෂණ කරන බව නො දැන අපි ක්‍රියාමූලික පර්යේෂණ කරමු.. We conduct action research without knowing that we are doing action research
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - 8හි සදහන් වූ කරුණු දෙකක් තවදුරටත් පැහැදිලි කළ හොත් යෙහෙකැයි හැගුණු හෙයින් ලියමි.
(අ) පළමු වන රූපයේ දැක්වෙන්නේ ක්‍රීඩාවක් නරඹන තිදෙනකුගේ රූපයකි.  එහි සදහන් සංකල්ප තුන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඇසුරෙන් මෙසේ විග්‍රහ කළ හැකි ය.
ශ්‍රී ලංකාවේ සමානතාව (Equality)  පවතින බවට උදාහරණ දෙකක් නම් දුප්පත් පොහොසත් භේදයකින් තොර ව සියලු පාසල් ශිෂ්‍යයන්ට නොමිලේ නිල ඇදුම් සහ පෙළපොත් ලබා දීමයි. ඒ අනුව ඉතා ම පෝසත් පවුලක ළමයකුටත් මේ අයිතිවාසිකම හිමි වේ. ඉතා ම දුප්පත් පවුලක ළමයකුට නිල ඇදුම් 3ක් දුන හොත් හොද විය හැකි මුත් ඒත් ලැබෙනුයේ එක් ඇදුමකි.  පාඩමකට සම්බන්ධ සමානතාව පිළිබද උදාහරණයක් නම්, ගුරුවරයකු සියලු සිසුන් එක ම දක්ෂතාවකින් යුතු යයි සිතා , එක ම ක්‍රමයකින් ඉගැන්වීම ය. 
ශ්‍රී ලංකා අධ්‍යාපනයේ සමතාව (Equality) පවතින බවට උදාහරණයක් නම්, විශ්වවිද්‍යාලයවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී සලකනු ලබන  Z  අගය, දුෂ්කර/අඩු පහසුකම් සහිත යයි සම්මත දිස්ත්‍රික්කවල සිසුන් සදහා අඩු කර තිබීමයි. පාඩමකට සම්බන්ධ උදාහරණයක් නම් ළමයින්ගේ විවිධ මට්ටම් සලකා, ඒඒ මට්ටමේ ළමයින්ට ගැළපෙන ලෙස, විවිධ ක්‍රමශිල්ප අනුව ඉගැන්වීමට හැකි වන ලෙස පාඩම සැලසුම් කර ක්‍රියාත්මක කිරීමයි.  දැනට ප්‍රාථමික පන්තිවල ක්‍රියාත්මක වන බහුතල ඉගැන්වීම් ක්‍රමය (Multilevel  teaching mwthod) ද මේ සදහා උදාහරණයකි.
යථාර්ථය (Reality) සදහා  උදාහරණයක් නමි සමහර පාසල්වල සමහර පන්තිවල සමහර ගුරුවරුන්  විභාග ඉලක්ක කර ගෙන, දක්ෂ යයි සම්මත සිසුන් කෙරේ පමණක් අවධාරණය යොමු කිරීමත් අදක්ෂ යයි සිතන සිසුන් නො සලකා හැරීමත් ය.

(ආ) “ගුරුවරයකුට ස්වභාවික ව ම ක්‍රියාමූලික පර්යේෂකයකු විය හැකි ය" යන ප්‍රකාශයෙන් කුමක් අදහස් වේ ද? දෙ වන රූපයේ ඇති පොතෙහි කර්තෘ රිචර්ඩ් සේගර් මෙසේ පවසයි. “ක්‍රිස්ටෝෆර් කොලම්බස්  යනු ක්‍රියාමූලික පර්යේෂකයෙකි."  එහෙත් අප කවුරුත් දන්නා පරිදි කොලම්බස් කළේ ඉන්දියාව සොයා ගැනීමට ගොස් ඇමරිකාව සොයා ගැනීමයි. මේ සදහා ඔහු ගත් ක්‍රියාමාර්ග අනුව හෙතෙම ක්‍රියාමූලික පර්යේෂකයකුගේ ලක්ෂණ සහිත භූමිකාවක් ඉටු කර ඇති බව" සේගර් ස්වකීය කෘතියේ සදහන් කරයි. කොලම්බස් කෙදිනකවත් තමා ක්‍රියාමූලික පර්යේෂණයක් කළ බව දැන ගෙන සිටියේ නැත. එසේ කළ බව කියා ද නැත.
Action research (ක්‍රියාමූලික පර්යේෂණ) යන පද දෙක හදුන්වා දුන් කුර්ත් ලෙවින් (Kurt Lewin) කරනු ලැබුයේ  ද සමාජයේ පවතින ගැටලු විසදීමෙන්, සමාජ වෙනසක් සදහා ඔහු ක්‍රියාත්මක කළ  සමාජ ක්‍රියාකාරකම් කීපයකට එම නම යෙදීම ය.  
මේ අයුරින් ම  ශ්‍රී ලංකාවේ පාසල්වල නිහඩ ව ද විශිෂ්ට ලෙස ද සේවයක් කරන ගුරුවරු ද විදුහල්පතිවරු ද (එසේ ම වෙනත් ඕනෑ ම ක්ෂේත්‍රයක වෘත්තිකයකු ද), තමන් ක්‍රියාමූලික පර්යේෂණ කරන බව නො දැන ක්‍රියාමූලික පර්යේෂණ කරති. උදාහරණයක් නම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැටවල කනිෂ්ඨ විද්‍යාලයයේ විල්බර්ට් රණසිංහ ගුරුතුමා, එකී ගම්බද පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා දීමට ගත් ක්‍රියාමාර්ගයි. එම ක්‍රියාමාර්ගය පර්යේෂණ වාර්තාවක් ලෙස ලියා නැතත් ඔහු ගත් ක්‍රියාමාර්ග විග්‍රහ කළ හොත් එහි  ක්‍රියාමූලික පර්යේෂණ ලක්ෂණ දක්නට ලැබේ. විදුහල්පතිවරයකුට සම්බන්ධ උදාහරණයක් ගත හොත් බදුල්ලේ දෙමෝදර වලස්බැද්ද විද්‍යාලයයේ ආර්. එම්.ඩී. රත්නායක විදුහල්පතිතුමාගේ භූමිකාව  නිදසුනක් සේ ගත හැකි ය (www.nie.lk  වෙබ් අඩවියේ Research යටතේ ඇති Research by Principals 2008 යන මාතෘකාවෙන් ඇති වැසෙන්නට නියමිත ව තිබූ පාසල් දියුණු කළ විදුහල්පතිවරුන් 7 දෙනා පිළිබද වාර්තා බලන්න).
මේ අනුව ශ්‍රී ලංකාවේ සියලු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ස්වකීය භූමිකාව නිර්මාණාත්මක ව ඉටු කරන විට, ඒ දෙස පර්යේෂණ දෘෂ්ටියෙන්  ද බැලීමට කටයුතු කරන්නේ නම් "මම ද ක්‍රියාමූලික පර්යේෂකයෙක් වෙමි" යන අදහස ද ඇති කර ගත හැකි වනු ඇත (වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ -මම ක්‍රියාමූලික පර්යේෂකයෙක් වෙමි- කෘතිය ද http://www.nwpedu.lk අඩවියෙහි http://nwpedu.lk/pdfup/index.php යන අංශයෙන් නොමිලේ බාගත කර ගෙන කියවන්න).