Saturday 24 March 2018

කැනඩාවේ අත්දැකීම් (49) කැනඩාවේ සිට සිංගප්පූරුව ගැන මතකය


1. 2008.11.25-29 යන දිනවල සිංගප්පූරුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති APERA සම්මන්ත්‍රණයට සහභාගි වීමට වරම් ලැබිණි. ජාතික විද්‍යා සභාවෙන් මගේ දර්ශනසූරි උපාධි නිබන්ධය සැකසීම සඳහා පර්යේෂණ ආධාරයක් ලබා දුන් අතර ම, පර්යේෂණයට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් ජාත්‍යන්තර සම්න්ත්‍රණයකට ඉදිපත් කිරීමට ආධාර දීමේ ප්‍රතිපත්තිය අනුව ඒ සඳහා වියදම දරණ ලද්දේ ද ජාතික විද්‍යා සභාව ය. මේ අවස්ථා දෙකින් ප්‍රයෝජන ගන්නට ඔබ සැමට ම ඇරියුම් කරමි. 

2.    මුහුණු පොතේ පළ කර තිබූ, සිගප්පූරුවේ අධ්‍යාපන චාරිකාවක නිරත වූ ගුරුවරුන් කණ්ඩායමක් ගැන විස්තර දුටු විට මට, සිංගප්පූරුවේ අත්දැකීම් ගැන ලියා තිබූ මගේ ප්‍රත්‍යවේක්ෂණ මුසු වූ මතක සටහන් ගැන මතකය අවදි විය. ඒවා මඳක් සංස්කරණය කර මෙසේ පළ කරමි. 

3.     ලියූ දිනය- 2008.12.03 - ජාතික අධ්‍යාපන ආයතනයේ අප දෙපාර්තමේන්තුවේ, ව්‍යාපෘති සහකාර සහ යතුරු ලේඛක සිටින කාමරයේ විදුලි බුබුළ සහ අවන් පත, ඔවුන් නො සිටින විට පවා දැල්වී-කර කැවී තිබීම ගැටලුවකි. කාමරයෙන් ඉවතට යන විට, ඒවා නිවා යාමට මේ දෙදෙන අමතක කරති. ආයතනයේ විදුලි බිල අඩු කිරීමට, දහවල් 12.30-1.00 අතරතුර විදුලිය ද කපා හැරෙන අතර, මෙවැනි පසුබිමක අරපිරිමැස්මෙන් තොර වීම කනගාටුවට කරුණකි. මේ සඳහා විසඳුමක් සිංගප්පූරුවේ දී හදුනා ගතිමි. එහි ජාතික අධ්‍යාපන ආයතනයේ වැසිකිළි වෙත යන විට, ඊට ආසන්න කොරිඩෝවේ විදුලි බුබුළු ඉබේ ම දැල්වේ. වැසිකිළි ඇතුළත ද එසේ ම ය. පුද්ගලයකු මේ තැන්වලින් ඉවත් වූ විට නැවත විදුලි බුබුළු නිවී යයි. මිනිසුන් සතු භූමිකාව ලිහිල් කිරීමට ද වැඩ ප්‍රමාණය අඩු කිරීමට ද පරිසරය සමඟ මිනිසාට ඇති බැඳීම ලිහිල් කිරීමට ද මේ ස්වයංක්‍රීය ක්‍රමය ප්‍රයෝජනවත් ය.
1994 දී ඉන්දියාවට යන විට ගුවන් ගමනේ යෙදී, වර්ෂ 12කට පසු, 2006 දී ගුවන් ගමනක යෙදීමට අවස්ථාව ලැබුණු විට මට සිතුණු කරුණක් වන්නේ, ගුවන් යානා දෙකේ වෙනසයි. ඉන්දියාවට ගිය ගුවන් යානයේ වූයේ ආසන 2-3-2 පේළි ය. එහෙත් 2006 දී ලන්ඩනය හරහා ඇමරිකා එක්සත් ජනපදයට ගිය ගුවන් යානාවේ විශාලත්වය පුදුම එළවනසුලු විය. මැද පෙළෙහි ආසන 5ක් විය. පිටතින් පෙනෙනවාට වඩා විශාලත්වයක් යානය ඇතුළට ගිය විට දැනිණි. මෙවැනි නිර්මාණාත්මක යානාවක් විනාශ කරමින් ඇමෙරිකාවේ ද්විත්ව කුළුණුවලට පහර දෙන්නට තරම් මිනිසකුගේ සිත පිරිහෙන්නේ කෙසේදැයි මට සිතුණි. මා ඇමරිකාවට යන විට 9 / 11 සිද්ධියට වර්ෂයක් පිරෙමින් තිබුණි.
ගුවන් සේවිකාවන් සතු ඔවුන්ට ම ආවේනික චර්යා රටාවලින් පෙන්නුම් කරන්නේ අමුතු ම විලාසිතාවකි. මේ අයගෙ පෞරුෂාංගයේ  සුවිශේෂිතාව විශේෂ අධ්‍යයනකට බඳුන් කළ‍ යුතු යයි සිතිණි.
භෞතික වස්තුවල ස්වයංක්‍රීයභාවය ගැන කියමින් සිටි මට ගුවන් යානා ගැන ඉබේ ම කියවිණි. වෙනත් කරුණු ද කියවෙන්නට පටන් ගෙන ඇත. 2008 දී ඕස්ට්‍රේලියාවට යන විට මා දැන ගත් දෙයක් නම්, නවීන ගුවන්යානා ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වන බවයි. ගුවන් නියමුවාගේ කාර්යය ගුවන් යානය ගුවන්ගත කිරීම හා පහළට බැස්සවීම හා හදිසි අවස්ථාවක දී අවශ්‍ය කටයුතු කිරීම ය. අනෙකුත් අවස්ථාවල දී ගුවන් යානය ඉබේ ම නියමිත ස්ථානය බලා ගමන් කරනු ලැබේ.
කැනඩාවේ මේ දිනවල රූපවාහිණී ප්‍රවෘත්තිවල කියැවෙන දෙයක් නම්  ඇමරිකාවේ ස්වයංක්‍රිය කාර් රථයක ගැටී මිය ගිය පුද්ගලයකු පිළිබඳ ප්‍රවෘත්තියකි. මේ අනුව පැහැදිලි වන්නේ ස්වයංක්‍රීය මෝටර් රථ ද අනාගතයේ මිනිසා සතු වන බව ය.
අප දෙපාර්තමේන්තුව සංවිධානය කළ පර්යේෂණ සම්මන්ත්‍රණයක්, සම්මන්ත්‍රණය පැවැත්වෙන දිනවලින් දවසක දී මා විදේශගත වීම නිසා, බලධරයකු විසින් අවලංගු කරන ලදී.  නියමුවා සිටිය යුතු යැයි කියමිනි. දෙපාර්තමේන්තුවක නායකයාගේ භූමිකාව ස්වයංක්‍රීය ගුවන් යානාවක-මෝටර්රථයක නියමුවකුගේ -රිවදුරකුගේ කාර්යයට සමාන කරන්නට හැකි නම් උචිත යයි සිතිණි.
සිංගප්පූරුවේ ඇවිදින විට ද බසයෙන් තැනින් තැන යන විට ද හැඟෙන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයට සමාන ස්ථානයක සිටින්නා සේ ය. සිංගප්පූරුවට යන්නට පෙර මා සිතා සිටියේ එය ගොඩනැගිලිවලින් පිරුණු කාර්මික රටක් වශයෙනි. නිදහස් වෙළෙඳ රාජ්‍යයක් යන අදහස සමඟ බැඳී තිබුණේ කටුනායක පවතින්නා වැනි කර්කශ පරිසරයකි. සුචරිත ගම්ලත් පරිවර්තනය කළ සිංගප්පූරුවට සම්බන්ධ නවකතාවක ද වූයේ එවන් දැක්මකි. එහෙත් සිංගප්පූරුවේ පරිසරය, ගොඩනැගිලි හා ගහකොළවලින් අපූරුවට ද  සමබර ලෙස ද සකස් වී ඇත්තේ ය. මහා මාර්ග දෙපස ඇති ගහ කොළ සහිත බිම් තීරු, ගොඩනැගිලිවල කෘත්‍රීමභාවය තුනී කරන්නේ ය. සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයේ දී මට හමු වූ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනා පැවසුවේ මේ ගස් සිටවූ ඒවා බවත් කැලෑ ගස් බවත් කිසිදු පළතුරක් ඒවායින් ගන්නට බැරි බවත් ය. සිංගප්පූරු ජාතික අධ්‍යාපන ආයතනයේ මහතකු ද ප්‍රකාශ කළේ නගරය සංවර්ධනය කරන විට ගස් වෙනත් තැන්වලින් ගෙනැවිත් පැළ කළ බව ය. ලොකු ගස් වෙනුවට කුඩා පැළ ද මල් පෝච්චිවල සිටුවා, ගොඩනැගිලි අතර ද කොරිඩෝවල ද තබා ඇත. මේවා කෙසේ නඩත්තු කරන්නේ දැයි පැහැදිලි නැත. පන්සලේ දී හමු වූ තරුණයන් පැවසූ ලෙස, සිංගප්පූරු රජය නොමිලේ කරන්නේ නගරයේ කුණු ඉවත් කිරීම පමණි. ඒ සඳහා රාජ්‍ය මට්ටමින් වැඩපිළිවෙළක් ඇති බව පැහැදිලි ය. අනෙකුත් සියලු කාර්ය සඳහා මහජනයා මුදල් ගෙවිය යුතු යයි තරුණයෝ පවසති. ඔවුන් පැවසූ පරිදි, වයස් ගත වූ පසුත් මිනිසුන් වැඩ කරන්නේ, ජීවිතය ගෙන යාමට සුභසාධන සේවා නැති හෙයිනි.  'රස්සාව නැති නැති වුණොත් අනාථයි.' මේ තරුණයකුගේ වදන් පෙළකි.
 
4.     ලියූ දිනය- 2008.12.05  සවස 12.45 - සම්මන්ත්‍රණ අවස්ථාවල තේ පානයට ලබා දුන් රසකැවිල්ලක්, ශ්‍රී ලංකාවේ පෑන් කේක්වලට සමාන ය. සමාන වූ තද කහ වර්ණය වේ. එහෙත් දිග අඟල් තුනක් පමණ ය.
                             *                          *                                  *
මුදල් - ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාවේ දී මෙන් ම සිංගප්පූරුවේ දී ද ඉතිරි සල්ලි හරි ගණනට දෙන්නේ ය. ගුවන් තොටුපලේ දී ඇමෙරිකානු ඩොලර්, සිංගප්පූරු මුදල්වලට මාරු කර ගැනීමට බැංකුවට දුන් විට එහි කාන්තාව ඒවා මට පෙනෙන්නට ශබ්ද නගා ගණන් කළේය. ඉතිරි මුදල් ද සතයට නිවැරදි ව මට ඇසෙන්නට ගණන් කර ලබා දුන්නා ය.
සිංගප්පූරුවේ දී හමු වූ කපටි වෙළෙන්දකුගේ විලාසය ද මෙහි දී උපුටා දක්වන්නට කැමැත්තෙමි. අතේ ගෙන යා හැකි දුරකථන ගෙනෙන්නැයි යහඵවන් කර තිබූ ඉල්ලීමක් ගැන සිතමින් සිටියෙමි. මේ ගැන ලංකාරාමයේ සිටි පිරිමි ළමයින්ගෙන් ඇසූ විට 'නිරංජන්' නම් දෙමළ කඩයකට යන විදිය කියා දුන්නේ ය. එහි ගිය විට ස්ථිර මිල ගණන් සලකුණු කර ඇති බව දක්නට ලැබුණේය. ඒ මිලට බඩු කේවල් කිරීමකින් තොර ව ගත හැකි විය. මේ කඩෙහි ෆෝන් බැටරියක් සෙවූ නමුත් (මේ අතුල නම් අපගේ පරිගණක සඳහා උදව් කරන අය සඳහා අවශ්‍ය වූ බැටරියකි). ඔවුන් කීවේ එය ගැනීමට sinlin නම් ස්ථානයට යා යුතු බව ය. Phone ගැනීමට පැමිණ සිටි, වෙළදාම් කරන සිංහල තරුණයකු ද එහි යන සැටි කියා දුන්නේ ය.
පසු ව දා අදාළ කඩයට ගියෙමි. එය රූපවාහිනී, පරිගණක, දූරකථන, කැමරා භාණ්ඩ විකුණන තට්ටු කිහිපයක වෙළඳ සංකීර්ණයකි. මෙහි කඩේකින් බැටරි ගැන ඇසූ විට එය ඉතා සුළු මුදලකට ගත හැකි බව පවසා ඉහළ මාලයට යන පාරක් පෙන්නුවේ ය. එහි කඩ කීපයකින් ම විමසීමි. එක කඩේක වෙළෙන්දෙකු එය ඇති බවක් පැවසීය. සමාන බැටරියක් සහිත ටෙලිපෝනයක් ද පෙන්වීය. බැටරිය ගෙනත් දිය හැකි බවත් සිංගප්පූරු ඩොලර් 300ක් විය හැකි බවත් කීය. හෙට උදේ වන විට ගෙන ඇවිත් දිය හැකි බව කීය. ඔහු කපටියකු බව පැහැදිලි ය. ඔහු මගේ මුහුණ දෙස කෙළින් බලා කතා නො කළේ ය. බැටරිය දෙස බලමින්, මා සමඟ කතා කළේ ය. කෙළින් මුහුණ බලා කතා නො කරන්නේ වංක බව නිසා යයි මා මිත්‍ර පුංචිබණ්ඩා (ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා අංශයේ සේවය කළ, විටින් විට අපූරු කතා කියූ මහතෙකි) කියා ඇත.
තවත් කඩේකින් මගේ ෆෝන් චාර්ජ් කිරීමට උපකරණයක් ගැන විමසීමි. ඇතැයි කීය. උපකරණයක් ගෙන සවි කර charging යන වචනය වැටෙන සැටි ද පෙන්වා දුන්නේ ය. කීය දැයි ඇසූ විට මා දෙස නො බලා calculatorයක 14 ගැසුවේ ය. මා ඩොලර් 15ක්  දුන් විට one dollar for a cup of coffee කියා මා දෙස බැලුවේ ය. ඉතිරි ඩොලරය නොදුන්නේ ය. මා කඩයෙන් එළියට එන විට, කඩයේ තව අයකු ශබ්ද කරමින් සිනා සෙමින් මේ වෙළෙන්දා සමග මොනවා දෝ කීවේය. ලැබූ ලාභය ගැන විය යුතු ය. ඩොලර් 14 පවා මේ උපකරණයට වැඩි බවත් ලාභයක් ලැබූ බවත් යන හැඟීම එම සිනහව සමග මුසු වූ වෙළෙන්ඳාගේ මැන්ඩරින් බසෙහි වීය. මෙවැනි සිනහවක්-කතාවක් මට බාටා සෙරෙප්පු කුට්ටමක් විකුණු කඩේකින් ද ඇසී තිබේ. එම කඩය මහනුවර කොටුගොඩැල්ල වීදියේ ඩී. එස්. සේනානායක ළමා පුස්තකාලය ඉදිරියේ තවමත් ඇත.
වෙළෙන්දාගේ කූටභාවය කොයි රටටත් පොදු ය. මා මිත්‍ර පුංචිබණ්ඩා කියා ඇති 'වෙළෙන්ඳන්ට යන්නට වෙන ම අපායක් ඇත' යන කතාව ද මට මතක් විය.
මුදල් ගැන කතා කරන්නට ගොස් වෙළෙන්දන් ගැන කතා කරන නිසා සිංගප්පූරුවෙහි වෙළෙන්දන්ට සමාන ලක්ෂණයක් ගැන පවසන්නට කැමැත්තෙමි. කඩේකට ගිය විට සේවකයකු වහා ළඟට විත් 'ගන්නේ-බලන්නේ මොනවා දැ' යි අසයි. බඩු බැලීමේ රටාවට මේ වෙළෙන්දන් හුරු නැති බව පෙනේ.
Niranjan කඩ පේළියේ සිටි වෙළෙඳ කඩයක දී මට හැඟුනේ මේ වෙළෙන්දන් 'උඹට ඕන නං ගනින් නැත්නම් පලයන්' යන හැඟීමෙන් පසුවන බවයි. ඕන තරම් පාරිභෝගිකයන් සිටින නිසා මෙවැනි ආකල්පයක් දරන්නට මේ අයට හැකි ය.
*                          *                                  *
මා සිංගප්පූරුවේ සිටින විට වැදගත් අන්තර්ජාතික සිද්ධි දෙකක් රූපවාහිනියේ ප්‍රවෘත්ති මගින් දැන ගතිමි.
§   බැංකොක් ගුවන් තොටුපොළ, උද්ඝෝෂකයන් අතට පත් වීම නිසා ගුවන් ගමන් නැවතීමෙන් මගින් කොටු වීම.
§   ඉන්දියාවේ මුම්බායි නගරයේ තාජ් හෝටලයට ඇතුළු වූ ත්‍රස්තවාදීන් නිසා 170 ගණනක් මිය යාම. මේ අය අතර විදේශික සංචාරකයෝ ද වූහ.
CNN විකාශනය මගින් විස්තරාත්මක ව මේ ගැන දැනුම්වත් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රූපවාහිනී මාධ්‍යවලින්, ප්‍රවෘත්තිවලින් කියනවාට වඩා වැඩි දෙයක්, මෙවැනි සිද්ධි ගැන දැන ගන්නට ලැබෙන්නේ නැත. සෘජු ව CNN වැනි මාධ්‍ය ප්‍රචාර වෙත යොමු වීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ශ්‍රී ලංකාවේ  සාමාන්‍ය ජනයාට නැත.  වියදම ද වැඩි ය.
මේ සිද්ධි දෙකට අදාළ ව, මේ දෙරටින් පර්යේෂණ සම්මන්ත්‍රණයට පැමිණ සිටි  දෙදෙනකුගේ මතිමතාන්තර දැන ගැනීමට ලැබිණි. තායිලන්තයේ මහාචාර්යවරයකු පැවසූයේ මේ 'දේශපාලනයක්'  'politics' බවයි.  ඕනෑම දේශපාලනඥයකුට corruption චෝදනා තිබේ. එහෙත් ඔප්පු නො වේ. දැනට දූෂණ චෝදනාවලට ලක් ව සිටින තායිලන්තයේ හිටපු අගමැතිට තිබෙන චෝදනා සේ ය. වර්තමාන තායිලන්ත දියුණුවට මුල් වූයේ ඒ අගමැති පාලනයයි.
සිංගප්පූරුවේ සිට ආපසු එන අතර ළඟ අසුනේ සිටියේ ඉන්දියාවේ හයිදරබාදයේ ආචාර්යවරයෙකි. රසායන විද්‍යාව හදාරා දැනට සිංගප්පූරුවේ රැකියාව කරයි; තරුණ ය. 'මුස්ලිම් අන්තවාදීන් ප්‍රහාරයට සම්බන්ධ දැ' යි ඇසූ විට ඔහු කීවේ 'Can not decide without evidence. They are terrorists' යනුවෙනි. ජාතිවාදී ලේබලයෙන් තොර ව ගැටලුව දෙස බලන්නට තරම් හේ විනයකින් යුතු වූයේ ය.  
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද කළ කතාවක දී කීවේ, මේ ප්‍රශ්නයේ දී ඉන්දියාව 'අප සියල්ල ඉන්දියානුවන්. මේ වැඩය කර ඇත්තේ ත්‍රස්තවාදීන්' යන සුබවාදී දෘෂ්ටියේ සිටි බව ය. ශ්‍රී ලංකාව ද එය  අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය වේ.
*                          *                                  *
සිංගප්පූරුවේ පිරිසිදුකම මිනිසුන් ගැවසෙන තැන්වල අඩු වෙයි. වෙසෙසින් බස් හෝල්ට් සහ කඩ බොහොමයක් තිබෙන තැන්වල පිහිටි අසල බිම කුඩා කොළ කැබැලි, පොලිතීන් කැබලි තිබෙනු දුටිමි. මා නැවතී සිටි හෝටලය අසල තිබූ රොබින්සල් ආපනශාලා සංකීර්ණයේ දෙපස හෝටල්/අවන්හල්වල 28 වෙනි දා රෑ දොළහ පමණ වන තුරු ඇවිද්දෙමි.  මිනිසුන් පිරී ඉතිරී ඇත. ඔවුහු කති බොති. සංගීත කණ්ඩායමක සාමාජිකයෝ  ඉතා අධික ශබ්දයක් නගමින් ගී ගයති. සංගීත භාණඩ වයති. එහි රිද්මයට සැවොම වශී වී ඇත්තාහ. ප්‍රේක්ෂක ගැහැනු ළමයකු ද වාදක ගායක කණ්ඩායමේ අයකුට එක් වී රැඟුමක් පෑවා ය. කෙට්ටු ජීන්ස් ඇඳි මේ කෙල්ල ළඟ දී විවාහ වන බව, ඇයගෙන් තොරතුරු අසා ගත් කණ්ඩායම් සාමාජිකයා කීවේය. මේ සංගීත කණ්ඩායම වයන ගයන අතර ඡායාරූප දහස් ගණනින් ගැනිණි. ප්‍රේක්ෂක ජනයා විසිනි. video ද කෙරිණි. කුඩා දරුවන් උර මත තබා ගෙන, නටන කණ්ඩායම දරුවන්ට පෙන්නුම් කරන දෙමාපියන් ද දැක ගත හැකි විය.
මේ සංගීත කණ්ඩායමේ අරමුණ කුමක් දැයි ඇසූවිට 'just for fun' යයි බටහිර ජාතිකයකු යැයි සිතිය හැකි අයෙක් කීවේ ය. ඉන්දියානු ජාතිකයකු යයි සිතිය හැකි අයකු නැටුමට එක් වී සිංගප්පූරු ඩොලර් කොළ කීපයක් සංගීත කණ්ඩායම් නායකයාගේ කමිස සාක්කුවට එබුවේ ය. හේ සතුට පළ කරමින් ඉන්දීය ජාතිකයා වැළඳ ගත්තේය.
මේ සංගීත කණ්ඩායමේ රිද්මය සහභාගිවන්නන්ගේ රිද්මයට මැනවින් ගැළපු‍ණේ ය. 'හයියෙන් අත්පුඩියක් දෙනවා දෝ? කෝ කෝ තව හයියෙන්' යයි බෙරිහන් දෙන නිවේදකයෙක්  ද නො සිටියේ ය. අත්පුඩිය ද සතුට ද, ප්‍රේක්ෂකයන්ට ලැබුණු  සංගීත රිද්මයෙන් ම ඉබේ ම මතු විණි. මේ රිද්මය ලබා  දෙන්නට ලංකාවේ ප්‍රසංග සංගීතකරුවන්ට කවදා ලැබේ දැයි නොදනිමි.
පසුදා උදෑසන 8.00ට පමණ, සංගීත සන්දර්ශනය පැවැත්වූ තැනින් ගියේ simlim චතුරස්‍රයට යාම සඳහා ය. තරුණ කොලුවකු ඉටි බෑගයකට බෝතල් මූඩි එකතු කර ගනු දුටිමි. ඒවා මේ ප්‍රදේශයේ ගස් යට වටේ වූ මල් පදුරු අස්සේ වැටී තිබිණි. ඊයේ රෑ එකතු වී තිබුණු අපද්‍රව්‍ය එකතු කිරීමේ රාජකාරිය මොහුට පැවරී ඇති බව පෙනේ.
පෙර දින රාත්‍රියේ දී තරුණ කණ්ඩායම් එකතුව මත්පැන් බොනු දුටිමි. ඒ ස්ථානවල ද අපද්‍රව්‍ය ලෙස බෝතල් හෝ කෑම ඉතිරි ව නැත්තේ මේ පිරිසිදු කිරීමේ ක්‍රියාදාමය  නිසා යැයි සිතමි.
*                          *                                  *
සිංගප්පූරුවේ දී අනුභව කළ ආහාරවලින් මා සිත් ගත් කෑමක් නම් ලැවරියාවලට සමාන කෑම ය. සම්මන්ත්‍රණ තේ වෙලාවේ දී සංග්‍රහ කළ විවිධ රසකැවිලි විවිධ ලක්ෂණ සහිත විය.
*                          *                                  *
රාත්‍රියේ දී හෝටලයේ නැවතී සිටින අතර රෑ එක දෙක වන තුරු එළිමහන දෙස බලා සිටියේ පරිසරයේ වන දේවල් නිරීක්ෂණය කිරීමට ය. (නිදා ගැනීම නම් ලංකාවේදීත් කළ හැකි ය. සිගප්පූරුව නැවත කවදා දකින්නට ලැබේවි ද?) හෝටලය ඉදිරිපිට තිබූ පාලමක් වැනි තැනක් පසුකරමින් රාත්‍රී 1.00ට ගැහැනු ළමයකු ගමන් කරනු දුටිමි. ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැතිව මේ වෙලාවේ ගැහැනු  ළමයකු තනි ව යාම පිළිබඳ ව පුදුමයක් ද ඇති විය.

කැනඩාවේ අත්දැකීම් (48) කැනඩාව, ශ්‍රී ලංකාවට සමාන වන කරුණකට ඉඟියක් ලදිමි.


කැනඩාවේ අත්දැකීම් (48) කැනඩාව, ශ්‍රී ලංකාවට සමාන වන කරුණකට ඉඟියක් ලදිමි.

TV Ontario (TVO) යන රූපවාහිණී චැනලයේ සවස 8.00ට (දැන් වෙලාව සවස 8.35) ඵලදායි පුරවැසියා (The effective citizen) යන පොත ලියූ ග්‍රහෑම් ස්ටීල් (Graham Steel) සමග සාකච්ඡාවක් විකාශය විය. සාකච්ඡාව අතරතුර තිරය යටින් දර්ශනය වූ වැකි තුනක් කැනඩාවට මෙන් ම ශ්‍රී ලංකාවට ද අදාළ නිසා උපුටා දක්වමි. 
Politics without poppycock (තේරුමක් නැති කතා /විකාර කතාවලින් තොර දේශපාලනයක්)
Saving democracy from politicians (දේශපාලනඥයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම)
Fewer emotions, Please (කරුණාකර, චිත්තවේග ස්වල්ප වසයෙන් භාවිත කරන්න)
තම වැටුප් වැඩි කර ගැනීමේ දී එක හඩින් ඒ සදහා පෙනී සිටින මන්ත්‍රිවරුන් මෙයට ද එක හඩින් විරුද්ධ වනු ඇත. හේතුව වැඩි ම බාර් සංංඛ්‍යාවක් ඔවුන්ගේ නෑදැයන්ට හෝ හෙන්චයියන්ට සතු වන නිසා ය. 

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (36) පරිකල්පනයට ඉඩ දෙමු- රාබු අලය ගැලවියෝ ළමා කතාව


අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (36) පරිකල්පනයට ඉඩ දෙමු- රාබු අලය ගැලවියෝ ළමා කතාව
රුසියානු ජන කතාවක් ඇසුරින් රචිත ළමා කතාවක, සිංහල පරිවර්තනය ('රාබු අලය ගැලවියෝ')  ප්‍රසංසා කලුකෝට්ටෙගේ සතු ය. ප්‍රසංසා, ජපන් ළමා කතා ද පරිවර්තනය කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක-කථිකාචාර්වරියක ලෙස සේවය කරන ප්‍රසංසා, ජපන් ළමා කතා ද පරිවර්තනය කර ඇත. ඇය ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැත්වූ වැඩමුඵවක දී, ළමා කතා පොතක් සහභාගි වූ ළමයින්ට කියවූ ගුරුතුමියකට දුන් උපදේශය වූයේ, පොතේ ඇති කතාව, පොතේ ලියා ඇති විධියට ම කියන ලෙසත් ඒ පිළිබඳ අමතර විස්තර කිරීමෙන් වළකින ලෙසත් ය. මෙයින් අපේක්ෂා කළේ පොත අතැති ව සිටින ළමයිනට පොතේ ලියා ඇති දැ ද චිත්‍රය ද ඇසුරින් ඇසුරින් පරිකල්පනය සඳහා ඉඩ ලබා දීමට ය. එය පොත කියා දෙන ගුරුතුමියගේ භූමිකාව නො වේ.
දැනුමට වඩා පරිකල්පනය වැදගත් බව අපි දනිමු. අපට ඒ දැනුම තිබුණත්, අප පනිත් කාමරයේ දී පරිකල්පනයට ඉඩ නො දෙන බව ද අපි දනිමු.   මේ සමග පළ වන පිටුවේ ඇති තනි වාක්‍යය (පූසා මීයාව එක්කගෙන ආවා.) සහ ආශ්‍රිත චිත්‍රය අනුව ඔබට ඇති වන පරිකල්පනය ගැන සිතන්න. ඒ අනුව ඔබ මේ පිටුවේ වාක්‍යය සහ පොත ළමයිනට කියවන්නේ නම් (කියා දෙන්නේ නමි නො වේ), ළමයින්ට ඇති විය හැකි පරිකල්පන චින්තා ගැනත් පරිකල්පනය කරන්න. 

Tuesday 20 March 2018

අධ්‍යාන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (35) පාසල් සංවර්ධනය සහසබැදි ක්‍රියාමූලික පර්යේෂණ ව්‍යවහාර: ශ්‍රී ලාංකේය අත්දැකීමක්



2003 සහ 2004 දී, යුනෙස්කොවේ ශ්‍රී ලංකා ශාඛාව, ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ, ළමයින්ට ඉගෙනුම ලැබීමට, සාමකාමී සහ ගැටුමින් තොර පරිසර පවතින ශ්‍රී ලාංකික පාසල්වල යහපත් ව්‍යවහාර, ලේඛනගත කරන ලෙසයි. ඒ සඳහා, ඒ වන විට යහපත් ව්‍යවහාර පැවති පාසල් ලෙස දන්කොටුව බාලිකා විද්‍යාලය, ත්‍රිකුණාමල ශාන්ත මේරි බාලිකා විද්‍යාලය, අනුරාධපුරයේ පෙරිමියන්කුලම අශෝක විද්‍යාලය, කොළඹ නගරශාලාව අසල පිහිටි ප්‍රෙස්බිටිරියන් බාලිකා විද්‍යාලය සහ මහනුවර ඊරියගම ශ්‍රී පුෂ්පදාන විද්‍යාලය  නම් කර, ඒ පාසල්වල ව්‍යවහාර අධ්‍යයනයට උචිත යැයි ද දන්වන ලදී. ඒ අනුව දත්ත රැස් කර වාර්තාව (Educating the child in a peaceful and conflict Free School: Good practices in Sri Lankan schools) සැකසීම සඳහා ඩී.ඒ.එස්.ඩී. රත්නායක, එස්.ඒ සුසිලාවතී, එල්.ඩී.ටී සිල්වා, කේ.ජී. රණසිංහ, එම්.ඒ.පී මුණසිංහ, එම්.ඒ.ඒ.එස්. ඩයස්, ඩී.එම්.ඒ. උයන්වත්ත, ඩබ්.එම් සෝමරත්න සහ ජේ.එස්.එන්.පී. ධර්මවර්ධන මට සහාය වූහ.
පර්යේෂණයට අදාළ පාසලක් වන මහනුවර දෙනුවර ඊරියගම ශ්‍රී  පුෂ්පදාන ආදර්ශ මහා විදුහල ආශ්‍රයෙන් මා සමඟ ඩබ්.එම් සෝමරත්න ලියූ ලිපියක්  මීපේ කළමනාකරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පළ කළ 'අධ්‍යාපන කළමනා' සඟරාවේ 2014 කලාපයක පළ විය (දරුවන්ටත් දෙමාපියන්ටත් පාසල බරක් නොවිය යුතු ය: ඩබ්. පී. පියතිලක මහතාගේ පාසල් පාදක කළමනාකරණ දර්ශනය සහ ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳ හේතු තුලනාත්මක ප්‍රත්‍යෙක අධ්‍යයනයක්).  ඊරියගම ශ්‍රී  පුෂ්පදාන ආදර්ශ මහා විදුහලේ යහපත් ව්‍යවහාර පිළිබඳ ව එකල ලියූ  තවත් ලිපියක් මේ සමඟ සතුටින් පළ කරමි. ඒ සමඟ ම 2004  දී පාසලේ දී ලබා ගත් ඡායාරූප කිහිපයක් ද පළ කරමි.
සොහොනක් අසල තිබූ, විනය පිරිහුණු පාසලට, තම දරුවන් එවන්නට අකැමැති වූ දෙමාපියන්ගේ සිතිවිලි වෙනස් කරන්නටත්  විදුහලේ ගලකින් වැසී තිබූ හිස් බිම, මලින් බර වූ බිමක් කරන්නටත් සාමකාමි ව හැසිරෙන ළමයින් සිටින පාසලක් කරන්නටත් අවශ්‍ය පෙෘරුෂය සහිත වූ ඩබ්.පී. පියතිලක විදුහල්පතිතුමා, බාහිර ව බැලූ විට සරල ඇදුමකින් සැරසුණු පුද්ගලයෙක් විය. පාසලේ භෙෘතික පරිසරය මෙසේ වෙනස් කරන්නට කෘෂිකර්මය විෂයය පිළිබඳ එතුමාගේ ප්‍රවීණතාව ද ඉවහල් වන්නට ඇත.  
විදුහල පිළිබඳ පර්යේෂණය කියවූ මහනුවර ගුරුතුමියක, ඇයගේ අපූරු අත්දැකීමක් මට මෙසේ පළ කළා ය. ඇය පැවසුවේ මහනුවර පැවති වැඩමුඵවක දී වූ සිද්ධියකි.  "වැඩමුඵවට පළමු ව දේශනයක් කළේ,  සුදු ටයිකෝට් හැඳි, මහනුවර ජාතික පාසලක විදුහල්පතිවරයෙකි. පියතිලක මහතා කඵ කලිසමක් සුදු කමිසයක් පමණක් හැඳ වේදිකාවේ දී ස්වකීය අත්දැකීම් ප්‍රකාශ කරන විට, ජාතික පාසල් විදුහල්පති, වේදිකාවේ සිටීමට ලජ්ජාවෙන් මෙන්, වේදිකාවෙන් බැස විත්, ශාලාව පසුපසට වී ළග සිටි අයකු හා පියතිලක මහතාට උපහාසයෙන්  විහිඵ තහඵ කරමින් සිටියේ ය. සුදු ඇදුමින් සිරුර වසා ගත් නමුත් දේශපාලන ඇම්බැට්ටයකු වූ ද  ජනප්‍රිය යයි සම්මත පාසලක හිඳ කාලය ගත කළා මිස නව නිර්මාණයක් නො කළා වූ ද නිසා සුදු ඇඳුමේ කඵ, සමාජ සංජානන අනුව, තවරා ගත් ඊනියා ජාතික පාසල් විදුහල්පතිගේ භූමිකාවට වඩා, සරල ගති පැවතුම් ඇති පියතිලක මහතාගේ විදුහල්පති භූමිකාව අතිවිශිෂ්ට ය."