Sunday 26 November 2017

කැනඩාවේ අත්දැකීම් (13) ගෙදර නිදහස - ගෙදර වැඩ වේ.



කැනඩාවේ අත්දැකීම් (13) ගෙදර නිදහස - ගෙදර වැඩ වේ.
1 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු හයක දැරිවියක පාසල අවසන් ව නිවසට පැමිණ දින කිහිපයක දී නිර්මාණය කළ දෑවල රූප බලන්න (1-13 වන රූප). ශ්‍රී ලාංකික අත්දැකීම අනුව මේ පාසලින් පවරනු ලබන ගෙදර වැඩවල කොටසක් යයි මුල දී සිතුවෙමි.   එහෙත් ඒවා ආශාවෙන් ද අවධානයෙන් ද කරන අයුරු නිරීක්ෂණයේ දී හා කරුණු විමසීමේ දී පැහැදිලි වූයේ ඒවා සදහා උනන්දුව ජනනය කර දුන්නේ පෙරපාසල් වයසේ ළමයින් සදහා ප්‍රචාරය වන රූපවාහිණී වැඩසටහන් බවයි. Mister Maker යනු ඒවායින් එක් රූපවාහිණී වැඩසටහනකි.  
Mister Maker යනු රුසියානු සම්භවය සහිත නමුත් ඔස්ට්‍රේලියානු පුරවැසියකු වූ මයිකල් කැරින්ටන් (Michael Carrington) ඇරඹූ වැඩසටහනකි.මේ වැඩසටහන විවිධ රටවල ප්‍රචාරය වේ. ඔබ සැමට ම අන්තර්ජාලයෙන් ද නැරඹිය හැකි ය. 14-21 වන රූපවල දැක්වෙන්නේ එකී වැඩසටහන ඡායාරූප කර ලබා ගත් රූප ය.
Mister Maker යටතේ වන සෑම වැඩසටහනක් ම පියවර හතකින් සමන්විත ය. නිර්මාණාත්මක අදහසක් සහිත ක්‍රියා පිළිවෙතක් අරඹමු (Has a creative idea and demonstrates the procedure), හැඩතල (The shapes), මිනිත්තුවක දී නිම කළ යුතු කාර්යයක් (Minute make it time), වර්ණ භාවිතය (Colour Kids), රාමුගත කිරීම (Frame-it), අමතර නිර්මාණාත්මක අදහසක් (One more creative idea is demonstrated) සහ සමු ගැනීමට වෙලාව (Time to go) යන තේමා හත පියවර හතේ දී අවධාරණය වේ.
            අකුරු ලිවීම පසුපස හබා යන ශ්‍රී ලාංකිකයනට ස්වකීය ළමා පරපුර වෙනුවෙන් සිතන්නට පැති හතක් මේ කරුණු හතෙහි තිබේ. එහෙත් වැඩසටහනෙහි ඇති බටහිර ස්වරූපය ශ්‍රී ලාංකික ළමා වයසට, මනසට හා සංස්කෘතියට අදාළ පරිදි විකරණය කර ගැනීමේ (Modify) අවශ්‍යතාව පවති.
මේ නිර්මාණ කිරීමට දැරිවියට පැය කීපයක් ගත වේ. එහෙත් එය පාසලේ වැඩවලට බාධාවක් ද? නැත. පාසලේ වැඩ නිම වී ගෙදර එන දරුවාට නැවත පාසල මතක් වන්නේ පසු ව දා උදේ නැගිටින විට ය. ගෙදර වැඩ බර, ළමයාට නැත. අම්මා තාත්තාට නම් ගෙදර අතුපත ගෑමට වැඩ, දැරිවිය විසින් ස්වකීය නිර්මාණවල අතුරුඵල ලෙස සපයා දෙන්නේ ය (22 වන රූපය). එවැනි වැඩ අම්මලාට අප්පච්චිලාට පැවරෙන නිසා, එවන් වැඩ නො නිපැයෙන ලිවීම්-ගණන් වැඩ කප්පරක් පාසලින් දුන්නා නම් හොදයි කියා නම් ලාකිකයන් සිතනු ඇත.
සැප්තැම්බර් මස පාසල ඇරඹී (කැනඩාවේ පාසල් වර්ෂය ඇරඹෙන්නේ සැප්තැම්බර් ය) ගත වූ  මාස තුන ඇතුළත පාසලින් දුන් පැවරුමක් දෙකක් ගැන මීළග ලිපියේ ලියමි.
ඉහත කරුණු හත ගැන ප්‍රත්‍යවේක්ෂණය කරන විට, අපේ සමස්ත සමාජ රාමුවට අදාළ කරුණු හතක් ගැන ද ඉගි සැපයෙයි. ඒවාත් කිව හොත් හොද යයි සිතමි.
·         අප නිර්මාණාත්මක බව සහ  විධිමත් ක්‍රියාපිළිවෙත් අගය කරනුයේ ද?
·         අප, අප අයත් වන හැඩතලයට අමතර ව පවතින හැඩතල දකින්නට සමත් ව ඇති ද?
·         අප වෙලාවට, අවශ්‍ය ම වැඩ කරන පිරිසක් ද?  එදිනෙදා සිද්ධි රස කරමින් සිටින මුත් අනාගත සැලැස්මක් රහිත ව කටයුතු කරන්නෝ ද?
·         අපි කොල-නිල්-රතු පාට තුනින් එකක සිරකරුවෝ නො වෙමු ද?
·         ඒ නිසා ම දෝ අප සිතන පතන රාමුවේ සීමා පවතිනවා නො වේ ද?
·         නැවුම් වූ අමතර නිර්මාණාත්මක අදහසක් උපදවා ගත හොත් මටත් රටටත් අහිතක් වේවි ද?
·         ඒ දිශාව සොයා යා යුතු කාලය පැමිණ ඇති ද? 
























No comments:

Post a Comment