Friday, 20 July 2018

කැනඩාවේ අත්දැකීම් (78) උතුරු අහසෙහි හිරු සමග අඩ සඳ දිස් වන අයුරු


2018 ජූලි 19 වන දා සවස 6.00ට පිට්ටනියක සිටින විට අඩ සඳ පායා ඇති සැටි දිටිමි. උත්තර ධ්‍රැවයේ බටහිරට බැස යමින් සිටි හිරු ද මේ වන විටත් එළිය විහිදුවාලූවේ ය. හිරු බැස යන්නේ 8.54ට නිසා, එළිමහනෙහි සඳත් දැකීමට ලැබීම අමුතු අත්දැකීමකි.    
(කැනඩාවේ අත්දැකීම් (66) මිසිසාගාවේ පොසොන් සඳුට එදිරි ව පොසොන් හිරු  
යටතේ ලියූ  "2018 ජූනි මස 25 වන දා සවස 8.53, ක්ෂිතිජයෙන් ඉර බැස යන්නට විනාඩි 10ක් තිබිය දී, නැගෙනහිර අහසේ පිරිපුන් සඳු ද දිස් විය. අපූරු ද්වි ධ්‍රැවාන්ත දර්ශනයකි." යන අදහස ද මතක් කරමි.)

Monday, 16 July 2018

කැනඩාවේ අත්දැකීම් (77) කැනඩා නාගරික ජන ජීවිතයේ අහිතකර පැත්තක්


හිස් සිගරට් පෙට්ටියක් සහ සිගරට් කොටයක්, විධිමත් ව කසල බඳුනකට නො දැමූ ආකාරය දක්වන වීඩියෝ දර්ශනයක් බලමින්,  පිරිසිදු කැනඩා නාගරික පරිසරයේ සුඵ ප්‍රමාණයේ අහිතකර පැත්තක්  ද නිරීක්ෂණය කරමු.  

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (61) ගිනිකන්ද පාමුල සිට (At the Foot of the Volcano): දකුණු අප්‍රිකාවේ විශ්වවිද්‍යාලයක උගැන්වීම පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණ


1.    

  අන්තර්ජාලයේ ඇති කරුණු අනුව, සුසාන්  ලෙවිනේ (Susan Levine) විසින් සංස්කරණය කරන ලද කෘතියේ ලිපි‍ 11කි. 2018 දී නිකුත් වූ කෘතියකි. කෘතියේ පිට කවරය නිර්මානාත්මක ය. එහි පොතේ මාතෘකාව සහ අනුමාතෘකාව සදහන් ව ඇති අයුරු ද වර්ණ සංකලනය ද අපූරු ය.
2.      දකුණු අප්‍රිකාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ ව දැඩි ලෙස මහජන අවධානය යොමු වන අවධියක, "ගිනිකන්ද පාමුල සිට" යන කෘතිය නාභිගත වනුයේ, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සාමාන්‍ය පුරවැසියන් ලෙස ජීවිතය ගත  කළ ආකාරය විශ්ලේෂණය කිරීමටයි. ලිපි සැපයූ කථිකාචාර්යවරු, ප්‍රධාන වසයෙන්, කේප්ටවුන් විශ්වවිද්‍යාලයයේ සේවය කරති.  දකුණු අප්‍රිකාවේ අනාගතයේ බිහි වීමට නියමිත විද්‍යාඥයන්, සෙෘඛ්‍ය සේවකයන්, සමාජ විද්‍යාඥයන්, කවියන්, රචකයන්, සංගීතඥයන්, නගර නිර්මාණකරුවන්, මානව විද්‍යාඥයන් සහ රසායන විද්‍යාඥයන් උත්තේජනය කිරීමේ ලා පවතින උනන්දුව ප්‍රකාශ කරන ලිපි පෙළක්  ලෙස කථිකාචාර්යවරුන්ගේ අදහස් ගොනු ව ඇත.
3.      සමාජයක අවිනිශ්චිත කාලවල, පාඨමාලා අන්තර්ගතය සදහා සර්ව රෝග නාශක ඔෘෂධයක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology), බොහෝ විට ඉදිරිපත් කරනු ලැබේ. කෘතිය යෝජනා කරනුයේ, පහත සදහන් කරුණුවලට පූර්ණ විකල්පයක් ලෙස, තාක්ෂණ නවීකරණයට (technological innovation) පැවතිය නො හැකි බවයි.     
·         ශිෂ්‍යයන් සමඟ සම්බන්ධතා ගොඩ නැඟීමේ දී
·         ඒ ඒ විෂය ක්ෂේත්‍ර පිළිබඳ ව ළැදිකම මඳින් මද වැඩිකිරීමේ ලා පවතින මාර්ග සෙවීමේ දී
·         උසස් අධ්‍යාපන ආයතනවල දැනට පොදුවේ දක්නට ඇති දේශපාලන පරිසයේ ව්‍යූහාත්මක අසමානතාව තහවුරු කිරීමට පදනම් වන මූලාශ්‍රය අවබෝධ කර ගැනීමේ දී
4.      පරිච්ඡේද කිහිපයක සදහන් වැදගත් අදහස් කිහිපයක් මෙසේ ය.
·         මම පන්තිකාමරය දකිනුයේ අතපය දඟලන සහ ක්‍රියාකාරිත්වය පණ ගන්වන පරිශ්‍රයක් ලෙස ය.   'I view the classroom as a site of struggle and for activism. – Zimitri Erasmus'
·         අභියෝග කරන්න... එහෙත්... එකිනෙකා භේද වීම යන හැඟීම කිසිවකුටත් ඇති නො වන පරිදි ආරක්ෂාව සහ විශ්වාසය පිළිබඳ සංවේදනා නිර්මාණය කරන්න. '...challenge...but...create a sense of safety and trust in which nobody feels estranged.' – Hedley Twidle'
·          ඉගෙනුම යනු අදාළ සහ නියැළි සිටීමේ ක්‍රියාවලියක් විය යුතු ය.    '...learning must be a relevant and engaged process.' – Shose Kessi'

5.      කෘතියේ පරිච්ඡේද, ලේඛකයන්ගේ විශේෂඥතා ක්ෂේත්‍ර සමඟ මෙසේ ය.
·         Introduction: Passion for the art of teaching Susan Levine (Anthropology)
·         1 Critical pedagogy: An art hoping to ‘make new people’?
Zimitri Erasmus (Sociology)
·         2 Over the freeway
Peter Anderson (English Language and Literature)
·         3 Thirteen ways: Teaching writing, creative and otherwise
Hedley Twidle (English Language and Literature)
·         4 The road to distinguished teaching at a world-class African university
Anwar Suleman Mall (Medical Biochemistry)
·         5 Crossing the city: Pedagogies beyond the classroom
Sophie Oldfield (Geography and Urban Studies)
·         6 Kindling fires: Reflections on the journey of a chemistry teacher
Bette Davidowitz (Chemistry)
·         7 Reflections on teaching critical anthropology in physiotherapy
Helen Macdonald (Anthropology)
·         8 Engaged scholarship: Bridging the gap between academia, activism and lived experience
Shose Kessi (Psychology)
·         9 Teaching voice: Building artistry through teacher–student collaboration
Brad Liebl (Music)
·         10 Lessons from the heart
Steve Reid (Primary Health Care)
·         11 ‘Looking beyond the microscope’: Rethinking pedagogy for health science students learning medical anthropology Susan Levine and Helen Macdonald (Anthropology)

Sunday, 15 July 2018

කැනඩාවේ අත්දැකීම් (76) ඉවත දමන pizza පෙට්ටිය ඉගෙනුමට භාවිත කළ ආකාරය

1 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, පාසලට යාමට ඒමට බස් රථ පහසුකම් සලසා තිබේ. විශේෂ අවශ්‍යතා සහිත ළමයින්ට වෙන ම කුඩා බස් සපයා තිබේ.
දිනක් පාසල අවසන් ව නිවසට පැමිණෙන ශිෂ්‍ය-ශිෂ්‍යාවන් සමහර දෙනකු අත පීසා පෙට්ටි දක්නට ලැබුණි. පාසලේ සමහර දිනවල ළමයින්ට කෑම වශයෙන් පීසා සපයනු ලැබේ. ඒ සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලබා දී මුදල් ද ගෙවිය යුතු ය. ළමයින් මේ ගෙන එන්නේ, පාසලේ දී කිසියම් හේතුවක් නිසා අනුභව කරන්නට බැරි වුණ, එවැනි pizza සහිත පෙට්ටිය යැයි සිතුවෙමි. එහෙත් නිවසට පැමිණි විට දැන ගන්නට ලැබුණේ pizza කෑමෙන් පසු ඉවත දමන පෙට්ටි, ඉගෙනුම් කාර්යයකට භාවිත කර ඇති බව ය.
පෙට්ටියේ කොටස් දෙකෙහි සුදු සහ නිල් කොල අලවා තිබිණි. ඒ මත එක්කෝ රූප ඇඳ පාට කර තිබුණි. සමහර තැන්වල වචන ලියා තිබුණි. තවත් තැන්වල ක්ලේවලින් රූප සකස් කර තිබුණි. සුදු කොළයේ නිර්මාණ කර අකුරු ලියූ පසු, පෙට්ටියේ ඇලවූවා වන්නටත් පුඵවන. එය කුඩා සුදු කොළ භාවිත කර, ඇලවූ ආකාරයේ ද කලාත්මක බවක් දක්නට ලැබේ.
බැලූ බැල්මට, බාහිර අයකුට, මේ නිර්මාණයේ සමස්තය කුමක් දැයි පැහැදිලි නො වූව ද, පළමුවන ශ්‍රේණියේ ශිෂ්‍යයා සමඟ කතා කරන විට පැහැදිලි වූයේ, අහස  සහ ගොඩබිම පරිසර ලක්ෂණ ද ඒ දෙක අතර සම්බන්ධය ද  pizza පෙට්ටියේ උඩ සහ යට කොටස්වල නිර්මාණවලින් නිරූපණය වන බව ය. ගොඩබිම පරිසර ලක්ෂණ යටතේ යට ම ඇති කොළ පාට මගින් නිරූපණය කර ඇත්තේ, ලොකු ගසක් අසල, ඇටයක් පැළ කළ පසු එය ටිකෙන් ටික වැඩි ගසක් නිර්මාණය වන ආකාරය සහ පසු ව ගසෙහි හට ගන්නා මලකින් වැටෙන ඇටයක් නැවත පැළ වෙන්නට පටන් ගන්නා ආකාරයත් ය. මේ ක්‍රියාවලියට පරිසරයේ අංගයක් වන අහසේ වැස්ස, හිරු, වළාකුඵ, සුළඟ (මේවා නිරූපණය කර ඇති අයුරු බලන්න) නිසා ඇති වන කාලගුණික වෙනස්කම් බලපාන බව ද ශිෂ්‍යයා ඉගෙන ගෙන තිබේ.
මේ ක්‍රියාකාරකමට කොතරම් කාලයක් හෝ දින ගණනක් ගත්තේ ද යනු අපැහැදිලි ය. එහෙත් මෙමගින්, පළමුවන ශ්‍රේණියේ ශිෂ්‍යයාට, විවිධ විෂය ක්ෂේත්‍රවල නිපුණතා සමෝධානික ව ලබා දීමට සමත් වී තිබෙන බව නම් පැහැදිලි ය. විද්‍යා සංකල්ප, කලා සංකල්ප, ගණිත සංකල්ප, භාෂා සංකල්ප මෙන් ම පර්යේෂණ සංකල්ප ද ලබා දී ඇත. එහෙත් කිසි ම විෂයයක්, විෂයයේ නමින් උගන්වා නැත. 1 වන ශ්‍රේණියේ මෙන් ම ප්‍රාථමික අධ්‍යාපනයේ ද පරමාර්ථය-පදනම විය යුත්තේ මේ සමෝධානික ලක්ෂණයයි.
 පරිසරයේ කාලය අනුව ක්‍රමානුකූල ව ඇති වන වෙනස්කම් නිරීක්ෂණයෙන්, ඒවා නිරූපණයට කුසලතා ලබා දී ඇති නිසා නිරීක්ෂණ පර්යේෂණ කුසලතා ලැබී, අන්වායාම පර්යේෂණ කුසලතා ද ශිෂ්‍යයන්ට ලැබී ඇත. Pizza පෙට්ටිය නැමැති සීමිත පරිසරයක, මේ නිර්මාණය කිරීමට පුරුදු වී ඇති නිසා, සීමිත සම්පත්, කාලය සහ අවකාශය, ඵලදායි ලෙස භාවිතයට ගැනීමට පුරුද්දක් ද ලබා දී ඇත. pizza අනුභව කළ පසු ඒවා ඇතුළත් පෙට්ටිය අපද්‍රව්‍යයක් ලෙස විසි කරනු වෙනුවට, මිනිසාට ප්‍රයෝජන ගත හැකි පරිදි භාවිත කළ හැකි ආකාරය ද උගන්වා ඇත. ඒ කසල කළමනාකරණය පිළිබඳ මුල් පාඩමක් වැනි ය.
නිර්මාණයේ තැනින් තැන සිටුවන ලද ආකාරයෙන් නිර්මාණය කරන ලද ගස් දෙකක් ද දක්නට ලැබේ. එමගින් දිග සහ පළල යන මාන දෙකට අමතර ව, උස යන මානය ද පවතින බවට හැඟීමක් ලබා දී ඇත. එනම් ගණිතයේ ත්‍රිමාණ සංකල්පය පිළිබඳ ඉඟි ද ලබා දී ඇත.
මේ නිර්මාණයේ ලියා ඇති ඉංග්‍රිසි පද සමහරක, ලිවීමේ දෝෂ දක්නට ලැබේ. එහෙත් දෝෂ උඵප්පනු වෙනුවට ශිෂ්‍ය නිර්මාණයේ සමස්තය ඇගයීම, 1 වන ශ්‍රේණියේ ප්‍රතිපත්තිය බව දක්නට ලැබේ.  'ෙදාස් හෝ වැරදි හෝ අඩුපාඩු කාලය විසින් සකස් කරනු ඇත' යන ධනාත්මක චින්තාව ඇති බවක් ද දක්නට ලැබේ.
මේ ක්‍රියාකාරකමට,  මා "අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (49)" යටතේ ලියූ, "පියවරුන්ගේ දිනය ඉලක්ක කර ගත් අන්වායාම පර්යේෂණ කුසලතා" යටතේ සඳහන් කළ පැළය සිටුවීමේ ක්‍රියාකාරකම ද සම්බන්ධ බව පැහැදිලි ය. එහි සඳහන් කළ කරුණු ද පළ කළ ඡායාරූපයක් ද නැවත මෙහි දක්වනුයේ ක්‍රියාකාරකම් දෙකෙහි සම්බන්ධය හඳුනා ගැනීම සදහා ය. ජුනි 14 වන දා ගෙන ආ පැළය, ජූලි 14 වන දා වන විට, බෝංචි කරලක් ද සහිත ව වර්ධනය වූ ආකාරය දක්වන ඡායාරූප දෙකක් ද දක්වනුයේ, ශිෂ්‍යයා පැළය වැඩෙන අයුරු නිරීක්ෂණයට යොමු කර, නිවසේ ඉගෙනුම් පරිසරය සකස් කිරීමට පාසල දක්වන දායකත්වය නිරූපණය කිරීම සඳහා ය. එය "ගෙදර වැඩ" නැමැති කෘත්‍රීම ක්‍රියාකාරකමට වඩා, ශිෂ්‍ය මිතුරු ය. ජූලි සහ අගෝස්තු මාස දෙක දිගු නිවාඩුවක් ලෙස ලබා දී නමුදු 1 වන ශ්‍රේණියේ සිසුන්ට කිසිදු වෙනත් ගෙදර වැඩක් පවරා නැත.  4 වන ශ්‍රේණියේ සිසුන්ට ද  ගෙදර වැඩ ලබා දී නැති බව පකිස්තානයෙන් ආ අසල්වැසියකු පැවසී ය. සිසුන්ට පාසලේ නිවාඩු දෙන්නේ, නිවාඩු පාඩුවේ සිටීමට මිස, ශ්‍රී ලංකාවේ මෙන් ගෙදර වැඩ කිරීමට හෝ අමතර පන්ති යාමට නො වන බව මින් පැහැදිලි ය.

(අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (49) පියවරුන්ගේ දිනය ඉලක්ක කර ගත් අන්වායාම පර්යේෂණ කුසලතා
2018 ජූනි 14 වන බ්‍රහස්පති දා පාසල් ගිය 1 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, පාසල අවසන් ව නිවසට එන විට, පෝච්චියක පැළ වූ පැළෑටිය බැගින් ගෙන ආහ. ජූනි 17 වන ඉරිදා පියවරුන්ගේ දිනය බවත් එදින පියවරුන්ට තෑගි දීමට එය ගෙනා බවත් දැන ගතිමි. තවදුරටත් කරුණු සොයන විට පැහැදිලි වූයේ මීට මසකට පමණ පෙර,  පාසලේ  දී ඇට පැළ කළ බවත්  එය ක්‍රමානුකූල ව වැඩෙන අයුරු නිරීක්ෂණයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ව විටින් විට යොමු කර ඇති බවත් ය. මෙසේ වැඩුණු පැළ, බ්‍රහස්පති දා වෙන වෙන ම භාජනවල සිටුවා ගෙවල් වෙත එවනු ලදුයේ, ඉරිදාට ඒවා පියාට පරිත්‍යාග කරනු පිණිස ය.
මේ ක්‍රියාකාරකම, සාම්ප්‍රදායික ව සමරනු ලබන විවිධ "දින", ශිෂ්‍ය නිපුණතා ඔප් නංවන අරමුණින් සංවිධානය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බව පැහැදිලි ය. මෙය ඍතු භේදය සහිත කැනඩා පාසලකට උචිත වනුයේ, එමගින් පැල වැඩෙන්නට හොඳ පරිසරයක් ඇති ග්‍රීෂ්ම ඍතුවේ කළ හැකි ක්‍රියාකාරකමක් නිසා ය. එමගින් පරිසරයේ ගහකොල ගැන ශිෂ්‍ය අවධානය ද යොමු කෙරෙයි.  අන්වායාම ව (longitudinally) (එනම් එක ම කරුණක් ගැන දිගු කලක් දත්ත රැස් කිරීම) පැළයක වැඩීම නිරීක්ෂණයට ද ශිෂ්‍යයන් ව යොමු කර, ඔවුන්ගේ අනාගත අන්වායාම පර්යේෂණ (longitudinal research) කුසලතා ඔප් නැවීමට ද පදනමක් දමා ඇත්තේ ය.
ලිවීමේ කුසලතා ඔප නන්වන්නට ද ක්‍රියාකාරකම භාවිත කර තිබේ.)  










Friday, 13 July 2018

කැනඩාවේ අත්දැකීම් (75) කනිෂ්ඨ බාලාංශ පන්තියට පිවිසීමට පෙරහුරුව

1.       කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ නව පාසල් වාරය ඇරඹෙනුයේ සැප්තැම්බර්  මස ය. ශ්‍රී ලංකාවේ මෙන් ජනවාරි මස නො වේ. ඒ අනුව 2018 සැප්තැම්බර් මස කනිෂ්ඨ බාලාංශ පන්තියට  (Junior Kindergarten) ඇතුළත් වීමට සිටින දරුවන්, නිවසට ආසන්න පාසලක ලියාපදිංචි කිරීම යෙදී තිබුණේ පෙබරවාරි මසට ය.    බව සඳහන් පත්‍රිකා  පුස්තකාල වැනි ස්ථානවල තබා තිබිණි (1-2  වන රූප) . 
2.       කනිෂ්ඨ බාලාංශ පන්තියට  ලියාපදිංචි වූ දින දරුවන් වෙත සහ දෙමාපියන් වෙත ලබා දුන් ලිපිගොනුවේ, පිටකවර නිර්මාණයෙහි (3 වන රූපය)  නිරීක්ෂණය කළ හැකි විශේෂ ලක්ෂණ, මගේ සිතිවිලි අනුව මෙසේ ය.
·           බාලාංශයේ දරුවන්ගේ නිර්මාණ රටා අවධාරණය වන ලෙස පිටකවරය සකස් වීම
·           ඉගෙනීමට පන්තියට එන ළමයා සතු විය යුතු නිදහස් ශෛලිය නිරූපණය කරන ළමයකුගේ චිත්‍රයක් ද පිටකවරයේ තිබීම
·           ළමයින් දෙදෙනකුගේ මිත්‍රත්වය හඟවන චිත්‍රයක්, පිටකවරයේ දෙපොළක වර්ණ දෙකකින් දැක්වීමෙන්, සමගිය මෙන් ම විවිධත්වය ද ඉඟි ලෙස පෙන්වා, ඒ ලක්ෂණ බාලාංශයට පිවිසෙන දරුවන්ටත් හුරු කිරීමට පණිවිඩයක් දීම
·           ළමයාට ආසන්න පරිසරයේ වැවෙන පැළ ද වටපිටාවේ ජීවත් වන බල්ලා-පූසා ද විශේෂයෙන් නිවසින් බාහිර තැනකට ගොස් නැරඹිය හැකි ඉබ්බා ද නිරූපණය කරන චිත්‍ර ඇතුළත් කර, නිරීක්ෂණ ලෝකය ටිකින් ටික පළල් කිරීමට පදනමක් දමා තිබීම
·           පොළොවේ ධාවනය වන කාරයක ද අහසේ පියාඹන කුරුල්ලකුගේ ද ගුවනේ ගමන් කරන ගුවන් යානයක ද පෘථිවියේ දළ රූප දෙකක් ද මගින් අප සිටින ලෝකය  ගැන දළ අදහසක් සිතට දෙන්නට මග පාදා තිබීම
·           අකුරු භාවිතයට පදනමක් ලෙස a b c යන අකුරු තුන ද ළමයාගේ හිස පළදනාවේ නම ද අදාළ කර ගැනීම
·           චිත්‍රවල මෙන් ම, ලිපිගොනුවේ කවර මාතෘකාවේ අකුරුවල ද විවිධ වර්ණ තිබීම මගින් කලාත්මක දසුන් මෙන් ම වර්ණ සංකල්න අදහස් ද ලබා දීම
·           බාලාංශයේ දී "සිනහවකින් අරඹන්න: ක්‍රීඩා කරන්න, මවිත වන්න සහ ඉගෙන ගන්න" යන මාතෘකාවේ කරුණු තුනින්, බාලාංශයේ අරමුණු කැටි කර තිබීම   
3.       ලිපිගොනුවේ ඇතුළත පිටු දෙක වෙන් ව ඇත්තේ "පිළිගැනීම-සුභ පැතීම" සඳහා විවිධ භාෂාවල භාවිත වන පද දැක්වීමටයි (4 වන රූපය).  "ආයුබෝවන්" යන සිංහල පදය ස්ථාන 5ක දක්වා ඇත. ඉගැන්වීමේ මාධ්‍ය ඉංග්‍රිසි හෝ ප්‍රංශ වුණත්, විවිධ රටවලින් පැමිණි, විවිධ පසුබිම් ඇති  ළමයින්ගේ මව්භාෂා භාවිතය උනන්දු කිරීම අධ්‍යාපන ක්‍රමයේ ද කැනඩා ප්‍රතිපත්තියේ ද විශේෂ ලක්ෂණයකි.  
4.       ලිපි ගොනුවේ ඇතුළත පිටු 22ක් සහිත පොතකි. එහි පිටකවරය ද ලිපි ගොනුවේ පිටකවරයට සමාන ය. එහෙත් ළමයාගේ රූපය වෙනස් ය (5 වන රූපය). ළමයින් දෙදෙනා සසඳා, විවිධත්වයට දී ඇති ඉඩ ගැන ප්‍රත්‍යවේක්ෂණය ඔබට භාර කරමි. පොතේ ඇත්තේ දෙමාපියන්ට අදහස් ය (6 වන රූපය). පිටු තුනක, ළමයින් සමග කළ හැකි සරල ක්‍රියාකාරකම් තුනක් ඇත (7 වන රූපය).  (අකුරු ලිවීම නැමැති, සාක්ෂරතා සංකල්පයේ පටු සීමාවක සිර ව ඇති ශ්‍රී ලාංකික පෙර පාසලට ප්‍රයෝජනයට ගැනීම සදහා මේ කෘතිය පරිවර්තනය කරන්නේ නම් මැනවි). 
5.       පොතට අමතර ව තිබූ පත්‍රිකාවලින්, මැයි 24 වන දා පෙරහුරු රැස්වීමක් පැවැත්වෙන බවට වූ දැන්වීමක් ද විය (8 වන රූපය). ඊට අමතර ව ළමයින්ගේ මූලික දත්ත විමසන ප්‍රශ්නාවලියක්, පාසලට යාම සදහා වූ ප්‍රවාහන පහසුකම් සැපයීම ගැන විස්තර පත්‍රිකා සහ බාලාංශ පන්ති අධ්‍යාපනය ගැන හැඳින්වීමක් ද විය.
6.       පාසලට ඇතුළත් වීමට නියමිත ළමයින්ට සහ දෙමාපියන්ට පෙරහුරු රැස්වීමක් 2018 මැයි මස 24 වන දින සවස 6.00-7.00 අතර පැවැත්විණි (9 වන රූපය). දෙමාපියන්ගේ දෛනික රාජකාරිවලට බාධා නො වන පරිදි රැස්වීම සවස පවත්වන බව පැහැදිලි ය. විදුහල්පතිගේ සහායයෙන්. ගුරුතුමියන් විසින් විනිවිදක පටල  ඇසුරින් මුලික හැදින්වීමක් කරන ලදී.  ඒ හැඳින්වීම  අනුව, පන්තියට එන විට, ශිෂ්‍යයා තම නමේ අකුරු ලියන්නට හුරු ව පැමිණිය හොත් හොද ය.  පිළිවෙළට හිඳ ගන්නා අයුරු ද නිවසින් පුරුදු කර එව්ව හොත් මැනවි.
7.       ඉන් පසු ශිෂ්‍යශිෂ්‍යාවන් ව කින්ඩර්ගාර්ටන් පන්තිවලට ගෙන ගොස් එහි ක්‍රියාකාරකම් බලන්නට-නියැළෙන්නට ඉඩ සලසන ලදී.
8.       අවසන නිවාස කරා යන්නට පාසලින් පිට වන විට ශිෂ්‍යයන්ට තෑගි මල්ලක් දෙන ලදී (10 වන රූපය). එහි ශිෂ්‍යයන් සඳහා උපාංග  6ක් (11, 12 වන රූප)  සහ දෙමාපියන් සඳහා විවිධ උපදෙස් පත්‍රිකා ඇතුළත් විය (13 වන රූපය). ශිෂ්‍යයන් සදහා වූ උපාංග 6 විග්‍රහ කරන පත්‍රිකාවක් ද විය (14 වන රූපය). එකී පත්‍රිකාවේ සඳහන් පහත කරුණු, කනිෂ්ඨ බාලාංශ පන්තියේ මෙන් ම පාසල් අධ්‍යාපනයේ-ශිෂ්‍ය ඉගෙනුමේ ඉදිරි දැක්ම සහ පාසලින් ඉලක්ක කර ගන්නා බහුවිධ නිපුණතා මැනවින් සාරාංශ කරනසුලු ය.
·           සිනහවකින් ආරම්භ කරන්නට එකතු වී කියවිය හැකි පොතක් (Let's Play) : ළමයින්ට සහ පවුලේ සාමාජිකයන්ට එකතු වී කියවීම සහ ක්‍රියාකාරකම්වල යෙදීම ධෛර්යවත් කිරීම අරමුණු කර ගත් පොතකි (15-16 වන රූප).
·           සටහන් පොතක්: සංකේත-සලකුනු ලිවීම සහ සැකසීම පිළිබඳ ව, ළමයින්ට ස්වාභාවික ව ම සතු වන මුල්කාලීන  සංවර්ධන රටා නිරූපණය කිරීමට භාවිත කළ හැකි හිස් පිටු සහිත කුඩා පොතකි..
·           පාට කරන පැන්සල්:  ශිෂ්‍යයාගේ නිර්මාණාත්මකභාවය, පරිකල්පනය සහ කුඩා මස්පිඩු සංවර්ධනය නිරූපණයට පාට පැන්සල් අවස්ථාව සලසයි.  ඒ සඳහා ඇවැසි වන, ශිෂ්‍යයාගේ ධෛර්යවත් බව, ඇති කිරීමේ ලා ද පාට කරන පැන්සල් උපකාරි වෙයි.    
·           ඇට, පස් ගුලිය, පැල සිටුවන පෝච්චියක්: ස්වාභාවික ලෝකයට ඇති සම්බන්ධය නිරූපණය  කිරීමට  සහ ධෛර්යවත් කිරීමටත් නිවෙස් සහ එළිමහන් පරිසරවල දී විමර්ශනය කිරීමට සහ ප්‍රශ්න ඇසීමට හුරු කිරීමටත් පෝච්චියේ සිටවන ඇටය සහ එය වැඩෙන අයුරු නිරීක්ෂණයටත් උදව් කරනු ඇත. (මේ පැළ කිරීම සඳහා උපදෙස් ද සපයා තිබේ. පැළය ක්‍රමානුකූල ව වැඩෙන අයුරු නිරීක්ෂණය කර, දරුවෝ විවිධ ලෙස ශාඛ පිළිබඳ ව උගනිති (කලින් කල, 17-19 වන රූප ගෙන, ක්‍රමානුකූල ව පැළයක් වැඩෙන අයුරු මම ද නිරීක්ෂණය කළෙමි).
·           විශාලක කාචයක්: විමර්ශනය සහ අරුමපුදුම දෑ නිරූපණය කිරීමට සහ ඒ සදහා  පෙලඹවීමට භාවිත කළ හැකි ය.
·           බුබුඵ නිපදවනයක්: ස්වයං-නියාමන උපායමාර්ගයක් ලෙස, ළමයින්ට ගැඹුරින් හුස්ම ඉහළ පහළ හෙළීම නිරූපණය කිරීමට සහ ඒ සදහා  පෙලඹවීමට, අවකාශය පිළිබඳ සංවේදිතාව ධෛර්යවත් කිරීමට, වාචික භාෂාව සහ සන්නිවේදන චර්යාව සංවර්ධනය කිරීමට උදව් වේ  (ස්වයං නියාමනය ද ඉතා වැදගත් මනෝ විද්‍යාත්මක සංකල්පයකි. දැනට මේ පිළිබඳ ව අප රටේ පාසලේ මෙන් ම උසස් අධ්‍යාපනයේ ද අවධානය නැති බවට උදාහරණ ඇත.) 
බාලාංශ පන්තිවල, ළමා මිතුරු ශෛලිය සහිත ව, ශිෂ්‍ය මනසෙහි විවිධ පාර්ශ්ව පෝෂණය කරන, විවිධ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණතාව ඔප නන්වන ක්‍රියාකාරකම් පවතින බව මින් පැහැදිලි ය. එහෙත් "ළමා මිතුරු ශෛලිය"  වැනි සටන් පාඨ නම් උපුටනු දක්නට නො ලැබේ.