Thursday 9 August 2018

කැනඩාවේ අත්දැකීම් (92) 2017 දෙසැම්බර් 28 CN tower මතක් කළ ටිටිකාකා විල


පසුගිය වර්ෂයේ ශීත සමයේ සුරංගනී නැගණිය සහ ගැරී සමඟ, පාර දෙ පස හිම නරඹමින් වාහනයකින් ද පා ගමනින් ද සී එන් කුඵණ නරඹන්නට ගියෙමු.  ප්‍රවේශ පත්‍ර ගන්නා තැන බිත්තියක ඇඳ තිබූ, රතු පාට මේපල් කොළය නිර්මාණය කිරීමට භාවිත කර තුබූ සීඑන් කුඵණ-සතුන්-ගස්-ආදිවාසී නිමැවුම් ඇතුළත් විවිධ රූප, කැනඩා පරිසරයේ විවිධත්වය මැනවින් නිරූපණය කළේ ය. කුඵණ මුඳුනට විදුලි සෝපානයෙන් නඟින විට ද නැඟි පසු ද අවට පරිසරයේ ඔන්ටාරියෝ විල, හිරු, ගොඩනැගිලි, පාරවල්, දුම්රිය සහ රථවාහන, මිනිසුන් ද සමඟ පවතින අයුරු - ක්‍රියාකාරි වන අයුරු, වෙනස් දෘෂ්ටි කෝණයකින් නරඹන්නට හැකි විය.   
කුඵණ උඩ සිටින විට දුටු ඔන්ටාරියෝ විල නිසා පළමු ව මතක් වූයේ 1971 උසස් පෙළ විභාගයේ දී භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ ව ලෝක සිතියමේ ලකුණු කරන්නට දුන් ටිටිකාකා විලයි. මා හට එය ලකුණු කරන්නට හැකි වුවත්, විභාගයට පසු දැන ගත්තේ සිසුන් වැඩි දෙනකුට එය ලකුණු කිරීමට නො හැකි ව තිබූ බවයි. භූගෝල විද්‍යාව උගැන්වූ ශාන්ත සිල්වෙස්තරයේ ජයසේකර ගුරුතුමා පාසල පටන් ගත් පසු එය තිබූ තැන ළමයින්ට හිස් සිතියමක ඇඳ පෙන්වා දුන්නේ ය.  දෙවනු ව ටිටිකාකා විලේ අතීතය මතක් විය. දකුණු ඇමරිකාවේ  පිහිටි මේ විලේ නමෙහි අරුත ව්‍යාඝ්‍ර මුහුණ යන්නයි. විල, ව්‍යාඝ්‍ර මුහුණක් සේ පෙනෙන්නේ අහසේ සිට බලන විට ය. ගුවන් යානා නො තිබූ අතීත කාලයේ මිනිසුන්, මේ රූපය ගුවනේ සිට  දැක්කේ කෙසේ ද යනු ගැටලුවකි. පේරු රටේ ගල්ගුහාවල කටු ගා ඇති ගුවන් යානා හා සමාන පැරණි රූපවලින් අනුමාන කරනුයේ ඈත අතීතයේ විශ්වයේ සිට දියුණු ජීවින් මේ ප්‍රදේශයට පැමිණ පදිංචි වූ බව ය. වර්තමානයේ වුවත් රූප රැජනන් වැඩිපුර බිහි වන්නේ දකුණු ඇමරිකාවෙන් නිසා මේ විශ්වීය සම්බන්ධය ගැන නම් තවදුරටත් සිතන්නට අපට සිදු වනු ඇත. 
(සීඑන් කුඵණ ගැන වැඩි විස්තර සඳහා, https://rasudal.blogspot.com/2017/01/cn-3.html යන බුද්ධිණී රුහුණුහේවා සතු බ්ලොග් අඩවියේ ඇති ලිපිය ද කියවන්නට ඔබ සැමට ඇරියුම් කරමි)














මේ අනුව දෙසැම්බර් 28 CN tower නරඹන්නට ගිය කල, එහි මුඳුණෙහි සිටිය දී දුටු පංච මහා විල්වලින් එකක් වූ ඔන්ටාරියෝ විල නිසා ටිටිකාකා විලේ ඉතිහාසයත් මගේ පාසල් සමයේ සිද්ධියකුත් මතක් විය.

No comments:

Post a Comment