Sunday 5 August 2018

කැනඩාවේ අත්දැකීම් (87) පුස්තකාලය


1.      ශ්‍රී ලංකාවේ පුස්තකාලයවලට යන විට "ඇයි එන්නේ?" ලෙස සැකයෙන් බලන්නට ආරක්ෂක නිලධාරින්, වෙන ම වැටුප් ගෙවා පත් කර සිටියත්, මිසිසාගාවේ Burnhamthorpe යන පුස්තකාලයට යන විට නම්,  පිවිසෙන අය ගැන කවුරුත් විමසිලිමත් වන්නේ නැත. ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය, යාපනයේ පුස්තකාලය ගිනි තැබූ පසු ඇති වූ බිය නිසා ඇති වූ ප්‍රවණතාවක් යයි සිතමි.  2015 දී යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සාමාජිකයන් පැවැත්වූ අධ්‍යාපනය ගැන වැඩමුඵවකට සහභාගි වූ විටක, යාපනයේ අලුතින් ඉදි කර ඇති පුස්තකාලය ද නරඹන්නට ගියෙමි. මා ද බිරිඳ ද වැඩමුඵවට සහභාගි වූ දෙමළ මහතකු සමග එහි ගිය විට, කිසිවකු අප යන්නේ කොහේ ද? ඇයිඑන්නේ? වැනි ප්‍රශ්න ඇසුවේ නැත. මා මගේ ලැප්ටොප් පරිගණකය ද උරයේ එල්ලා ගෙන ගිය නමුත් ඒ ගැනවත් කවුරුන්වත් ඇසුවේ නැත. විවිධ අංශවලට යන විට පවා, ඒ ඒ තැන්වල සිටි පුස්තකාල සේවකයෝ අප ගැන සැලකිලිමත් නො වූහ. "අපට තිබූ විශිෂ්ටතම පුස්තකාලය විනාශ වුණු කලෙක, මෙවැනි නරපණුවන් තිදෙනකු පැමිණ තව කුමන විනාශයක් කරන්න දැ" යි ලෙස ඔවුන් සැහැල්ලුවෙන් සිතන සැටියක් දක්නට ලැබිණි.

2.      මේ මතකය අලුත් කළ මිසිසාගා පුස්තකාලය අපූරු නිදහස් තැනකි. අවශ්‍ය නම් කෑම ගෙන ගොස් කමින් පොත පත කියවීමට අංශයක් තිබේ. පහසුවට හිඳ ගෙන පොත් කියවීමට මේස රහිත කුෂන් පුටු ද තිබේ. ස්වකීය පරිගණක පුස්තකාලයට ගෙනැවිත් පරිහරණය කිරීමේ පහසුව ද ඇත. මා සේවය කළ ජාතික අධ්‍යාපන ආයතනයේ පුස්තකාලයට පවා, ගෙන යා හැක්කේ හිස් කඩදාසි පමණී.පොත් කියවමින් විෂය කරුණු සාකච්ඡා කරන ජෝඩු ද දකින්නට ලැබිණි. 
ළමයින් සදහා පොත පත ද සෙල්ලම් බඩු ද සහිත ස්ථානයට මව්-පිය-නෑදැ රැකවරණය සහිත ව එන දරුවෝ කෙළි දෙළෙන් පොත්පත් පරිහරණය කරති; සෙල්ලම් බඩු සමඟ විනෝද වෙති. ළදරුවන්ට මව්කිරි දෙන අවස්ථා ද කුඩා දරුවන්ට කවන පොවන අවස්ථා ද මේ ස්ථානයේ දක්නට ලැබේ. එහෙත් අවට වටපිට අපිරිසිදු නො කරමිනි. පෙරපාසල් ගුරුතුමියන් මෙන් ම පාසල් ගුරුවරු ද ළමයින් 10-12 දෙනාගේ කණ්ඩායම් සමග පැමිණ පුස්තකාලය නරඹා, පරිහරණය කර, සමහර විට පොත් ද රැගෙන යති. මෙය කුඩා අවධියේ ම ළමයින්ට දෙන හුරුවක් සේ දක්නට පුඵවන. එසේ කාණ්ඩ පිටින් කණ්ඩායම් ඇතුඵ වන විට පවා, කවුරුත් සැකයෙන් බලන්නේ නැත.
පාසලක ළමයින් පිරිසක් පුස්තකාලය නරඹා පුස්තකාලයෙන් පොත් ගැනීමට පැමිණ සිටි අවස්ථාවක් නිරීක්ෂණය කළෙමි. මේ ළමයින් ස්වාධීන ව පුස්තකාලය පරිහරණය කරන්නට පුරුදු වන රටාවක් වේ. විවිධ ජාතිවලට අයත් ළමයි ගුරුතුමියන් දෙපළක් සමග පැමිණ සිටියහ.  පරිගණක ගත කර පොත් ගැනීමේ දී  ගුරුතුමිය ඒවාට උදව් කළ අතර, කිසියම් ළමයකුට ප්‍රශ්නයක් ඇති වූ විට ඒ ළමයාට ම පුස්තකාලය කවුන්ටරයේ සිටින මහත්මියගෙන් ඒ ප්‍රශ්නය ඇසීමට යොමු කළා ය. පුස්තකාලයේ අන්තර්ක්‍රියා කළ යුතු අයුරු ගැන එමගින්  ළමයාට පුරුද්දක් ලබා දීමට ගුරුතුමිය සමත් වූවා ය.
පොත් මෙන් ම, ඩීවීඩී සහ සීඩී ගත කළ විවිධ චිත්‍රපට, සංගිත සංදර්ශන සහ ශාස්ත්‍රීය ලේඛන ද පරිහරණයට ලබා ගත හැකි ලෙස වෙන ම රාක්කවල තැන්පත් කර තිබේ. පාඨකයන්ට භාවිත කළ හැකි, පරිගණක 50ක් සහිත ඒකකයක් ද තිබේ.
පොත් පරිගණකයට ඇතුළත් කර තමාට ම එළියට රැගෙන යා හැකි ය. එසේ ඇතුළත් නො කළ හොත් පමණක් පුස්තකාලයෙන් පිට වන විට දොර අසල දී නළාවක් ශබ්ද වේ. එවිට අනවසරයෙන් පොත් ගෙන යන බව ඇගවේ.
3.       ඕනෑ ම වෙලාවක (රාත්‍රියක හෝ)  පොත් සහ ශ්‍රව්‍ය-දෘෂ්‍ය පට භාර දීමට එළියේ කවුඵ දෙකක් තිබේ. ඒවාට පොත් සහ ශ්‍රව්‍ය-දෘෂ්‍ය පට දමා ගිය විට, පසු දින කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඒවා පිරික්සා භාරදුන් බවට පරිගණක ගත කරනු ලැබේ.   දිවා කල ද පොත් භාර දීමට කවුඵවක් වැනි තැනක් ඇත. එතැනට පොත් සහ ශ්‍රව්‍ය-දෘෂ්‍ය පට දැමූ පසු ව, කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඒවා පිරික්සා, භාරදුන් බවට පරිගණක ගත කරනු ලැබේ. මේ ක්‍රියාවලිය පිළිබඳ ව වරෙක විමසු විට, පුස්තකාල කවුන්ටරයේ සිටි සාමාජිකාවක වරෙක කීවේ මේ කාර්යය අපට මඳක් බරපතළ කාර්යයක් බව ය.
ප්‍රමාද වූ පොත්වලට දඩ මුදල් නම් අය කර ගනු ලැබේ. ශ්‍රී ලංකාවේ මෙන් කවුන්ටරයට ම පොත භාර දී තම කාඩ්පතේ ලකුණු කර ගැනීමේ "ආරක්ෂිත සම්ප්‍රදායය" වෙනුවට නවීන පරිගණක තාක්ෂණය  මගින් ඒ කටයුතු සිදු කෙරේ. අන්තර්ජාලයේ ඇති පාඨක ගිණුමකින් අවශ්‍ය නම් පොත් භාර දීමේ දිනය දීර්ඝ කර ගත හැකි ය.
4.      පුස්තකාලයට ඇතුඵ වන දොරටුවට පෙර ඇති කොරිඩෝවේ මෙන් ම පුස්තකාලය ඇතුළේ රාක්ක කිහිපයක ද නොමිලයේ ලබා ගත හැකි විවිධ පත්‍රිකා ද පොත් ද පත්තර ද  දක්නට ලැබේ. පුස්තකාලයේ වැඩසටහන් ගැන මෙන් ම, කැනඩා ජනජීවිතයට අදාළ විවිධ උත්සව-පාඨමාලා ගැන තොරතුරු ද විවිධ සමාජ ක්‍රියාකාරකම් ගැන තොරතුරු ද ඒවායේ ඇතුළත් ය. බල්ලන් වැනි සුරතලුන්ට ලයිෂන් ගන්නා  ආකාරය, ග්‍රීෂ්ම ඍතුවේ පැවැත්වෙන චිත්‍ර-භාෂා පාඨමාලා, පර්යේෂණ ව්‍යාපෘතියකට සහභාගි වීමේ අවස්ථාවක්, දියවැඩියාව ආදි වසයෙන් මිනිසකුට අවශ්‍ය ඕනෑම දෙයකට අදාළ පත්‍රිකා මෙහි වේ (ඡායාරූප බලන්න). පුස්තකාලයක් යනු හුදෙක් පොත් එකතුවක් නො වන බව මැනවින් පසක් කළ ස්ථානයකි.
5.      පුස්තකාලයට ඇතුළට ගිය විගස ම එමගින් පවත්වන වැඩසටහන් ගැන විස්තර පත්‍රිකා ප්‍රදර්ශනය කර තිබේ.
6.      මේ පුස්තකාලයට මෙන් ම අවට ඇති තවත් පුස්තකාල දෙකකට ගිය විට ද දක්නට ලැබුණු ලක්ෂණයක් වූයේ කාර්යමණ්ඩලයේ මිතුරු සේවාවයි. මා පර්යේෂණ ගැන පොත් තිබේ දැයි විමසන විට, ඒවා ගැන තොරතුරු දෙන අතර, පොත් නැති නම් මිල දී ගත හැකි ස්ථානවලට යන පාර සහිත පත්‍රිකා ප්‍රින්ට් අවුට් ලෙස ලබා දෙන්නට ද තරම් ඔවුහු කාරුණික වෙති. ටොරොන්ටෝවේ ඇති සියලු ම පුස්තකාලවල පොතපත අන්තර්ජාලයෙන් පිරික්සා, අදාළ පොතක් ලබා ගත හැකි ස්ථාන ද පෙන්වා දුන්නේ ය. මා ශ්‍රී ලංකාවෙන් තාවකාලික ව පැමිණ ඇති බව කිව්ව ද එය ඔවුනට ප්‍රශ්නයක් නො වේ. ඒ හැර පාඨකයාට ම පරිගණකය භාවිතයෙන් පොතපත සොයා ගැනීමේ ක්‍රමවේද සකසා තිබේ.
7.      හොඳ ම කිව හොත් ඇස්වහ කටවහ වදින නිසා අඩුවක් ද කියමි. පර්යේෂණ ගැන පොත් ඇත්තේ ම නැති තරම් ය. ඒ අතින් නම් ජාතික අධ්‍යාපන ආයතනයේ පුස්තකාලය මහඟු පර්යේෂණ පුස්තකාලයකි.






























 

No comments:

Post a Comment