Thursday 9 August 2018

කැනඩාවේ අත්දැකීම් (91) චීන සම්භවයක් සහිත වයස්ගත වූවන්ගේ රිද්මය


2018 ජූනි 14 වන දා සවස පරිසරය දකින්නත් සමඟ ඇවිදින්නට ගොස් ආපසු එන විට ගිනි නිවන හමුදාවෙන් අප වසන 20 මහල් ගොඩනැගිල්ලට වාහන තුනක් පැමිණ තිබුණි. අනතුරු හඟවන නාද මාලාව ද හඬ නගමින් තිබුණි.  මේවැනි අවස්ථාවල දී ඉහළ මහලට නැගීම සඳහා lift භාවිතය තහනම් කර ඇති නිසා පහළට වී සිටින විට නිතිපතා දකින ජපන් ජාතික ලක්ෂණ සහිත යුවළක් ද අප සිටින තැනට පැමිණියේ ය.  මේ නිසා ඔවුන් සමඟ කතා කරන්නට අවස්ථාවක් සලසා ගතිමි.  මා සිතුවේ ඔවුන් ජපානයෙන් පැමිණි අය  වුවත්, ඔවුන් චීන ජාතිකයන් ය. මහතාගේ වයස අසූවකි. බිරිඳගේ වයස 74කි. ඉංග්‍රීසි භාවිතය දුර්වල නිසා ඔවුන් වයස පැවසුවේ වම් අත අල්ලේ දකුණු අතේ ඇගිලිවලින් 80 සහ  74 යන අංක ඇඳ පෙන්වමිනි. බිරිඳ චීනයේ ගුරුතුමියක ලෙස සේවය කර ඇත.  සැමියා කළ සේවය නිශ්චිත ව හඳුනා ගත නො හැකි විය.  අදහස් ඉංග්‍රීසියෙන් පැවසීමේ අපහසුව තිබෙන නිසා ය. ඔවුන් දෙදෙනා තනි ව මෙහි විසි මහල් නිවාසයේ 19 වන මහලේ නිවසක වසති. වයස හතළිහක් පමණ වන පුතා, වෙන ම තැනක සිටී.  දුව ඇමරිකාවේ සිටින්නී ය. කැනඩාවට පැමිණ අවුරුදු 15කි (ඇඟිලිවලින් පැවසු පරිදි).
සැමියා අවුරුදු අසූවක් වයස නිසා උපදින්නට ඇත්තේ 1938 විය යුතු ය. ඒ නිසා චීන විප්ලවය ද ඉන් පසු රටේ ඇති වූ වෙනස්කම් ගැන ද අසන්නට ආසාව තිබුනත් අදහස් පැවසීමේ අපහසුව නිසා ඒ දත්ත ලබා ගත නො හැකි විය. සමාජවාදී චීනයෙන් මේ අය කෙසේ මෙරටට පැමිණියේ ද?  පැමිණියේ දැයි ද? යන්න දැන ගැනීමට වුවමනාව තිබුණ ද ඒ විස්තර අසා ගැනීමට නො හැකි විය.  
අගෝස්තු 4 වන දා අප වසන මහල් නිවාස අසල ඇති Beechwood park වෙත ගිය විට මේ චීන ජාතික මහතා  පිට්ටනියේ සෙවණැති ගොඩැල්ලක පැයක් පමණ බිම හිඳගෙන සිටිය අතර ගුවන්විදුලියට සවන් දෙන බව දක්නට ලැබුණි. ඔහු ආපසු එන විට ගුවන්විදුලිය පෙන්වා කිව්වේ, හැම දා ම මේ පිට්ටනියට පැමිණ ගුවන්විදුලිය අසමින් නිදහසේ ඉංග්‍රීසි ඉගෙන ගන්නා බව ය. වයස 80ක් වී ඇතත් ඉගෙනුම අත්හැර නැති තරුණ ජවය සහිත මහතෙකි. පළමු ව හමු වූ දිනට වඩා අද ඔහුගේ ඉංග්‍රීසි වදන් භාවිතයේ වැඩියක් දක්නට ලැබේ.
ජපානයේ යයි මා සිතු, එහෙත් චීන ජාතික වයස්ගත  10 දෙනකු පමණ  පිරිසක් සැම දා ම සවස පිට්ටනියේ තැනක, ඉහත සඳහන් ගුරුතුමියක ව සිටි කාන්තාව ගෙනෙන කුඩා රේඩියෝවකින් සංගීතය වාදනය කර, සංගීත නාදයට අනුව නර්තන රිද්මයට සමාන ව්‍යායාමවල යෙදෙණු  නිරීක්ෂණය කර තිබුණි.  මෑතක දිනක ඒ අසලට ගිය විට අපට ද ව්‍යායාම සදහා ආරාධනා කළ නිසා සහභාගි වූ විට අත්දකින්නට ලැබුණේ අපූරු අත්දැකීම් සමුදායකි. චීන සංගීත රටා අනුව සිරුරේ සියලු අග පසඟ චලනය කරන්නට හැකි වන ලෙස සරල එහෙත් සිරුරට මඳක් වේදනා ගෙන දෙන, ක්‍රියාකාරකම් සමූහයකි.   දිවීම හෝ ඇවිදීම අවශ්‍ය නො වන,  පාදවලින් පියවර දෙක තුනක් පමණක් ඉදිරියට පසුපසට දකුණට සහ වමට ගමන් කරමින් ද අත්පා විවිධාකාර ලෙස චලනය කරමින් ද කරන ව්‍යයාම මාලාවේ දී අවසන් භාගයේ දී සහභාගි වන්නන් කවයක් ලෙස සෑදී පාද චලනය කරමින් ව්‍යායාම කරනු ලැබේ. එක් චීන කාන්තාවක් අපට ව්‍යයාම අනුකරණය කරන්න බැරි බව දැන, අප ඉස්සරහට ගොස් අපට පෙනෙන්නට ව්‍යායාම කරමින් ඒ අනුව ව්‍යායම කරන්නට මග පෙන්නුවා ය.  
මේ සියලු දෙනාට ඉංග්‍රීසි භාෂා භාවිතය ඇත්තේ ම නැති තරම් ය. ප්‍රශ්නයක් ඇසූ විට no English ලෙස පවසති. ව්‍යයාම් පටන් ගන්නා වෙලාව ඇසූ විට,  මහතකු වම් අතෙහි දකුණු අතේ ඇගිලිවලින් 7.30 ලියා, 7.30ට බව පැවසුවේ ය. භාෂා දැනුමට සාපේක්ෂ ව කණ්ඩායමේ අය නීරෝගී ය. අවුරුදු 70ට වඩා වයස වුවත් පිරිමින්ගේ බඩවල් ලොකුවට පේන්න නැත්තේ ව්‍යායාම නිසා විය හැකි ය.  සිරුර කෙළින් තබා ගෙන,  ගමන් කරන ආකාරයේ ද විශේෂත්වයක් සමඟ නීරෝගී ලක්ෂණය දක්නට ලැබේ. අවුරුදු 83ක් වයසැති මහතකු අපූරු ජවයකින් ව්‍යායාමවල යෙදෙන අයුරු, දකින්නට ආශා උපදවනසුලු ය. 
සැම දා ම උදේ 7.30 ට සහ සවස 7.30 ට කණ්ඩායමේ අය පැමිණ ව්‍යායාමවල යෙදෙති.  උදයේ ව්‍යායාම් රටාව සවසට වඩා වෙනස් ය. ඒ වෙනස වීඩියෝවලින් බලා ගත හැකි වනු ඇතැයි සිතමි.
එක් කාන්තාවකට පුතුන් දෙදෙනකු සහ දූවරුන් දෙදෙනකු සිටින අතර එයින්  දෙනෙකු කැනඩාවේ වෙසෙති. එහෙත් වෙන ම නිවාසවල ය. අවුරුදු දෙකකට වරක් චීනයට යන බව ද පැවසිණි. දින තුන හතරක් ව්‍යායාමවලට සහභාගි වූ පසු රේඩියෝව ගෙනෙන කාන්තාව, එහි තිබූ සිම්එක ගළවා මට දී, පරිගණකයට කොපි කර ගන්නා මෙන් ඉල්ලා සිටියා ය. එය කොපි කර ගෙන පසු ව දා භාර දුන් විට වීඩියෝ පට සහිත සිම් එකක් ද පිටපත් කර ගන්නට දුන්නා ය.
දිනක ව්‍යායාමවලට උස මහත රුසියානු ජාතික කාන්තාවක් ද පැමිණියා ය. කුන්ෆු සටන් ශෛලියේ ව්‍යායාමවලට ඇය කැමති බව අත්පා සොලවා පැවසුවා ය.




No comments:

Post a Comment