Saturday 13 January 2018

කැනඩාවේ අත්දැකීම් (25) වෙළෙඳ පොළ පිළිබද දැනුම්වත් කිරීමේ කලාව



කැනඩාවේ අත්දැකීම් (25) වෙළෙඳ පොළ පිළිබද දැනුම්වත් කිරීමේ කලාව
වෙළෙඳ පොළ පිළිබද ව පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමේ දැන්වීම් සහිත පත්‍රිකා පාරිභෝගිකයනට ලැබෙන ක්‍රම හතරකින් තුනක් ගැන මෙහි දී විස්තර කරමි.
(    1)   පුවත්පත් පළමු වන ක්‍රමයයි. ඒ පිළිබඳකරුණු 24 වන ලිපියේ සඳහන් විය.
(   2)   MISSISSAUGA The News යන පුවත්පත සමග දැන්වීම් කොල ගොනු ද වෙන් වෙන් මිටි ලෙස තබා තිබෙන බව ද 24 වන ලිපියේ දී පැවසීමි. ඒ දෙ වන ක්‍රමයයි.
සමහර දිනවල දැන්වීම් මිටියට වැඩි පිටු ගණනක් අඩංගු ය. මේ සමග ඇති 1-2 ඡායාරූපවලින් පැහැදිලි වනුයේ සති දෙකක දී තිබූ දැන්වීම් පත්‍රිකා ප්‍රමාණයේ වෙනසයි.
දැන්වීම්වල දිග පළල එකිනෙකට වෙනස් ය. පළල සහ උස අනුව සෙන්ටිමීටර 13X13, 19X28, 20X27, 23X27, 23X54, 25X28, 27X22, 27X27, 27X46, , 28X31, 28X53,  28X54, 29X51, 29X53 වසයෙනි.  මෙයාකාර විවිධ කඩදාසි ප්‍රමාණ භාවිතයේ අරමුණ සහ එමගින් මුද්‍රණ වියදම අඩු වන අයුරක් වේ ද යනු සෙවිය යුතු කරුණු ය. අප දන්නා A4, A3, B5 ආදි කඩදාසි ප්‍රමාණවලට මේවායේ සම්බන්ධයක් තිබෙන්නට ද පුඵවන.
            කඩදාසි වර්ගය ද විවිධ ය. පත්තර මුද්‍රණය කරන බාල වර්ගයේ කඩදාසි භාවිතය බහුල ය. වටිනා දීප්තිමත් කොල ද විටින් විට වේ.
දැන්වීම් වර්ග දෙකකි. මිනිස් රුව සහිත (3- 14 වන රූප) සහ රහිත (15-31 වන රූප) ලෙස ය.
මිනිස් රූප භාවිත කරන ආකාරයෙහි වෘත්තීයමය ස්වභාවයක් වේ. නිරුවත උලුප්පනසුලු නො වේ. අවශ්‍ය පරිදි විවිධ සංස්කෘතිකාංග උලුප්පනු නම් දැකිය හැකි ය. උදාහරණයක් ලෙස පච්ච කොටාගත් අත් සහිත පිරිමි රූපය බලන්න. උත්සවයක් වූ හැලෝවින් සැමරුමට අදාළ වන පරිදි හැඩ ගැන්වූ මුහුණු ද විය.
දැන්වීම්වල අඩංගු බඩු භාණ්ඩ  විවිධ ය. පාරිභෝගිකයෝ බඩු මිල දී ගැනීම සඳහා මේ පත්‍රිකා භාවිත කරති. ශ්‍රී ලංකාවට ආදර්ශයට ගත හැකි පුරුද්දක් ද සඳහන් කරමි.  විවිධ වෙළෙඳ සැල්වල දැන්වීම් සසඳන පාරිභෝගිකයකු, එක ම භාණ්ඩයක් පිළිබඳ වෙළෙඳ සැල් දෙකක මිල ගණන් දෙකක් දුටුවා යයි සිතමු. එවිට වැඩි මිල සහිත වෙළෙද සැලට ගොස්, වෙනත් වෙළෙඳ සැලක අඩු මිල සහිත දැන්වීම පෙන්වූ විට ඒ අඩු මිලට ම අදාළ භාණ්ඩය ලබා දීමට වෙළෙඳ සැල් හිමියෝ පුරුදු ව සිටිති.
            ශතය දෙක වැනි කාසි භාවිතය අඩු නිසා පාරිභෝගිකයන්ට හිතකර ව භාවිත වන තවත් ප්‍රතිපත්තියක් ගැන ද කිව යුතු ය. මා ගෙවිය යුතු මිල ඩොලර් 12.56, 12.57, 12.58 හෝ 12.59 නම් මට ඉතිරි ශත ගණන නො ලැබේ. මා 12.60ක් ගෙවිය යුතු ය.  .56 යනු .55ට වැඩි ගණනක් වන  නිසා ය. මා ගෙවිය යුතු මිල 12.54 හෝ ඊට අඩු ගණනක්  නම්, මට ගෙවන්න වනුයේ 12.50කි.  ශත 4ක අලාභය කඩයට ය. මුදල් භාවිතයේ මේ ඍජු ප්‍රතිපත්තිය රටක දියුණුවේ සංකේතයක් ලෙස සලකමි. වරෙක සිංගප්පූරුවට ගිය විට ද ලද අත්දැකීමක් වූයේ, කඩයකින් බඩුවක් ගත් විට ශතය දක්වා ඉතිරි සල්ලි  නිවැරදි ව ලබා දීම ය.
            ශ්‍රී ලංකාවේ මෙන්, පාර අයින්වල, තැනින් තැන කඩ දක්නට නොලැබේ. කැනඩාවේ අනිකුත් පළාත්වල එවන් කඩ පවතී දැයි නො දනිමි. සුපිරි වෙළෙඳ සැල් පමණක් ඇත. ආසියානු ජාතිකයන්ගේ  සුදු-රතු ඉදි ආප්ප, වඩේ, තලගුලි වැනි කෑම අවශ්‍යතා සපුරාලන්නට දෙමළ ජාතිකයන් විසින් පවත්වා ගෙන යනු ලබන අලෙවි සල් ද වේ.
(    3)   නිවාස සහ රැකියා වෙළෙඳපොළ දැන්වීම් සහිත පත්‍රිකා පාරිභෝගිකයනට ලබා ගත හැකි තෙ වන ක්‍රමය වන්නේ පාර අසල ඇති ප්‍රදර්ශක කුටි ය (32 වන රූපය). එතැනින් ලබා ගත් පොත් පත් 6ක් 33 වන රූපයේ වේ. මේවා නිවාස විකිණීම, කුලියට දීම, උගස් ගැනීම, ණය ගැනීම සම්බන්ධිත ලිපිවලින් සමන්විත ය.  එයින් 34 වන රූපයේ ඇති පොතේ පිටු ගණන 735කි. බාල කොළයේ මුද්‍රිත ය. ශ්‍රී ලංකාවේ ටෙලිෆෝන් නාමාවලියකට සමාන ය. විවිධ දූරකථන අංක ගැන දත්ත සහිත ය. පොතේ ආකර්ශණීය මාතෘකාවෙන් එහි භූමිකාව ඇඟවෙයි. Your place to live, love & explore: shop.home.eat.health.play
(     4)   සතර වන ක්‍රමය ගැන ඊළඟ ලිපියෙන් කරුණු දෙමි.



































No comments:

Post a Comment