Sunday 11 March 2018

කැනඩාවේ අත්දැකීම් (24) පත්තරයකින් හෙළි වන කැනඩාවේ ජන ජීවිතයෙන් බිඳක්

කැනඩාවේ අත්දැකීම් (24) පත්තරයකින් හෙළි වන කැනඩාවේ ජන ජීවිතයෙන් බිඳක්
(    1)   අප වාසය කරන නිවාසය අයත් වන 20 මහල් නිවාස පද්ධතියේ බිම් මහලට පිවිසෙන තැන, ටීපෝවක, සතියකට වරක් MISSISSAUGA The news පත්තරයක පිටපත් ගොඩක් සහ ප්‍රචාරක දැන්වීම් මිටි සමූහයක් දක්නට ලැබේ (1 වන රූපය).  පුස්තකාලය, වෙළෙදසැල් අසල කුටි (2 වන රූපය) වැනි විවිධ ස්ථානවල දී  නොමිලේ ගන්නට හැකි ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන් පළ වන පත්තර 11ක් ද පසුගිය මාස 4 ඇතුළත හමු විය (3-15 වන රූප).  
පුවත්පත්වල ප්‍රමාණය දළ වසයෙන් ශ්‍රී ලංකාවේ  මිහිර, තරුණි වැනි පුවත්පත්වල ප්‍රමාණයට සමාන ය. ශ්‍රි ලංකාවේ දිනමිණ-ලංකාදීප-Daily News ප්‍රමාණයේ පත්තර නම් තව ම දක්නට ලැබුණේ නැත. 3-15 රූපවල ඇති කැනඩා පත්තර පෙළ ගස්වා ඇත්තේ ඒවායේ ප්‍රමාණය අනුව ය.  ඒ අනුව Toronto Star  යනු දිගැටි හැඩය සහිත පත්තරයකි.
මේ විවිධ පත්තර නොමිලේ ලබා දෙන්නේ මන්දැයි නො දනිමි. මිලට ගත හැකි පත්තර තිබේ දැයි තව ම දැන ගන්නට නො ලැබිණි.
ශ්‍රි ලාංකිකයන් සඳහා පළ වන සිංහල මාධ්‍ය පුවත්පත් දෙකක් ද ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පත් තුනක් ද මිසිසාගා පන්සලේ නොමිලේ ලබා ගැනීමට තබා තිබේ (16-23 වන රූප)
(     2)   MISSISSAUGA The news.   Connected to your community MISSISSAUGA.COM යන පුවත්පතේ පිටු 64කි (සතියෙන් සතිය පිටු ගණන වෙනස් වේ.)  මෙය දැන්වීම් ප්‍රචාරය මූලික අරමුණ කර ගත් පුවත්පතක් බව, අන්තර්ගතයේ හෙවත් සන්ධාරයේ අඩංගු දෙය විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වේ. සන්ධාර විශ්ලේෂණය (Content analysis) යනු පර්යේෂණ ක්‍රමයකි.
මේ පුවත්පත අන්තර්ජාලයෙන් ද කියවිය හැකි ය. 2017 නොවැම්බර් 9 වන බ්‍රහස්පති දා දින MISSISSAUGA The news පුවත්පත ඔබට http://edition.pages.co.uk/ html5/reader/production/ default.aspx? pubname=&edid=e0cf00ae-a020-4850-ab97-b59d6f38ed23 යන වෙබ් පිටුවෙන් කියැවිය හැකි ය. පුවත්පතේ පිටු 64න් 34ක් ම වෙන් වූයේ විවිධ දැන්වීම්වලට ය. පිටු 34න් 14ක් තනි ආයතන විසින්  පළ කරනු ලැබූ තනි පිටුවේ දැන්විම් විය. ඉතිරි දැන්වීම් පිටු භාගයේ දැන්වීම්වල සිට මිලිමීටර් 25-25 ප්‍රමාණයේ අතිකුඩා දැන්වීම් දක්වා විසිරුණි.  දැන්වීම්වල තේමා විවිධ ය. මෝටර් රථ-වාහන-වාහන කොටස් අලෙවිය, රැකියා අවස්ථා, දූරකථන ගැන විස්තර, විශ්‍රාමිකයන් සදහා වන නිවෙස් සංකීර්ණ පිළිබඳ කරුණු, කෑම බීම, සංගීත සන්දර්ශන, අඩු මිලට බඩු සේල් කිරීම, ගෘහ සේවා සදහා උදව් කළ හැකි බවට පණිවිඩ, නිවෙස්වල විවිධ කොටස් (ජනේල, දොර, වහල, සීලිම ආදී)  අලුත්වැඩියා කර/සකස් කර දෙන බව කියන දැන්වීම්, ආගමික සේවා සහ දේශන, මරන දැන්වීම්, වෘත්තීය සංවර්ධනය සදහා වන පාඨමාලා, ආධාර සදහා ඉල්ලීම්, ආධාරවලට ස්තුති කරන දැන්වීම්, වෛද්‍ය සේවා, සොහොන් පළවලට අදාළ කාර්ය, අත බලා ශාස්ත්‍ර කීම, ladies night with a bite (මේවායේ මොනවා බයිට් කරනවා දැයි නොදනිමි) වසයෙනි.  අත බලා ශාස්ත්‍ර කීම පිළිබඳ කුඩා දැන්වීමක් සෑම පුවත්පත් කලාපයක ම 5 වන පිටුවේ එක ම ස්ථානයක මුද්‍රණය වීම විශේෂ ලක්ෂණයකි (24-25 වන රූප).
පිටු 30ක ඇතුළත් අන්තර්ගතය, කරුණු ලෙස සාරාංශ කර දක්වනුයේ, එමගින් මිසිසාගා උපනගරයේ වන සිදුවීම් චිත්‍රණය වන නිසා ය. මේ ගැන වැඩි විස්තර අන්තර්ජාලයේ පුවත්පතින් කියැවිය හැකි ය.

  • Battle of Vimy Ridge යුද්ධයේ සියවස් සැමරුම සදහා වූ උත්සවයේ ඡායාරූපයක්

  • ළග එන නත්තල් සමයේ නත්තල් සීයා සම්බන්ධ පෙරහැරකට අදාළ කරුණු - පෙරහැර කිසියම් වීදියක නොපැවැත්විය යුතු ය යනු ගැන අදහස
  • පොපි මල් දිනය සැමරීම
  • පාඨක ලිපි- මොටර්රථ ඉන්ෂුවරන්ස් රේට් අඩු කළ යුතු ය, වන්දි මුදලක් ගෙවීමට විරොධය, ගස්වලින් වැටෙන  තොළ නිවැරදි කාලයේ එකතු නො කිරීම ගැන චෝදනාවක් යනු පාඨක ලිපි තුනේ අවධාරණය කළ තේමා ය
  •   නිවාස වෙළෙඳපොළ පිළිබඳ අධ්‍යයනයක තොරතුරු
  • 1%ක බදු වැඩි කිරීමේ යෝජනාව ගැන සාකච්ඡාව
  • ළමයකු ලිංගික ව ස්පර්ෂ කිරීම නිසා,  2-3  ශ්‍රේණිවල ගුරුවරියක, අධිකරණයෙන් වරදකරු ලෙස තීරණය කරනු ලැබීම (පාසල් අධ්‍යාපනයට අදාළ කරුණක් නිසා අදාළ පිටුව 26 වන රූපයේ උපුටමි)
  • ගින්නක් හිතාමතා ඇති කළ බවට අදහස්
  • අවුරුදු 15, 16, 17 වයසේ ළමයින් තිදෙනකු, අවි පෙන්වා වීදි මංකොල්ලයක නිරත වීම පිළිබඳ ව චෝදනා ලැබීම
  •  තට්ටු 40ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනුමැතිය ප්‍රමාද කිරීම
  • පොලිස් සේවා පණත සංශෝධනය කිරීම සහ මහජන අදහස් විමසීම
  • මිසිසාගා උපනගරයේ ජනගහනයෙන් 87%ක් කැනේඩියානු පුරවැසියන් ය. අන් අය තාවකාලික ව ජීවත් වන හෝ පුරවැසි බව අපේක්ෂා කරන අයයි. ජනගහනයෙන් 53%ක් සංක්‍රමණිකයෝ ය.  මෑතක පැමිණි සංක්‍රමණිකයන්ගෙන් 74%ක් ආසියානුන් ය.
  • ප්‍රධාන ජල සැපයුම් මාර්ගය වෙනස් කිරීම පිළිබද තීරණය සහ එන බදු ගෙවන්නන්ට බලපාන ආකාරය
  • ප්‍රදේශයේ උපරි ව්‍යූහය භාර ඇමති සමග, නිදහස් සිතුවිලි ජාල උද්දේශය (Advocacy) කළ සාකච්ඡාවක් සහ රාජ්‍ය-පෙෘද්ගලික සහයෝගය විය යුතු අයුරු ගැන අදහස්
  • ආරක්ෂිත දත්ත පද්ධතියක කරුණු හිතවතකුට සැපයීම ගැන චෝදනාවක්
  • තරුණ රැකියා සහ ජාල අවස්ථා පිළිබඳ නගරාධිපතිතුමියගේ පණිවිඩය
  • නගර සභාවේ රැස්වීමක දී සාකච්ඡා වූ කරුණු පහක්
  • වාහන අලුත්වැඩියා කරන තරගයකින් ජයග්‍රහණය කළ අයකු ගැන කරුණු
  • බොක්ෂිං තරගකරුවකු ගැන හැඳින්වීමක්
  • හිම හොකී තරගයක් ගැන කරුණු
  • වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයක අවුරුදු 25ක දී ශිෂ්‍යයන් ලැබූ ජයග්‍රහණ (අධ්‍යාපනයට අදාළ කරුණක් නිසා අදාළ පිටුව 27 වන රූපයේ උපුටමි)
  • බාස්කට්බෝල් තරගයක්
  • ලෝක සාම මැරතන් තරගය දිනන්ට වෙර දරන්නකු ගැන විස්තරයක්
  • අයාලේ ගිය මොනරකු අල්ලා රැක ගත් අයුරු ගැන විස්තරයක්
  • හොඳ බර්ගර් කෑම තේරීමේ තරගයක්
  • නම වෙනස් කළ උද්‍යානයක් ගැන විස්තරයක්
  • කඵ කාන්තාවන් සඳහා 'ස්වකීය ආකෘතියෙන්' මිඳීම සඳහා නායකත්ව සංවර්ධන වැඩමුඵවක්
  • රොක් සංගීත කණ්ඩායමක් ගැන විස්තරයක්
  • සති අන්තයේ කළ යුතු දෑ 5ක් ගැන කරුණු


(3). කැනඩා ජන ජීවිතය අනුව, ශ්‍රි ලංකාවට සාපේක්ෂ ව, මේ පත්තර සංස්කෘතිය ගැන පැති දෙකකින් ප්‍රත්‍යවේක්ෂණයේ යෙදෙන්නට සිතුවෙමි.  
පළමු ව MISSISSAUGA The news පත්තරයේ සඳහන් වන ප්‍රවෘත්ති සහ ඒවා ඉදිරිපත් කරන ශෛලියෙන් පැහැදිලි වනුයේ, NEWS යන පදයේ අකුරු හතරට අදාළ 'උතුරු-නැගෙනහිර-බටහිර-දකුණ යන පැතිවලින් ලද තොරතුරු' (දිසා හතරින් එන පණිවිඩ-තොරතුරු) යන අදහස පරිදි, ප්‍රවෘත්ති ඉදිරිපත් කර ඇති බවයි. හැඟීම්වලින් තොර ව-විවිධ පක්ෂ හෝ දර්ශන පාදක ව අදහස් නො දී, ප්‍රවෘත්ති ලෙස ම කරුණු දැක්වීම අගය කළ යුතු කරුණකි.  එහෙත් අද ශ්‍රී ලංකාවේ පත්තර හා විද්‍යුත් මාධ්‍ය කරනුයේ තොරතුරු දෙනවාට වඩා විවිධ සිද්ධිවලට අදාළ ව පක්ෂ-විපක්ෂ  මත පැතිරවීම හෙයින් පත්තර කියවන්නවත් මාධ්‍ය බලන්නවත් හිතෙන්නේ නැත. මා මේ ගැන දන්නා අදුනන සිරස මාධ්‍යවේදියකුගෙන් ඇසු විට, ඔහු පැවසුවේ මේ පක්ෂග්‍රාහී පත්තර කලාව දැන් ලෝක ප්‍රවණතාවක් බව ය. උදාහරණය ලෙස හෙතෙම දැක්වූයේ ඇමරිකාවෙහි ට්‍රම්ප්ට අදාළ ව මාධ්‍ය හැසිරීමේ රටා ය. කැනඩාවේත් අනිකුත් පත්තරවල, මේ තත්ත්වය ම පවතී දැයි නො දනිමි.  
දෙවනු ව, උදේ පාසලට-කාර්යාලයට යන විට, බත් එක ඔතා ගෙන යන්නට අවශ්‍ය කඩදාසි සදහා පත්තර මිලට ගන්නා අය ශ්‍රී ලංකාවේ  සිටිති. ඒ අය පත්තරය තමා බලන්නේවත් අනුන්ට බලන්න දෙන්නේත් නැත්තේ කෑම එක අපවිත්‍ර විය හැකි නිසා ය. එක අතකින් මෙය ශ්‍රි ලංකාවේ පුවත්පත් කරන වටිනා මෙහෙයයකි. 

































No comments:

Post a Comment