Tuesday 13 March 2018

කැනඩාවේ අත්දැකීම් (44) ඉතිහාසය පෙළ පොතක රටා හඳුනා ගනිමු

කැනඩාවේ අත්දැකීම් (44) ඉතිහාසය පෙළ පොතක රටා හඳුනා ගනිමු
'ඉතිහාසය ගැන සිතන්න: 1914 සිට කැනඩාවේ ඉතිහාසය' (Michael Cranny and Garvin Moles (2016) Think History: Canadian history since 1914. Toronto: Pearson Canada Inc.)

(1) ඉතිහාසය පිළිබඳ ව ලියැවුණු පෙළපොත් ලියා-කියවා-උගන්වා හුරුපුරුදු සැමට, වඩා විද්‍යාත්මක ව ද පර්යේෂණාත්මක ව ද ඉතිහාසය උගන්වන්නට මග පෙන්වන පෙළ පොතක් ගැන කරුණු බිඳක් පවසමි (1-2 රූප බලන්න). 10 වන ශ්‍රේණිය සදහා ලියැවුණු මේ පොත ගැන විස්තර https://www.pearsoncanada school.com /index.cfm?locator=PS1zR9&PMDbSiteId= 2621&PMDbSolutionId=25862 &PMD bSubSolutionId=&PMDbCategoryId=25880& PMDbSubCategoryId=26067&PMDbSubjectAreaId=&PMDbProgramId=139422 යන වෙබ් පිටුවේ ද ඇත. පොතේ මුල් පිටු සහ ආදර්ශ ඒකකයක් කියවීමේ හැකියාව ද එහි ඇත. ඒ පිටු පොතක සේ පෙරළා, කරුණු ද රූප ද ගොනු කර ඇති අපූරුව බලන්න. පෙළ පොතේ ශිෂ්‍ය මිතුරු ශෛලිය ද දකින්න.

(2) පොතේ පිට කවරය සංකේතාත්මක නිර්මාණයකි. එහි ගසක කඳක හරස්කඩක, කැනඩාවේ ජාතික කොඩිය චිත්‍රණය කර ඇත. කාලගුණයෙහි සිදු වූ ගංවතුර-නියඟ-උෂ්ණත්වයේ උණුසුම- සීත යන සිද්ධිවල බලපෑමෙන් ගස් කඳෙහි වූ වෙනස්කම් එහි නිරූපිත ය. ඒ අනුව ගසෙහි කඩතොඵ වූ ඉතිහාසය ද, කදෙහි රේඛාවලින් නිරූපණය වේ. කැනඩා ඉතිහාසය ද විවිධ සාධකවල බලපෑම නිසා විවිධ රටා ගෙන ඇත. විවිධ කඩතොඵ ඇති ව ඇත. ඉතිහාසයේ නිශ්චිත ව හඳුනා නො ගත් ඇද පඵදු ද පවතියි. ඉතිහාසයේ සිදු වූ නිශ්චිත නො වන කතාන්තර හෝ සාක්ෂ්‍ය ද කාලගුණ සිද්ධි හා සමාන ව ඉතිහාස කතාවේ කඩතොඵ ඇති කර ඇති බව කවරයෙන් නිරූපණය වේ.. ඉතිහාසය විෂයයේ කාර්යය මේ ඇදපඵදුවලට හේතු සාධක නිශ්චිත ව නීර්ණය කිරීමයි. එමගින් කැනඩාවේ අතීතයේ වූ දෑ, කතාන්තරයක් සේ, නිවැරදි ව අර්ථනිරූපණය කර ගොඩ නැගීමයි.

(3) පොතේ පෙර සහ පසු පිටුවල ඇතුළත පිටු හතරේ 1900-2015 දක්වා ඉතිහාසයේ වැදගත් කරුණු තේමා හයක් (ස්වදේශීය ඇබොරිජින්වරුන්, කාන්තාවන්, සුඵ ජාතිකයන් සහ සංක්‍රමණිකයන්, කැනේඩියානුවන්, අන්තර්ජාතිකත්වය, අගමැතිවරුන්) යටතේ අපූරුවට සාරාංශ කර තිබේ (3-4 රූප බලන්න).

(4) අරමුණු අනුව පෙළපොත, කැනඩා භූමිය අද පවතින තත්ත්වයට හැඩ ගැස්වීමට උපකාර වූ ජනතාව, ස්ථාන සහ සිද්ධි ගැන සිතීමට ශිෂ්‍යයා උනන්දු කරවන ශෛලියෙන් ලියැවී ඇත. මෙහි ලියැවී ඇති කතන්දරවලට වඩා දේවල් කැනඩා අතීතය ගැන තිබෙන්නට පුළුවන. සෑම කතාවක් ම විවිධ පර්යාලෝකවලින් කියන්නට ද විග්‍රහ කරන්නට ද පුළුවන. පෙළපොතින් ඒ පිළිබඳ ව සිතන්නට ශිෂ්‍යයාට අභියෝග කරනු ලැබේ. මේ අනුව හුදෙක් ඉතිහාස කරුණු කටපාඩම් කිරීමට වඩා, ඉතිහාස කරුණු දෙස, ඉතිහාස මූලධර්ම පාදක ව දකින්නට හුරු කිරීමට හැකි ලෙස පෙළපොත ලියැවී ඇත.
තවදුරටත් ගවේෂණය කිරීම සඳහා වන පහත සදහන් ප්‍රබල ප්‍රශ්න ද පෙළපොතින් ශිෂ්‍යයාට ඉදිරිපත් කරනු ලැබේ.
• එක ම සිද්ධියක් විවිධ ජනතා කොටස් විවිධ ලෙස දකින්නේ ඇයි?
• කැනඩා ජාතිකයන්ගේ සාමූහික දැක්ම, සිද්ධිවලින් පිළිබිඹු වන්නේ කෙසේ ද?
• කාලය ගත වන විට ඇති වන වෙනස්කම් නිසා, සහයෝගය මෙන් ම ගැටුම්වලට ද මග පෑදෙන්නේ ඇයි?
• කැනඩාවේ අනන්‍යතාව සැලකිය යුතු පරිදි නිරූපණය කිරීම සඳහා කුමන ඉතිහාස සිද්ධි උපකාර වූයේ ද?
• අතීත සිද්ධි සහ පුද්ගලයන් පිළිබඳ ව, සමහර විට, අප වර්තමානයෙහි වෙනස් ව සිතීමට හේතු මොනවා ද?
• රාජ්‍ය ප්‍රතිපත්තිය, කැනඩා සමාජයේ බෙදීම් නිර්මාණය කර, ඒවා ස්ථාවර කිරීමට දායක වූයේ ද?

(5) ඓතිහාසික විමසුම් ක්‍රියාවලිය සදහා වන මූලාශ්‍රය
ඉතිහාසය පිළිබඳ විමසුම, රහස් පරීක්ෂක කාර්යයකට සමාන ය. අතීතයේ ජීවත් වූ මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ ව ඒ කාලයට අදාළ ව ප්‍රතිවේදය (Insight) ලබා දීම සඳහා ඉතිහාසඥයෝ සාක්ෂ්‍ය සොයති. සිදු වූ සෑම දෙයක් ම 'අතීතයට' අයත් ය; අතීතයේ සිදු වූ දේ ගැන විමර්ශනය කරන විට මිනිසුන් විසින් නිර්මාණය කරනු ලබන දැය 'ඉතිහාසයයි' .
ඉතිහාසඥයෝ 'ප්‍රාථමික මූලාශ්‍රය පාදක සාක්ෂ්‍ය' කෙරෙහි උනන්දු වෙති. සිද්ධිය වූ කාලයේ දී ජීවත් වූ මිනිසුන් නිර්මාණය කළ දෑ ප්‍රාථමික මූලාශ්‍රය වේ. ඉතිහාසඥයන්, පත්‍රකලාවේදීන් සහ අනෙක් නිරීක්ෂකයෝ අතීතය දෙස බලා සිද්ධියක්, පුද්ගලයෙක් හෝ ක්‍රියාදාමයක් පිළිබඳ ව, තමන්ගේ ම අර්ථකථන ගොඩ නඟා ගනිති . ඒ සඳහා ඔවුහු ප්‍රාථමික මූලාශ්‍රය විශ්ලේෂණය කර, සමාලෝචනය කර සාරාංශ කරති. ඒ අනුව බිහි වනුයේ ද්විතීයක මූලාශ්‍රය ය.
ප්‍රාථමික මූලාශ්‍ර සාක්ෂ්‍ය සඳහා උදාහරණ නම්
• ලිපි
• ඡායාරූප
• වාචික සම්ප්‍රදාය (oral tradition)
• දිනපොත්
• භෞතික මෙවලම් (physical artifacts) සහ
• අදාළ කාලයේ පුවත්පත් ය.
ද්විතීයක මූලාශ්‍රය සඳහා උදාහරණ නම්
• චරිත කතා
• වාර්තා චිත්‍රපට
• සගරා ලිපි සහ
• පෙළපොත් ය.
ඉලෙක්ට්‍රෝනික සන්නිවේදනය හඳුන්වා දීමෙන් පසු, ප්‍රාථමික මූලාශ්‍ර, සාක්ෂ්‍ය ලෙස ලෙස නැති වීම පිළිබඳ ව බොහෝ දෙනා කනගාටු වූහ. ඔවුන් බිය වූයේ 'ප්‍රාථමික මූලාශ්‍රවලට අදාළ වචන, අදහස් සහ චිත්‍ර, ප්‍රතිරූප ලෙස රැගෙන පළ කරන විදුලි ලිපිවල (telegraph), දුරකථනවල සහ අන්තර්ජාලයේ ඒවා තැන්පත් නො වේ' ය යන සිතිවිල්ල පදනම් කර ගෙන ය. එහෙත් එඩ්වඩ් ස්නෝඩන් හිටපු සීඅයිඒ නියෝජිතයා, ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය තොරතුරු හෙළි කිරීමෙන් පසු ව දක්නට ලැබුණේ, රජයේ ආයතන විසින් මෙන් ම අන් අය විසිනුත් ජනතාවගේ සන්නිවේදන රටා එකතු කර ගෙන තිබෙන බවයි. ඒ අනුව නූතනයේ භාවිත වන පරිගණක දෘඩාංග සහ පරිගණක සේවා (computer hard drives and servers), අනාගත ඉතිහාසය පිළිබඳ පර්යේෂණ සඳහා සංරක්ෂණාගාර (archives) බවට පත්වනු ඇත.

6. ඓතිහාසික විමසුම් ක්‍රියාවලිය සාරාංශ කරන 5 වන රූපය බලන්න. ප්‍රශ්න ඇසීම නැත හොත් සූත්‍රායනය (ගොනු) කිරීමට අදාළ ව
 සාක්ෂ්‍ය එකතු කිරීම හා සංවිධානය කිරීම,
 අර්ථ නිරූපණය කර විශ්ලේෂණය කිරීම,
 ඇගයීම සහ නිගමනවලට එළඹීම,
 සන්නිවේදනය
යන පියවර හතරට අදාළ ව රූපය ගොනු කර ඇති අයුරු අධ්‍යයනය කරන්න.
පෙළපොත ලියැවී ඇත්තේ ද මේ ඓතිහාසික විමසුම් ක්‍රියාවලියට (Historical inquiry process) අදාළ නිපුණතා ශිෂ්‍යයන්ට ලබා දෙන පරිදි ය. හෙවත් කැනඩා ඉතිහාසය ගැන උගනිමින්, ඉතිහාසය ගැන නැවත විද්‍යාත්මක ව විමසීම සඳහා මේ ක්‍රියාවලිය භාවිත කිරීමට අවශ්‍ය කුසලතාත් ඒ සදහා ඇවැසි නිදහස් චින්තනයත් ලබා දෙන පරිදි ය.

7. ඓතිහාසික චින්තනය (Historical thinking) යන්න හදුන්වා දීමට භාවිත කර ඇති 6 වන රූපය ද අධ්‍යයනය කරන්න.
 සාක්ෂ්‍ය,
 ඒවායේ ඓතිහාසික වැදගත්කම,
 අඛණ්ඩතාව සහ වෙනස්කම්,
 හේතු සහ ප්‍රතිඵල,
 ඓතිහාසික පර්යාලෝක සහ
 ආචාරධර්ම මානය යන පියවර 6 අනුව අදහස් ගොනු කර ඇති අයුරු ද හදාරන්න.
මේ අනුව ඓතිහාසික චින්තනය යනු නම් සහ දින මතක තබා ගැනීමට වඩා වැඩි දෙයකි. අතීතයේ සිදු වූ දෑ වර්තමානය හැඩ ගැස්වූයේ කෙසේ ද? යනු ගැන සිතීම යනු ඓතිහාසික චින්තනයයි.
(සිංහල බසට පෙරඵ 5 හා 6 වන රූප, මෙහි පළ කිරීම සඳහා උචිත ලෙස පරිගණකයෙන් සැකසූ රසිකා දමයන්ති ගුරුතුමියට වෙසෙසින් ස්තුතියි)





No comments:

Post a Comment