Monday 12 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (27) සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය (Symbolic interactionism)

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (27) සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය (Symbolic interactionism)
අපි පළමු ව ගීත තුනක් රසවිඳිමු. ගීත රස විඳ, සංවේදී හැඟීම් ඇති කර ගැනීමට අමතර ව, පර්යේෂණාත්මක ව මේ ගීත තුනින් උගත හැකි පර්යේෂණ ක්‍රම ගැන ඊළඟට සාකච්ඡා කරමු.
(අ) පර වුණු මල්වල සුවඳ අතීතේ පර සතු මල් ළඟ විසිර ගියාවේ - මහගම සේකර, ලයනල් අල්ගම, නනදා මාලිනි
(ආ) නුඹෙ මුව පෙනෙයි පර වුණු කුසුමක් ලෙසට...ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ? - බන්දුල නානායක්කාරවසම්, රෝහණ වීරසිංහ සහ සුනිල් එදිරිසිංහ
(ඇ) පිපුණු රුවේ මල එමල දනී දෝ - ලූෂන් බුලත්සිංහල, පී. ඩන්සටන් ද සිල්වා, නන්දා මාලිනි
ගීත තුනේ සමානතාවක් වනුයේ මලක් ගැන ද සඳහන් වීමයි. එහෙත් 'මල' යන සංකේතය ගීත තුනෙහි නිරූපණය වනුයේ තුන් ආකාරයක අර්ථ උත්පාදනය වන සේ ය. මෙසේ එක ම කරුණක් හෝ සංකේතයක් විවිධ අයුරින් අර්ථ නිරූපණය කිරීමට විවිධ පසුබිම් සාධක බලපාන්නේ ය. ඒ බලපාන සාධක සමග, ඒ සාධක ඔස්සේ කෙරෙන අර්ථ නිරූපණ හඳුනා ගැනීම, සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදයෙහි මූලික ලක්ෂණයකි.
ගීත තුනෙහි සදහන් වන සමස්ථාර්ථය සේ ම පහත සුවිශේෂී සංකල්ප/පද ද අර්ථ නිරූපණය වන නවමු හෝ විවිධ හෝ විකල්ප ආකාර ද අධ්‍යයන කරන්න.
(අ) පරවුණු - සුවඳ - පර සතු (පරසතු නො වේ) මල් - එළිය මැදින් - මවක මිස පියකු - දාවල ගෙවිලා අඳුර ගළනවා - ඈත ලොවට - හීතල පාඵව හිවුඩු පිපෙනවා
(ආ) මුව - අරුණඵ - නුඹේ ලොව - රෑ වෙයි පෙර කළ පවට - දෑගිලි නිඳි වරන්නේ - පෙති ගෝමර දැවෙන්නේ - මල් විය - දිය කර හරින්නේ - මැෂිම ද හිත ද මහ හයියෙන් හඬන්නේ - සයුරේ රළ - පවනක් - හෙවණැල්ල - ඇඳුම - ජීවිතය
(ඇ) පිපුණු මල - මලකි දුවේ නුඹ - මුතු මාල හතක් - කඩුල්ල - අත කර ලන දා - හැඩ කරනා - රෑ හෙවණැල්ල - නුඹ ඇයි හිනැහෙන්නේ
ගීතයේ පදමාලාව මෙන් ම සංගීත නිර්මාණයේ විවිධ අංග ද මගින් විවිධ අර්ථනිරූපණ උත්පාදනය කරන අයුරු අධ්‍යයනය කිරීම සංගීතය පිළිබඳ විශේෂඥයනට භාර කරමි.

                        *                                *                                         *
අපි දෙවනු ව මුහුණු පොතේ පළ වූ මල් හා සම්බන්ධ වූ post තුනකින් මතු වන විකල්ප ප්‍රතිචාර / සංකල්ප අධ්‍යයනය කරමු.
(අ) රේණු පතිරණ කනේරු මල් ලෙස හඳුන්වා දුන් මල් (4-5 වන රූප), මාධවී කාංචනමාලා දුන් ප්‍රතිචාරය සහ පළ කළ නිවැරදි මල (6 වන රූපය) අනුව, පසු ව තමා පළ කළ මල් කනේරු නො වන බව පිළිගනියි. ඒ සමග ම තමා පළ කළ මල් ගැන නව අර්ථනිරූපණයක් සපයනුයේ මෙලෙස ය.
'මම එකතු කළ ඡායාරූපවල තිබෙන මල් කනේරු ලෙස හැඳින්වුවත් ඒවා විෂ සහිත ඒවා නොවේ.⁣ අපල දුරැලීමට,බෝධි පූජා සිදු කිරීමට එම මල් පූජා කරන බවක් දැනගන්නට ලැබුණා. විශේෂයෙන් ඒ සඳහා රතු පැහැ කනේරු විශේෂය යොදා ගන්නා බවකුයි කියැවුණේ.'
එහෙත් අනතුරු ව Gayan Abeygunawardhena 'මේ ගොඩ කදුරු' ලෙස තවත් විකල්ප අදහසක් දෙයි.
(ආ) රසිකා දමයන්ති, මල් ගසක් යට සිට ගෙන (7 වන රූපය), ගසේ මල් වැලට දෙන අර්ථ නිරූපණය මෙසේ ය.
මහ පොළොවේ ගිනියම් බව - මතින් නැඟුණු තුරු ගොමුවක
ගස මත්තේ කඩා ටැටෙන - වතුර මලක් දුටුවෙමි මම
අනුරාධනී වෙත්තසිංහ ඊට විකල්ප ප්‍රතිචාරයක් මෙලෙස දක්වයි.
ඒ මලටම නොදෙවෙනි ලෙස - ඒ මල යට සිනා සිසී
දිරියෙන් ජීවිතය සොයන - මිනිස් දුවක් දුටුවෙමි මම....
(3) නිරූපා ප්‍රියදර්ශනී, මලක් සහිත 8 වන රූපය පළ කරමින් මෙවැනි විකල්ප අර්ථ සහිත පෝස්ටුවක් පළ කරන්නී ය. මෙමගින් ද විවිධ වූ පැතිවලට විහිදී යන සංකල්ප ධාරා මතු වන්නේ ය.
ලබමින් ම කටු තුඩක
පහස...
නුබ...
හිනැහී ඉන්න අපූරුව...

                           *                              *                                        *
ගීත සහ මල්වලින් පසු, තෙවනු ව, කවි පෙළකින් ඉස්මතු වන පාසල් අධ්‍යාපනය සහ එහි අතුරු සංකේත පිළිබඳ විකල්ප අදහස් ධාරා පිළිබඳ ව අවධානය යොමු කරමු.
1994 දී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ ආචාර්ය ප්‍රේමදාස උඩගම අපේක්ෂා කළ දෙයක් ගැන පවසමි. ලෝකයේ පර්යේෂණ අනාවරණ, විධායක නිලධාරීන්ට සහ මහජනතාවට තේරුම් ගත හැකි වන ලෙස, සරල ව ලියා පොත් මාලාවක් නිකුත් කරන මෙන් එතුමා පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ ය. මේ අනුව 'පර්යේෂණ සංවාද' යන පොත්පිංච පළ කරන ලදී. එය ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රෙයහි විවිධ ගැටලුවලට අදාළ ව, දෙස් විදෙස් පර්යේෂණ අනාවරණ සහ විකල්ප අදහස්, සරල ව සඳහන් වූ පොතක් ලෙස ජනප්‍රිය විය. එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ව සිටි එම්.ඩී.ඩී.පීරිස් මහතා, විවිධ අවස්ථාවල කළ කතාවල දි මේ පොතෙන් ගත් කරුණු පවසනු මා අසා තිබේ. මේ පොත් මාලාවෙන් එක කලාපයකට කවි පෙළක් ද ඇතුළත් කළෙමි. මිනිපේ දුෂ්කර පාසලක ගුරුතුමියක ලෙස සේවය කළ අසන්තා යු. අත්තනායක (දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන) රචනා කළ මේ කවි පෙළේ (9 වන රූපය), පාසලට සම්බන්ධ විවිධ සංකේත වන 'ගණිතය', 'ගෙදර වැඩ', 'ගුරු භූමිකාව', 'ළමයාගේ ඉගෙනුම', මෙන් ම නිවෙසක 'මවගේ භූමිකාව','පියාගේ භූමිකාව', 'දරුවකුගේ භූමිකාව' ද සංකේත ලෙස ගත හොත්, ඒවා නිර්මාණාත්මක ලෙස ද විකල්ප ලෙස ද අර්ථ නිරූපණය වන අයුරු බලන්න. ක්‍රියාමූලික පර්යේෂණවල දී 'පර්යේෂණය කරන ගුරුවරයා ද වෙනස් විය යුතු ය' 'ඒ සදහා වෙනස් ව සිතීමට තාර්කිකයක් ද ඇත' යන අදහස් ලබා දීමට ද මේ කවි පෙළ මම නිරතුරු ව භාවිත කරමි.
ගුරුවරයකු ළමයාට හොඳින් උගන්වන්නට නම්, ගුරු භූමිකාව සහ විෂය අරමුණු ගැන මෙන් ම ළමයා ගැනත් සිතිය යුතු ය. ක්‍රියාමූලික පර්යේෂණ කරන ගුරුවරුන්, මේ නිසා සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය යන පර්යේෂණ ක්‍රමය ගැන ද අවබෝධය ලබා ගැනීම උචිත වේ. එමගින් තමා අදහන-විශ්වාස කරන මතය, වෙනස් කර ගැනීමේ වැදගත්කම ගැන ඔවුනට සිතිවිලි ඇති කර ගත හැකි ය.
දැන් මුහුණු පොතේ තරංගනී ලියනගේ පළ කළ 10 වන රූපය ද මුහුණු පොත් ගණනාවක පළ වූ 11 වන රූපය ද අධ්‍යයනය කර එයින් ශිෂ්‍යයා සහ ගුරුවරයා පිළිබඳ ව මතු කරන්නට වෙර දරන විකල්ප අදහස් ධාරා ගැන සිත යොමු කරන්න. අන්තර්ජාලයේ පළ වූ 12 වන රූපය බලා, අපේ ළමා කාලයේ දී තිබූ 'කොටු පැනීම' නම් ක්‍රීඩාව සංකේතයක් ලෙස භාවිත කර, නූතන පාසල් අධ්‍යාපනයේ විභාග විකෘතිය සමග, නව අයුරකින් අර්ථ ගන්වා ඇති අයුරු අධ්‍යයනය කරන්න.

                          *                                *                                        *
මෙතෙක් දැක්වූ විවිධ උදාහරණ අනුව, සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදයේ ස්වභාවය ගැන, ඔබට මූලික අදහසක් එන්නට ඇතැයි සිතමි. සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදයේ ලක්ෂණ මොනවා ද? ඒ පිළිබඳ පවතින න්‍යායාත්මක කරුණු කවරේ ද?
• සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය යනු සමාජ විද්‍යාවේ චින්තන ගුරුකුලයකි (school of thought)
• සමාජයක ව්‍යූහය ඉතා හොඳින් හඳුනා ගත හැක්කේ, එම සමාජ ව්‍යූහයේ පවතින සංකේත සම්බන්ධයෙන් පුද්ගලයන් අතර ඇති වන අන්තර්ක්‍රියා පදනම් කර ගෙන ය. ශ්‍රී ලාංකිකයෝ මස් මාඵ කති. එහෙත් තායිලන්තයේ, වියට්නාමයේ සහ චීනයේ මිනිසුන් සර්පයින් ද උයා කන්නේ යයි පවසන විට, වැඩමුඵවලට පැමිණි අය 'ඈයි' යයි පවසා පිළිකුළ ප්‍රකාශ කරති. මාඵවාත් කුකුළාත් කන්න හොද නම් සර්පයින් කෑවා ම මොක දැයි ඇසූ විට ඒ ගැනත් කල්පනා කරති. අන්තර්ජාලයට සහ සුජීවා පොල්ගම්පොළ ගේ මුහුණු පොතට ගිය විට නයි අල්ලන සහ උයා කන ලස්සන (සාපේක්ෂ පදයකි) කෙල්ලන් ඔබට දැකිය හැකි ය.
• සංකේතයක් පදනම් කර ගෙන, එය අර්ථනිරූපණය කරමින් හැසිරෙන ආකාරය අනුව මිනිසුන් කණ්ඩායමක සමාජ හැසිරීම/චර්යාව පැහැදිලි කළ හැකි ය. බෙෘද්ධයෝ පන්සල් යන විට සුදු අඳිති. මළ ගෙයකට යන විට ද සුදු අඳිති. දරුණු අපරාධ කළ අය උසාවි යන විට යන්නේ ද සුදෙන් සැරසි ය. එහෙත් මේ අවස්ථා තුනේ දී ලබා දෙන අර්ථ නිරූපණ වෙනස් වන්නේ ය.
• මිනිසුන් කණ්ඩායමක් එකිනෙකා අතර අන්තර් ක්‍රියා කරන ආකාරය හදුනා ගැනීමට ද භාවිත කළ හැකි ය. පුද්ගලයන් එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරන ආකාරය ද සන්නිවේදන කරන ආකාරය ද රඳා පවතින්නේ එකිනෙකාගේ භාෂාව, ආගම්, විශ්වාස, ක්‍රියා සහ ඒවාට සම්බන්ධ සංකේත පදනම් කර ගෙන ය. උදාහරණයක් ලෙස බටහිර සමාජවල අතට අත දීම හෝ එකිනෙකා වැළඳ ගැනීම සුවද බවේ සංකේතයක් ලෙස සලකනු ලැබේ. එහෙත් ඔබට මතක ඇති පකිස්තානයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව ජය ගත් අවස්ථාව. පැරදුණු පිළෙහි නායක පාකිස්ථානු අගමැතිනිය සුල්ෆිකාර් අලි භූතෝට අතට අත දීමට තැත් කළ විට We don't shake hand වසයෙන් පවසා ඇය අත ඉවතට ගත්තා ය. මෙයින් පැහැදිලි වන්නේ 'අතට අත දීම' යන සංකල්පය මුස්ලිම් කාන්තාවන් විසින් ඍණ ආකාරයකින් නිර්වචනය කරන බවයි.
• මේ අනුව පුද්ගලයකුගේ අන්තර්ක්‍රියා රඳා පවතින්නේ නැත හොත් පුද්ගලයෙකුගේ චරිතය රඳා පවතින්නේ ඔහු/ඇය කිසියම් ද්‍රව්‍ය සමඟ හෝ සිද්ධි සමඟ හෝ අදහස් සමග හෝ පුද්ගලයන් සමග අන්තර්ක්‍රියා කරන ආකාරය අනුව ය. එසේ ම ඒ එකිනෙකට ඔහු/ඇය අර්ථ දක්වන ආකාරය අනුව ය.
• සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදයට අදාළ මූලික අදහස් තුනක් ඇත. පළමු ව පුද්ගලයෙකුගේ ක්‍රියාවක් රඳා පවතින්නේ ඊට අදාළ ව ඔහු දෙන අර්ථය මත ය (අසන්තා අත්තනායකගේ කවි පෙළෙහි ගණන් හදන්නට උපදෙස් දෙන්නට නො දන්නා මවගේ සහ ගෙදර වැඩ දුන් ගුරුතුමියගේ අර්ථකථන බලන්න) . දෙවැන්න විවිධ පුද්ගලයන් කිසියම් දෙයකට දක්වන්නේ විවිධ අර්ථ ය (පාසල් යාම ගැන ගුරුවරිය, දරුවා සහ මව දක්වන අර්ථ බලන්න). තෙවැන්න නම් එසේ ලබා දෙන අර්ථය වෙනස් විය හැකි බවයි (නන්දා මාලිනී ගයන ගීයේ විකල්ප අර්ථ බලන්න).
• ජෝර්ජ් හර්බට් මීඩ් (George Herbert Mead) සහ හර්බර්ට් බ්ලූමර් (Herbert Blumer) විසින් සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය සංවර්ධනය කරන ලදී.
ස්තුතිය:
රේණු පතිරණ, රසිකා දමයන්ති, අනුරාධනී වෙත්තසිංහ, නිරූපා ප්‍රියදර්ශනී, අසන්තා යූ. අත්තනායක, තරංගනී ලියනගේ, සුජීවා පොල්ගම්පොළ, Gayan Abeygunawardhena, නාමල් අමරසිංහ සහ අන්තර්ජාලයේ, කර්තෘන් අඥාත සියලු නිර්මාණවල නිර්මාණකරුවන්ට












No comments:

Post a Comment