Tuesday 20 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (20) කෙටියෙන් පවසමි මගෙ ආදරියේ... ක්‍රියාමූලික පර්යේෂකයෝ ලේඛකයෝ වෙති (Action researchers are writers).


ලිවීම සම්බන්ධ වැදගත් ලක්ෂණයක් තිබේ. එනම් අප කතා කරන විට විස්තර ඇති ව කතා කළත් ලියන්න ගිය විට විස්තර සහිත ව නොලිවීමයි. මේ බව පෙන්වා දීමට වැඩමුඵවල දී මම මෙවන් ක්‍රියාකාරකමක් ලබා දෙමි.
ඔබේ පාසලේ හෝ පන්තියේ වූ සිද්ධියක් විස්තර කර ලියන්න. ඔබ ලියන දේ, අප සැමට තේරුම් ගත හැකි වන සේ ද පැහැදිලි වන සේ ද ලිවිය යුතු වේ.
මේ පැවරුම ලබා දී, ලිවීම අවසන් කළ පසු, ලියු දේ කියවන්න යයි කියු විට, ලියන දේ එසේ ම කියවීම වෙනුවට සැම දෙනා කරනුයේ, ලියූ දේ කියන්නට පටන් ගෙන, ටික වෙලාවකින් ලියන්නට බැරි වූ දේ අතින් ද දමා, හිතේ තියෙන නොලියැවුණු දේ ද පැවසීමට පටන් ගැනීම ය. එසේ වචනයෙන් ප්‍රකාශ කරන දේ ලිව්වේ නැත්තේ ඇයි දැයි විමසන විට ලැබෙන පිළිතුරක් වනුයේ කෙටියෙන් ලියූ බව ය. එවිට මා විහිඵවට මෙන් මිල්ටන් මල්ලවාරච්චි ගැයූ "කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ - පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි" ගීය මතක් කර කෙටියෙන් පවසන්නට දේ ද තිබෙන බවත් පර්යේෂණවල දී සාරාංශය/සංක්ෂිප්තය නම් කෙටියෙන් ලිවිය හැකි බවත් පවසමි.
ඒ සමග ම සංක්ෂිප්තයෙන් දෙන පණිවිඩය, දත්ත පාදක ව, පර්යේෂණ වාර්තාවේ දී තහවුරු කළ යුතු බව ද පවසමි. ගීතයෙන් උදාහරණ තුනක් ද පවසමි.
උදා- (1) "කීමට ඇති සැම දේ මොනවා ද?" යනු පර්යේෂණ වාර්තාවේ සදහන් විය යුතු ය. නැත හොත් "කීමට ඇති සැම දේ" සංගහනය ලෙස ගෙන, කීමට ඇති සියලු දෙය නියෝජනය කරන අදහස් සමූහයක් නියැදිය ලෙස තෝරා ගෙන සදහන් කළ යුතු ය.
(2) 'කිකිළි රැජිනිය', 'මයින රැජිනිය', 'ගේකුරුලු රැජිනිය', 'ගිරා රැජිනිය' යනාදි ලෙස වෙනත් කිරිල්ලියකගේ නම නො කියා, ස්වකීය ආදරියට 'පරෙවි රැජිනිය' යන පද දෙක ම යොදා ගැනීමට හේතු පැහැදිලි කළ යුතු ය.
(3) එදා සහ අද ආදරය සමාන බව දත්තවලින් ඔප්පු කළ යුතු ය.
මෙසේ ලිවිය යුතු සියලු කරුණු ලියා නොතිබීමට හේතුවක් වනුයේ අප සැම අතින් "රොඩ්ඩ" ලියැවීමයි. මෙය ලේඛනයේ දක්නට ලැබෙන, සැම මානවයාට ම-සැම භාෂාවකට ම පොදු ලක්ෂණයකි. අපට කෙතරම් අත්දැකීම් තිබුණ ද ඒ අත්දැකීම් කතාබහේ දී කෙතරම් වාචික ව ප්‍රකාශ කළ හැකි වුව ද ඒවා ලියන්නට ගිය විට අවශ්‍ය දේ නො ලියැවෙයි. මේ නිසා ක්‍රියාමූලික පර්යේෂණවල නිරත වන වෘත්තිකයන් විසින් සංවර්ධනය කර ගත යුතු නිපුණතාවක් වනුයේ ලිවීමේ නිපුණතාව ය. ක්‍රියාමූලික පර්යේෂණ කරනුයේ අපේ ම වෘත්තීය භූමිකාව සංවර්ධනය කර ගැනීමට නිසා, අපේ වෘත්තිය භූමිකාව පිළිබද ව විස්තරාත්මක ව ලිවීම අත්‍යවශ්‍ය කරුණක් වේ.
ක්‍රියාමූලික පර්යේෂණ ලිවීමේ දී, දෙපැත්තක් ගැන අවධානය යොමු කළ යුතු ය. පළමු ව අප සතු වෘත්තීය අත්දැකීම් (උදා- පන්තිකාමරයේ මා උගන්වන පාඩම්, එවිට වන සිදුවීම්, පාසලේ දී මුහුණ දෙන ගැටලු, සිදුවීම් සහ ගැටලු ඇති වන අවස්ථා), බාහිරින් සිට පසු ව කියවන අයටත් පැහැදිලි ව තේරෙන ලෙස සහ පැහැදිලි වන ලෙස අවශ්‍ය විස්තර සහිත ව ලිවීමේ නිපුණතාවයි. දෙවනුව ඒ වෘත්තීය අත්දැකීම් පිළිබද ප්‍රත්‍යවේක්ෂණ ලිවීමට ද හුරු විය යුතු ය.


No comments:

Post a Comment