Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (34) 1 වන ශ්‍රේණියේ දී මා ගැනත් ගෙදර ගැනත් අන් අය ගැනත් සංවේදී වෙමි

කැනඩාවේ අත්දැකීම් (34) 1 වන ශ්‍රේණියේ දී මා ගැනත් ගෙදර ගැනත් අන් අය ගැනත් සංවේදී වෙමි
1 වන ශ්‍රේණියේ සිසුවෙක් 2018 ජනවාරි 17 වන දින පාසල ඇරි නිවසට පැමිණෙන විට ලේඛන හතරක් ද නිර්මාණයක් ද ගෙන ආවේ ය.
(1) පළමු වැන්න ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මුද්‍රිත සුභ පැතුම් පතකි (1-2 වන රූප). එහි ශිෂ්‍යයාගේ ඡායාරූපය තුන් පළක මුද්‍රණය කර තිබිණි. පාසලේ ශිෂ්‍යශිෂ්‍යාවනගේ ඡායාරූප, ඡායාරූප ගන්නා විශේෂ දිනවල රැගෙන පාසලේ පරිගණකවල තැන්පත් කර තිබේ. ඒවා ප්‍රසිද්ධියේ පළ කිරීම ආචාරධර්ම අනුව කිසිවකු විසින් කරනු ලබන්නේ නැත. සම්ප්‍රදායයක් ලෙස සැම ළමයකුගේ ම උපන් දිනය දින, පන්ති භාර ගුරුවරයා විසින් මේ සුභ පැතුම් පතක් ලබා දෙනු ලැබේ. පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද උපන් දින සුභ පැතුමට සහභාගි වෙති. ශ්‍රි ලංකාවේ සමහර පාසල්වල මෙන් උපන් දිනය සමරන ශිෂ්‍යයා කෑමබීම පාසලට ගෙන යනු නො ලැබේ. විවිධ සෙෘඛ්‍ය ගැටලු සහ ආසාදන ඇති වෙන නිසා ය. පුරුද්දක් ලෙස පන්තියේ දී එකිනෙකා අතර ආහාර හුවමාරු කර ගැනීමක් ද සිදු නො වේ.
(2) දෙ වැන්න තමාගේ නම සහ තමාට කළ හැකි දේ ගැන අඳින ලද දිගැටි හැඩයේ චිත්‍රයකි (3 වන රූපය). මේ චිත්‍රයෙන් පැහැදිලි වන්නේ ළමයාගේ ලිවීම, ක්‍රිඩා කුසලතා, චිත්‍ර ඇඳීමේ කුසලතා. නිර්මාණාත්මක ප්‍රකාශනයේ කුසලතා, සහ ආත්ම අභිමානය පිළිබඳ ආකල්ප ජනනය කළ හැකි වන ලෙස නිර්මාණය කර ඇති බව ය. චිත්‍රයේ වසන්ත කාලය ගැනත් සඳහන් ව ඇති නිසා පැහැදිලි වන්නේ ශීත කාලයේ ජීවත් වන ශිෂ්‍යයාට අනාගතයේ එළැඹෙන වසන්ත කාලය ගැනත් සිතන්න ඉඩ දී ඇති බව ය. එමගින් වර්ෂයේ විවිධ කාල ගැන ද අදහසක් ලබා දී ඇත. පිහිනීම ගැන ලියන විට එය නිරූපණයට ඇඳ ඇති චිත්‍රයත් සංගීතය ගැන කියන විට ඇඳ ඇති චිත්‍රයත් අධ්‍යයනය කරන විට පැහැදිලි වනුයේ නිර්මාණාත්මක සිතිවිලි අවදි කිරීමට ගෙන ඇති තැතයි. ලිවීමේ ඇති දෝෂ (උදා- misic) අනවශ්‍ය ලෙස උඵප්පා ශිෂ්‍යයා අපහසුතාවට පත් කිරීමක් සිදු නො වේ.
එක් එක් ශිෂ්‍යයනට තම තමන් ගැන විවිධ පර්යාලෝක ඔස්සේ සිතන්නට මග පාදා ඇති අයුරු ද අගනේ ය. විවිධ ආගම් පිළිබඳ පහත සටහනින් ද විවිධ පර්යාලෝක සදහා ශිෂ්‍යයන් යොමු කරන අයුරු පිළිබඳ ඉඟි සැපයෙයි.
(3) තෙවනු ව නිවෙස්වලට ඇතුඵ වන විට දොරෙහි ඉහළ එල්ලන, සුළගට ලෙළෙන සීනු දෙකක් සහිත සැරසිල්ලක් ද නිර්මාණය කර ගෙනාවේ ය (4-5 වන රූප). එක සමාන හැඩයේ බ්‍රිස්ටල් බෝර්ඩ් තීරු 8ක් ද පුඵන් ද නූල් දෙකක් ද කුඩා කඩදාසි දෙකක් ද කම්බියක් සහිත ඇසුරෙන් නිර්මිත මෙමගින් ළමයාගේ ඇගිලි සුඛනම්‍ය කිරීමටත් මනස එකග කිරීමටත් සිරුරෙහි සමබර බව රැක ගැනීමටත් අපේ ගෙදර පිහිටි ස්ථානය ගැන සංවේදි බව දනවන්නටත් මග පාදා ඇති බව පැහැදිලි ය.
(4) සතරවනු ව ලෝකයේ විවිධ ආගම් ගැන ඉගෙන ගැනීමට ලබා දී ඇති මූලික දැනුම්වත් කිරීමේ පත්‍රිකාවයි (6-7 වන රූප). ඒ අනුව ලෝකයේ විවිධ ආගම් 10කට අදාළ පත්‍රිකාවක් පිරවීමට අවකාශ ලබා දී තිබේ. පාසලේ විවිධ පන්තිවල ළමයින් මෙදින ආගම්වලට සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම්වල නිරත ව ඇත. ඒවා නිරීක්ෂණයට ගිය ඒ ඒ පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මේ පත්‍රිකාව පුරවනු ලැබ ඇත. (මේ ආගම් /විශ්වාස 10න් 2ක් ගැන මා ද දැන ගත්තේ මේ පත්‍රිකාව නිසා ය). ඒ අතින් 1 වන ශ්‍රේණියේ ළමයින්ට, ලෝකයේ පවතින ආගම් /විශ්වාස ගැන සරල දැනුම්වත් කිරීමක් 1 වන ශ්‍රේණියේ දී ම ලබා දීම අගය කළ යුතු ය.
පාසල මාසික ව නිවසට එවන සගරාවේ ද, 2018 ජනවාරි මස පාසලේ පැවැත්වෙන විශ්වාස සහ සංස්කෘතිකාංග සහිත දින 18ක් ගැන දෙමාපියන් ද දැනුම්වත් කර තිබේ (8-9 වන රූප).
(5) පස්වනු ව ශිෂ්‍යයා විසින් විවිධ ලෙස වර්ණ ගැන්වූ මුද්‍රිත චිත්‍ර දෙකකි (10 වන රූපය). මේ චිත්‍ර දෙකින් ශිෂ්‍යයාට විවිධ හැඩ ගැනත් වර්ණ ගැනත් ඒවා එකිනෙකට සම්බන්ධ වන අයුරු ගැනත් තුලනාත්මක ව සිතන්නට ඉඩ ලබා දී තිබේ. රූප දෙක සැසඳීමෙන් ද සංසන්දන කුසලතා ලබන්නට මගක් පාදා දී තිබේ.











No comments:

Post a Comment