Tuesday 20 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (21) පර්යේෂණ ප්‍රතිකෘතකරණය


(1) කැනඩාවේ අත්දැකීම් 14 යටතේ ඉදිරිපත් කළ "ස්ටීම් අභියෝගය" හා සම්බන්ධ පුටුව සෑදීමේ ක්‍රියාකාරකම කළ, ශ්‍රී ලංකාවේ යූ.බී. වන්නිනායක මධ්‍ය මහා විද්‍යාලයයේ 1 වන ශ්‍රේණියේ ශිෂ්‍ය මෙත්සර ශ්‍රීමාල් ගේ නිර්මාණය, 1 වන රූපයේ දැක්වේ. මේ ක්‍රියාකාරකමට සම්බන්ධ පන්ති කාමරයේ ඡායාරූපයක් 2 වන රූපයේ දැක්වේ. මෙත්සර වෙත ද ඔහුට මග පෙන්වූ චූලනී පීරිස් ගුරු උපදේශක සහ පන්ති භාර ගුරුතුමියට ද තුති පුදමි. මේ නිර්මාණයේ විශේෂත්වයක් පෙන්වා දෙන්නට පුඵවන. මෙහි පුටුව උඩ තබා ඇත්තේ බෝලයකි. මුල් නිර්මාණයේ (3 වන රූපය) පුටුව උඩ දුටු "පපි" වෙනුවට බෝලයක් පුටුව උඩ තැබීමේ අදහස, ශිෂ්‍යයාට ආ අයුරු සොයා බැලිය හැකි නම් අගේ ය. පුටුව උඩ "පපි" තැබීමට වඩා බෝලයක් තැබීම වඩා දුෂ්කර ය. එය වැටෙන්නට තිබෙන අවකාශය ද වැඩි ය. එනිසා මුල් නිර්මාණයට වඩා, නිර්මාණාත්මක ඉදිරි පියවරකට ගමන් කරන්නට මෙත්සර ශිෂ්‍යයා සමත් ව ඇත.
කැනඩාවේ දෙයක් මෙසේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම උචිත දෙයක් ද? යන ගැටලුව කිසිවකුට ඇති වන්නට පුඵවන. මෙය අමු අමුවේ පිටරට දෙයක් කොපි කිරීමක් හෙවත් පිටපත් කර ක්‍රියාත්මක කිරීමක් ද? නැත හොත් "පර්යේෂණ ප්‍රතිකෘතකරණය (Replication of research) " යන සංකල්පය ඇසුරින් අදහස් ඉදිරිපත් කළ හැකි ක්‍රියාකාරකමක් ද?
(2) පර්යේෂණ ප්‍රතිකෘතකරණය යන සංකල්පයෙන් අදහස් කරනුයේ , මේ වන විට නිම කර, ප්‍රතිඵල අනාවරණය කර තිබෙන පර්යේෂණයක්, එකී පර්යේෂණය කිරීමට භාවිත කළ ක්‍රියාවලිය එසේ ම භාවිත කරමින් (එහෙත් වෙන ම පරිසරයක වෙන ම නියැදියක් භාවිතයෙන්), වෙනත් පර්යේෂණ කණ්ඩායමකට නැවත කළ හැකි බව ය. පර්යේෂණ ප්‍රතිකෘතකරණයේ දී පැරණි පර්යේෂණය කිරීමට පදනම් කර ගත් න්‍යායය එසේ ම භාවිත කළ යුතු ය. මෙසේ නිම කළ පර්යේෂණයක්, නැවත, වෙනත් පරිසරයක වෙනත් නියැදියක් පදනම් කර ගෙන කිරීමේ අරමුණ කුමක් ද? පළමු වන පර්යේෂණයෙන් උත්පාදනය කළ නයායය, වෙනත් පරිසරයක නියැදි සාමාජිකයන් කණ්ඩායමකට අදාළ කර ගත හැකි ද (හෙවත් පෙර පර්යේෂයෙන් ඔප්පු වූ සාමාන්‍යකරණය, වෙනත් පරිසරයක් සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කළ හැකි ද?) යනු පිරික්සීම ය. වෙනත් ලෙස කිව හොත් පෙර කළ පර්යේෂණයක්,වෙනත් රටකට-ජාතියකට-ආගමකට-සංස්කෘතියකට සම්බන්ධ නියැදි තෝරා ගෙන, එම රටට-ජාතියට-ආගමට-සංස්කෘතියට අදාළ නියැදි භාවිතයෙන් නැවත කිරීම යනු, එකී විවිධ ස්වායත්ත විචල්‍යවලට (එනම් රට-ජාතිය-ආගම-සංස්කෘතිය යන විචල්‍යවලට) අදාළ ව, පළමු පර්යේෂණයෙන් හදුනා ගත් න්‍යායය, අදාළ කර ගත හැකි ද? නැත හොත් සාමාන්‍යකරණය කළ හැකි ද යනු පිරික්සීම ය.
(3) අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් උදාහරණයක් ගනිමු. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙහි ආචාර්ය උපාලි එම්. සේදර ගේ උපදේශනය යටතේ, ශාස්ත්‍රපති (අධ්‍යාපන) උපාධියෙහි අවශ්‍යතා පූරණය සදහා ඔප්පු කළ පර්යේෂණ තුනක් පහත දැක්වේ.
(අ) රත්නායක, එම්. අයි.සී. (1986) පළමුවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා ළමුන් තුළ ද්‍රව්‍ය සංරක්ෂණය පිළිබඳ සංකල්පය වර්ධනය කෙරෙහි සමබලනය සහිත පුහුණුවේ බලපෑම (පියාජේ න්‍යාය පාදක අධ්‍යයනයකි)
(ආ) තෙන්නකෝන්, එන්. කේ. (1982) පියාජේගේ ගණිත සංකල්ප සංරක්ෂණ ප්‍රතිමාන හා ශ්‍රී ලංකාවේ ළමයි (සංයුක්ත චින්තන අවධිය ආශ්‍රයෙනි)
(ඇ) අබේසේකර, වී.පී.එම්. (1987) ගණිත සංකල්ප සාධනය කෙරෙහි ව්‍යුහගත අත්දැකීම්වල බලපෑම: පියාජෙයිය අධ්‍යයනයකි.
මේ පර්යේෂණ තුනට පදනම් තේමාව, ෂොන් පියැෂේ හෙවත් ජීන් පියාජේ ගේ ළමා සංවර්ධන න්‍යායයයි. පියාජේ, ස්විට්සර්ලන්තයේ කළ පර්යේෂණයක් නැවත ශ්‍රි ලංකාවේ ප්‍රතිකෘතකරණය කිරීමෙහි අපේක්ෂාව වූයේ, එරට ළමයින්ගේ සංවර්ධනයට අදාළ ලක්ෂණ, ශ්‍රී ලංකාවට කෙතරම් අදාළ කර ගත හැකි ද නැත හොත් අප රටටත් සාමාන්‍යකරණය කර ගත හැකි ද යනු පිරික්සීම ය. මේ පර්යේෂණවලින් එසේ දෙරටට සමාන ලක්ෂණ මෙන් ම අසමාන ලක්ෂණ ද හදුනා ගෙන තිබේ.
පර්යේෂණ ප්‍රතිකෘතකරණය මගින් පළමු පර්යේෂණයෙන් ලද ප්‍රතිඵලයෙහි විශ්වශ්‍යතාව (ප්‍රතිඵලය විවිධ කාලවලට සහ විවිධ ස්ථානවලට -උදා-ශ්‍රී ලංකාවට- අදාළ බව) සහ වලංගුතාව (පර්යේෂණ අනාවරණවලින් මතු වන ප්‍රතිඵලය, පර්යේෂණ ගැටලුවට සැබවින් ම අදාළ වූ පිළිතුරක් බව- උදා- ස්විට්සර්ලන්තයෙන් ලද අනාවරණ, ශ්‍රී ලංකාවේ ළමයින් සම්බන්ධයෙන් ද අදාළ කර ගත හැකි ද?) තවදුරටත් තහවුරු කළ හැකි ය. අනෙක් අතට විවිධ පරිසර තත්ත්ව අනුව පර්යේෂණ ප්‍රතිඵලවලට බලපෑ හැකි බාහිර විචල්‍ය (extraneous variables) වේ නම් (උදා- ශ්‍රී ලංකාවේ ළමයින් සිංහල භාෂාව භාවිත කිරීම, ළමයින් ඇතිදැඩි කිරීමේ ක්‍රම වෙනස් වීම, විෂයමාලා අරමුණු සහ පන්තිකාමර ක්‍රියාකාරකම් වෙනස් වීම, වෙන ම සිරිත් විරිත් පැවතීම) ඒවා කෙසේ පර්යේෂණ ප්‍රතිඵලවලට බලපාන්නේ දැයි හඳුනා ගැනීමට ද හැකි ය.
(4) මේ කරුණු නිසා, චූලනී පිරිස් මහත්මිය මේ ක්‍රියාකාරකම ශ්‍රී ලංකාවේ පාසලක ද ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේ ලා වන පර්යේෂණ පදනමක් තිබේ. ඇය විසින් ගුරුවරුන් කණ්ඩායමකට ද මේ ක්‍රියාකාරකම විවිධ පාසල්වල අත්හදා බැලීමට අවශ්‍ය උපදෙස් වැඩමුඵවක දී ලබා දෙනු ලැබ තිබේ. වැඩමුඵවේ දී භාවිත කළ පියවර මෙසේ ය.
(අ) අභියෝගය- වලහකු සිටුවිය හැකි පුටුවක් නිර්මාණය කරන්න
(ආ) සැපයූ ද්‍රව්‍ය- ඒ4 ප්‍රමාණයේ කොල 3, ගම්, සැලසුම ඇඳීමට ඒ4 ප්‍රමාණයේ කොල 1
(ඇ) කාලය-විනාඩි 30
(ඈ) සැලැස්ම සකස් කිරීමේ දී ව වැරදීම් සහ ඒවා සකස් කර ගත් අයුරු සහ එමගින් උගත් දේ ලියන්න.
වැඩමුඵව හා සම්බන්ධ ඡායාරූප 4-12 වන රූපවල වේ. මේ ගුරු කණ්ඩායම ස්වකීය පාසල්වල ක්‍රියාකාරකම ක්‍රියාත්මක කිරීමේ දී ලබන ප්‍රතිඵල අනුව, ශ්‍රී ලාංකික පාසල් පරිසරයටත් විෂයමාලා ක්‍රියාකාරිත්වයටත් කෙතරම් ක්‍රියාකාරකම ගැළපේ දැයි තීරණය කළ හැකි ය.
(5) අපි ගීත තුනක් ද නරඹමු. ලතා මංගෙස්කාර් ගැයූ හින්දී ගීතය, රුක්මණී දේවි විසින් ගයනු ලබන විට, ශ්‍රී ලාංකික අපට හුරු අනන්‍යතාවක් ලැබී තිබේ දැයි අධ්‍යයනය කරන්න. අනතුරු ව බටහිර සංගීත භාණ්ඩ භාවිතය පසුබිම් කර ගෙන, බටහිර සංගීත ශෛලියෙන්, උමාරියා විසින් සිංහල ගීතය ගයනු ලබන විට, වී තිබෙන වෙනස්කම් විශ්ලේෂණය කරන්න. සංගීත ශෛලි දෙකෙහි වෙනස මෙන් ම මුහුණු ඉරියව් ඇතුඵ ශාරීරික ඉරියව්වල වෙනස ද නිරීක්ෂණය කරන්න. 1951 දී තිරගත වූ Awara හින්දි චිත්‍රපටයේ රගපෑ නාර්ගීස් නිළියගේ ඉරියව්, අවුරුදු 60කට පමණ පසු ජීවත් වන ප්‍රෙක්ෂකයා සඳහා ගයන උමාරියා ගායිකාවගේ කටහඩ සහ රංගන ඉරියව් හා සසදන්න 'ප්‍රතිකෘතකරණ සංකල්පය' ගීත තුන ඇසුරින් ක්‍රියාත්මක ව ඇති අයුරු ද තක්සේරු කරන්න.













No comments:

Post a Comment