Tuesday 20 March 2018

අධ්‍යාන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (35) පාසල් සංවර්ධනය සහසබැදි ක්‍රියාමූලික පර්යේෂණ ව්‍යවහාර: ශ්‍රී ලාංකේය අත්දැකීමක්



2003 සහ 2004 දී, යුනෙස්කොවේ ශ්‍රී ලංකා ශාඛාව, ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ, ළමයින්ට ඉගෙනුම ලැබීමට, සාමකාමී සහ ගැටුමින් තොර පරිසර පවතින ශ්‍රී ලාංකික පාසල්වල යහපත් ව්‍යවහාර, ලේඛනගත කරන ලෙසයි. ඒ සඳහා, ඒ වන විට යහපත් ව්‍යවහාර පැවති පාසල් ලෙස දන්කොටුව බාලිකා විද්‍යාලය, ත්‍රිකුණාමල ශාන්ත මේරි බාලිකා විද්‍යාලය, අනුරාධපුරයේ පෙරිමියන්කුලම අශෝක විද්‍යාලය, කොළඹ නගරශාලාව අසල පිහිටි ප්‍රෙස්බිටිරියන් බාලිකා විද්‍යාලය සහ මහනුවර ඊරියගම ශ්‍රී පුෂ්පදාන විද්‍යාලය  නම් කර, ඒ පාසල්වල ව්‍යවහාර අධ්‍යයනයට උචිත යැයි ද දන්වන ලදී. ඒ අනුව දත්ත රැස් කර වාර්තාව (Educating the child in a peaceful and conflict Free School: Good practices in Sri Lankan schools) සැකසීම සඳහා ඩී.ඒ.එස්.ඩී. රත්නායක, එස්.ඒ සුසිලාවතී, එල්.ඩී.ටී සිල්වා, කේ.ජී. රණසිංහ, එම්.ඒ.පී මුණසිංහ, එම්.ඒ.ඒ.එස්. ඩයස්, ඩී.එම්.ඒ. උයන්වත්ත, ඩබ්.එම් සෝමරත්න සහ ජේ.එස්.එන්.පී. ධර්මවර්ධන මට සහාය වූහ.
පර්යේෂණයට අදාළ පාසලක් වන මහනුවර දෙනුවර ඊරියගම ශ්‍රී  පුෂ්පදාන ආදර්ශ මහා විදුහල ආශ්‍රයෙන් මා සමඟ ඩබ්.එම් සෝමරත්න ලියූ ලිපියක්  මීපේ කළමනාකරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පළ කළ 'අධ්‍යාපන කළමනා' සඟරාවේ 2014 කලාපයක පළ විය (දරුවන්ටත් දෙමාපියන්ටත් පාසල බරක් නොවිය යුතු ය: ඩබ්. පී. පියතිලක මහතාගේ පාසල් පාදක කළමනාකරණ දර්ශනය සහ ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳ හේතු තුලනාත්මක ප්‍රත්‍යෙක අධ්‍යයනයක්).  ඊරියගම ශ්‍රී  පුෂ්පදාන ආදර්ශ මහා විදුහලේ යහපත් ව්‍යවහාර පිළිබඳ ව එකල ලියූ  තවත් ලිපියක් මේ සමඟ සතුටින් පළ කරමි. ඒ සමඟ ම 2004  දී පාසලේ දී ලබා ගත් ඡායාරූප කිහිපයක් ද පළ කරමි.
සොහොනක් අසල තිබූ, විනය පිරිහුණු පාසලට, තම දරුවන් එවන්නට අකැමැති වූ දෙමාපියන්ගේ සිතිවිලි වෙනස් කරන්නටත්  විදුහලේ ගලකින් වැසී තිබූ හිස් බිම, මලින් බර වූ බිමක් කරන්නටත් සාමකාමි ව හැසිරෙන ළමයින් සිටින පාසලක් කරන්නටත් අවශ්‍ය පෙෘරුෂය සහිත වූ ඩබ්.පී. පියතිලක විදුහල්පතිතුමා, බාහිර ව බැලූ විට සරල ඇදුමකින් සැරසුණු පුද්ගලයෙක් විය. පාසලේ භෙෘතික පරිසරය මෙසේ වෙනස් කරන්නට කෘෂිකර්මය විෂයය පිළිබඳ එතුමාගේ ප්‍රවීණතාව ද ඉවහල් වන්නට ඇත.  
විදුහල පිළිබඳ පර්යේෂණය කියවූ මහනුවර ගුරුතුමියක, ඇයගේ අපූරු අත්දැකීමක් මට මෙසේ පළ කළා ය. ඇය පැවසුවේ මහනුවර පැවති වැඩමුඵවක දී වූ සිද්ධියකි.  "වැඩමුඵවට පළමු ව දේශනයක් කළේ,  සුදු ටයිකෝට් හැඳි, මහනුවර ජාතික පාසලක විදුහල්පතිවරයෙකි. පියතිලක මහතා කඵ කලිසමක් සුදු කමිසයක් පමණක් හැඳ වේදිකාවේ දී ස්වකීය අත්දැකීම් ප්‍රකාශ කරන විට, ජාතික පාසල් විදුහල්පති, වේදිකාවේ සිටීමට ලජ්ජාවෙන් මෙන්, වේදිකාවෙන් බැස විත්, ශාලාව පසුපසට වී ළග සිටි අයකු හා පියතිලක මහතාට උපහාසයෙන්  විහිඵ තහඵ කරමින් සිටියේ ය. සුදු ඇදුමින් සිරුර වසා ගත් නමුත් දේශපාලන ඇම්බැට්ටයකු වූ ද  ජනප්‍රිය යයි සම්මත පාසලක හිඳ කාලය ගත කළා මිස නව නිර්මාණයක් නො කළා වූ ද නිසා සුදු ඇඳුමේ කඵ, සමාජ සංජානන අනුව, තවරා ගත් ඊනියා ජාතික පාසල් විදුහල්පතිගේ භූමිකාවට වඩා, සරල ගති පැවතුම් ඇති පියතිලක මහතාගේ විදුහල්පති භූමිකාව අතිවිශිෂ්ට ය."









 

No comments:

Post a Comment