Monday 12 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (25) මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (25) මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය
(1) මා, සහකාර ව්‍යාපෘති නිලධාරියකු ලෙස, ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රාථමික ඒකකයේ සේවයට බැඳුණේ 1987 දෙසැම්බර් මස පළමු වන දා ය. එවකට ප්‍රාථමික ඒකකය ද ඇතුළත් විෂයමාලා සංවර්ධනය මධ්‍යස්ථානය පිහිටුවා තිබුණේ බෞද්ධාලෝක මාවතේ, වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ පීඨය පිහිටි ස්ථානයේ ය.
(2) 1988 ජනවාරි 7 වන දින පෙ.ව.10.45ට, එනම් අදට හරියට ම අවුරුදු 30කට පෙර, ප්‍රාථමික ඒකකයේ නිලධාරින් සඳහා විශේෂ දේශනයක් සංවිධානය කර තිබුණි. දේශක මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය විය. මගේ පුරුද්ද අනුව, ඒ දේශනයේ ද සටහන් සියල්ල කඩිනමින් කටු අකුරින් ලියා ගෙන, ඒ දිනවල දී ම, පැහැදිලි අත් අකුරින් ලියවිල්ලක් ද සැකසුවෙමි (1-8 වන රූප). (ඒ අත්අකුරු පැහැදිලි වන්නේ සාපේක්ෂ වසයෙන් බව දැන් නම් පැහැදිලි ය).
(3) 2017 අගෝස්තු මස 20 වන දින කැනඩාවේ දුවගේ නිවසට මාස කීපයකට තාවකාලික ව පැමිණෙන විට, ශ්‍රී ලංකාවේ දී විටින් විට තබා ගෙන තිබූ විවිධ සටහන් තොගයක් ද රැගෙන ආවේ, ඒවා අනුව පොතක් සකස් කරන අටියෙනි. ගෙනා ලියවිලි, පෙළ ගැස්වීම සඳහා අවුස්සද්දී, මහාචාර්ය ජේ.ඊ. ජයසූරියගේ දේශනයට අදාළ මේ සටහන ද හමු විය. හරියට ම මීට අවුරුදු තිහකට පෙර එතුමා පළ කළ අදහස්, වර්තමාන ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍රමයට තවදුරටත් අදාළ වන නිසා, මෙසේ පරිගණක ගත කර, පළ කිරීමට සිතුවෙමි (9-12 වන රූප).
(4) මා 1988 ලියූ සටහන්වල ඇති ව්‍යාකරණ සහ භාෂා දෝෂවල වගකීම මා සතු ය. අවුරුදු තිහකට පෙර මා සතු ව තිබූ ලේඛන වැරදි ගැන නො සලකා, මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය පළ කළ වටිනා අදහස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. ඒ අදහස් පිළිබඳ මගේ අදහස් පළ නො කරමි. ඒ වෙනුවට ලේඛනය ආශ්‍රිත ව මා මතකයට නැගෙන පර්යේෂණ ක්‍රම තුනක් ගැන ඉඟි කිහිපයක් දෙමි.
(5) ලේඛනය පරිගණක ගත කිරීමේ දී මුහුණු පොත් සාමාජිකයන් වන සුනන්ද විජේරත්න, කසුන් ගුණරත්න සහ රසිකා දමයන්ති ටිකින් ටික කියා දුන් සහ ඒ උනන්දුව අනුව දියණිය ටෙලිෆෝනයට බාගත කර දුන් ගූගල් වොයිෂ් ටයිපින් නිසා, ලේඛනය එක දිනකින්පරිගණක ගත කර ගත හැකි විය. අගෝස්තු මස කැනඩාවට එන විට සාමාන්‍ය දූරකථනයක් භාවිත කළ මට ඇන්ඩ්‍රොයිඩ් දූරකථනයක් ලබා දී, දියණිය සහ රංග බෑනා මා තාක්ෂණ ලෝකයේ නව මානයකට ගෙන යාම ද මගේ ජීවිත ඉතිහාස පර්යේෂණ (Life history research) කතාන්තරයේ පියවරක් ලෙස සලකමි. අවුරුදු 3ක මිනිබිරිය ටච්ෆෝන් එකෙන් ටච් කර කර එක් එක් දැ කුතුහලයෙන් සොයන විට මා, ඒ තාක්ෂණයට පිවිසෙන්නේ 60 පිරුණාට ද පසු ය. මුහුණු පොතට උචිත ලෙස පිටු පරිවර්තනයට මට නිරන්තර සහාය ලබා දෙන නිරාෂා කරුණාරත්නගේ සේවය ද අගයමි. මා,මා ගැන ලියන මේ දෑ මෙන් ම, ඕනෑම කෙනකු ස්වකීය ජීවන සමයේ දී ලියන දෑ, ඔහු/ඇයගේ ජිවිත ඉතිහාසය, පර්යේෂණාත්මක ව ලේඛන ගත කිරීම සඳහා වන මූලාශ්‍රය ලෙස ගිණිය හැකි ය. මුහුණු පොත් සාමාජිකයන් වන ඔබ සැම මුහුණු පොතට ලියන දෑ ද අනාගතයේ ඔබ ගැන කරන්නට හැකි ජීවිත ඉතිහාස පර්යේෂණයකට පදනම් කර ගත හැකි දත්ත වන්නේ ය. 1988 මා ලිවීමේ දී කළ වැරදි, අද කරන වැරදි හා සැසඳීමත් මා පිළිබඳ ජීවිත ඉතිහාස පර්යේෂණයේ පැතිකඩකි.
(6) මවිසින් මුහුණු පොතේ පළ කරනු ලැබූ 'කැනඩාවේ අත්දැකීම් - (24) පත්තරයකින් හෙළි වන කැනඩාවේ ජන ජීවිතයෙන් බිඳක්' ලිපිය කියවූ Mihiri Gamage සන්ධාර විශ්ලේෂණ පර්යේෂණ ක්‍රමය ගැන විමසු හෙයින් ඒ ගැනත් යමක් පවසන්නට මේ ලේඛනය උදව් කර ගනිමි.
(7) මහාචාර්ය ජේ.ඊ. ජයසූරියට අදාළ ලේඛනය අවුරුදු තිහක් පැරණි ය. මෙය වලංගු ලේඛනයක් ද? ලේඛනයක වලංගුතාව දෙයාකාරයකින් පරික්ෂා කළ හැකි ය. අභ්‍යන්තර වලංගුතාව සහ බාහිර වලංගුතාව වසයෙනි. අභ්‍යන්තර වලංගුතාව යනු මේ ලේඛනයට පදනම් වූ දේශනය සහ සාකච්ඡාව සැබැවින් ම තිබුණා ද? එසේ තිබුණා නම් එම දේශනය සහ සාකච්ඡාවට මෙය ලියූ ලේඛකයා සහභාගි වුණා ද? යන කරුණු ඔප්පු කිරීම ය. පාරිභාෂික පදයකින් කිව හොත් සාධිකාරි බව (Authenticity) ඔප්පු කිරීම ය. බාහිර වලංගුතාව යනු ලේඛකයා එම දේශනයට සහභාගී වුණත් ඔහු ලියා ඇති දේ සත්‍ය ද යනු ය. ඔහු ලියා ඇත්තේ ජේ.ඊ. ජයසූරිය මහාචාර්යතුමන් කියූ දෙය ම ද? වෙනත් ඔහුට හිතුණු කරුණු ද? අපට ඕනෑම ලේඛනයක් මෙයාකාරයෙන් වලංගු දැයි විමසිය හැකි ය. මෙය ඉතිහාස පර්යේෂණයේ (Historical research) ද කාර්යයකි.
(8) සන්ධාර විශ්ලේෂණය සඳහා භාවිත කළ හැකි මේ ලේඛනයේ අඩංගු දෑ දෙයාකාර ය. භාෂා භාවිතය සහ ජනනය වන සංකල්ප වසයෙනි. මේ දෙයාකාර පාර්ශ්ව පදනම් කර ගෙන සන්ධාර විශ්ලේෂණය කළ හැකි ය.
(9) ලේඛනයේ භාෂා භාවිතය පිළිබඳ සන්ධාර විශ්ලේෂණය සඳහා අවධාරණය කළ හැකි කරුණු:
     a. ඡේද පටන් ගැනීමේ දී ඉඩ තබා ඇති විසම ක්‍රම ගැන විශ්ලේෂණය කළ හැකි ය
     b. ලියා ඇති වාක්‍යවල දිග, ඒ ඒ වාක්‍යවල ඇති පද ගණන අනුව විශ්ලේෂණය කළ හැකි ය. එයින් අනාවරණය වන කරුණු, දේශනයේ දී මහැදුරු භාවිත කළ වාක්‍යවල දිග සමග සැසදිය හැකි ය. ඒ අනුව දේශනයක කරුණු ලියා ගැනීමේ දී වාක්‍ය රටාවල වන වෙනස්කම් හඳුනා ගත හැකි ය.
     c. අක්ෂර වින්‍යාස දෝෂ, උක්ත ආඛ්‍යාත සම්බන්ධතාව පිළිබඳ දෝෂ, පද බෙදීම් දෝෂ සොයා ඒවා පවතින වාර ගණනක් % වසයෙන් සංඛ්‍යාත්මක ව පෙන්වීමට ද සන්ධාර විශ්ලේෂණයක් කළ හැකි ය.
    d. පළ කළ අදහස්, ඡේද අනුව බෙදී ඇති රටාව විශ්ලේෂණය කළ හැකි ය.
    e. දේශනයේ අන්තර්ගතය ක්‍රමානුකූල ව ගලා ගොස් ඇති දැයි විශ්ලේෂණය කළ හැකි ය.
(10) ලේඛනයෙන් ජනනය වන සංකල්ප හදුනා ගැනීමට සන්ධාර විශ්ලේෂණයක් කළ හැකි ය. එකී සන්ධාර විශ්ලේෂණය අනුව ලේඛනයෙන් මතු වන කරුණු හෝ සංකල්ප මෙසේ පෙළ ගැස්විය හැකි ය.
    a. පාසල් අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ ගැටලු
    b. පාසලේ භූමිකාව ඉටු වන අයුරු
    c. ගුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ගැටලු
    d. ගුරුවරුන්ගේ යහපත් ව්‍යවහාර (Good practices)
    e. ශිෂ්‍ය විවිධත්වය හා පාසල් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය
    f. විදේශ රටවල පාසල් අධ්‍යාපනය හා ශ්‍රී ලංකා පාසල් අධ්‍යාපනය සැසඳීම
    g. ටියුෂන් අධ්‍යාපනය
    h. ගෙදර වැඩ
    i. දෙමාපිය භූමිකාව
    j. වෙනත්
(11) සන්ධාර විශ්ලේෂණයක් කළ හැක්කේ ලිඛිත ව පවතින 'ලේඛන' ගැන පමණක් නො වේ. ගුවන්විදුලියේ, රූපවාහිනියේ දැක්වෙන වාචික අදහස් දැක්වීම් විශ්ලේෂණයට ද සන්ධාර විශ්ලේෂණය භාවිත කළ හැකි ය. 1948 සිට 2017 දක්වා පෙබරවාරි 4 නිදහස් දින, රාජ්‍ය නායකයන් ජාතිය අමතා කළ කතා එකතු කර, ඒවායේ සන්ධාරය විශ්ලේෂණය කළ හොත්, ශ්‍රී ලංකාවේ ගමන් මග විවිධ දෘෂ්ටිකෝණ අනුව වෙනස් වූ ආකාරය හඳුනා ගත හැකි ය. ගුරුවරයකු කරන පාඩමක දී, විදුහල්පතිවරයකු උදේ රැස්වීමේ කතා කිරීමේ දී, කාර්යාලයක නිල රැස්වීමක දී පළ වෙන කරුණු හා ඒ අදහස්වල රිද්මය- ආවේගශීලි බව ගැන ද සන්ධාර විශ්ලේෂණ පර්යේෂණ කළ හැකි ය. ටෙලිනාට්‍යවල අන්තර්ගතය ද සන්ධාර විශ්ලේෂණයට අදාළ කර ගත හැකි ය. පුවත්පත්වල ප්‍රවෘත්ති, පෙළපොත්වල අන්තර්ගතය, මුහුණු පොත් පිටුවල අඩංගු සියලු දේ (උදා- ජනවාර් 1 දාට ලැබෙන සුබ පැතුම්, එක් අයකුගේ Post එකකට ලැබෙන ප්‍රතිචාර) , මෙයාකාරයෙන් විශ්ලේෂණය කර, විවිධ ජීවන රටා ද හඳුනා ගත හැකි ය.
(12) කෙටියෙන් කිව හොත් සන්නිවේදනය වන ඕනෑ ම දෙයක් ගැන සන්ධාර විශ්ලේෂණ පර්යේෂණ කළ හැකි ය. අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝ පට දෙකක් (Yuki and Taku in Singapore (https://www.youtube.com/watch?v=nHE7u40plD0) සහ 5 වන ශ්‍රේණියේ ගුරුවරයකු සහ ළමයින්ට සම්බන්ධ Teacher Has Personalized Handshakes With Every Single One of His Students (https://www. youtube.com/watch?v=I0jgcyfC2r8) ද හින්දි ගීයක් ද මෙහි අමුණමි (12-14 වන වීඩියෝ). ඒවායෙන් සන්නිවේදනය වන සන්ධාරය, විශ්ලේෂණය කරනුයේ කෙසේ දැයි යනු ගැන කල්පනා කරන්න.















No comments:

Post a Comment