Monday 12 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (29) පාසලේ නිසල දැනුම (Tacit knowledge of schools)

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (29) පාසලේ නිසල දැනුම (Tacit knowledge of schools)
(1) ක්‍රියාමූලික පර්යේෂණයක මූලික අරමුණක් වන්නේ පර්යේෂණයේ නියැළෙන වෘත්තිකයාගේ ද වෘත්තිය භූමිකාවේ ද ධනාත්මක වෙනසක් ඇති කර ගැනීමයි. පර්යේෂණ වැඩමුළුවල දී මෙසේ වෘත්තිකයන් ඇති කර ගත යුතු භූමිකා වෙනස පිළිබඳ ව අදහස් උත්පාදනය කිරීම සඳහා මා අන්තර්ජාලයේ සැරිසරන ලද 1 සහ 2 වන රූපවලින් නිරූපිත සමහර විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ කායික ඉරියව් සභාවට ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව මේ විදුහල්පති හෝ ගුරුවරුන් ස්වකීය සේවා ස්ථානය වූ පාසලේ සංවර්ධනය පිළිබඳ ව ක්‍රියාමූලික පර්යේෂණ කරන්නට උචිත ගැටලු මොනවා දැයි සොයා බලන්නේ නම්, පළමු ව කළ යුතු වන්නේ ස්වකීය ම වූ ඉරියව් ගැටලු ලෙස තීරණය කර, පාසලට මිතුරු ලීලාවකින් එකී ඉරියව් වෙනස් කර ගැනීම සඳහා උචිත ක්‍රියාමාර්ග ගැනීමයි.
(2) මේ සම්බන්ධයෙන් මා උපුටා දක්වන තවත් උදාහරණයක් වනුයේ,කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු, මා ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරන කල, මට පැවසූ අදහසකි. ආදි ශිෂ්‍ය මගේ කනට කර එවකට සිටි විදුහල්පති ගැන රහසක් පවසන්නට තිබෙන බව පැවසී ය. එක් වර ම මට සිතුනේ අපචාර ක්‍රියාවක් හෝ මූල්‍ය දූෂණ ක්‍රියාවක් විදුහල්පති කරන්නට ඇතැයි කියා ය. ඒ අනුව කුතුහලයෙන් රහස කුමක් දැයි විමසූ විට ඔහු වටපිට බලා කාටවත් නොඇසෙන්නට මෙසේ පැවසීය. "මන් පාසලට ගිය දිනක විදුහල්පති තුමා පිට්ටනියේ කොණකට වී කකුලක් වැට උඩ තබා ගෙන ශිෂ්‍යකුගේ පියකු සමග කතා කර කර හිටියා. අපේ පාසලේ විදුහල්පති වරයා ඒ විදිහට වැට උඩ කකුලක් උඩ තබා ගෙන, තමා හම්බු වෙන්න එන අයකු සමග කතා කර ගෙන සිටීම පාසලේ තත්ත්වයට මදිකමක්. මම ඉගෙන ගත්ත කාලේ විදුහල්පතිට තිබ්බ උදාර ලක්ෂණ දැන් නෑ." මේ උදාහරණයෙන් ද මා පෙන්නුම් කරන්නට උත්සාහ කරනුයේ ක්‍රියාමූලික පර්යේෂණ කිරීම යනු මහා පරිමාණයේ වෙනසක් කිරීමට දරණ උත්සාහයක් පමණක් නො වන බව ය. ස්වකීය චර්යාවේ සුළු වෙනසක් හෝ ඇති කර ගැනීමට වෘත්තිකයකු සූදානම් වන්නේ නම්, එමගින් වෘත්තිකයාගේ භූමිකාව සංවර්ධනය වන්නා සේ, වෘත්තිකයා සේවය කරන ආයතනයේ ප්‍රතිරූපය ද සංවර්ධනය වන්නේ ය. ආයතනයෙන් සේවය ලබන ප්‍රජාවගේ ද සංවර්ධනයක් වන්නේ ය.
(3) මා පැවැත්වූ පර්යේෂණ වැඩමුළුවලට සම්බන්ධ මෙම උදාහරණ මට මතක් වූයේ මුහුණු පොතට Gamini Karunachandra එක් කර තිබූ රූපයක් දුටු විට ය (3 වන රූපය). "නියෝජ්‍ය විදුහල්පතිනිය 7.29 ට" යනු පෝස්ටුවේ මාතෘකාවයි. "ප්‍රමාද වී පැමිණෙන ගුරුවරු දෙස අනුකම්පාවෙන් බලා සිටින අපේ විදුහල්පති නියෝජ්‍ය විදුහල්පතිනිය" ලෙස තව අයකු ඊට ප්‍රතිචාර ලෙස ලියා තිබුණි.
(4) පර්යේෂණවලට අදාළ ව කියවුණත් මෙතෙක් කී කරුණු පාසල් වෘත්තිකයන්ගේ භූමිකාවේ ඍණ පැත්තට පමණක් බර වූ නිසා, ශ්‍රී ලංකාවේ පාසල්වල සංවර්ධනයට විශිෂ්ට සේවයක් කළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ගැන අදහස් ද පවසමි.
පළමු ව, 1988-1989 වර්ෂවල, ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය ජී.බී. ගුණවර්ධනගේ මග පෙන්වීම පරිදි ක්‍රියාත්මක කළ සාර්ථක පාසල් ව්‍යවහාර පිළිබඳ ප්‍රත්‍යෙක අධ්‍යයන මාලාවයි.මේ යටතේ, තොරා ගත් පාසල්වල විෂයමාලාව ක්‍රියාත්මක කිරීම, විෂය සමගාමි ක්‍රියාකාරකම්, විදුහල්පති කළමනාකරණය, චිත්‍ර ඉගැන්වීම, සමාජ වාතාවරණය, පාසල් ප්‍රජා සම්බන්ධතා යන ක්ෂේත්‍රවල යහපත් ව්‍යවහාර, පර්යේෂණ වාර්තා ලෙස එළිදක්වන ලදී.
දෙවනු ව, 2007 දී ජාතික අධ්‍යාපන ආයතනය, පුවත්පත් දැන්වීමක් පළ කළේ ය. වැසෙන්නට ගිය පාසල් දියුණු කළ විදුහල්පතිවරුන්ගේ ව්‍යයාම රටා ලේඛනගත කිරීම සඳහා වූ ව්‍යාපෘතිය පිළිබඳ ව විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමට ය. ඒ අනුව ලියැවුණු වැසෙන්නට ගිය පාසල් දියුණු කළ විදුහල්පතිවරුන් 7 දෙනකු ගැන පර්යේෂණ වාර්තා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රසිද්ධ කරන ලදී.
(5) අධ්‍යාපන ක්ෂේත්‍රයේ යහපත් ව්‍යවහාර ප්‍රචලිත කරන අන්තර්ජාතික ආයතනයක් ගැන ද පවසමි. දකුණු කොරියාවේ Asia-Pacific Center of Education for International Understanding (APCEIU) ආයතනය වාර්ෂික ව පවත්වන EIU best Practices තරගයේ දී, ආසියා ෆැසිපික් කලාපයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා හොද ව්‍යවහාර තෝරා ගෙන වාර්ෂික ව පළ කරනු ලැබේ. (http://www.unescoapceiu.org/en/m411.php?pn=4&sn=1&sn2=1 වෙබ් අඩවිය බලන්න). 2006 සිට මේ වන විට හොඳ ව්‍යවහාර 46ක් පළ කර තිබේ. එයින් දෙකක් (පළමු වැන්න සහ 10 වැන්න) ශ්‍රී ලංකාවේ පාසල් 7ක හොඳ ව්‍යවහාරවලට අදාළ පර්යේෂණ වාර්තා ය (4, 5 සහ 6 වන රූප).
(6) ශ්‍රී ලංකාවේ පන්තිකාමරවල, නිහඩ ව නමුත් විශිෂ්ට සේවයක් කරන ගුරුමහත්ම මහත්මීහූ ද සිටිති. ඔවුන් සතු දැනුමත්-ඔවුන් පිළිබඳ දැනුමත් 'නිසල දැනුමක්' (tacit knowledge) ලෙස සැග ව පවති. එම දැනුම ප්‍රචලිත කිරීම සඳහා ලේඛනගත කිරීමේ සහ ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව පවති.
(7) ක්‍රියාමූලික පර්යේෂණ කිරීම සඳහා වශයෙන් මෙන් ම ශ්‍රී ලාංකික සමාජය දියුණු කර ගැනීමේ නව පියවරක් වශයෙන් ද කළ යුතු තවත් දෙයක් වන්නේ වෘත්තිකයන්ගේ මෘදු කුසලතා සංවර්ධනය කර ගැනීම ය. මෙහි දී මා දුටු කැනඩාවේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකුගේ චරිත ලක්ෂණ ද විස්තර කරන්නට කැමැත්තෙමි.
පාසලේ සවස 6.00ට, ළමයින් සදහා චිත්‍රපටයක් පෙන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. වැඩසටහනේ අරමුණ වූයේ පාසල් පන්තිකාමරවල ස්ටීම් පාදක විෂයමාලාව වැඩිදියුණු කිරීමට ආධාර එකතු කිරීමයි (4 වන රූපය). ආධාර එකතු කිරීමට යොදා තිබූ වැඩපිළිවෙළ වූයේ චිත්‍රපටිය බලන්නට පැමිණෙන දෙමාපියන්ගෙන් ඇතුඵ වීමේ දී ආධාරයක් (donation) එකතු කිරීම ද පීසා, පොප් කොර්න් සහ නෙස්කැෆේ වැනි බීම අලෙවි කිරීම ද විශාල පරිමාණයේ චොකලට් පැකට්ටුවක් තෑගි ලෙස වූ ලොතරැයි දිනුම් ඇදීමකි. චිත්‍රපටය නැරඹීම සඳහා ශාලාවේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෙන් කර තිබුණි. එහි බිම වාඩි වී චිත්‍රපටය නැරඹීම සඳහා ළමයින් නිවෙස්වලින් කොට්ට-මෙට්ට-රෙදි වැනි දේ රැගෙන විත් තිබුණි. ළමයින්ට අවශ්‍ය නම්, නිදියා ගෙන වුව ද කමින් බොමින් වුව ද චිත්‍රපටිය නැරඹීමට නිදහස් අවකාශය තිබිණි. දෙමාපියන් සඳහා පසුපස ආසන පේළි කීපයක් පනවා තිබුණි.
විදුහල්පති කොහේ දැයි බලන විට දක්නට ලැබුණේ ඔහු එදිනෙදා සැරසී සිටින පරිදි සාමාන්‍ය යුරෝපීය ඇඳුමින් සැරසී, ශාලාවේ පසුපස සිට ගෙන සිටින ආකාරයයි. ඔහුට විශේෂ පිළිගැනීමක් වත් ගරු කිරීමක් වත් දක්නට නොලැබිණි. මුළු කාලවේලාව ම පිටුපසට වී සිට ගෙන සිටි හෙතෙම දෙමාපියන් ඇවිත් යමක් විමසුව හොත් ශබ්දය නිසා විටින් විට එළියට ගොස් සාකච්ඡා කර පැමිණියේ ය
මට පාසලේ පන්ති කාමර සහ පාසල් පරිසරය නිරීක්ෂණය කරන්නට ආශාවක් තිබුණු නිසා මේ උත්සවයට සහභාගි විය. මගේ දුව චිත්‍රපටය ඇරඹී පැය භාගයකට පමණ පසු ගොස් විදුහල්පතිට මා ගැන පවසා මේ අවශ්‍යතාව පැවසූ විට, චිත්‍රපටය යන අතර ම මට එන්න කියා පන්ති කාමර කිහිපයක් ද පුස්තකාලයක් ද විවෘත කර පෙන්නුවේ ය. "දැන් මේ චිත්‍රපටය පෙන්වන නිසා/විශේෂ වැඩසටහන නිසා වෙන දවසක පෙන්වන්නම්" වැනි ප්‍රකාශයක් ඔහුගෙන් පළ නො වී ය. විශේෂ ලක්ෂණය වූයේ විදුහල්පතිගේ සාක්කුවක යතුරු කැරැල්ලක් තිබීමත් එම යතුරු කැරැල්ලෙහි පාසලේ සියලු ම කාමර විවෘත කිරීමට හැකි යතුරු තිබීමත් ය. ඒ ඒ පන්ති කාමරය ගැන ද පංති කාමරයට එළිමහනේ බිත්තිවල නිම කර තිබූ විවිධ ක්‍රියාකාරකම් ගැන ද විස්තර කළ ආකාරයෙන් පැහැදිලි වූයේ විදුහල්පතිට පාසලේ බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව මනා වැටහීමක් තිබූ බව ය. පාසල් දිනයක පන්තිකාමර බලන්නට පැමිණිය හැකි දැයි ඇසූ විට ඔහු පැවසුවේ ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලට බාධා වන බැවින් එසේ බාහිර අයට පන්තිවලට යන්නට අවසර නොදෙන බවකි. විදුහල්පති වශයෙන් ඔහු පළ කළ පෞරුෂය රඳා පැවතුනේ ඔහුගේ සරල බව සහ පාසල ගැන තිබූ අවබෝධය මත මිස, ඔහු හැඳ පැළඳි ඇඳුම හෝ ඔහුගේ මුහුණෙහි ආරූඪ කර ගත් ව්‍යාජ පෞරුෂය මත නො වන බව පවසන්නට හැකි වීම සතුටට කරුණකි.







No comments:

Post a Comment