Tuesday 13 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (31) රුවණ්ඩාව ගැන ලියැවුණු පොතකින් ශ්‍රී ලංකාව ද දකිමි

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (31) රුවණ්ඩාව ගැන ලියැවුණු පොතකින් ශ්‍රී ලංකාව ද දකිමි
(බලය වෙත කොඳුරන සත්‍යය: මානවවංශ විවරණ පර්යේෂණයක් (Ethnography) පාදක කෘතියකි.
Susan Thomson (2013) Whispering truth to power. Everyday resistance to reconciliation in postgenocide Rwanda. Wisconsin: The University of Wisconsin Press.)
(1) 1983 දී ශ්‍රී ලංකාවේ ඇති වූ කලබල අතරතුර මහනුවර නගරයේ දී ලැබූ අත්දැකීම් මතකයට නැගේ. මහනුවර පොලිසිය සහ පොදු වෙළෙදපොළ (මාර්කට්) අතර, වර්තමානයේ පාර හුවමාරු වන තැන, සීදේවී කිරිහල ඉදිරිපිට දෙමළ පවුලක් සිටියේ ය. ඔවුහූ යාපනයේ දෙමළ ලක්ෂණ පෙන්නුම් කළහ. ඔවුන් බසයක් එන තෙක් සිටි බව පෙනුණි. ඔවුන් මඳක් බියෙන් මෙන් බලා සිටියේ මාර්කට් එක ඉදිරිපිට සිටි ඉන්දියානු දෙමළ ජාතිකයන් දෙදෙනකුට සිංහලයන් දෙතුන් දෙනකු විසින් පහර දෙනු ලබන ස්වරූපයයි. එවිට ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් කීප දෙනකු පැමිණ එම දෙමළ ජාතිකයන් දෙදෙනා බේරා ගෙන මාර්කට් එකට ඇතුඵ වන ස්ථානයේ පඩිපෙළෙහි ඉන්දවූහ. හමුදා නිලධාරීන් අවට වෙනත් කලබල ඇත්දැයි නිරීක්ෂණය කරන අතර, සිංහලයන් එක් කෙනා දෙන්නා හිමින් හිමින් පැමිණ හිඳගෙන සිටි දෙමළ ජාතිකයන්ට ටොකු අනිමින් රහස් පෙදෙස මිරිකමින් විනෝදයට මෙන් පැන ගියහ. වේදනාවෙන් කෑ ගසන උඩරට දෙමළ ජාතිකයන්ගේ හඬට, හමුදා නිලධාරින් පිටුපස බලා කවුද පහර දුන්නේ යයි ඇසුව ද, ගැවසෙන සෙනග අතර, කපටිකමට සැඟ ව සිටි පහර දුන් අය හොයා ගන්නට ක්‍රමයක් නො වී ය. මා නිරීක්ෂණය කළ විශේෂ ලක්ෂණයක් වූයේ, සංකීර්ණ මිනිස් සමූහ චර්යා අතර, හමුදා නිලධාරීන් මධ්‍යස්ථ ව නීතියට අනුව ක්‍රියා කරන්නට උත්සාහ කළ ආකාරයයි; වතු දෙමළ ජාතික අහිංසක දුප්පත් මනුෂ්‍යයන් දෙදෙනා, හිරිහැරවලින් බේරා ගැනීමට අවංක ව උත්සාහ ගත් බවයි. සුදු සරම් සහ කමිස ඇඳ සිටී මේ අහිංසක දෙමළ දෙදෙනාට හිරිහැර කළ මිනිසුන්ට, මැනවින් කලිසම් සහ සාරි ඇඳ සිටී මා මුලින් සඳහන් කළා වූ දෙමළ පවුල පෙනුණේ නැත. හිරිහැර කළ අයගේ මනසේ දෙමළ යනුවෙන් අර්ථ නිරූපණය වී තිබුණේ වතුවල වැඩ කළ දෙමළ මිනිසුන් ය. මේ අමිහිරි සිද්ධිය තවදුරටත් බලන්නට බැරි නිසා මා නිවසට යන බසයට නගින්නට සිල්වඩේල් හෝටලය අසල බස් නැවතුමට (එකල බස් නැවැත්තුවේ අද මෙන් කච්චේරිය අසල නො ව සිල්වඩේල් හෝටලය අසල ය) යන්නට පටන් ගතිමි. එවිට අලි මුඩුක්කුව පැත්තේ සිට, කඩන ලද දෙමළ මිනිසුන් සතු කඩවලින් මංකොල්ල කන ලද බඩු කරේ තියාගෙන, වෙළෙඳ පොළ දෙසට ම දුවන නාට්ටඹියකු වැනි දෙමළ මිනිසකු දුටුවෙමි. ඔහු ටවුමේ පදිංචි ව සිටි දෙමළ රස්තියාදුකාරයකුට සමාන ලක්ෂණ ද පළ කළේ ය. කමිසයක් ඇඳ තිබුණේ නැත. සිංහලයන් කැඩූ දෙමළ මිනිසුන් සතු කඩවලින්, සතුටින් බඩු පැහැර ගෙන යන දෙමළ මිනිසකු ද අපූරු ලෙස දිටිමි. මහනුවර නගරයේ දී 1983 දී මා දුටු මේ චරිතවලින් නිරූපණය වන්නේ ජාතිවාදී කලබලයෙහි මතුපිටින් පෙපෙන සරල රටාවට වඩා, පවතින විවිධ වූ සංකීර්ණ රටා ය. මිනිසා, මිනිසුන් දෙස බලන ආකාරය හෙවත් ටිකක් බර පදවලින් කියනවා නම්, සංජානනය කරන රටාවේ විවිධතා ය.
(2) 1983ට පෙර, 1977/8 පමණ ජාතිවාදි කලබලයක් ඇති වූ විට, මහනුවර ජීවත් වූ රාමලිංගම් නම් අතිප්‍රසිද්ධ සහ මව්වරුන් අතර ඉතා ජනප්‍රිය නාරිවේදී වෛද්‍යවරයකුගේ නිවසකට ද හානි කර තිබුණි. පසු ව ඔහු පොලිස් ආරක්ෂාව පිට අස්ගිරිය පොලිස් ස්ථාන භූමියේ සිටින අයුරු දුටුවෙමි. 'මගේ වෛද්‍ය ආරක්ෂාව යටතේ මව්වරුන් ආරක්ෂිත ව බිහි කළ දරුවන් ම මගේ දේපළවලටත් මටත් හානි කළ බව දැනුණා' යනුවෙන් හෙතෙම පොලිස් නිලධාරිවරයකුට සංවේදී ස්වරූපයෙන් පවසා තිබූණි. පසු ව හෙතෙම ශ්‍රී ලංකාව අතහැර ගියේ ය.
එම කලබල අවස්ථාවේ දී මා සේවය කළ කන්තලේ අග්බෝපුර කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට සිටි, එළදෙනක ඇති කර ගමට කිරි සැපයූ දෙමළ පවුලක් ගැන ද මතක් වේ. අප පාසලේ 10 වන ශ්‍රේණියේ ශිෂ්‍යාවකගේ, බීමට ඇබ්බැහි වූ පියකු ඇතුඵ පිරිසක් රැයෙහි පැමිණ, ගමට කිරි සැපයූ එළදෙන මරා මස් කර පුඵස්සමින් මත්පැන් බිබී මස් ගිල දමා ඇත. කලබලය වන විට පවුලේ සාමාජිකයන් ආරක්ෂාවට කොහේ දෝ පැන ගොස් තිබිණි. පසු අවස්ථාවක ඔව්හූ නිවසට පැමිණ, වූ දේ දුක් මුහුණින් යුතු ව බලන අයුරු දක්නට ලැබිණි.
මේ සිද්ධිමාලා මගේ මතකයට නැගුණේ රුවන්ඩාව ගැන ලියැවුණු, මානවවංශ විවරණ පර්යේෂණයක් පාදක කෘතිය කියවන විට ය.
(3) ලෝක ජනහනයෙන් 0.16%ක් පමණ ඉතා සුඵ පිරිසක් වෙසෙන රුවන්ඩාවේ ගෝත්‍රිකයෝ තෙවර්ගයකි. හුටුවරුන් 85%ක් පමණ ය. ටුට්සිවරුන් 14%ක් පමණ සිටිති. 1%ක් ට්වාවරු (Twa) වෙති. විවිධ හේතු පාදක කර ගෙන අතීතයේ සිට හුටු සහ ටුට්සි ගෝත්‍ර අතර මතභේද විය. ආර්ථික බලයත් ඉහළ සමාජ තත්ත්වයත් ජනගහනයෙන් 14%ක් වූ ටුට්සිවරුන් අත වූ නිසා, වර්ග අතර වූ අසමබර බව ගැටුමට බලපෑ සාධකයක් විය. දෙපාර්ශ්වය අතර කලින් කල ඇති වූ ගැටුම්වල උච්ච අවස්ථාවක් ලෙස, 1994 අප්‍රේල් මස ඇරඹී, දින සියයක් ගත වන තෙක්, රුවන්ඩාවේ සමුලඝාතනයක් සිදු විය. 1994 වන විට බලයේ සිටි හුටුවරුන්ගේ අතවර නිසා අසල්වැසි රටවලට පැන ගොස් සිටි ටුට්සිවරු, සන්නද්ධ ව, 1994 දී රුවන්ඩාව ආක්‍රමණය කර එහි බලය අල්ලා ගත් පසු ව සමුල ඝාතනය නැවතිණි.
(4) සමුල ඝාතනය නිසා රුවණ්ඩා ජනගහන රටාව වෙනස් වූ ආකාරය දක්වන ප්‍රස්තාරය බලන්න.
(5) සමුල ඝාතනය ඇරඹීමට බලපෑ හේතු ද දෙයාකාර ව අර්ථ ගැන්වෙයි.
 හුටු අන්තවාදින් ම, එවකට රුවන්ඩාව පාලනය කළ ජනාධිපති, ටුට්සිවරුන් සමග සාම ගිවිසුමක් අත්සන් කර ගුවන් යානාවෙන් ආපසු එන විට, ගුවන් යානය විනාශ කර-ජනාධිපති ඝාතනය කර, එය ටුට්සිවරුන් කළා කියා බොරුවට චෝදනා කර, ටුට්සි ඝාතනය ඇරඹීම
 ටුට්සිවරුන් ම, එවකට රුවන්ඩාව පාලනය කළ ජනාධිපති, ටුට්සිවරුන් සමග සාම ගිවිසුමක් අත්සන් කර ගුවන් යානාවෙන් ආපසු එන විට, ගුවන් යානය විනාශ කර-ඝාතනය කිරීම නිසා සමුල ඝාතනය ඇරඹීම
(6) සමුල ඝාතනයේ දී ප්‍රධාන කොට සහ සරල ලෙස 'හුටු ගෝත්‍රිකයන් විසින් ටුට්සි ගෝත්‍රිකයන් ඝාතනය' වූ බව පැවසුණි. වැඩි වසයෙන් මිය ගියේ ටුට්සිවරුන් නිසා ය. වර්තමාන රුවන්ඩායේ බලය ඇති ටුට්සිවරුන් ප්‍රමුඛ රජය පවසන්නේ ද ඒ අදහසයි. ඒ සරල දර්ශනය සහිත දින සීයෙහි සිද්ධි දාමය සංකීර්ණ විය. සමුලඝාතනයේ දී වූ දේ පහත ලෙස විවිධාකාර පැති සහිත ය.
 හුටු අන්තවාදීන් විසින් ටුට්සින් මෙන් ම මධ්‍යස්ථ හුටුවරුන් ද ඝාතනය කිරීම
 වර්තමාන රජයේ ටුට්සින් සතු හමුදා බලය අල්ලා ගන්නා විට ටුට්සි අන්තවාදීන් විසින් හුටුවරුන් ද ඝාතනය කිරීම
 අන්තවාදීන්ගේ මරණ තර්ජනයේ බලපෑමෙන්, මධ්‍යස්ථ වැසියන් ද තමන්ගේ ගැළවීම සදහා අනෙක් ගෝත්‍රිකයන් ඝාතනය
 ටුට්සි ජාතික බිරින්දන් සිටි හුටු සැමියන්, හුටු අන්තවාදින්ගේ බලපෑමෙන්, ස්වකීය ජීවිතයත් දරු ජීවිතත් බේරා ගැනීමට බිරින්දෑවරුන් ඝාතනය
 තමා ජීවත් වූ ගෙදර පිහිටි ඉඩමේ ම මිය ගොස් එහි ම වැළලී යාමේ අපේක්ෂාව සහිත ටුට්සිවරුන්, අල්ලපු ගෙදර සිටි හුටු මිතුරන්ට කියා තමා ව ඝාතනය කරවා ගෙන, ස්වකීය මළ සිරුර තම ඉඩමේ වළලා ගැනීම
 ඝාතනයට බියෙන්, එකට ජීවත් වූ ගම්වැසියන් ලෙස, හුටු-ටුට්සි භේදයක් නො තකා, මිනිසුන් බියේ පැන දිව යාම සහ ටුට්සින් පසු ව ඝාතනය වී ඇති බව දැන ගැනීම
 ගෝත්‍රය කුමක්දැයි නො දැන සැකය මත විවිධ ගෝත්‍රිකයන් ඝාතනය
 විරුද්ධ ගෝත්‍රිකයන්ගේ පවුල් ඝාතනය කළ අයත් සමහර විට ඒ පවුල්වල සමහර සාමාජිකයන් ඝාතනය නො කිරීම සහ ආරක්ෂා කිරීම.
 ට්වාවරුන් ද මතභේදවලට සම්බන්ධ නැතත් මැරුම් කෑම
 මධ්‍යස්ථ පිරිස් අන් ගෝත්‍රිකයන් විවිධ උපක්‍රම අනුව ගළවා ගැනීම, රැකවරණය ලබා දීම සහ ආරක්ෂා කිරීම
(7) මේ සිත් කළඹවනසුලු සිද්ධි දාමයේ ඓතිහාසික පසුබිම පිළිබඳ මත තුනකි.
 ගෝත්‍රික ප්‍රශ්නය ශතවර්ෂ ගණනක් අතීතයට විහිදෙයි.
 (ශ්‍රී ලංකාවේ ද) යුරෝපීයයන් විසින් ක්‍රියාත්මක කරන ලද බෙදා වෙන් කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය, අප්‍රිකානු රටකට බලපෑ ආකාරය පිළිබඳ අනගි උදාහරණයක් ලෙස ද රුවණ්ඩාව සැලකිය හැකි ය. ඒ මතය අනුව ගෝත්‍රික භේද ඇති කරනු ලැබුවේ යුරෝපීය පාලකයන් විසිනි.
 1994න් පසු බලයට ආ වර්තමාන රුවණ්ඩා රජය තමන්ගේ ටුට්සි ගෝත්‍රයට සහ තම පාලනයට අවශ්‍ය විදියට ඉතිහාසය (විකෘති කර) අර්ථනිරූපණය කරයි. එයට විරුද්ධ වන්නන් මර්දනය කරයි; අතුරුදහන් කරයි.
(8) සමුල ඝාතනයෙන් අනතුරු ව, බලයට පත් ටුට්සි ගෝත්‍රයේ නායක පෝල් කගාමේ (Paul Kagame), 'සියලු රුවන්ඩා වැසියන් සඳහා එක් රුවන්ඩාවක්' යන ප්‍රතිපත්තියට අදාළ 'ජාතික සමගිය සහ සමගි සන්ධානය (National unity and reconciliation)' පිළිබඳ රුවන්ඩා රජයේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන්නට පටන් ගත්තේ ය. ඒ අනුව ටුට්සි-හුටු ආදි ලෙස පුද්ගලයන් හැඳින්වීම තහනම් කෙරිණි. සියල්ලෝ රුවණ්ඩා ජාතිකයන් ලෙස නම් කෙරිණි. මේ පාලනයේ 'හොඳ ප්‍රතිරූපය' පිළිබඳ ව පුවත්පත්වල සහ ඇමෙරිකාවේ නිල ලේඛනවල අලංකාරෝක්ති ද පළ වන්නට විය. මේ ප්‍රචලිත වූ රටාවට විකල්ප වූ ද සැඟවී පවතින්නා වූ ද රුවන්ඩාවේ ගැමි සාමාන්‍ය ගොවි ජනතාවගේ මතය-ප්‍රතිවේධය (Insight), සුසාන් තොම්සන් මහාචාර්යවරියගේ මානවවංශ විවරණ පර්යේෂණ ක්‍රමය පාදක කර ගත් කෘතියෙන් නිරූපණය වෙයි.
(9) දේශපාලන විද්‍යාව අර්ථනිරූපණය කිරීමේ ප්‍රවේශය (Interpretative tradition of political science) අනුව කරන ලද පර්යේෂණයකි. දේශපාලනය විශ්ලේෂණය කිරීමේ උපකරණයක් ලෙස, මානවවංශ විවරණය, ක්‍රියාකාරකමක් මෙන් ම සංවේදිතාව දනවන්නක් ද වන්නේ ය. ක්ෂෙත්‍ර කටයුතු (Field work) සහ සමීප ව සම්බන්ධ වූ පර්යේෂණයක් ද වන්නේ ය. එදිනෙදා ජීවිත රටා හදුනා ගැනීමට, පර්යේෂිකාව දකුණු රුවණ්ඩාවේ මාස 6ක් ජීවත් වූවා ය; ජාතික භාෂාව වන Kinyarwanda උගත්තා ය; එදිනෙදා ජනතාව සමඟ අන්තර්ක්‍රියාවල-සාකච්ඡාවල නියැඵණා ය; රැස්වීම්-උත්සව-නඩු විමසන ස්ථාන-වැරදි කළ අයට පුනර්ඉගෙනුම ලබා දෙන ස්ථාන ආදි ස්ථානවල ගැවසුණා ය; කටකතා-ඕපාදූප-විහිඵ-උපමා කතාදිය ගැන විභාග කළා ය. සමස්ත පර්යේෂණයේ දී 'සහභාගිකයනගේ හඩ (Voice) නිරූපණය කරන උපකරණයක්' ලෙස ද පර්යේෂිකාව ක්‍රියා කළා ය.
(10) පර්යේෂකටත් පර්යේෂකගේ පර්යේෂණය පසු කාලයේ කියවන පාඨකයන්ටත්, පර්යේෂණය කෙරෙන බිම් මට්ටම ගැන හා පර්යේෂණයට අදාළ විද්වත් දැනුම සමබර කර ගන්නට මානවවංශ විවරණ පර්යේෂණ වාර්තාව සමත් විය යුතු ය. මේ අවශ්‍යතාව සපුරාලීමට හැකි ලෙස පර්යේෂණය කෙරිණි.
(11) 'සාමාන්‍ය ගොවි රුවණ්ඩානුවන්ගේ ජීවිතයේ අත්දැකීම්වල ඍජු ප්‍රතිඵලයක් ලෙස මතු වන හඩ' පර්යේෂණයේ හදවත විය. මේ අනුව පර්යේෂණයට අදාළ දත්ත ලෙස, ඒ ඒ පුද්ගලයනගේ ජීවිත කතාන්තර ගැන විශ්ලේෂණයක්, සමාජ, ඓතිහාසික, දේශපාලන, ආර්ථික සන්දර්භ ඔස්සේ සපයන්නට ජීවිත ඉතිහාස පර්යේෂණ ක්‍රමය (Life history research method) භාවිත කෙරිණි.
(12) දකුණු රුවන්ඩාවෙහි පිටිසර ජීවත් වන, ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ නො කළ, තිස් හත් දෙනකුගෙන් (ට්වා=3; හුටු=20; ටුට්සි=14) සජීවි ඉතිහාස අත්දැකීම්,ගුණාත්මක දත්ත ලෙස රැස් කෙරිණි. 37 දෙනා ක්‍රිස්තියානි ආගම ඇදහූ, පහත සදහන් පොදු ලක්ෂණ 4 සහිත කණ්ඩායමකි.
 1994 සමූල ඝාතනයෙන් බේරුණු අය වෙති.
 ජන වර්ගය කුමක් වුවත් ගම්බද ජීවත් වන දුප්පත් අය වෙති.
 ඉඩම් හිමි නැත. ස්වකීය පවුල්වල මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව නැත.
 රජයේ එකමුතු ප්‍රතිපත්තියට එකඟ වීමට බල කරනු ලැබ ඇති අතර වක්‍ර ව සහ ගැටුම් ඇති නො වන ආකාරයෙන් ඊට ප්‍රතිවිරෝධතාව දක්වා ඇත. ඇති විය හැකි අනතුරු ගැන නො තකා රාජ්‍යයට විරුද්ධ ව කතා කර හෝ ක්‍රියා කර ඇත.
එක් අයකු සමඟ සාමාන්‍යයක් ලෙස වාර 7ක් සාකච්ඡා කර, ඔහුට/ඇයට සම්බන්ධ පැය 9.4ක කාලයක් විහිදෙන සම්මුඛ සාකච්ඡා දත්ත පටිගත කර ගන්නා ලදී. පටිගත කළ දත්ත ඇතුළත් පට සියල්ලේ ධාවන කාලය පැය 348කි. පුද්ගලයන් 37 දෙනා සැපයු දත්ත ගෝත්‍රය අනුව විශ්ලේෂණය කර නැත. ගෝත්‍ර ලෙස කරුණු කීම නව රජයේ නීතිය අනුව තහනම් ය. පොදුවේ රුවණ්ඩා පුරවැසියන්ගේ අත්දැකීම් ලෙස දත්ත අර්ථනිරූපණය කර ඇත.
(13) කෘතියේ විවිධ ස්ථානවල සදහන් තවත් අදහස් කිහිපයක් මෙසේ ය. සමහර අදහස් ලේඛිකාව කියන පරිදි ම උපුටමි (සමහර තැන්වල වරහන් ගත කර මගේ සිතිවිලි දක්වමි)
 පොතේ අරමුණ, ගොවියන්ගේ හඬ ශාස්ත්‍රීය දැනුමට එකතු කිරීම මඟින්, ඔවුන්ගේ පර්යාලෝකය අනුව, සමූලඝාතනයට පසු කාලයේ දේශපාලන ක්‍රමය විග්‍රහ කිරීම ය.
 මානව වංශ විවරණය, දේශපාලන විද්‍යාඥයන් විසින් පර්යේෂණ ක්‍රමයක් ලෙස භාවිත කරනු නො ලබන බවට පර්යේෂණ ආචාරධර්ම කමිටුවේ සාමාජිකයන් පැවසූ අදහස නිසා ද යුද්ධයෙන් වෙඵණු රටක පර්යේෂණය කිරීමේ හැකියා ගැන නැගු ඍණ ප්‍රශ්න නිසා ද, මාස නවයක කාලයක දී පස් වතාවක් පර්යේෂණ යෝජනාව සංශෝධනය කරමින් ආචාරධර්ම කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සිදු විය. එනිසා පර්යේෂණ ක්‍රම විද්‍යාව ගැන ඉවසීමෙන් ද ගැඹුරට ද සිතාබලා යෝජනාව සංවර්ධනය කිරීමට මට හැකි විය (මට මතක් වන්නේ නන්දසේන රත්නපාලගේ මානවවංශ විවරණ පර්යේෂණ යෝජනාවක් පිළිබඳ ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෙනෙට් සභාව දැක්වූ ඍණ ආකල්පයි / ඒ අතර ම ක්‍රියාමූලික පර්යේෂණ සහ පර්යේෂණ සම්මන්ත්‍රණ ප්‍රකාශනයක් ගැන ජාතික අධ්‍යාපන ආයතනයේ සිටි මහාචාර්යවරුන් දෙදෙනකු කී අමුතු කතා ය).
 ජීවිත කතන්දර (Life narratives) පදනම් වූ කෘතියකි. "රුවන්ඩා ජාතිකයන් රහස් තබාගැනීමට කැමති ජාතියකි. ඒවා අන් අය සමග පහසුවෙන් බෙදා ගන්නේ නැත. එහෙත් ඔබ සමග මම මගේ රහස් බෙදා ගැනීමට තරම් මගේ හදවත ලිහිල් වී තිබේ" යයි දත්ත සැපයූවෙක් මට පැවසී ය. (ගුණාත්මක පර්යේෂණවල දී දත්ත උත්පාදනය කර ගැනීම සදහා පර්යේෂණ සහභාගිකයන් (Research participants) සමඟ සබැදියාව ඇති කර ගැනීමේ (Rapport building) වැදගත්කම මෙයින් පැහැදිලි වේ).
 "ප්‍රාදේශීය ව අප පාලනය කරන Kigali නගරයේ සිට පැමිණි නිලධාරීන්ට අප කතා කරන භාෂාවෙන් හරිහැටි කතා කරන්නට බැරි ය. ඔවුහූ අප සමග ඉපදුණු-අප සමග ජීවත් වූ අය නොවෙති. එහෙත් ඔවුන් අපට කියන දේ අප ඉටු කළ යුතු ය. අපි ඔවුන්ගේ කතාවට සවන් දී සිටිමු. අපට අවශ්‍ය මොනවා දැ යි ඔවුන් කවදාක්වත් අසන්නේ නැත. අපේ දුෂ්කරතා ගැන ද ඔවුන්ට කියන්නට නො හැකි ය." (කෘතියේ ආඛ්‍යාන (Narratives) ලෙස පළ වෙන මේ අදහස්, සරු දත්ත (Rich data) ලෙස සැලකිය හැකි ය).
 රුවන්ඩාවේ ග්‍රාමීය ව වෙසෙන ඉතාමත් දුප්පත් පුරවැසියෝ, රාජ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පත් කර සිටින ප්‍රදේශීය නිලධාරීන් ව විශ්වාස නො කරති. 1995 වන තෙක් හුටුවරුන්ට බියෙන් අවට විදේශීය රටවල සිටි (සමහර විට එහි උපත ලැබ ලොකු මහත් වූ) ටුට්සිවරුන්, නව රජය බලයට පත් වූ පසු පැමිණ මේ තනතුරු හොබවන අතර ඔවුන්ට දේශීය භාෂාවෙන් අදහස් හුවමාරු කර ගත නො හැකි ය. ප්‍රදේශීය ව පවතින ගැඹුරු ගැටලු වන ඉඩම් හිඟය, රැකියා හිඟය, තම ජීවිතයට සම්බන්ධිත සහයෝගිතාව සහ ජීවන රටාවට බලපාන දේශපාලන තීරණ ගැනීමට හඬක් නොමැතිකම යන ගැටලු සඳහා නව රජය මඟින් ආමන්ත්‍රණය නො කරන බව ද පුරවැසියෝ විශ්වාස කරති. තම ජන ජීවිතය හා සම්බන්ධිත සමාජ ජාලවලට හානි වන සේ රජය ක්‍රියා කරන බව ගැමියෝ සිතති. (ශ්‍රි ලංකාවේ විවිධ තලවල දේශපාලනඥයන්ගේ-නිලධාරින්ගේ හැසිරීමත් ද්විත්ව පුරවැසියන්ගේ චර්යා රටාත් ඔවුන් පත් කරනු ලබන ජනතාව අතර පරතරයත් ගැන ද සිතනු මැනවි).
 උපාධිය සඳහා වූ දේශපාලන විද්‍යා දේශනවල දී, සවස ප්‍රචාරය වන දේශපාලන ප්‍රවෘත්ති නිතර ම අවධාරණය කළ නමුත් ලෝකයේ දේශපාලනය ගැඹුරට අවධාරණය නො විණි. එහෙයින් ලෝකයට පිවිස, එහි කොටසක් වී, ලෝකය හදුනා ගන්නට තිබූ වුවමනාව මත, ලේඛිකාව අප්‍රිකානු රටවල සේවයට එකතු විය. (ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල තුනක ඉගෙන් ගත් මට නම් ගැඹුරු දේශනවල ගුණයත් හරයත් දැනුණු බව ගුරු ගෙෘරවයෙන් ද බැතියෙන් ද පවසිමි. සමහර දේශන ද දේශක තුමන් ද අදටත් මතකයේ වැජඹේ. වර්තමානයේ තත්ත්වය ගැන නො දනිමි. ඔබ ම සිතනු මැනවි.)
 "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගේ කටයුතු පාලනය කළ ජර්මන් ජාතික තරුණ කාන්තාව මට 1994 මාර්තු මස පැවසුවේ රුවන්ඩාව සහ මලාවි සේවය කිරීමට පහසු රටවල් බව ය. එහි 'හොඳ ආපනශාලා' තිබෙන බවත් 'ප්‍රසන්න මිනිසුන්' සිටින බවත් ඇය පැවසුවා ය. ඒ කිසිදු රටක ඔබට ගැටලු ඇති නො වනු ඇත. දෙරටේ දේශපාලන තත්ත්වය ගැන කිසිදු තොරතුරක් ද මට දුන්නේ නැත." (රුවන්ඩාවේ අප්‍රේල් 6 වන දා සිදු වන්නට යන දේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටි ඇයට තිබූ අඩු අවබෝධය ඉන් පැහැදිලි වේ. (ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ ආකල්ප සඳහා මේ අඩු අවබෝධය බලපාන්නට ඇත. එසේ ම තමන් සේවය කරන්නට යන රටවල් ගැන ඔවුන්ගේ තක්සේරුවෙහි අඩුපාඩු ද ප්‍රකාශයෙන් පැහැදිලි ව ප්‍රකාශ වේ).
 1994 අප්‍රේල් මස සමුලඝාතනය නවත්වා බලයට පත් වූ වර්තමාන පාලනය දෙස මම මුල් කාලයේ පටු කාචයකින් බැලූ බව අද මට වැටහේ. (අප අපේ ම ඡන්දයෙන් පත් කරනු ලබන පාලකයන් දෙස බලන්නේත් පටු කාචවලින් නො වේ ද?)
 සමුල ඝාතනයට සම්බන්ධ වීමේ වරදට දඬුවම් වශයෙන් කාන්තාවක ද ඇතුඵ ව රුවන්ඩා ජාතිකයන් හයදෙනකුට පොලිස් නිලධාරීන් හයදෙනෙකු විසින් වෙඩි තබා මරණ සිද්ධිය මම දුටුවෙමි. හය දෙනා උණ්ඩ වැදී බිම වැටෙන අවස්ථාවේ දී සමහරු ප්‍රීති ඝෝෂා පැවැත්වූහ; සමහරු නැටූහ; තවත් සමහරු වැළපුණහ; ඉතිරි අය ගල් ගැසී බලා සිටියහ. මෙවන් ප්‍රසිද්ධියේ කරන ඝාතනවලින් සංහිදියාව ඇති කරන්නේ කෙසේ දැයි නො දනිමි. (ආර්. ප්‍රේමදාස ජනාධිපති සහ ප්‍රභාකරන් මළ විට ලද විවිධ ප්‍රතිචාර සිහි කරන්න).
 දූෂණ ක්‍රියා කළා යයි සදහන් කර, පාලක කණ්ඩායමේ සමහරුන්ට චෝදනා කර, රජයට විරුද්ධ ව පාක්ෂිකයන් පවා පළ කරන අදහස් මර්දනය කරනු ලැබේ. එහෙත් රජයට හිතවත් අය දූෂණ ක්‍රියා කළ විට ඒවා යටපත් කරනු ලැබේ.
 මා මේ රැකියාවෙන් ඉල්ලා අස් විය යුතු ව තිබුණි. රුවණ්ඩාවේ තත්ත්වය, සරල ව කිව හොත්, මට දරා ගත නො හැකි තරම් සංකීර්ණ විය. මගේ එක්සත් ජාතින්ගේ සගයන් මට උදව් කරාවි හෝ ආරක්ෂා කරාවි යයි හෝ මට විශ්වාසයක් නො වී ය. එක්සත් ජාතින්ගේ විධායක බලයේ නොහැකියාව මා දනටමත් අත්දැක තිබේ.
 රුවණ්ඩාවේ අධිකරණ ඇමති මෙසේ ප්‍රකාශ කළේ ය. 'අපේ අවශ්‍යතා බොහෝ ය. අපට වැඩ කිරීමට අවශ්‍ය වන්නේ රුවන්ඩාවට මිතුරු අය ය. අප ව විවේචනය කරන අය නො වේ.'
 මේ පර්යේෂණය රුවණ්ඩා රජයේ 'ජාතික සමගිය සහ සමගි සන්ධානය' ප්‍රතිපත්තියට විරුද්ධ හෙයින් ද 'අපට අවශ්‍ය මෙවැනි පර්යේෂණ නො වේ' යැයි රජය පැවසූ හෙයින් ද පර්යේෂණය අතරමග නවත්නට සිදු විය.
14. අවසන් වසයෙන් දත්ත සැපයූ 37 දෙනා ගැන ඇති කෙටි හැදින්වීම්වලින් අයකු ගැන විස්තරයක් දක්වමි.
"පැසිෆික් (ව්‍යාජ නමකි) (උපත 1992)- සමුලඝාතනය අවසන් වන තෙක් මාස දෙකක් වැසිකිළි වළක සැඟ ව සිටි ටුට්සි ගැහැනු ළමයෙකි. සමුලඝාතනයේ දී දෙමාපියෝ මළහ. දැනට ඇය සමුලඝාතනයෙන් අනාථ වූ, අවුරුදු 12ට අඩු ළමයින් 9දෙනකු බාරයේ තබා ගෙන ජීවත් වන්නී ය. ජාතික සමගිය සහ සමගි සන්ධාන ප්‍රතිපත්තිය ගැන ඇය මෙසේ පවසයි. 'සමගි සන්ධානයක් කළ හැකි නම් මම ඒ හා වැඩ කරමි. එහෙත් මට මේ ළමයින්ට කන්නට දෙන්නට ක්‍රමයක් නැත...ඔබ දවසක් ගානේ බඩගින්නේ සිටිනවා නම් සමගි සන්ධානයක් කෙසේ ඇති විය හැකි ද?'"





15. සුසාන් තොම්සන්, අන්තර්ජාලයේ රුවන්ඩාව ගැන පළ කළ ලිපියක, 'ළිප ගිනි මොලවන තෙක් දිය සැලියේ' යන අපට හුරුපුරුදු උපමාවට සමාන අදහසක් සමග චිත්‍රයක් ඇතුළත් කර තිබිණි. එහි කකුඵවා වෙනුවට සිටිනුයේ ගෙම්ඹා ය. ඒ අනුව මට රුවණ්ඩාව වෙනුවට ශ්‍රී ලංකාව ද පෙනීම අරුමයක් නො වේ.

No comments:

Post a Comment