Monday 12 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (28) ළමා පොත් ගැන සිතන්නට පැති අටක් කම්බිලියා - ශඛිලා අබේසිංහ (චිත්‍ර: අනුපම ඒකනායක; ප්‍රකාශනය: ධාරාවෝ ප්‍රකාශන ආයතනය, ගිරිඋල්ල)

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (28) ළමා පොත් ගැන සිතන්නට පැති අටක්
කම්බිලියා - ශඛිලා අබේසිංහ
(චිත්‍ර: අනුපම ඒකනායක; ප්‍රකාශනය: ධාරාවෝ ප්‍රකාශන ආයතනය, ගිරිඋල්ල)


කැනඩාවේ විවිධ රටාවේ ළමා පොත් දකින්නට ලැබේ. ඒවා ගැන ලියන්නට පෙර ශ්‍රී ලංකාවේ පළ වූ ළමා පොතක් ගැන ලියන්නට සිතුණි. ශඛිලා අබේකෝන් ගුරුතුමිය විසින් රචනා කර පළ කරනු ලැබූ 'කම්බිලියාව' යන ළමා කතා පොත, ළමයින් සඳහා වන පොත්වල අන්තර්ගත විය යුතු ලක්ෂණ සහිත නිසා ය.
පළමු ව, කුඩා ළමයින්ගේ උස අනුව ඔවුන්ගේ අවධානයට නිරතුරු ව ලක් වන, කඩි රෑනක් සහ පණුවකු යන චරිත මූලික කර ගෙන, කඩි රැළ සහ පණුවාගේ හැසිරීම් රටා නිරූපණය වන පරිද්දෙන් කතාව ගෙතී ඇත. (මෙහි දී මට මතක් වනුයේ කුඩා ළමයින්ගේ අතින් ඇද ගෙන (අතින් අල්ලා ගෙන නො ව) පෙරපාසල් සහ ප්‍රාථමික පාසල් වෙත දුවන අම්මලාගේ තාත්තලාගේ චර්යාව ය. තම රැකියාවලට වෙලාවට යාමේ අවශ්‍යතාව සේ ම, කුඩා ළමයින්ගේ ඇසට ගැටෙන පරිසර ලක්ෂණ ළමයාට හඳුනා ගන්නට ඉඩ දීම නො ව, ස්වකීය මනසේ වැඩ කරන විභාග මුල් කර ගෙන පෙර පාසල-පාසල වෙත යන්නටයි දෙමාපියන් තැත් කරනුයේ.)
දෙවනු ව බිම් මලක් ප්‍රධාන කොට ගත් පරිසරය, පොතේ නිරූපණය කරනු ලැබ ඇත්තේ, කතාවේ චරිත ජීවත් වන ස්වාභාවික පරිසර ලක්ෂණ නිරූපණය වන පරිදි ය.
තෙවනු ව කතාව ගලා ගෙන යන ආකාරයෙන්, ළමා කුතුහලය ද උත්පාදනය වෙයි. කම්බිලියා ළමා පොතේ කතාන්දරය යටින් දිවෙන අදහස, ඍජු ව ඉදිරිපත් නො කර පරිකල්පනයෙන් සිතා ගත හැකි වන පරිද්දෙන් රචනා වී තිබීම ද අගය කළ යුතු කරුණකි. එනිසා ළමා වියේ දී සංවර්ධනය කළ යුතු පරිකල්පනය උත්පාදනය වන පරිදි ද කතාව ගලා ගෙන ගොස් ඇත. පරිකල්පන අධ්‍යාපනය (Imaginative education) යනු ලෝකයේ පර්යේෂණ කෙරෙන, එම පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වෙන ක්ෂේත්‍රයකි. නව නිර්මාණ බිහි වීම සඳහා අවශ්‍ය වනුයේ දැනුම වැඩි කිරීමට වඩා පරිකල්පනය උත්පාදනය වන පරිද්දෙන් මනසත් මසැසත් සංවර්ධනය කර ගැනීම ය. මේ සදහා ළමා පතපොතට ප්‍රබල සේවයක් කළ හැකි ය.
සතරවනු ව පොතේ නම 'කම්බිලියා' වුව ද එකී පදය පොතේ සදහන් වනුයේ එක් වතාවක පමණී. එහි දී ද 'කම්බිලි' ලෙස පමණක් සදහන් වේ. මේ අනුව ද කතාව පිළිබදවත් පොතේ නම පිළිබඳවත් සිතන්නටත් ඒ ගැන වැඩිහිටියන් සමග සාකච්ඡාවට යොමු වීමටත් මගක් පෑදෙයි.
පස් වනු ව පිටු විස්සක් පුරා විහිදෙන කතාව සමග මිශ්‍රිත ව ඇති චිත්‍ර ද ළමා සිතුවිලි කතාවට ඇද බැද තබා ගන්නටත් පරිසරය පිළිබඳ සිතුවිලි පුබුදුවාලීමටත් සංකල්ප සහ පරිකල්පනය නගා සිටුවීමටත් සමත් වන්නේ ය. මෙහි චිත්‍ර ඇඳීමේ දී 'තිත් පදනම් වූ චිත්‍ර නිර්මාණ කිරීමේ ශෛලිය' භාවිත වී තිබේ. මෙ ශෛලිය විදේශ රටවල භාවිත වෙතත්, ශ්‍රී ලංකාවේ ළමා පොත්වල මේ ශෛලිය භාවිත වී ඇත්දැයි සෙවිම සඳහා, ළමා පොත්වල චිත්‍ර අන්තර්ගතය විශ්ලේෂණය කිරීමේ පර්යේෂණයක් (Content analysis research) කළ හැකි ය.
සය වනු ව කතාව ගෙතී ඇත්තේ පද 294කිනි. පද බෙදීමේ නීති අනුව පද බෙදුවේ නම් පද ගණන 314ක් වේ. 'ද' සහ 'ම' නිපාත වෙන් නො කළ අවස්ථා 12ක් පවති. 'රස දේ', 'වට කර', 'දැන ගන්නේ', 'අර ගන්නේ', 'ඔසවා ගෙන', 'කෑමේ දී' යන ස්ථානවල ද පද බෙදිය හැකි ව තිබුණි. එහෙත් ළමා පොතකට උචිත වන සේ කවි බසට හුරු බසකින් ලියැවුණු නිසා, මේවා දෝෂ ලෙස නො සැලකිය යුතු ය. පොතෙහි අක්ෂර වින්‍යාස දෝෂ කිසිවක් නොතිබීම ද බෙහෙවින් ම අගය කළ යුතු ලක්ෂණයකි. වැරදි ව්‍යවහාර එකක් පමණක් වේ. ළමුන්ගේ යන පදයයි (21 වන පිටුව). එහෙත් එය නිවැරදි ව 'ළමයින්ගේ' ලෙස ලියැවුණේ නම්, එම පදය ඇතුළත් කවියේ රිද්මය බිඳ වැටෙන්නේ ය.
සත් වනු ව පොතේ භාවිත වන පදවල පුනරුක්තයයි. පද පුනරුක්තය හෙවත් එක ම පදය නැවත නැවත සදහන් වීම, එම පද ගැන අවබෝධය තහවුරු වන්නටත් ඒ පද විවිධාකාර වූ භාෂා භාවිත අවස්ථාවල භාවිත වන විවිධ ආකාර තේරුම් ගන්නටත් ළමයාට මග පෙන්වයි. එක් මූලික පදයක් විවිධ අයුරින් වෙනස් ව වර නැඟී භාවිත වන අයුරු ඉගෙන ගැනීමට උදව් ලැබෙන අවස්ථා ද වේ. උදා- පණුවා - පණුවෙක් - පණුවත් - පණුවට
අට වනු ව පිටුවක හැර මුඵ පොතේ ම අකුරු මුද්‍රණය වී ඇත්තේ එක ම ෆොන්ට් ප්‍රමාණයෙනි. 'පණුවට හිටි හැටියෙම ඇහැරෙන්නේ' යන වාක්‍යය සහිත, නව වන පිටුවේ අකුරු පමණක්, එම වාක්‍යයෙන් අපේක්ෂිත අදහසට ගැළපෙන ලෙස සාපේක්ෂ ව ලොකු අකුරෙන් මුද්‍රණය වී ඇත්තේ ය. එම ලොකු අකුරුවලට සාපේක්ෂ ව පණුවාගේ ද බිම්මලේ ද චිත්‍රය නිර්මාණය වූ ආකාරයත් නවමු බවක් සහිත ය.
කම්බිලියා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් මුද්‍රාපිතයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පුස්තකාල පොතක් ලෙස ද අනුමැතිය ලැබ ඇත.



No comments:

Post a Comment