Tuesday 20 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (23) ක්‍රියාමූලික පර්යේෂණ පිළිබඳ සිතන්නට පාර්ශ්ව 12ක්.


2017 වර්ෂය ගෙවී 2018 වර්ෂය උදා වන විට, මුහුණු පොත් සාමාජිකයනට සහ ශ්‍රී ලාංකික සමාජයට ලබා දිය යුතු ශාස්ත්‍රීය ත්‍යාගය කුමක් දැයි සිතන විට, කරුණු 12ක් පෙළ ගැස්විය හැකි විය.

(1) පළමු ව මතක් වූයේ, මීට වර්ෂ 50කට පෙර, 1967 දී නිකුත් වූ, 1 වන රූපයේ දැක්වෙන ප්‍රකාශනයයි. (Alles, B.J.P., de Silva, A., Fernando, W.D., Sirisena, U.D.I., &Warnasuriya, W.M.A. (1967) Working paper: action research pilot project for improvement of school practice through supervision and assessment of school performance. Ceylon: Division of Secondary Education, Ministry of Education.) මෙහි සිංහල ප්‍රකාශනය වනුයේ (අලස්, බී.ජේ.පී., ද සිල්වා, ඒ., ෆ්‍රනාන්දු, ඩබ්.ඩී., සිරිසේන, යූ.ඩී.අයි. සහ වර්ණසූරිය, ඩබ්.එම්.ඒ. (1967) කාර්ය පත්‍රිකා: සමීක්ෂණයේ හා ඇගයීමේ මාර්ගයෙන් පාඨශාලීය අධ්‍යාපන ව්‍යවහාර දියුණු කිරීම සඳහා සැකසුනු ප්‍රාරම්භක පර්යේෂණාත්මක වැඩපිළිවෙල' ද්විතියික අධ්‍යාපන අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ලංකාව) ය. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාමූලික පර්යේෂණ පිළිබඳ ව නිකුත් වූ මුල් ම නිල ලියවිල්ලයි. ඒ අනුව 2017 නිම වන විට, අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ක්‍රියාමූලික පර්යේෂණ පිළිබද ඉතිහාසයට 50 වසරක් සපිරිණී.

(2) දෙ වන කරුණ මෙසේ ය. Richard Sagor 2011 දී ලියූ The action research guidebook: A four-stage process for educators and school teams (2 වන රූපය) යන පොතෙහි 71-73 පිටුවල අපූරු කරුණක් සදහන් ය. එනම් ක්‍රිස්ටෝෆර් කොලම්බස් යනු පෙර සිටි ක්‍රියාමූලික පර්යේෂකයකු බව ය (Christopher Columbus: An early action researcher). සේගර් මේ බව පවසනුයේ, කොලම්බස් ඉන්දියාව සෙවීමට (ගොස් දුටුවේ ඇමරිකා මහාද්වීපයයි) ගත් ක්‍රියාපිළිවෙතෙහි, ක්‍රියාමූලික පර්යේෂණ ක්‍රියාවලියේ ලක්ෂණ දක්නට ලැබෙන නිසා ය. එහෙත් කොලම්බස්, තමා ක්‍රියාමූලික පර්යේෂණයක් කළ බව නො දැන සිටියේ ය. මෙයින් පැහැදිලි වනුයේ ක්‍රියාමූලික පර්යේෂණවල ලක්ෂණයකි. එනම් ක්‍රියාමූලික පර්යේෂණ කරන බව නො දැන, ක්‍රියාමූලික පර්යේෂණයට අදාළ පියවර ඔස්සේ කටයුතු කරන වෘත්තිකයන් සිටින බවයි (We can conduct action research without knowing that we are doing action research). මේ දර්ශනය අනුව ශ්‍රී ලංකාවේ ගුරු-විදුහල්පති සහ වෙනත් විවිධ වෘත්තීය භූමිකාවල යෙදෙන අය (හෙදියන්, ලිපිකරුවන්, වෛද්‍යවරුන්, ලේඛකයන්, බස් රියදුරන්, මුහුණු පොත් සාමාජිකයන් වැනි) තමන් ක්‍රියාමූලික පර්යේෂණ කරන බව නො දැන, ක්‍රියාමූලික පර්යේෂණ කර ඇත; දැනටත් කරති.

(3) තෙ වැන්න ආගම-දහමට සබැඳි ය. ඔබ සැම බෙෘද්ධ දර්ශනයෙහි 'අරිය පර්යේෂණ සුත්‍රය' පිළිබඳ ව අසා ඇති. එකී සූත්‍රයෙහි අන්තර්ගතය විග්‍රහ කළ හොත් එහි ද ක්‍රියාමූලික පර්යේෂණ ක්‍රියාවලියේ ලක්ෂණ දක්නට ලැබේ. කතෝලික දහම අදහන පූජකතුමන් විසින් භාවිත කරනු ලබන 'මෙනෙහි කිරීම (Reflection)' යන සංකල්පය, ක්‍රියාමූලික පර්යේෂණයේ සජීවි අංගයක් වන 'ප්‍රත්‍යවේක්ෂණය' හා සම දැයි ගැඹුරට සොයා ලේඛනගත කිරීම ඔබ සැමට භාර ය (මේ පිළිබඳ මූලික කරුණු සොයා දුන් ඉවෝන් සමරවික්‍රම ගුරුතුමියට තුති) . ප්‍රත්‍යවේක්ෂාව යනු බෙෘද්ධ ස්වාමින් වහන්සේලා ගේ ජීවන පැවැත්මේ ද අංගයකි. ඒ ගැනත් සොයා ලේඛන ගත කිරීම ඔබට භාර ය. මා පෙන්වන්නට උත්සාහ කරනුයේ ක්‍රියාමූලික පර්යේෂණ යනු අපේ එදිනෙදා ජීවිතය හා බැදුණු සංකල්පයක් ද බව ය. බුදු දහම සහ ක්‍රියාමූලික පර්යේෂණ පිළිබඳ ව මේ වන විට කර ඇති පර්යේෂණ තුනක මාතෘකා ද ඔබේ අවධානය සදහා ඉදිරිපත් කරමි.
• Winter, R. (2003). Buddhism and action research: Towards an appropriate model of inquiry for the caring professions. Educational Action Research, Vol.11, 1141-160.
• Anomadassi Thero, M., Kodituwakku, G., Perera, V.D.C.P., Dissanayake, N.D., Rathnayake, R.M.M.C. and Watagodakumbura, S. (2009). Action research environment in Sri Lanka: Philosophical roots, country specific developmental patterns and current practices. (CARN 2009 Annual Conference. 30th Oct-1st Nov 2009. Campus of Athens and Psychico College, Athens, Greece. Action Research for Improvement in Schools, Communities and Oganizational Spaces. What is to be done?)
• Perera, W.V.J., Perera, V.D.C.P. and Kodituwaku, G. (2011). Characteristic features of modern action research found in Buddhism. (CARN 2011 Annual Conference, 4th Nov-6th Nov 2011. Vienna, Austria. Bringing a different World into Existence - Action Research as a Trigger for Innovations).

(4) දැන් සතරවැන්නට පිවිසෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ක්‍රියාමූලික පර්යේෂණ ලේඛනය නිකුත් වීමට අවුරුදු 20ට පෙර, එනම් දැනට අවුරුදු 70කට පෙර, 1946/47 වර්ෂවල 'ක්‍රියාමූලික පර්යේෂණ' යන පද දෙක හදුන්වා දුන් කුර්ත් ලෙවින් ඉදිරිපත් කළ ආකෘතිය පදනම් කර ගෙන, විද්‍යුත් සමර්පණයක් සැකසුවෙමි (Power Point Presentation). එහි මූලික පිටු 5, 3-5 වන රූප ලෙස දක්වමි. විද්‍යුත් සමර්පණයේ තුන් වන පිටුවේ දැක්වෙන ආකෘතිය, පියවර (Slides) 26කින් පිළිවෙළින් ගලා යන අයුරු, මුහුණු පොතෙහි ඇතුළත් කිරීමේ හැකියාවට තාක්ෂණික බාධා පවති. මේ මුහුණු පොත් සටහනට ප්‍රතිචාර දක්වන සැමගේ ඇතුඵ පිටුව (Inbox) වෙත එය එවන්නට පොරොන්දු වෙමි. විද්‍යුත් සමර්පණ සහ පීඩීඑෆ් ලිපි, පොදු මුහුණු පොතට ඇතුළත් කළ නො හැකි නමුත් ඇතුඵ පිටුවට ඇතුඵ කළ හැකි වීම සදහා බලපෑ අපූරු සාධක ගැනත් පර්යේෂණාත්මක ව කරුණු සොයා බලා (Finding facts), පාඨකයාට මිතුරු ශෛලියකට මුහුණු පොත හැරවිමට ගත යුතු පියවර ගැන ක්‍රියාමූලික පර්යේෂණයක් කිරීමට ද ඔබට ආරාධනා කරමි.
ලෙවින්ගේ ආකෘතිය, මෙයාකාරයෙන් සජීවිකරණය කළ යුතු ය යන අදහස හෙවත් චින්තාව (Idea) 2010 දී පමණ මට පැමිණි පසු, එය පරිගණකයෙන් සැකසීමේ මුල් පදනම දැමුයේ ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ බිනක යොහාන් රාජපක්ෂ සහ රචිත්‍ර රත්නායක ය. සැකසූ සමර්පණයේ අනුපිළිවෙළෙහි අඩුපාඩු සකස් කරන්නට නිකවැරටියේ ගුරු මධ්‍යස්ථානයේ ගංගා හේරත් උපකාර වූවා ය. තවදුරටත් තිබූ උෘනතා නිසා මෙය බෙදා හරින්නට මැලි ව සිටින විට විද්‍යාපීඨ කථිකාචාර්ය අනිල් පාගොඩආරච්චි, පසුගිය සතියේ මෙය ලබා දිය හැකි දැයි ඉල්ලා සිටි නිසා, මුහුණු පොතින් හදුනා ගත් පරිගණක ඥානය සහිත ගුරුතුමියක වූ අයෝමා දසනායකගේ සහායයෙන් මෙය නිම කරන්නට ජවය ලැබිණි. මේ සැමට මගේ ප්‍රණාමය පුද කරන අතර, 'ක්‍රියාමූලික පර්යේෂණයක ලක්ෂණයක් වන සංකර්තෘකභාවය (Collaboration) හෙවත් එකිනෙකා අතර අන්තර්ක්‍රියාවෙන් ක්‍රියාමූලික පර්යේෂණ ක්‍රියාවලිය ගලා යයි' යන ලක්ෂණය ද මේ සහයෝගී අන්තර්ක්‍රියා ඔස්සේ අවධාරණය කරන්නට කැමැත්තෙමි.

(5) පස්වැන්න, ක්‍රියාමූලික පර්යේෂණ වාර්තාවක කැටි කර ඉදිරිපත් විය යුතු පර්යේෂකගේ දර්ශනය ගැනයි. එකී දර්ශනයෙහි, පර්යේෂණය කිරීම නිසා, පර්යේෂකට ලැබුණු ආලෝකය (Enlightenment) ද ඇතුළත් විය යුතු ය. ක්‍රියාමූලික පර්යේෂණයක් කිරීමේ ප්‍රධාන අරමුණු දෙකකි. වෘත්තිකයා සම්බන්ධ වන සමාජ ක්‍රියා ජාලය සංවර්ධනය කිරීම සහ සමාජ ක්‍රියාවට සම්බන්ධ වෘත්තිකයාගේ භූමිකාව ධනාත්මක ව හැඩගැස්වීම ය. මේ අනුව තමා සම්බන්ධ සමාජ ක්‍රියාවට අදාළ ව කළ මැදිහත් වීම නිසා, සමාජ ක්‍රියාවේ වූ වෙනස නිසා ලද සතුට ද, ආලෝකය හෝ දර්ශනයේ අංගයක් ලෙස ඇතුළත් කළ හැකි ය. පර්යේෂණය කරන වෘත්තිකයාගේ ම වෙනසක් ඇති කර ගැනීම නිසා, ලද නව දැක්ම ද, පර්යේෂක ලද ආලෝකය ලෙස පළ කළ හැකි ය. නිවන් මග අවබෝධ කර ගත් බුදුන් වහන්සේ, චිත්ත ප්‍රීතියෙන් වදාළ උදාන වාක්‍ය (අනේක ජාති...). පිළිබඳ ව ඔබ දන්නෙහි ය. එවන් උත්තරීතර වූ තත්ත්වයකට, ක්‍රියාමූලික පර්යේෂණ කර අපට පැමිණෙන්නට, දිනකින් දෙකකින් නො හැකි වුවත්, අපේ එදිනෙදා වෘත්තීය භූමිකාව ටිකින් ටික හෝ සංවර්ධනය කර ගැනීමටත් එමගින් හොඳ වෘත්තිකයකු වීමටත්, ක්‍රියාමූලික පර්යේෂණය ඉවහල් වූ අයුරු, කැටි කර ප්‍රකාශ කිරීමයි, අවශ්‍ය වනුයේ.

(6) සය වැන්න, 2017 වර්ෂයේ ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක කළ ක්‍රියාමූලික පර්යේෂණ ජාලයක් පිළිබඳ ව ය. ගුරුවරුන් සහ ගුරු උපදේශකවරුන් 50 දෙනකු සම්බන්ධ වූ ක්‍රියාමූලික පර්යේෂණ ව්‍යාපෘතියේ දී නිම වූ පර්යේෂණ වාර්තා 50න් 10ක පිටකවර 6-15 වන රූපවල දැක්වේ. මේ පර්යේෂණ වාර්තා www.nie.lk යන ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි ය. මේ ක්‍රියාමූලික පර්යේෂණ කණඩායමේ සුචින්තා වටගොඩකුඹුර ගුරුතුමිය Awakening නම් වූ ස්වකීය පර්යේෂණයේ සමස්තය මෙලෙස කවියකින් සාරාංශගත කළා ය.
සිතුවොත් අපේ සිසු දරුවන් අපේ ලෙසින් - පෑවොත් මෙත් කරුණ ගුණ අප නොඅඩු ලෙසින් - සලකයි ඔවුන් අප හට ගුරු මෑණි ලෙසින් - එතුළින් ලැබෙයි අපමණ සතුටක් නිතැතින්
චන්ද්‍රසිරි රණසිංහ විසින් සංගීතය මුසු කරනු ලදු ව, ක්‍රියාමූලික පර්යේෂණ කණඩායමේ තවත් සාමාජිකාවක වූ දීපානි ජයකොඩි ගුරු උපදේශිකාව විසින් කවිය අපූරුවට ගයනු ලැබුවා ය. විස්තර කථනය හේමජිත් මහින්දරත්නගේ ය (16 වන ගීතය). ඔබ සැම ද, ක්‍රියාමූලික පර්යේෂණ කරන්නේ නම්, ස්වකීය පර්යේෂණයෙන් ඔබ ලද ආලෝකයත් ඒ අනුව ඔබ සමාජයට දෙන දර්ශනයත් කැටි කර ඉදිරිපත් කළ යුතු ය. ඒ සඳහා කවියක් පමණක් නො ව වෙනත් ඕනෑ ම ආකෘතියක් සුදුසු පරිදි භාවිත කළ හැකි ය.

(7) ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්‍රියාමූලික පර්යේෂණ විදේශ රටවල ද ප්‍රචලිත කිරීමට දායක වූ 2007 පර්යේෂණ කණඩායමේ ගුරුවරුන් කිහිප දෙනකුගේ භූමිකාව ඇගයීම, සත් වන කරුණ සේ ගනිමි. Collaborative Action Research Network (CARN) වාර්ෂික ව මෙහෙයවන සම්මන්ත්‍රණ මාලාවට, පළමු වරට සහභාගි වූ ගුරුතුමිය වනුයේ චමනී රේණුකා ය (ස්විඩනයේ 2007 වර්ෂයේ පැවති සම්මන්ත්‍රණයට ය) (17-18 වන රූප). 2009 දී ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවති සම්මන්ත්‍රණයට මා සමග, මාවිල අනෝමදස්සි ස්වාමින් වහන්සේ ඇතුඵ ගුරුවරුන් සහ ගුරු උපදේශකවරුන් 8 දෙනෙක් සහභාගි වූහ (19-23 වන රූප). සම්මන්ත්‍රණයේ පියවරක් ලෙස, ඇතන්ස් නගරය බලන්නට සම්මන්ත්‍රණයට සහභාගි වූ සැම රැගෙන ගිය විටක, දුම්රියේ දී ගත් මහාචාර්ය බ්‍රිජට් සොමෙක් ගේ ඡායාරූපය දෙස බලන්න. ඇය ලෝක ප්‍රසිද්ධ ක්‍රියාමූලික පර්යේෂිකාවකි. පර්යේෂණ ලිපි ද පොත්පත් ද ගණනාවක් පළ කර ඇත. එහෙත් ඇය දුම්රියේ ගමන් කළේ සිට ගෙන සාමාන්‍ය මගියකු ලෙස ය. ඉන් නිරූපණය වූයේ ඇයගේ නිහතමානි බව ය. සම්මන්ත්‍රණයට සහභාගි වූ කිසිවකු ඇයට අසුනක් දෙන්නට ඉදිරිපත් වූයේ ද නැත. සමාන්‍ය ජීවිතයේ අප සැම සමාන නො වේ ද? යන අදහස ජනිත වූ අවස්ථාවකි (24 වන රූපය).

(8) අට වැන්න ලද සතුටක් ගැනයි. බ්‍රිජට් සොමෙක්, ශ්‍රී ලංකාවේ ආචාර්ය සුභාෂිණී විජේසුන්දරගේ School Improvement: an action–based case study conducted in a disadvantaged school in Sri Lanka යන CARN ආයතනය පළ කරන Educational Action Research (2002) සගරාවේ (25 වන රූපය) පළ වූ ලිපියේ ගුණාත්මකභාවය පිළිබඳ ව ප්‍රසංශා මුඛයෙන් ප්‍රකාශ කළ බව ද මෙහි දී සතුටින් මතක් කරමි. එම සතුට පළ කෙරුම, ශ්‍රී ලංකාවේ ක්‍රියාමූලික පර්යේෂණවලට යා හැකි දුර සීමාසහිත නො වන බව පෙන්වන්නක් ද වේ. ක්‍රියාමූලික පර්යේෂණ ලිපි පළ කෙරෙන Educational action research සඟරාවේ පළ වූ, ශ්‍රී ලාංකිකයකු ලියූ එක ම පර්යේෂණ ලිපිය ද එයයි.

(9) නව වැන්න බලාපොරොත්තුව යන තේමාව ගැනයි. චන්දන විජයකෝන් විසින් අරඹා සංවර්ධනය කළ වයඹ පළාතේ ක්‍රියාමූලික පර්යේෂණ ජාලයේ සාමාජිකා, ඉවෝන් සමරවික්‍රම, 2014 දී එංගලන්තයේ සහ 2016 දී පෘතුගාලයේ පැවති (CARN) සම්මන්ත්‍රණවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට ස්වකීය ධනය වැය කළා ය. ඇයගේ ක්‍රියාමූලික පර්යේෂණවල අවධාරණය වන මූලික තේමාවක් තිබේ. ඒ බලාපොරොත්තුවයි (Hope). මෙය ම 2018 වර්ෂයේ ක්‍රියාමූලික පර්යේෂණ ව්‍යාපෘතිවල තේමාව ලෙස භාවිතයට ගත හැකි ය.

(10) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට, අධ්‍යාපනය පිළිබඳ දර්ශනසූරි උපාධිය (Ph D) සඳහා, තවමත් ක්‍රියාමූලික පර්යේෂණ පාදක නිබන්ධයක් ඔප්පු කර නැත. ශ්‍රී ලාකිකයකු කළ එක ම ක්‍රියාමූලික පර්යේෂණ පාදක දර්ශනසූරි උපාධිය, ලංඩන් විශ්වවිද්‍යාලය වෙත ඔප්පු කර ඇත්තේ ආචාර්ය මංජුලා විතානපතිරන පමණි. (Improving multigrade teaching in Sri Lanka: Action research with teachers in rural Sri Lanka). මේ හිඩැසත් ඉක්මනින් සම්පූර්ණ වේ වා යයි දස වන කරුණ ලෙස පතමු.

(11) 1967-2015 අතර කාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාමූලික පර්යේෂණවල මූලික සිද්ධි ගැන ලියැවුණු Action Research in the Sri Lankan Education System: A Historical Perspective යන ලිපිය කියවන්නට එකොළොස් වනු ව ඇරියුම් කරමි.එය The Palgrave International Handbook of Action Research යන ප්‍රකාශනයේ (26 වන රූපය) ඇතුළත් ය.

(12) දෙළෛාස් වැන්න ක්‍රියාමූලික පර්යේෂණ සදහා ඇවැසි විකල්ප සිතුවිලි ධාරා ගැනයි. පළමු ව මේ සමග ඇති කාල් සේගන් ගේ 'තිතක් සේ සුදුමැලි වන පෘථිවිය' (Carl Sagan - Pale Blue Dot) (27 වන වීඩියෝව) නරඹන්න. අප සැම සිටින පෘථිවිය ගැන සේගන් අපට ලබා දෙන අර්ථකථනය අවබෝධ කර ගන්න. ඒ අනුව ක්‍රියාමූලික පර්යේෂණයේ නිරත වන අප, අප ම ගැනත් අප සම්බන්ධ සමාජය ගැනත් පොදුවේ ලෝකය ගැනත් ලබා දිය යුතු නිර්මාණාත්මන නව අර්ථකථනයේ රිද්මය පිළිබද ව අලුතින් සිතන්න. දෙවනු ව https://www.youtube.com/watch?v=eX7SUHTWAv0 යන utube ජාලයෙන් ගත් කාන්තා රූපය, නවතම දෘෂ්ටියකින් අර්ථනිරූපණය කරන අයුරු ද නරඹන්න (28 වන වීඩියෝව). වැඩමුඵවල දී මේ කාන්තා රූපය පමණක් මුලින් ම පෙන්වා, සහභාගිකයන්ගෙන් අදහස් විමසු විට ලැබෙනුයේ සාම්ප්‍රදායික ප්‍රතිචාරයි. 'ලස්සන කාන්තාවක්', 'නිදහස ප්‍රිය කරන කාන්තාවක්' වසයෙනි. එහෙත් වීඩියෝ පටයෙන් දෙනුයේ කෙතරම් වෙනස් නව සිතුවිලි ධාරාවක්දැයි දර්ශනයක් දැයි ප්‍රත්‍යවේක්ෂණය කරන්න. අපට අපේ පාසල් දෙසත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙසත් 'සිතුවොත් අපේ සිසු දරුවන් අපේ ලෙසින්' පරිදි වෙනස් ලෙස සිතිය හැකි විය යුතු ය. ක්‍රියාමූලික පර්යේෂකයකු වීම සදහා නව මාන ඔස්සේ සිතන්නට ද යොමු විය යුතු ය.
























No comments:

Post a Comment