Tuesday 13 March 2018

කැනඩාවේ අත්දැකීම් (46) පළමු වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැලන්ටයින් දිනය සැමරූ වගයි

කැනඩාවේ අත්දැකීම් (46) පළමු වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැලන්ටයින් දිනය සැමරූ වගයි




















පෙබරවාරි දහහතර වන දා වැලන්ටයින් දිනය සැමරීමේ දී පළමු වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද එයට හවුල් වූ ආකාරය නිරීක්ෂණය කළෙමි. පෙර දින සියලු ශිෂ්‍යයෝ තම පන්තියේ සිටින අනිකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තෑගි දීම සඳහා විවිධ වූ ද කුඩා වූ ද තෑගි බෝග එකතු කර ගත්හ. සමහර තෑගිවල පන්තියේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම් ලියා තෑගි දීමට සූදානම් කර ගත්හ. එමගින් නිවසේ දී ලිවීමේ කුසලතාව තවතවත් තහවුරු කර ගන්නට මගක් පෑදිණි. ඊට අමතර ව පන්තියේ සිටින මිත්‍රයන් ගේ නම් ගම් තවදුරටත් මතක තබා ගැනීමේ කුසලතා ද ලැබී, සමාජ කණ්ඩායමක තිබිය යුතු සුහදතාව සංවර්ධනය කර ගැනීමට ද ඉඩක් ලැබිණි. පාසලේ ක්‍රියාකාරකම්වල දී පෙබරවාරි මාසයේ අවධාරණය කර තිබූ තේමාව වූයේ ද සහයෝගිතාවයි (Cooperation). මෙයින් පැහැදිලි වනුයේ විභාග අවධාරණ විෂයමාලාවකට වඩා පළල් දැක්මකින්, ශිෂ්‍ය මෘදු කුසලතා (Soft skills) ද සංවර්ධනය වන ලෙස, පාසලේ කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කරන බවයි.
මේ හැර වැලන්ටයින් දිනය, පළමු වන ශ්‍රේණියේ හයක් හතරක් නොතේරෙන ළමයින් විසින් සැමරීමේ වැදගත් කමක් තිබේ ද? ඒ ගැන අධ්‍යයනයට, ශිෂ්‍යයකුට ලැබුණ තෑගි සමූහය (1 හා 2 රූප) දෙස බැලීම සුදුසු ය. තෑගි සමූහයේ දෙපැත්තේ ම ස්වභාවය නිරූපණය වන පරිදි ඡායාරූප ගෙන ඇත. අනතුරු ව තෑගි අතර තිබූ විවිධ හැඩයේ කුඩා පොත්වල (booklets), ත්‍යාග ලෙස ම ලැබුණු පැන්සල් භාවිත කරමින් ලියන-අඳින ලද විවිධ චිත්‍ර-රූප-ඉලක්කම්-අකුරු දෙස ද අලවන ලද ස්ටිකර්ස් දෙස ද බලන විට පැහැදිලි වන්නේ මේ කුඩා පොත් සහ පැන්සල් කුඩා ළමයින් තුළ ඇති වන සරල හැඟීම් පළ කිරීම සඳහා ළමා වයසට උචිත කුඩා මාධ්‍යයක් බවයි.
ප්‍රහේළිකාවලට පිළිතුරු සෙවීම, පාර සෙවීම වැනි ළමයින්ට අදාළ ක්‍රියාකාරකම් ද තෑගි ලෙස ලැබී තිබිණි.
'දීමේ පුරුද්ද' ඇති කිරීමට ද තෑගි බෙදා හදා ගැනීම උදව් වූ බව පැහැදිලි ය.
ඕනෑ ම සංකල්පයක් පාසලේ ඒ ඒ ශ්‍රේණියට ලබා දිය යුත්තේ ඒ ශ්‍රේණියට ගැළපෙන පරිදි ය. ඒ අනුව පළමු වන ශ්‍රේණියට ගැළපෙන පරිදි, වැලන්ටයින් දින සැමරීම සඳහා ක්‍රියාකාරකම් පැවැත්වූ බව දක්නට ලැබේ.
ලද තෑගි තැබීම සඳහා කුඩා බෑග් එකක් ද ලැබී තිබිණි. එය සකසුරුවම් බව ද ද්‍රව්‍ය ආරක්ෂිත ව තැබීම සදහා ද පුරුදු කිරීම සඳහා උදව් වන්නකි. අප සිටින නිවාස සමූහයේ කුණු එකතු කරන භාජනවලට කුණු දාන්නට ගිය විටක, වැලන්ටයින් දින සැමරුමට වැඩිහිටියකුට එවා තිබූ අලංකාර කාඩ්පතක් එහි විසි කර දමා තිබෙනු දක්නට ලැබිණි. (20-21 වන රූප). මේ අනුව පෙනෙන්නේ සමහර වැඩිහිටියන්ට, තම මිතුරන් මුදල් වියදම් කර එවන කාඩ්පත තබා ගැනීමට වුවමනාවක් නැති බව ය. මෙසේ කාඩ්පත් එවීම පුරුද්දට කරන්නක් බව ද පැහැදිලි ය. එහෙත් 1 වන ශ්‍රේණියේ ක්‍රියාකාරකමින් නම්, ලැබෙන තෑගි ආරක්ෂා කළ යුතු බවට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ධනාත්මක පණිවිඩයක් ලැබී තිබිණි.

No comments:

Post a Comment