Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (39) පාසලින් මෙන් ම රූපවාහිනියෙන් ද ළමයාට ඉගෙනුම ලැබෙයි

















කැනඩාවේ අත්දැකීම් (39) පාසලින් මෙන් ම රූපවාහිනියෙන් ද ළමයාට ඉගෙනුම ලැබෙයි
1 වන ශ්‍රේණියේ ශිෂ්‍යයකු දිනක දී නිවසෙහි සිට නිම කළ නිර්මාණ දෙකක් 1 සහ 2 වන රූපවල වේ. පළමු වැන්න පාසලේ මාසික ක්‍රියාකාරකමට අදාළ ව පැවරුණු ස්ටීම් අභියෝගයට (3 වන රූපය) අදාළ ව පියාගේ සහාය ඇති ව නිර්මාණය විය. උපදෙස් පත්‍රිකාවේ සදහන් පරිදි නිර්මාණයට අදාළ වීඩියෝවක් යූටියුබයේ ඇත. එය පෙර දින සවස නරඹා අදහස ලබා ගෙන, සති අන්ත නිවාඩු දිනක නිර්මාණය කෙරිණි. එයට වෙළෙඳ පොළින් ගෙන ආ යුතු වූයේ කාන්දම් කැබලි දෙකක් පමණී. ඉවත ලන දුව්‍ය ඇසුරින් නිර්මාණය කෙරිණි. දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ශීත සමයේ ඔලිම්පික් ක්‍රීඩාවලින් එකක් කෙරෙන අයුරු නිරූපණය, ක්‍රියාකාරකමේ අරමුණයි. නිර්මාණය වූ රූපයේ ඇත්තේ කාන්දම් බලයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයකුගේ ඉරියව්ව ය. ශිෂ්‍යයාට කාන්දම හැසිරවීමට හැකි වන ලෙස කාන්දම් කෑල්ල අලවා ඇත්තේ අයිස්පලන් කෑමෙන් පසු ඉතිරි වූ ලීයක ය. ක්‍රීඩකයන්ගේ කකුල්වල ද කාන්දම් කැබැලි අලවා ඇත (4-6 වන රූප). නිර්මාණයෙන් ශිෂ්‍යයාගේ විවිධ චිත්‍රනිර්මාණ (ශීත කාලය සුදු පාටින් නිරූපණය වී ඇති අයුරු බලන්න) ඇතුළත් විවිධ නිර්මාණ කුසලතා මෙන් ම ලෝකය ගැන සොයන්නට කුතුහලයත් උත්පාදනය කර ඇත. කැනඩාවට ශීත කාලය නිසා ශීත කාලයට අදාළ ක්‍රීඩා ද ඇති බව ළමයාට ඇගවීමක් ක්‍රියාකාරකමින් ලැබිණි.
එදින සවස ශිෂ්‍යයා තනි ව නිර්මාණය කළ නැව සදහා මූලාශ්‍රය නිශ්චිත ව කිව නො හැකි නමුත් ඔන්ටාරියෝ රූපවාහිනියේ (Ontario TV/ TVOntario) tvokids චැනලයේ දවස පුරා විකාශය වන Paw Patrol, Mr. Maker, Forest Run-Zerby Derby, Wild Kratts, Science Max වැනි විවිධ වැඩසටහන් නැරඹීමෙන් ලද ආභාෂය අනුව කළ නිර්මාණයක් බව පැහැදිලි ය (7 වන රූපය). එවැනි වැඩසටහන්වල දී විවිධ නිර්මාණ ළමයාට ආශා සිතෙන ලෙස ද විනෝදජනක ලෙස ද ක්‍රියාකාරකම් පාදක ව ඉදිරිපත් කරනු ලැබේ. විශේෂ ලක්ෂණය වනුයේ, වැඩසටහන් ඉදිරිපත් කරන්නා ශ්‍රී ලංකාවේ මෙන් කටින් පමණක් ඔහේ යාන් හෑලි කියවනවාට වඩා විවිධ මුහුණු ඉරියව් ද රංගන රටා ද අදාළ ක්‍රියාකාරකම නරඹන ශිෂ්‍යයාට මිතුරු ශෛලියකින් ද ළමයාට ක්‍රියාකාරකම් කිරීමට අවශ්‍ය සහාය ලැබෙන පරිදි ද ළමයාගේ පරිකල්පනය සහ නිර්මාණාත්මක බව උද්දීපනය වන පරිදි ද වැඩසටහන ඉදිරිපත් කිරීම ය. ඒ සඳහා ප්‍රමාණවත් වූ විවිධාකාර සම්පත් ද අතිශය උපරිම ලෙස භාවිත කරනු ලැබේ. එවන් වියදමක් ශ්‍රී ලංකාවට දැරිය නො හැකි බව ද පැහැදිලි ය.
නැව නිර්මාණය කිරීම සඳහා ද පදනම් වූයේ නිවසේ තිබූ විවිධ ඉවතලන දෑ ය (8 වන රූපය). කප්පිත්තාගේ තොප්පිය නිර්මාණයේ දී පළමු නිර්මාණය අසාර්ථක වූයෙන් (9 වන රූපය) දෙවැනි තොප්පියක් නිර්මාණය විය (10 වන රූපය). තොප්පිය ඔඵව මත රැඳවිය නො හැකි හෙයින් එයට බෙල්ල ද යා කරන නූලක් අමුණන ලදී. තොප්පිය නිර්මාණය කරන්නට පදනම් වූයේ මීට පෙර දවසක නිමැවූ බෝට්ටුවක් සහ තොප්පියක් සෑදීම නිසා ලද අත්දැකීම යයි සිතිය හැකි ය (11 වන රූපය). මෙයින් පැහැදිලි වනුයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම්, අන්වායාම පර්යේෂණ (Longitudinal research) ක්‍රමශිල්ප අනුව නිරන්තර ව අධ්‍යයනය කිරීමේ වැදගත්කමයි. ෂොන් පියැෂේ (Jean Piaget) ළමයින්ගේ බුද්ධි සංවර්ධනය විශ්ලේෂණය සදහා කරනු ලැබුයේ ද මෙවන් අන්වායාම පර්යේෂණයකි.
පසු දින නැවට නව අංග එකතු විය. නැවට නැංගුරමක්, කප්පිත්තාගේ පාදවලට සහ වැවේ තැන්වලට විවිධ සැරසිලි ය (12-14 වන රූප). ඒ සදහා කොළයකින් ඉතා කුඩා කොටස් කපා ගෙන ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ සියුම් චාලක කුසලතා ලබා දෙන්නට ක්‍රියාකාරකම ඉවහල් ව ඇති ආකාරයයි (15 වන රූපය). අවසන් නිර්මාණය පසුපසින් සහ ඉදිරියෙන් පෙනෙන අයුරු 16-17 වන රූපවල වේ.

No comments:

Post a Comment