Tuesday 20 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (18) රගපෑමේ විනය සහ පර්යේෂණ ලේඛනයේ විනය


(1) “ජිස් දෙස් මේ ගංගා බෙහ්ති හායි" නම් හින්දි චිත්‍රපටයෙහි රාජ් කපූර් සහ පද්මිණී ඇතුඵ නඵනිළියන් රැසක් රගපෑ ගීයක් නරඹමු. මේ නඵ නිළියන් රගපාන විට ස්වකීය ශරීර සහ මුහුණු ඉරියව් පාලනය කරන අයුරු නිරීක්ෂණය කරන්න. වෙසෙසින් සියලු දෙනා ඇස් පාලනය කරන අයුරු බලන්න. රාජ් කපූර් පමණක් නො ව සියලු නඵ නිළියෝ ඇස් ස්වාභාවික ලෙස චලනය නො කර, මැනවින් පාලනය කර ගෙන සිටිනුයේ චිත්‍රපටයෙන් අපේක්ෂිත පරිදි, රාජ් කපූර් කියන දර්ශනය හෝ පණිවිඩයට ආකර්ශණය වී ඇති නිසා හෝ ඊට ප්‍රතිචාර දැක්වීමක් වසයෙනි. මේ සමග ම ඔබට චණ්ඩාලි චිත්‍රපටයේ ජෙනි විනිප්‍රීඩා නිළිය රගපෑ ගීතයක් ද නරඹන්නට අවස්ථාව ලැබෙයි. එහි ද ජෙනි විනිප්‍රිඩා නිළිය ද, ඇස් පාලනය කරමින් රගපාන අයුරු නිරීක්ෂණය කරන්න. ඔබ මේ නිරීක්ෂණය කරනුයේ රගපෑමේ විනයයයි. ගීත රස වින්දනය සදහා මෙකී රගපෑමේ විනය රටා අතිශයින් බලපාන්නේ ය.
(2) අප පර්යේෂණයක් කරන විට ද පර්යේෂකයකු සතු කර ගත යුතු විනය රටාවක් තිබේ. පර්යේෂණ ක්‍රියාවලියේ සෑම පියවරක දී ම මේ විනය රටා අනුව කටයුතු කිරීම අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස දත්ත රැස් කරන විට, දත්ත ලබා දෙන අයගේ දත්ත විකෘති නො වන සේ, අපේ හැගීම් පාලනය කර ගන්නට ද ඒ අනුව අව්‍යාජ දත්ත ලැබෙන්නට අවකාශ සැලසෙන සේ වාස්තවික ව හැසිරෙන්නට ද අප පුරුදු විය යුතු ය. හින්දි සහ සිංහල චිත්‍රපට ගී දෙකට සාපේක්ෂ ව, මා අද වෙසෙසින් අවධාරණය කිරීමට අපේක්ෂා කරනුයේ, පර්යේෂණ ලේඛනයේ තිබිය යුතු විනය රටා පිළිබද ව ය. පර්යේෂණ වාර්තාවක් ලියන විට ද ලියූ පසු ද එහි දක්නට ඇති දෝෂ නිවැරදි කරන්නට අප යත්න දැරිය යුතු ය. නැත හොත් පර්යේෂණ ලේඛනය කියවන විට, කියවන්නාට අඛණඩ සහ නිවැරදි චිත්‍රයක් නො ලැබී යයි.
(3) පර්යේෂණ ලේඛනයක විනයයට බාධා කරන දෝෂ දෙයාකාර ය. මතුපිට දෝෂ සහ ගැඹුරු තලයේ දෝෂ ලෙස ය.
(4) මතුපිට තලයේ දෝෂ ලෙස සැලකෙනුයේ අක්ෂර වින්‍යාස දෝෂ (උදා- කොට්ඨාසය වෙනුවට කොට්ඨාශය ලෙස ලිවීම), උක්ත ආඛ්‍යාත සම්බන්ධතාව පිළිබද දෝෂ (උදා- 3 වන රූපයේ ඇති වැරැද්ද බලන්න), යතුරු ලියන දෝෂ (උදා- දෝෂ වෙනුවට දේෂ ලෙස යතුරු ලියනය වීම) සහ වැරදි භාෂා ව්‍යවහාරයි (උදා- ඇතුඵ වීම වෙනුවට ඇතුල්වීම ලෙස ලිවීම).
(5) ගැඹුරු තලයේ දෝෂ යනු ලේඛනයෙන් ලබා දෙන්නට අපේක්ෂා කරන අදහස නොලැබෙන පරිදි, විකෘති ලෙස පවතින ලිවීම් ශෛලි ය. සමස්ත ලේඛනයෙන් දෙන්නට යන සමස්ත අදහස සහ ඒ සමස්ත අදහස ක්‍රමානුකූල ව ලැබෙන ලෙස අනුඅදහස් සුවිශේෂී ව-ක්‍රමික ව ඉදිරිපත් නොවීම යන හේතුව නිසා, ගැඹුරු තලයේ දෝෂ ඇති වේ. විස්තර සහිත ව නො ලියා කෙටියෙන් නිගමන ලෙස පමණක් ලිවීම, ලියන අදහස්වල අඛණ්ඩතාව-අනුපිළිවෙළ නිවැරදි නොවීම, සහ හිතේ තිබෙන අදහස් නිවැරදි ව ලේඛනගත නොවීම නිසා ගැඹුරු තලයේ දෝෂ ඇති වේ (4-6 රූපවල, මතුපිට සහ ගැඹුරු තලයේ දෝෂ සමහරක් පිළිබද ව උදාහරණ සහ විසදුම් දැක්වේ).
(6) චාර්ල්ස් ඩිකන්ස්, ලියෝ තෝල්ස්තෝයි වැනි ලේඛකයන්, ස්වකීය නවකතාවල ගලා යාම සංවර්ධනය සදහා ගැඹුරු තලයේ දෝෂ හදුනා ගෙන නිරන්තරයෙන් ස්වකීය නවකතා සංශෝධනය කර ඇත. "සැම දෙනා ලෝකය වෙනස් කරන්න තැත් කළත් තමා වෙනස් වීම ගැන කල්පනා නො කරති" යන ලියෝ තෝල්ස්තෝයි ප්‍රකාශයෙන් ගම්‍ය වන කරුණක් ද වනුයේ, තමාගේ ලේඛනය කෙතරම් වැරදිවලින් තොර වන ලෙස, නැවත නැවත සකස් කර, සංවර්ධනය විය යුතු ද යන්න ගැන ඔහු සතු වූ දැඩි දැක්මයි.
(7) ගුස්ටාව් ෆ්ලොබෙයාර් ලියූ 'එමා බෝවාරි' නවකතාව අවසානයේ දී එමා නම් කාන්තාව පාසානම් වස කා සිය දිවි හානි කර ගන්නී ය. ඒ සිද්ධිය නිරූපණය කරන අවස්ථාව ලියන්නට, ෆ්ලොබෙයාර් කෙතරම් තමා ලියන දේ ගැන සිත යොමු කරමින් ලියන දේ සංස්කරණය කළා ද කිව හොත්, ඔහුගේ දිවට ද පාසානම් විෂ රස දැනුණු බව පැවසෙයි. කලාත්මක නිර්මාණයක ගුණාත්මක බව ළගා කර ගැනීමට අවශ්‍ය යතුර සේ හෙතෙම සැලකුවේ ලේඛනයේ ඒ ඒ ස්ථානයට ඇවැසි නිවැරදි පදය (the right word) කුමක් දැයි සොයා යාමයි. පර්යේෂණ ලේඛනයක් ද හිතුමතේ ඔහේ ලියා ගෙන යා නො හැකි ය. ලිවීමේ දී යෙදිය යුතු සෑම පදයක් ගැන ම දැඩි අවධානයෙන් සලකා බැලිය යුතු ය.
(8) මේ අනුව පැහැදිලි වන්නේ පර්යේෂණ වාර්තාවක් ලිවීම යනු "ලියන්නා" සම්බන්ධ දෙයක් පමණක් නො වන බවයි. ලියන මා ගැන මෙන් ම, ලියන දේ-කරුණු ගැන ද මා ලියන දේ කියවන්නට සිටින පාඨකයාට අවබෝධ වෙන ලෙස ලියැවුණි ද යනු ගැන ද සිතේ තබා ගැනීම අවශ්‍ය වන නිසා ලිවීමේ භූමිකාව ලෙහෙසි පහසු නැත.





No comments:

Post a Comment