Tuesday 20 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (19) දත්තවලට එදිරි ව ප්‍රතිවේදය (Insight vs data)


“ජිස් දෙස් මේ ගංගා බෙහ්ති හායි" නම් හින්දි චිත්‍රපටයෙහි රාජ් කපූර් සහ පද්මිණී ඇතුඵ නඵනිළියන් රැසක් රගපෑ ගීය මගින් මා ඔබට ඉදිරිපත් කළේ රගපෑමේ විනයය සහ ලේඛනයේ විනයය පිළිබදවයි. ඒ ගීය නරඹද්දි, නඵනිළියන්ගේ සමස්ත චර්යා රටාවලට ප්‍රතිපක්ෂ වූ රගපෑම් නිරූපණය වූ අවස්ථා හතරක් නිසා, රගපෑමේ විනයයට බාධා වූ අවස්ථා සතරක් නිරීක්ෂණය කරන්නට ඔබට හැකි වූයේ ද? පළමු වන අවස්ථා දෙකට අදාළ ව ඔබේ නිරීක්ෂණ හැකියාව තක්සේරු කරන්නත් සිතා ගෙන මේ ප්‍රශ්න දෙක අසමි.
(1) ගීතය ආරම්භයේ දී රාජ් කපූර් වඩා ගෙන සිටි ගැහැනු ළමයා කී සැරයක් කට ඇර වසා ගත්තේ ද?
(2) ගැහැනු ළමයාගේ මවගේ මුහුණු ඉරියව්වල වූ සුවිශේෂතා මොනවා ද? (ඒ සදහා බලපෑ හේතු මොනවා වන්නට ඇති ද? ආධුනික නිළියකගේ ලක්ෂණ ද? ළමයා වඩා ගැනීමට අධ්‍යක්ෂ විධානය ලැබෙන තෙක් එහෙ මෙහෙ බලනවා ද?)
(3) තුන් වන අවස්ථාවට අදාළ පසුබිම් විස්තරයක් මෙසේ ය. රාජ් කපූර් වීරයා ලෙස රගපෑ දර්ශනයේ ප්‍රාන් නම් නඵවා දුෂ්ඨ චරිතයක් රගපායි. ඔහු දර්ශන තලයට පිවිසෙන විනාඩි 2.06-2.15 අතර කාලයේ දී ඔහු නිරූපණය කරන රුදුරු මුහුණු ඉරියව් නිරීක්ෂණය කරන්න. ඔහුගේ අනුගාමිකයන් දෙදෙනකු පෙනී සිටින තත්පර 46-55 අතර හා 1.04-1.05 අතර කාලවල දී ඒ අය මුහුණු සහ ඇස් බැමි පාලනය කර අයුරු හෝ ශරීර පිටුපසට ගන්නා අයුරු බලන්න. මේ විකල්ප ශරීර ශෛලි, සමස්ත ගීතයේ රිද්මයට මෙන් ම චිත්‍රපටයේ සමස්ත අර්ථයට ද මැනවින් ගැළපේ යයි ඔබ සිතන්නෙහි ද? උත්තරයත් පවසන්නම්. ගැළපෙයි. මේ දර්ශනයේ කණ්ඩායම් දෙකක් සිටිති. හොද කණ්ඩායම සහ දුෂ්ට කණඩායම ලෙස ය. දුෂ්ට කණඩාමේ අයට සතු වන්නේ වෙන ම චර්යා ලක්ෂණ ය. ඒ චර්යා ලක්ෂණ මැනවින් ගීතයේ නිරූපිතයි.
(4) සතර වන වන අවස්ථාවට අදාළ පසුබිම් විස්තරයක් මෙසේ ය. ගීතයේ විනාඩි 1.13-1.22 අතරතුර කාලයේ රාජ් කපූර් ගේ වමත් අත පැත්තට වන්නට ඈත පිටුපසින් සිට, වමත ඉනේ තබා ගෙන, ස්වකීය සිරුර ද රිද්මයාකූල ව නළවමින්, රිද්මයානුකූල ව ගීතය ගයන ගැහැනු ළමයා ඔබ දුටුවෙහි ද? ඇය කලා හැකියාව සහිත වුවත් ළමයකුට උචිත දැගලිලි චරිතයක් ද බවත් 2.00-2.05 කාලය අතරතුර ඇගේ හැසිරීම (බිමට නැමී මොනවා ද ඇහිලීම සහ කවුරුන්දෝ කියන නිසා ඇග කෙළින් කර තබා ගැනීම) නිරීක්ෂණයෙන් ඔබට පැහැදිලි වනු ඇත. ඇගේ චර්යාව ගීතයේ අන් අයගේ රගපෑම් ශෛලියට ප්‍රතිපක්ෂ වේ. එහෙත් සමස්ත ගීතය සැලකූ විට දැරියගේ එකී විකල්ප හැසිරීම් නොපෙනී යන්නේ ය. පළමු වන දෙ වන සහ හතර වන අවස්ථාවලට සම්බන්ධ මද වැරැදි නොසලකා හැරීමෙන් සිනමා කරුවා විසින් කරනු ලැබ තිබෙනුයේ වැරුද්දක් ද? නැත. ඊට හේතු මෙහි දී පර්යේෂණ ඉතිහාසය ඇසුරින් තර්කානුකූල ව දක්වමි.
(5) ග්‍රහලෝක සූර්යයා වටේ ඉලිපිසීය මාර්ගයක ගමන් කරන බව, අවුරුදු 24ක් තිස්සේ ටයිකෝ බ්‍රාහේ (Tycho Brahe) සහ බ්‍රාහේ මළ පසු ඔහුගේ ගෝලයා වූ ජොහැන්නස් කෙප්ලර් (Johannes Kepler) විසින් රැස් කළ දත්ත, ඒ අනුව සැකසුණු අභ්‍යාවකාශය පිළිබද වගු හා ඒ පිළිබද විශ්ලේෂණ අනුව, ජොහැන්නස් කෙප්ලර් විසින් තීරණය කරනු ලැබූ බව ඔබ දන්නෙහි ය (1 වන රූපය). බ්‍රාහේ , දූරේක්ෂය නිපදවන්නටත් පෙර සකස් කළ අභ්‍යාවකාශය නිරීක්ෂණ පාදක වගු පාදක කර ගෙන, කෙප්ලර්, නිගාමි තර්කනය අනුව ගත් මේ තීරණය සදහා සමහර දත්ත නැති නිසා, කෙප්ලර් ගණිතමය වසයෙන් ඔප්පු කළ හැකි දත්ත නැති ව හිතාමතා මේ තීරණය ගත් බවට විවේචන තිබේ (2-3 වන රූප). මෙහි හිතාමතා තීරණය ගැනීම යනු කෙප්ලර් ගේ ප්‍රතිවේදය හෙවත් විනිවිද දක්නා ඥානය (Insight) අනුව තීරණය ගැනීමකි. දත්ත නැති ස්ථානයේ දත්තවලින් මැවිය හැකි රූපය ගැන අප කාටත් පැහැදිලි ය. එම ස්ථානයේ දී පෘථිවිය, උදාහරණයක් වසයෙන්, 1 වන රූපයේ යට ම දක්වා ඇති චිත්‍රයේ පරිදි අමුතුවෙන් රවුමක් ගසා පැමිණෙතැයි කාටවත් කිව නො හැකි ය.
(6) මෙසේ ගණිතමය වසයෙන් නිවැරදි නො වුවත් ස්වකීය ප්‍රතිවේදය මත තීරණ ගත් විද්‍යාඥයන් ලෙස අයිසෙක් නිව්ටන් සහ ජාන විද්‍යා න්‍යාය ඉදිරිපත් කළ ග්‍රෙගරි මෙන්ඩල් වෙත ද චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබද පර්යේෂණ ලිපි ඇතුළත් Journal for the History of Astronomy, November, 1988. සගරාවේ ලිපිය ද කියවන්න.
(7) ළමයින්ගේ බුද්ධි සංවර්ධනය පිළිබද ෂොන් පියැෂේ (Jean Piaget යනු ශබ්ද කළ යුත්තේ ජීන් පියාජේ ලෙස නො වන බව කාරුණික ව සලකන්න. එය 'ඥානවතී' යන නම 'Gnanawathie' ලෙස ඉංග්‍රීසියෙන් දුටු ඉංග්‍රීසි ජාතිකයකු 'ග්නනාවත්හිඑ' ලෙස ශබ්ද කළා වැනි වැරුද්දකි) ඉදිරිපත් කළ නයායය පිළිබද ව පවතින චෝදනාවක් වනුයේ ළමයින් තිදෙනකුගේ දත්ත පමණක් (ඒ තිදෙනා ද ඔහුගේ ම දරුවන් ය) පදනම් කර ගැනීම ය. නියැදිය (sample) හා සංගහනය (population) පිළිබද න්‍යායය අනුව පියැෂේ වැරදි ය. එහෙත් ඔහුගේ ප්‍රතිවේදයෙන් උපන් නයායය සත්‍යය ය.
(8) පර්යේෂකයන් ලෙස දත්තවල වලංගුතාව සහ විශ්වස්‍යතාව රැක ගන්නා අතර ම අපේ ප්‍රතිවේදයත් සංවර්ධනය කර ගනිමු.




No comments:

Post a Comment