Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (38) ටියුෂන් පෝස්ටර ගැන සිතුවිලි

කැනඩාවේ අත්දැකීම් (38) ටියුෂන් පෝස්ටර ගැන සිතුවිලි
අප සිටින මහල් නිවාසවලට ඇතුඵ වන ස්ථානයේ (1 වන රූපය) ඒ ඒ නිවසට අදාළ ලියුම් වැටෙන කුටි සමූහය අසල දැන්වීම් පුවරුවකි (2 වන රූපය). එහි ගණිතය සහ විද්‍යාව සදහා අමතර උදව් අවශ්‍ය අයට උගැන්වීම සදහා පෙෘද්ගලික ව උගන්වන්නට නිවසට පැමිණෙන පුද්ගලයන් දෙදෙනකු ගැන A4 ප්‍රමාණයේ පත්‍රිකාවල තොරතුරු වේ (3-4 වන රූප). මේ අය දැනටමත් ගුරුවරුන් ලෙස සේවය කරන අය දැයි නො දනිමි. උගන්වන්නට එන අයගේ ටෙලිෆෝන් නොම්මරය, අවශ්‍ය අයට කඩා ගත හැකි ලෙස දැන්වීමේ පහළ ම, තීරු ලෙස තිබේ. ඒවා කඩා ගෙන ඇති හෙයින් පැහැදිලි වන්නේ මේ ටියුටර්ස්ලා සමග පවුල් සාමාජිකයන් කතා කර ඇති බවයි. ගාස්තුව පැයකට කැනඩා ඩොලර් 10කි (රුපියල් 1200/=ක් පමණ ය). ඒ කැනඩාවේ රැකියා කරන්නන්ට 2017 දී ලැබුණු අවම පැයක ගාස්තුව ද වන්නේ ය. කැනඩාවේ තිබෙන ටියුෂන් පන්ති ගැන ලියන්නැයි මට ඉල්ලිම් ලැබෙන නිසා මේ ඡායාරූප සහිත කෙටි විස්තරය පළ කරමි.
ශ්‍රී ලංකාවේ මෙන් ටියුෂන් සංස්කෘතියකට අදාළ පෝස්ටර් ද ළමයින් පාසලින් පසු සහ සති අන්තවල රෑන් පිටින් ටියුෂන් පන්තිවලට යාම වැනි ලක්ෂණ ද තාම දකින්නට නො ලැබුණි. එහෙත් 5-6 වන රූපවල දැක්වෙන දැන්වීම සහිත මුද්‍රිත පත්‍රිකාව, විවිධ ස්ථානවල නොමිලේ ලබා ගත හැකි විවිධ පොතපත හා ලේඛන අතර තිබී හමු විය. එයින් හැගවෙනුයේ අන්තර්ජාලය පාදක කර ගෙන නිවසේ සිට ටියුෂන් ගැනීමේ ක්‍රමයක් පවතින බව ය. එමගින් පළමු ව කුසලතා මට්ටම මැනීමේ පරීක්ෂණයක් අන්තර්ජාලය මගින් පැවැත්වෙයි. වෘත්තීයික විෂයමාලාවක් පාදක ව තනි තනි ව ශිෂ්‍යයනට උපදෙස් සැපයෙයි. ඉගෙනුම් වාතාවරණය ළමයාට හුරුපුරුදු එකකි. සුදුසුකම් සහිත සහ අත්දැකීම් සහිත ටියුටර්ස්ලා මේ කාර්ය කරති. ශිෂ්‍යයාගේ ශ්‍රේණිය වැඩි දියුණු කිරීම සහතික කරයි.
මේ ක්‍රමය ශ්‍රී ලංකාවෙත් අත්හදා බැලුව හොත් හොඳ යයි සිතමි. වෙසෙසින් 'ශිෂ්‍යයාගේ ශ්‍රේණිය වැඩි දියුණු කිරීම සහතික කරයි' යනු වැදගත් ප්‍රකාශයකි. ශ්‍රී ලංකාවෙහි මේ ලක්ෂණය නො පවතින නිසාත් ඉහළින් සමත් වන ළමයින්ගේ අයිතිය ගන්නට පාසල් හා තරග කිරීමට පමණක් පෙලඹී ඇති ටියුෂන්කරුවන් සිටින නිසාත් ය.







No comments:

Post a Comment