Tuesday 13 March 2018

කැනඩාවේ අත්දැකීම් (41) 1 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෝ ද පර්යේෂණ කරති

කැනඩාවේ අත්දැකීම් (41) 1 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෝ ද පර්යේෂණ කරති
 1 වන ශ්‍රේණියේ ගුරුතුමා ශිෂ්‍ය ඉගෙනුමට අදාළ කරුණු මොබයිල් ෆෝන් පණිවිඩ මගින් ද නිවසට එවයි. එක් දිනක එවූ පණිවිඩයක මෙසේ විය.
“We will study totem poles as part of a STEAM project. Students were asked to research (online or by asking someone) the following.”
What is the name of the long, thick part of the tree that the branches come out of?
එහි දළ සිංහල අර්ථය මෙසේ ය.
'ස්ටීම් ව්‍යාපෘතියේ අංශයක් ලෙස අපි ටොටම් පෝල්ස් ගැන අධ්‍යයනය කරමු. ශිෂ්‍යයන්ට පහත දැ ගැන අන්තර්ජාලයෙන් හෝ කිසිවකුගෙන් අසා පර්යේෂණ කරන ලෙස දන්වන ලදී.'
ගසක අතු වැඩෙන, දිග ඝන කොටසේ නම කුමක් ද? 


 ශිෂ්‍යයා සමග කතා කරන විට පැහැදිලි වූයේ පන්තියේ දී අදාළ කරුණු උගන්වා තිබූ බව ය. නිවසේ දී කරන්නට තිබුණේ තවත් කරුණු සෙවීම ය. මව්පියන් ද මේ පදය ගැන දැන නොසිටි හෙයින් අන්තර්ජාලයෙන් Totem poles ගැන සොයන විට විවිධ රූප හමු විය(1-4 වන රූප). Totem poles යනු කැනඩාවේ මුලින් ම පදිංචි ව සිටි ස්වදේශිකයන් (First Nations and indigenous people) ගස්වල කඳන් පදනම් කර ගෙන කළ නිර්මාණ විශේෂයකි. ආදි වාසී Haida වැසියන් භාවිත කළ Haida භාෂාවට සම්බන්ධ පදයකි. අන්තර්ජාලයේ Totem poles පිළිබඳ ව කුඩා වයසේ දරුවන්ට ද දැනුම දෙන වෙබ් අඩවි තිබේ. ඒවායේ ළමයින්ට කළ හැකි නිර්මාණ ද සදහන් ය (5-6 වන රූප).

 පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ ක්‍රියාකාරකම වැදගත් වන අයුරු ගැන මට ආ සිතිවිලි මෙසේ ය.
(1) දරුවා උගෙනුම අරඹන්නේ ද තම ජීවන රිද්මය ගැන පර්යේෂණ කරන්නේ ද මව් කුසයේ සිට ම ය. මව් කුසයේ සිටින ළමයාගේ චලන රටා අනුව ළමයාගේ ඉදිරි ජීවන රටා ද අනාවැකි කරන්නට හැකි ය.
(2) පර්යේෂණ යනු අපහසු කාර්යයක් ය යන අදහස ශ්‍රී ලාංකික පශ්චාද් උපාධි පාඨමාලා කරන ගුරුවරුන් සතු වීමට පාසලින් ඒ පිළිබඳ ව ලබා දී නැති හුරුව ද බලපා ඇතැයි අනුමාන කරමි.
(3) පාරිභාෂික වූ ද තාක්ෂණික පද සහිත වූ ද දේශන ශෛලියෙන් පර්යේෂණ විෂයය පිළිබඳ බිය වැඩි කරන්නට ශ්‍රී ලංකාව සමත් ව ඇත. බිය නැති කිරීම පෙර පාසලේ සිට ම ඇරඹීමට සැලසුම් කිරීම උචිත ය.
(4) මේ ක්‍රියාකාරකරමේ දී පර්යේෂණයට අදාළ ව ශිෂ්‍යයාට කළ යුතු වූයේ දත්ත රැස් කිරීමකි. එහි දී ක්‍රම දෙකක් භාවිත කළ හැකි විය. දෙමාපියන් හා සාකච්ඡාව සහ අන්තර්ජාලය පරිහරණය කිරීම ය. පර්යේෂණ සාහිත්‍ය විමර්ශනයට අදාළ මූලික හුරුවකුත් මේ මගින් සපුරාලිණි.
(5) ස්ටීම් (STEAM) (Science-technology-engineering-art-math යන පදවල මුල් අකුරුවලින් තැනුණු) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට පාසලත් නිවසත් අපූරු සමබරතාවකින් කටයුතු කරයි.
(6) මොබයිල් ෆෝන් සහ පරිගණකය, ඉගෙනුම සඳහා භාවිත කරනු ලැබේ. පාසල් ශිෂ්‍යයන් මොබයිල් ෆෝන් හෝ ටැබ් පාසලට රැගෙන යනු දක්නට ලැබේ.
(7) පර්යේෂණ කිරීම යනු විවිධ රටාවලට අදාළ ත්‍රියාකාරකමකි. 'ගසක අතු වැඩෙන, දිග ඝන කොටසේ නම කුමක් ද?' යන සරල පැනයට පිළිතුරු සෙවීමෙන් ශිෂ්‍යයා කළේ පන්තියේ උගත් දෑ නිවසේ දී , දෙමාපිය සහායයෙන් මතක් කර ගැනීමකි. ඊට අමතර ව Totem poles චිත්‍ර දුටු විට විවිධ නිර්මාණ කරන්නටත් පෙලඹීමක් ශිෂ්‍යයාට ඇති විය. ඒ අනුව කළ නිර්මාණ 7-10 වන රූපවල වේ.
(8) රටේ ඉතිහාසයේ පැතිකඩක් හදුන්වා දීමටත් 1 වන ශ්‍රේණියේ දී ගත් වෑයමකි.
(9) ගසේ විවිධ නිර්මාණ අංශවල සමබර බවින් ඉංජිනේරු විද්‍යාව ගැන අදහසුත් ගස නැමැති ස්වාභාවික දෑ නව ලෙසකට පරිවර්තනය කිරීම පිළිබද දැක්ම නිසා තාක්ෂණය ගැන අදහසුත් ශිෂ්‍යයාට 1 වන ශ්‍රේණියට ගැළෙපන ලෙස ලැබෙන අයුරු ගැනත් සිතා බලන්න.










 

No comments:

Post a Comment