Tuesday 20 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (24) 2017 සිට 2018 වෙත


(1) පළමු ව දරු නැළවිළි ගී දෙකක් ඇසුරින් අතීතයත් අනාගතයත් ගැන ප්‍රත්‍යවේක්ෂණය කරමි.

(අ) 2017 වර්ෂය ගෙවී යන මේ දිනවල දී පළමු ව මට මතක් වනුයේ, මා ඉපදුණු 1954 වර්ෂයේ තිරගත වූ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයට ආර්. මුත්තුසාමි ගැයූ 'ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි' යන ගීතයයි. ඊට අවුරුදු 13ටකට පසු සහ මීට අවුරුදු 50ට පෙර, 1967 සහ ආසන්න වර්ෂවල, ප්‍රසිද්ධ චිත්‍රපට විචාරක ජයවිලාල් විලේගොඩ, දිනමිණ පුවත්පතේ පළ කළ චිත්‍රපට විචාර කියවීමේ පුරුද්ද මට තිබුණි (සතියකට වරක්, විචාරය පළ කෙරෙන දින දිනමිණ පුවත පත මිල දී ගෙන දුන් සෝමසිරි බාප්පා සෙනෙහසින් සිහි කරමි). එකල කිසියම් චිත්‍රපටයකට ආර්. මුත්තුසාමි ගැයූ ගීතයක් විවේචනය කරමින් විලේගොඩ උපහාසයෙන් සහ අපහාසයෙන් පවසා තිබුණේ, සිංහල හරිහැටි උච්චාරණය නො කරන නිසා, ගීත ගායනය නො කර, සංගීතය පැපයීමට පමණක් ආර්. මුත්තුසාමී සීමා විය යුතු බව ය. මේ විවේචනයේ ගත යුතු යමක් තිබුණත් ආර්. මුත්තුසාමිගේ ගායන හා කටහඩ රිද්මයේ අමුත්තක් අද ද මට හඳුනා ගත හැකි ය. ඒ අමුත්ත, සිංහල මැනැවින් ශබ්ද කරන සිංහල ගායකයකුගෙන් අපට නො ලැබෙනුයේ මන්ද? ගායනා කලාවේ විකාශනය ගැනත් ගායක කටහඩ ස්වරූප ගැනත් පර්යේෂණවල අවශ්‍යතාව පවතින බව මේ අනුව සිතිය හැකි ය. ඒ අතර ම ගීතයෙන් මතු කරන දර්ශනයේ විවිධ පැති (උදා- පවේ බලේ පිනේ බලේ- ඉපදීමත් මරනෙත් එක වාගේයි ඔබෙත් මගේ- දුප්පත් පොහොසත් දෙකක් මොක ද මේ?) ගැනත් ඒ අනුව සමාජය හැසිරෙන්නේ ද යන්න ගැනත් සමීක්ෂණ හෝ මානවවංශ විවරණ පර්යේෂණයක් කළ හැකි ය.
(ආ) දෙවනු ව මා මතකයට එන්නේ, අවුරුදු පනහකට පෙර 1967 12.21 වන දින ප්‍රදර්ශනය ඇරඹි සූර චෞරයා චිත්‍රපටියේ ගීතයකි. ගීතයේ පද රචක කරුණාරත්න අබේසේකර, සංගීත නිර්මාපක එම්.කේ. රොක්සාමි, රංගනයෙන් දායක වූ ගාමිණී ෆොන්සේකා සහ සන්ධ්‍යා කුමාරි අද අප අතර කායික ව ජීවත් නො වෙති. ගීතයේ සිටින දරුවා ගැන කරුණු නො දනිමි. ගීතය ගැයු සුජාතා අත්තනායක, 30 වසරක යුද්ධය නිසා අහිමි වූ ස්වකීය පුත්‍රයා වෙනුවෙන් ගායනා ලොවින් සමු ගත්තා ය. මේ දුක්බර පසුබිම සහිත වුවත් අවුරුදු 50ක් ගත වූ පසු ද මේ ගීතයෙන් ලබා දෙන දර්ශනය සහ පණිවිඩ (උදා- ඉපදුණු රට දැය සහ සමයයි, හිටියොත් හොදට හැදී-දෙවියොත් නමට වඳී) අදටත් හෙටටත් අදාළ යයි මගේ සිතිවිලි පවසන හෙයින්, මෙසේ මගේ නව අවුරුදු පණිවිඩය ලෙස ඔබේ සිතිවිලි සමුදාය පුබුදාලීම සඳහා මේ ගීය ද උපුටා දක්වමි. ගීතවලින් මිනිස් හදවත් චලනය වන රටාත් ඒ අනුව මිනිස් ජීවිතය හැඩ ගැසෙන අයුරුත් ගැන පර්යේෂණයක් කළ හොත් උචිත යයි සිතමි. මා ලියූ 'පර්යේෂණ ලෝකයට පිවිසෙමු' කෘතියේ අඩංගු 'ගීතය සහ පර්යේෂණ' යන ලිපියේ 'අ කාරය' ගීතවල දී භාවිත කර ඇති අයුරු ගැන පර්යේෂණ කිරීමේ අවශ්‍යතාව පවතිතැයි සඳහන් කළෙමි. සුජාතාගේ මේ ගීතයේ 'අ කාරයේ' ළයාවින්ත බව ගැනත් වෙන ම පර්යේෂණයක් කළ හැකි ය.

(2) දෙවනු ව 'ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි' යන අදහස අනුව අවුරුදු පනහක් අතීතයට යමි. 1967 වර්ෂයේ මගේ පෞද්ගලික ජීවිතයේ සිද්ධියක් ද අධ්‍යාපන ක්ෂෙත්‍රයේ සිද්ධිමාලාවක් ද උපුටා දක්වමි.
(අ)පුද්ගලික සිදුවීම වනුයේ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයයේ සිට ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයයේ 9 වන ශ්‍රේණියට ඇතුළත් වීම ය. පොලිස් සේවයේ නියුතු පියා මාතර සිට රාජාංගනය පොලිස් ස්ථානයට මාරු වීම ලද පසු, නංගිලා සතර දෙන සහ මල්ලි කෙනකු ඇතුළත් කළේ රාජාංගන සහ තඹුත්තේගම පාසල්වලට ය වැඩිමහල් අප තිදෙනාගේ ඉගෙනුම ගැන සිතා, මහනුවර පාසලකට ඇතුළත් කරන්නට තීරණය කළේ, එහි හීනාගම නම් ගමෙහි නිවසක් ද තනන්නට සැලැස්මක් තිබූ නිසා ය. ගමට සැතපුමක් අාසන්නයේ වූ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කිරීමට තැත් කළ විට, එවකට විදුහල්පති ඊට අනුමැතිය දී නො තිබිණි. පසු ව පියාණන්, සැතපුම් 4ක් ඈතින් මහනුවර නගරයේ පිහිටි ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට, 1967.01.11 වන දින ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු යෙදුවේ ය. දැනටත් ජීවත් වන පියතුමන්ට සහ මෑණියන්ට දීර්ඝායු පතමින්, මේ සිද්ධිය, අවුරුදු පනහකට පසු අප අද අත්දකින වර්තමාන පාසල් ක්‍රමය සමග ද ළමයින් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ විෂමාචාර සමග ද සැසඳිය හැක්කේ කෙසේ දැයි යන්න ගැන සිතා බැලිය හැකි ය. වර්තමානයේ වැඩි ඉල්ලුමක් තිබෙනුයේ නගරයේ පාසල්වලට ය. 1967 තමන් පදිංචි ගෙදර අසල පාසලට ස්වකීය දරුවා ඇතුළත් කිරීමට දෙමාපියෝ කැමති වූහ. අවුරුදු 50ක් ඇතුළත වී ඇති මේ වෙනසට බලපා ඇති සාධක විශ්ලේෂණය කිරීමට ඉතිහාස පර්යේෂණයක් ද සමාජ විද්‍යාත්මක පාදක සමාජ විද්‍යා පර්යේෂණයක් ද කිරීම අවශ්‍ය වේ.
(ආ) 1967, ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය පිළිබද වැදගත් සිද්ධිමාලාවක් වූ හෝ වෙන්නට සැලසුම් කළ වර්ෂයකි. පළමු ව, මා වෙනත් තැනක ද කියා ඇති පරිදි, ක්‍රියාමූලික පර්යේෂණ පිළිබඳ මුල් ම ලේඛනය පළ විය. ජාතික අධ්‍යාපන ආයතනයේ උපතට පෙර එහි පූර්වගාමියා වූ විෂයමාලා සංවර්ධන කටයුතු භාර ව සිටි විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවීම, 1969 දී සමරන්නට නියමිත වූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වර්ෂ 100ක් පිරීම සැමරීමට උචිත පරිදි අධ්‍යාපන සියවස කෘතිය භාෂා තුනින් ම පළ කිරීමට සැලසුම් කිරීම, මනෝචාලක කුසලතා සංවර්ධනයට අවශ්‍ය වැඩහුරුව සහිත ක්‍රියාකාරකම් පාසලට හඳුන්වා දීම යන ප්‍රතිපත්තිමය තීරණ ගැනුණේ 1967 දී ය. 2019 දී අවුරුදු 150ක් සපුරාලන අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඒ සැමරුම සඳහා කුමක් කරන්නට සැලසුම් කරනුයේ දැයි නො දනිමි. මේ සියලු සිද්ධි පාදක කර ගෙන, මෙතෙක් විග්‍රහ නො වුණු හෝ හිතාමතා දේශපාලන හේතු අනුව අවප්‍රමාණ කර ඇති අධ්‍යාපන ඉතිහාසයේ අනාවරණය නො වූ පැති හඳුනා ගැනීම සදහා ඉතිහාස පර්යේෂණයක් 1967 වර්ෂය ගැන පමණක් වුව කළ හොත් අගනේ ය.
ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය ගැන ලියැවුණු සමහර පොත්, දේශපාලන පක්ෂවලට හෝ දර්ශනවලට පක්ෂග්‍රාහී ව ලියැවුණු ශෛලියක් සහිත ය. පේරාදෙණියේ විශ්වවිද්‍යාලයයේ දී පර්යේෂණ ක්‍රම උගැන්වූ ජස්ටින් පෙරේරා ගුරුතුමන් වරෙක ඉතිහාස පර්යේෂණ ගැන කරුණු දක්වමින් කීවේ 'අඬ අඬා' ලංකා ඉතිහාසය ගැන සමහර පොත්පත් ලියා ඇති බවයි. පක්ෂපාතිත්වයෙන් තොර, ඉතිහාස පර්යේෂණ පාදක අධ්‍යාපන පර්යේෂණ ඉතිහාසයක් අපට අවශ්‍ය බව මින් හැගවේ. ජස්ටින් පෙරේරා ගුරුතුමන් මෙසේ කියන විට මට මතක් වූයේ 1972-1976 අධ්‍යාපනවේදි උපාධිය හදාරද්දි, ආචාර්ය රංජිත් රුබේරු තුලනාත්මක අධ්‍යාපනය යටතේ ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය ගැන දේශනයක් කරද්දී පැවසු කරුණු ය. 1965-1970 කාලයේ අධ්‍යාපනයේ සැලකිය යුතු වෙනසක් නො වූ බව කී එතුමා (ඒ කාලය පිළිබඳ සටහන පේළි දෙක තුනකට සීමා විය) අනතුරු ව 1972 ප්‍රතිසංස්කරණ ගැන විස්තරාත්මක ව කරැණු පැවසුවේ ය. අධ්‍යාපන ඉතිහාසය පිළිබඳ වටිනා පොත් ලියා ඇති එතුමා එසේ 1965-1970 යුගය අමතක කළේ ඇයි දැයි යන්න ගැන අදටත් සිතමින් සිටිමි.

(3) තෙවනු ව අවුරුදු 100ක් අතීතයට යමි. නැවත අවුරුදු 50ක් අනාගතයට යමි.
1967 වර්ෂයට අවුරුදු පණහකටත් පෙර, එනම් මීට අවුරුදු 100කට පෙර 1917 දී, ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ රුසියානු විප්ලවය සිදු විය. ඒ ලංකාවට කළ ධන සහ ඍණ බලපෑම ද අපි කවුරුත් දනිමු. 1945 ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන සහ ස්වභාෂා අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව, 1945 සිට පළමුවන ශ්‍රේණියේ සිට පිළිවෙළින් විශ්වවිද්‍යාලය දක්වා සිංහලෙන් හා දෙමළෙන් නිදහසේ ඉගෙන ගැනීමට වරම් ලද පිරිස්, රැකියා සොයා ගෙන වෙළෙද පොළට පිවිසෙන්නේ එක්දහස් නවසිය හැටේ දශකයේ ය. අධ්‍යාපනය මෙසේ පුඵල් දෘෂ්ටියකින් සංවර්ධනය වුවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ආර්ථික ප්‍රතිපත්තිය දිගුකාලීන සැලැස්මකට අනුව සංවර්ධනය නොවීම නිසා රැකියා ප්‍රශ්නයක් උද්ගත විය. ඩඩ්ලි සියර්ස් මෙය Mismatch between the education system and the job market ලෙස අර්ථනිරූපණය කළේ ය. මේ සාධක තරුණ අසහනයට බලපෑ ආකාරය සහ අනාගත කලකෝලාහලට බලපෑ ආකාරය විශ්ලේෂණය කිරීම වැදගත් වනුයේ ඉතිහාසය තේරුම් ගැනීමට පමණක් නො ව අනාගතය තේරුම් ගැනීමත් සඳහා ය. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන පක්ෂවල දක්නට ලැබෙන ලක්ෂණයක් වනුයේ, රටේ අනාගතය පිළිබඳ ව කෙටිකාලීන සහ දිගුකාලීන සැලැස්මක්, විද්‍යානුකූල ක්‍රමවේද අනුව සකසා ඉදිරිපත් කර නොතිබීම ය. මේ හේතුව නිසා එදිනෙදා ඉදිරිපත් වන සිද්ධි පදනම් කර ගෙන, මාධ්‍යවලින් නිසරු ටෙලිනාට්‍ය රසවිඳින්නා සේ, දේශපාලනය කරමින් ජීවත් වන සමාජයක් ද බිහි වී තිබේ. මුහුණු පොතේ සමහර පිටු ද මේ ජනප්‍රිය නමුත් නිසරු කලාවේ යෙදී සිටිති. මේ වැළැක්වීම සඳහා අප කුමක් කළ යුතු ද? යන්න ගැන සිතා බැලීමට ද මේ උචිත අවස්ථාවකි.
තවත් අවුරුදු 50 කින් පසුව එළඹෙන 2067 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාව සිටිය යුතු ස්ථානය ගැන පළල් දෘෂ්ටියකින් විග්‍රහ කළ යුතු අතර, රටේ ඉදිරි ගමනට සැම දෙනා දායක කර ගැනීමට අවශ්‍ය සැලසුම් ද සකස් කළ යුතු ය. මේ සදහා ප්‍රතිපත්ති පර්යේෂණයක් කළ හැකි ය.

(4) අවුරුදු 50කට පෙර ලංකාවට ලැබුණු කලාත්මක අත්දැකීම් ගැනත් වර්ෂ 150ක සමාජ අත්දැකීම් ගැනත් විවිධ පැති ඔස්සේ ප්‍රත්‍යවේක්ෂණය කරන්නට යොමු කළ 'ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි' සහ 'මිනිසුන් මැද මිනිසකු වීලා‍' යන ගීත දෙකෙහි නිර්මාණයට සම්බන්ධ වූ සියලු නිර්මාණකරුවන් අදරින් සමරමින් 2017 වර්ෂයට සමු දෙමි.


No comments:

Post a Comment