Saturday 13 January 2018

කැනඩාවේ අත්දැකීම් (25) වෙළෙඳ පොළ පිළිබද දැනුම්වත් කිරීමේ කලාව



කැනඩාවේ අත්දැකීම් (25) වෙළෙඳ පොළ පිළිබද දැනුම්වත් කිරීමේ කලාව
වෙළෙඳ පොළ පිළිබද ව පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමේ දැන්වීම් සහිත පත්‍රිකා පාරිභෝගිකයනට ලැබෙන ක්‍රම හතරකින් තුනක් ගැන මෙහි දී විස්තර කරමි.
(    1)   පුවත්පත් පළමු වන ක්‍රමයයි. ඒ පිළිබඳකරුණු 24 වන ලිපියේ සඳහන් විය.
(   2)   MISSISSAUGA The News යන පුවත්පත සමග දැන්වීම් කොල ගොනු ද වෙන් වෙන් මිටි ලෙස තබා තිබෙන බව ද 24 වන ලිපියේ දී පැවසීමි. ඒ දෙ වන ක්‍රමයයි.
සමහර දිනවල දැන්වීම් මිටියට වැඩි පිටු ගණනක් අඩංගු ය. මේ සමග ඇති 1-2 ඡායාරූපවලින් පැහැදිලි වනුයේ සති දෙකක දී තිබූ දැන්වීම් පත්‍රිකා ප්‍රමාණයේ වෙනසයි.
දැන්වීම්වල දිග පළල එකිනෙකට වෙනස් ය. පළල සහ උස අනුව සෙන්ටිමීටර 13X13, 19X28, 20X27, 23X27, 23X54, 25X28, 27X22, 27X27, 27X46, , 28X31, 28X53,  28X54, 29X51, 29X53 වසයෙනි.  මෙයාකාර විවිධ කඩදාසි ප්‍රමාණ භාවිතයේ අරමුණ සහ එමගින් මුද්‍රණ වියදම අඩු වන අයුරක් වේ ද යනු සෙවිය යුතු කරුණු ය. අප දන්නා A4, A3, B5 ආදි කඩදාසි ප්‍රමාණවලට මේවායේ සම්බන්ධයක් තිබෙන්නට ද පුඵවන.
            කඩදාසි වර්ගය ද විවිධ ය. පත්තර මුද්‍රණය කරන බාල වර්ගයේ කඩදාසි භාවිතය බහුල ය. වටිනා දීප්තිමත් කොල ද විටින් විට වේ.
දැන්වීම් වර්ග දෙකකි. මිනිස් රුව සහිත (3- 14 වන රූප) සහ රහිත (15-31 වන රූප) ලෙස ය.
මිනිස් රූප භාවිත කරන ආකාරයෙහි වෘත්තීයමය ස්වභාවයක් වේ. නිරුවත උලුප්පනසුලු නො වේ. අවශ්‍ය පරිදි විවිධ සංස්කෘතිකාංග උලුප්පනු නම් දැකිය හැකි ය. උදාහරණයක් ලෙස පච්ච කොටාගත් අත් සහිත පිරිමි රූපය බලන්න. උත්සවයක් වූ හැලෝවින් සැමරුමට අදාළ වන පරිදි හැඩ ගැන්වූ මුහුණු ද විය.
දැන්වීම්වල අඩංගු බඩු භාණ්ඩ  විවිධ ය. පාරිභෝගිකයෝ බඩු මිල දී ගැනීම සඳහා මේ පත්‍රිකා භාවිත කරති. ශ්‍රී ලංකාවට ආදර්ශයට ගත හැකි පුරුද්දක් ද සඳහන් කරමි.  විවිධ වෙළෙඳ සැල්වල දැන්වීම් සසඳන පාරිභෝගිකයකු, එක ම භාණ්ඩයක් පිළිබඳ වෙළෙඳ සැල් දෙකක මිල ගණන් දෙකක් දුටුවා යයි සිතමු. එවිට වැඩි මිල සහිත වෙළෙද සැලට ගොස්, වෙනත් වෙළෙඳ සැලක අඩු මිල සහිත දැන්වීම පෙන්වූ විට ඒ අඩු මිලට ම අදාළ භාණ්ඩය ලබා දීමට වෙළෙඳ සැල් හිමියෝ පුරුදු ව සිටිති.
            ශතය දෙක වැනි කාසි භාවිතය අඩු නිසා පාරිභෝගිකයන්ට හිතකර ව භාවිත වන තවත් ප්‍රතිපත්තියක් ගැන ද කිව යුතු ය. මා ගෙවිය යුතු මිල ඩොලර් 12.56, 12.57, 12.58 හෝ 12.59 නම් මට ඉතිරි ශත ගණන නො ලැබේ. මා 12.60ක් ගෙවිය යුතු ය.  .56 යනු .55ට වැඩි ගණනක් වන  නිසා ය. මා ගෙවිය යුතු මිල 12.54 හෝ ඊට අඩු ගණනක්  නම්, මට ගෙවන්න වනුයේ 12.50කි.  ශත 4ක අලාභය කඩයට ය. මුදල් භාවිතයේ මේ ඍජු ප්‍රතිපත්තිය රටක දියුණුවේ සංකේතයක් ලෙස සලකමි. වරෙක සිංගප්පූරුවට ගිය විට ද ලද අත්දැකීමක් වූයේ, කඩයකින් බඩුවක් ගත් විට ශතය දක්වා ඉතිරි සල්ලි  නිවැරදි ව ලබා දීම ය.
            ශ්‍රී ලංකාවේ මෙන්, පාර අයින්වල, තැනින් තැන කඩ දක්නට නොලැබේ. කැනඩාවේ අනිකුත් පළාත්වල එවන් කඩ පවතී දැයි නො දනිමි. සුපිරි වෙළෙඳ සැල් පමණක් ඇත. ආසියානු ජාතිකයන්ගේ  සුදු-රතු ඉදි ආප්ප, වඩේ, තලගුලි වැනි කෑම අවශ්‍යතා සපුරාලන්නට දෙමළ ජාතිකයන් විසින් පවත්වා ගෙන යනු ලබන අලෙවි සල් ද වේ.
(    3)   නිවාස සහ රැකියා වෙළෙඳපොළ දැන්වීම් සහිත පත්‍රිකා පාරිභෝගිකයනට ලබා ගත හැකි තෙ වන ක්‍රමය වන්නේ පාර අසල ඇති ප්‍රදර්ශක කුටි ය (32 වන රූපය). එතැනින් ලබා ගත් පොත් පත් 6ක් 33 වන රූපයේ වේ. මේවා නිවාස විකිණීම, කුලියට දීම, උගස් ගැනීම, ණය ගැනීම සම්බන්ධිත ලිපිවලින් සමන්විත ය.  එයින් 34 වන රූපයේ ඇති පොතේ පිටු ගණන 735කි. බාල කොළයේ මුද්‍රිත ය. ශ්‍රී ලංකාවේ ටෙලිෆෝන් නාමාවලියකට සමාන ය. විවිධ දූරකථන අංක ගැන දත්ත සහිත ය. පොතේ ආකර්ශණීය මාතෘකාවෙන් එහි භූමිකාව ඇඟවෙයි. Your place to live, love & explore: shop.home.eat.health.play
(     4)   සතර වන ක්‍රමය ගැන ඊළඟ ලිපියෙන් කරුණු දෙමි.

කැනඩාවේ අත්දැකීම් (23) දෙසැම්බර් 23 වන දින ගැනයි



කැනඩාවේ අත්දැකීම් - (23) දෙසැම්බර් 23 වන දින ගැනයි
දෙසැම්බර් පළමු වන දා වන විට, අප වාසය කරන විසි මහල් නිවාසයේ පහළ මහලෙහි, හැලොවින් සැමරුම සිදු වූ ස්ථානය ම, නත්තල් සැමරුමට සරසා තිබුණි (1-2 වන රූප).  සමහර ගෙවල් සහ ගෙවල  මිදුල ද 1 වන දා සිට ම නත්තල් සැමරීම සඳහා විදුලි බල්බ සහිත ව විවිධ ව සැරසිලි කර තිබුණි (3 වන රූපය). 23 වන දා සවස, නත්තලට දින දෙකකට පෙර, ගොඩනැගිල්ලේ නත්තල් හමුව සැමරිණි.  නත්තල් සීයා පැමිණ ළමයින්ට සීනිබෝලාදිය අඩංගු තෑගි මලු බෙදුවේ ය. වැඩිහිටියන්ට බිස්කට් සහ කෝපි සංග්‍රහ කෙරිණි (4-6 වන රූප).
23 වන දා උදයේ, ටොරොන්ටෝ නගරයට යාමට එළියට බසින විට හිම පිරුණු පරිසරය දක්නට ලැබිණි. නගරයට යන්නට එළියට බසින විට දක්නට ලැබුණු, හිම පිරුණු ගොඩනැගිල්ල ඉදිරිපිට බිම, එළියට බහින්නට කම්මැලිකමක් ඇති කළේ ය (7 වන රූපය).  නගරයට යන තෙක් මග දිගට වූයේ හිමෙන් වෙලා ගත් පරිසරයයි. හිමින් පිරුණු මාර්ග දෙපස නිවෙස් ද මිදුල් ද හිමෙන් වැසී ඇත. මහා මාර්ගවල හිම පාන්දර ම ඉවත් කෙරෙන නිසා වාහන ගමනාගමනයට බාධාවක් නැත. එහෙත් මාර්ගයේ දෙපස pavementවල හිම රැස් වී තිබුණි. නිවෙස්වලට පිවිසෙන තැන්වල හිම ඉවත් කර ගැනීමේ කාර්යය කර ගත යුතු වන්නේ නිවෙස් හිමියන් විසින් ම ය (8-18 වන රූප). හිම පිරුණු පදික වේදිකාවල ගමන් ගන්නා මගින් ද ඉදහිට දක්නට ලැබේ (16-17 වන රූප) .
ටොරොන්ටෝ නගරයේ, මහල් කීපයක් සහිත සුපර්මාර්කට් එකක් වැනි  Toronto Eaton Centre වෙත ගිය විට, තැනින් තැන නත්තල් සැමරුමට විවිධ සැරසිලි කර තිබුණි (19-28 වන රූප).
විවිධ ජාතීහූ මෙහි ගැවසෙති. අප්‍රිකානු සම්භවයක් සහිත පවුලක් ද දිටිමි. ප්‍රාථමික පාසල් වයසේ යයි සිතිය හැකි ළමයින් තිදෙනා සමග වතුර මලක් ළග සිටි පවුලේ පියාගේ මුහුණින් දිස් වූයේ කනස්සලු ස්වභාවයකි. සංස්කෘතියට හැඩ ගැසීමේ අපහසුව නිසා ඇති වූ කනස්සල්ලක් දැයි නො දනිමි. සැම මිනිසාට ම පොදු අවශ්‍යතාවක් වන ජලය, විවිධ රටාවලින් වතුර මලින් විහිදෙන විට, ඊට සාපේක්ෂ ව, අවට රැස් ව සිටින මිනිසුන්ගේ විවිධත්වය, ලෝකය පිළිබඳ අපූරු දර්ශනයක් අපට මවා පාන්නේ ය (29-30 වන රූප).
Hendriks Restaurant & Bar යන දැන්වීම දුටු බිරිඳ ඇසුවේ අපේ ගමේ ඉන්න හෙන්දිරික් හා සම්බන්ධයක් මේ ස්ථානයට තිබෙනවා ද යන්න ය.  නම්වලින් පවා ලෝකය එකිනෙකට බැදී ඇත. එහෙත් මිනිසා අවධාරණය කරන්නට කැමති එකිනෙකා අතර පවතින විවිධත්වයයි (31 වන රූපය).
මධ්‍යස්ථානයේ විවිධ අලෙවි සැල්වල විවිධ ආකාරයේ දැන්වීම් විය. අත්බෑග් විකිණීමට පළ කර  තිබූ දැන්වීම පැහැදිලි ය. එහෙත් කාන්තා රූපයක් සහිත ව තිබූ  Cool and comfy wireless යන  පද හතරින් අදහස් වන්නේ කුමක් දැයි අපැහැදිලි ය (32-33 වන රූප).
මධ්‍යස්ථානයේ වැසිකිළිවලට පිවිසෙන තැන, නවදිල්ලි නුවර ගුවන් තොටුපොළේ වැසිකිළිවලට ඇතුළු වන තැන දක්නට ලැබෙන අලංකාර රූප නැති අතර, සාම්ප්‍රදායක සලකුණු ම දක්නට ලැබේ (34 වන රූපය).
මධ්‍යස්ථානයේ පසෙකින්  එළියට ආ විට දක්නට ලැබුණේ ලෝකයේ දිග ම වීදිය ලෙස සැලකෙන  Yonge street  ය (35-36 වන රූප).  තවත් පසෙකින් එළිමහනට පිවිසි  විට පරෙවියන් රෑනක් මිනිසුන් පසු පස ගොස්, බිමේ මතු වන කෑම කනු දක්නට ලැබිණි. අප සිටින තැන සහ අප කරන දෙය පෙන්වන්නට මුහුණු පොත භාවිත කරන නිසා, හිම පිරුණ පරිසරයත් පරෙවියනුත් සහිත ව  ඡායාරූප කිහිපයකට පෙනී සිටියෙමි.  ඇගපත වසා සිටින දියුණු යයි සම්මත අපට වඩා, ශීතලට ඔරොත්තු දෙන ශක්තිය සහිත නො දියුණු කුරුලු රෑන් නිරූපණය වන නිසා  මේ ඡායාරූප ද වැදගත් පණිවිඩයක් දෙනු ඇතැයි සිතමි (37-41 වන රූප).
42 වන රූපයේ, අසල පිහිටි කතෝලික පල්ලියට සම්බන්ධ, නත්තලට අදාළ වැකියක් සහිත කුඩා ගොඩනැගිල්ලකි. ශ්‍රී ලංකාවට නත්තල් ඊයේ වුව ද කැනඩාවට අද ය. වෙලාවේ වෙනසේ බලපෑම නිසා ය. එහෙයින් සැමට සුභ නත්තලක් පතමි.

කැනඩාවේ අත්දැකීම් (22) Most important artist of all – you! ඉතා ම වැදගත් චිත්‍රශිල්පියා - ඔබ ය.



කැනඩාවේ අත්දැකීම් (22) Most important artist of all – you! ඉතා ම වැදගත් චිත්‍රශිල්පියා - ඔබ ය.
චිත්‍රශිල්පය පිළිබඳ ව වන 'ජෙනිෆර් මැක්කලි' ලියූ  23 ways  to be a great artist: A step –by-step guide to creating artwork inspired by famous master pieces – Jennifer McCully, 2015 නම් කෘතියේ සුවිශේෂිතා තුනකි.
(1)   ශ්‍රේෂ්ඨ චිත්‍රශිල්පියකු වීමට මාර්ග 23ක් ලෙස  කෘතියේ මාතෘකාව තිබුණ ද කරුණු දැක්වෙනුයේ පැරණි සහ නූතන ශිල්පීන් 22 දෙනකු ගැන පමණී. 23 වැන්නා ලෙස සලකනුයේ පොත හදාරන ශිෂ්‍යයා ය. මේ මූලික කරුණ වුව, මේ කෘතියේ විශිෂ්ටත්වය නිරූපණය කරනසුලු ය.
(2)   4 වන පිටුවෙහි 'අපි ශ්‍රෙෂ්ඨ කලා කෘතියක් නිර්මාණය කරමු (Let us make a masterpiece)' වසයෙන් ඇති මූලික හැදින්වීමේ දළ පරිවර්තනය කියවන්න. කෘතියක හැදින්වීම සතු විය යුතු ලක්ෂණ මැනවින් අඩංගු වනවා නේ දැයි බලන්න.
  • සෑම කලාකරුවකුට ම, ස්වකීය නිර්මාණය සඳහා  ආරම්භක අවස්ථාවක් (starting point) තිබේ. 'කැන්වසයක වර්ණ මිශ්‍ර විය යුතු අයුරු ගැන ආවේගයක් (excitement)', 'ක්ලේ මගේ අතට දැනෙන අයුරු'  වැනි මේ ඇරඹුම් අවස්ථා ශ්‍රෙෂ්ඨ කලා කෘති සදහා මග පෙන්වයි. සරල පියවර ඔස්සේ ගමන් කිරීම පහසු යයි ඔබට දැනෙන්නට පුඵවන. එහෙත් එසේ ගමන් කිරීම ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියකු වීමේ මූලිකාංගය නො වේ.
  • චිත්‍ර කලාකරුවන්ගේ උදාහරණ ඇසුරින්, ඔවුන් ගිය පියවර අනුව චිත්‍ර ඇදීමට ඔබට මග පෙන්වීමේ දී, හැකි තරම් නිර්මාණාත්මක වන්නටත් ඔබේ ම නිර්මාණයක් ගොඩ නගා ගන්නටත් උත්සාහ කළ යුතු ය. ඒ සදහා ඔබ උගත යුතු ය; අත්හදා බැලිය යුතු ය; ඔබේ සිතිවිලි, හැගීම්, සහ පෙෘරුෂය ඔබ නිර්මාණය කරන දැයට ඇතුළත් කළ යුතු ය.
  • මේ කෘතියේ සදහන් ශ්‍රේෂ්ඨ කලාකරුවන් චිත්‍ර කලාවේ නව නැම්මක් ඇති කළේ නිසැක ව ම එලෙසිනි. ඔවහූ ස්වකීය ම වූ ශෛලිය සොයා ගත්හ. එමගින් ශ්‍රේෂඨ කලාකෘති බිහි කළහ.
  • මේ පොතෙහි සදහන් ඒ ඒ ව්‍යාපෘතියෙහි, විවිධ සම්පත් භාවිතයෙන්, විවිධ ශෛලි (styles) සහ කලා ආකෘති (art forms) ඇතුළත් වූ  පියවර අනුගමනය කිරීම සඳහා  ඔබට උපදෙස් ලබා දුන්න ද, අවසන් ප්‍රතිඵලය ඔබේ ම තනි අග්‍ර කෘතියකි. ඔබේ අග්‍ර කෘතියේ, ඔබේ ම ආවේශය (inspiration) සහ කැමැත්ත (passion)  දිලිසී (shine)  මතු විය යුතු ය.
  • ඔබේ අභිලාෂය විය යුත්තේ කලා නිර්මාණයට අවශ්‍ය සියලු දේ හිමි කර ගැනීම නො ව, ඔබ සතු ද්‍රව්‍යවලින්, ඔබට කළ හැකි නිර්මාණය නිමැවුම ය.
  • මෙහි සදහන් නිර්මාණාත්මක ව්‍යාපෘතියක් කිහිප වරක් කිරීමට මැලි නො වන්න.  ඔබේ නිර්මාණාත්මක බව පිළිබද ප්‍රවීණතාව සදහා, එක් කලා ව්‍යාපෘතියක විවිධ අවස්ථාවල ද සෑම විටක ම නව ක්‍රමශිල්ප සහ වර්ණ අත්හදා බලන  විට, ඔබේ කලා නිර්මාණය මුඵමනින් ම නව තලයකට රැගෙන යනු ඇත.  එමගින් නිර්මාණාත්මක බව පිළිබද ව, ඔබ ම ප්‍රවීණයකු වනු ඇත. ඔබ නිර්මාණය කරන කලා නිර්මාණයේ දී, කළ යුතු නිර්මාණය පිළිබද ව බිය නො වන්න (fearless). නිර්භීත වන්න (brave).
(3)   61 වන පිටුවෙහි දැක්වෙන 'ඔබ කලාකරුවෙකි. කලාකරුවකු වීම යනු නො නවතින ක්‍රියාවලියකි. මේ ක්‍රියාවලියේ දී ඔබ අනුගමනය කළ යුතු ඉහළ ම උපදෙස් (top tips) මෙලෙස සපයමි.'  යන මැයින් ඇති කරුණු ද කියවන්න
  • ඔබේ ශෛලිය සොයා ගන්න-ඔබ පුහුණු වන තරමට ඔබේ ශෛලිය සවිමත් වනු ඇත.
  • විවිධ වූ ද්‍රව්‍ය (materials) රැසක් සමග වැඩ කරන්නට උත්සාහ කරන්න. එයින් ඔබ වඩාත් විනෝද වනුයේ කුමකින් දැයි බලන්න.
  • බිය නො වන්න - නව ක්‍රමශිල්ප අත්හදා බලන්න.  වර්ණ ගවේෂණය කරන්න. උපකරණ (tools)  සහ ද්‍රව්‍ය (materials) විවිධ අයුරින් භාවිත කරන්න.
  • ඔබේ කතාන්තරය කියන්න. ඔබේ කලාංගය, පොද්ගලික කරන්නට ඔබේ ම සිතිවිලි සහ හැගීම් ඇතුළත් කරන්න.  එවිට ඔබේ කලාංගය ජීවිතයට එකතු වනු ඇත.
  • ඔබේ කලා කෘතිය ඇරඹුමට සරල සලකුණක් තබන්න. එය, නව ව්‍යාපෘතියක් ඇරඹුමට ඇති බිය නැති කරනු ඇත. ඔබේ කලා කෘතිය නිම වූ විට, ඔබ තැබූ මුල් සටහන්, ඔබට සමහර විට නොපෙනෙන්ටත් පුඵවන. එයට කමක් නැත.
  • වැරදි කරන්න- එය කලාකරුවකු වීමේ අංගයකි. කර ගෙන යන දේට, කර ගෙන යන්න ඉඩ දීමෙන්, ඔබට ඔබේ ඉගෙනීමටත් වැඩි දියුණු වන්නටත් උදව්වක් ලැබේ. වැරුද්දක් නිසා, සමහර විට කලා නිර්මාණයක් වඩාත් හොද වනු ඇත.
  • නව නිර්මාණ කිරීම නො නවතන්න. නිරන්තර අභ්‍යාසය (practice) ඔබ  ව පරිපුර්ණ කරයි; අංගසම්පුර්ණ කරයි.
  • ශ්‍රේෂ්ට කලාකරුවකු වීමේ අත්‍යන්ත (ultimate) උපදෙස නම් විනෝදයයි (fun). දිනෙක ඔබ විශිෂ්ට කලාකරුවකු වන්නට හෝ නො වන්නට පුඵවන. අවසන් වසයෙන් ශ්‍රේෂ්ඨ කලාකරුවකු වීම යනු ඔබ සතුටට පත් කරන කලා නිර්මාණ බිහි වීමයි.
(4)   60 වන පිටුවෙහි ඇති සගරාවක් නඩත්තු කිරීම පිළිබද සංකල්ප  හා අදහස් ක්‍රියාමූලික පර්යේෂණකරණයේ නිරත වන සැමට ද වටිනා උපදෙස් සපයනසුලු ය.
  • කලා සගරාවක් (Art journal) නඩත්තු කිරීමෙන් ඔබේ කලා කටයුතු සංවර්ධනය වූ අයුරු හදුනා ගෙන ඔබේ කුසලතා සංවර්ධනය කර ගත හැකි ය. ඒ සදහා ඉගි මෙසේ ය.
  • ඔබේ අදහස්, චිත්තවේග, සහ ඔබ ව උනන්දු කළ දැ ගැන ලියන්නට පුරුදු වන්න. ඔබට පසු ව ඒවා දෙස බලා, ඒවා කලා නිර්මාණයක ආරම්භක අවස්ථා (starting point) ලෙස භාවිත කරන්නට පුඵවන. 
  • ඔබේ කලා නිර්මාණවල ඡායාරූප ගන්න. ඒවා සගරාවට ඇතුළත් කරන්න. වඩා විශ්වශ්‍යදායි නිර්මාණකරුවකු බවට ඔබ ම පත්වීමේ ප්‍රගති සටහන් ගැන හදුනා ගැනීමට ඒවා උදව් වනු ඇත.
  • ඔබ කලා නිර්මාණයක් කිරීමේ දී ගත් තීරණ හා ඒ තීරණවල අවස්ථා හදුනා ගන්නට ඔබේ ඡායාරූප උදව් වනු ඇත. ඊළග අවස්ථාවේ ඔබ අලුත් දැයක් කරන්නට තීරණය කරනවා ද? යනු තීරණය කිරීමට ද, ඡායාරූප උදව් කරනු ඇත.
  • සගරා, පුවත්පත්, පොත්වල චිත්‍ර කපා එකතු කරන්න. මේවා ඔබට අදහස් රැසක් ලබා දෙනු ඇත, ඔබට නිර්මාණාත්මක පිම්මක් (Boost) අවශ්‍ය වූ විට.
  • කුරුලු පිහාටු, ගස් කොල වැනි ඔබේ උනන්දුව ඇති කරවන දැ එකතු කරන්න හෝ ඡායාරූප ගත කරන්න.
  • මේ සියලු දේ ලිවීම සදහා, ඔබට තැන් තැන්වල ගෙන යා හැකි පහසු ආකාරයේ සගරාවක් භාවිත කරන්න. සගරා විවිධාකාර ය. විවිධ පුද්ගලයන් හුරු ව ඇත්තේ විවිධ වර්ගයේ සගරාවලට ය.  පොතක් මෙන් ම ටැබ්ලට්, ලැප්ටොප් පරිගණකයක්, ටෙලිපෝනයක් වුව මේ සදහා සුදුසු ය.

කැනඩාවේ අත්දැකීම් (21) හිරු පිටු පා යන සැටි



කැනඩාවේ අත්දැකීම් (21) හිරු පිටු පා යන සැටි
දෘෂ්‍ය කලා ඒකකය නරඹා, කලාගාරය අවට පරිසරය නිරීක්ෂණය කරමින් සක්මන් කරන විට හදිසියේ හිරු දිටිමි. 11.50-12.15 අතර මධ්‍යහ්න කාලයේ දුටු හිරු පිහිටියේ අහස මුදුනට වෙන්නට නො ව පැත්තකට වන්නට ය (1-6 වන රූප).  සමකය ආසන්නයේ සිටින ශ්‍රී ලාංකික අපට නම්, නැගෙනහිරින් පායන හිරු, දැඩි රශ්නය සහිත ව මුදුන් වී, සවස බටහිරින් බැස යාම දෛනික ජීවිතාංගයකි.  එහෙත් ශීත කාලයේ, කොළ හැඵණු ගස්වලට සාපේක්ෂ ව, අහසේ පැත්තකින් පායා, අහසේ ඒ පැත්තෙන් ම මුදුන් වී, ඒ පැත්තෙන් ම බැස යන, කැනඩාවේ මිසිසාගා උපනගරයට පායන හිරුගේ හැසිරීම නම් වෙනස් ය. හිරු එළිය දීප්තිමත් ව වැටෙන ස්ථානයකට ගියත් ශිතල මිස, ශීතල සුළග මිස, උණුසුමක් නම් දැනෙන්නේ නැත.  ස්වාභාවික සංසිද්ධි ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල මිනිසාට ලබා දී ඇත්තේ විවිධ සහන රටා බව නම් පැහැදිලි ය. මේ විවිධත්වය ආගම්වලින් ද දේශපාලන මතවාදවලින් ද විවිධාකාරයෙන් විග්‍රහ කරනු නම් අපට හුරු පුරුදු ය.  ඒවායේ සත්‍යතාව ගැන නම් සොයන්නට වෙන ම පර්යේෂණ කරන්නට සිදු වනු ඇත.
හිරුගේ මේ අකාරුණික චර්යා රටා තවදුරටත්  නිරීක්ෂණය කරන්නට 2017.12.13 වන දින උදේ 8.00-10.00- මධ්‍යහ්න 12.00 - සවස 2.00 සහ - 4.00 යන වෙලාවල දී ආසන්න ස්ථාන තුනක සිට හිරු නිරීක්ෂණය කළෙමි. ඒ ඒ වෙලාවලට අදාළ ඡායාරූප තුන බැගින් ද එකතු කළෙමි.
(අ)  7-12 ඡායාරූපවල උදේ 8.00 සහ 10.00ට අදාළ ඡායාරූප වේ. 10.00ට අදාළ ඡායාරූපවලින් හිරු බටහිර දෙසට-වමට ගමන් කර ඇති අයුරු නිරීක්ෂණය කරන්න. 

(ආ) මධ්‍යහ්න 12.00 වන විට අහසේ මුඳුනට වන්නට හිරු නො පිහිටි අතර, තවදුරටත් බටහිර දෙසට වන්නට හිරු පිහිටි හෙයින්, මුලින් ඡායාරූප ගත් ස්ථානවලට හිරු දිස් නො වී ය (13-15 වන ඡායාරූප). එහෙයින් මදක් බටහිර දෙසට හැරුණු විට හිරු දිස් වූ ආකාරය 16-17 ඡායාරූපවල දැක්වේ. එසේ මුල් ඡායාරූප ගත් ස්ථානවල සිට වමට හෙවත් බටහිරට හැරීමේ රටාව වීඩියෝ පටිගත කර 18 වන රූපයේ දක්වමි.  ඒ වීඩියෝවේ ම, හිරු මුදුන් වූයේ නම් හිරු පිහිටිය යුතු අයුරු ද කැමරාවේ චලනය මගින් දක්වමි. 

(ඇ) අනතුරු ව සවස 2.00ට හිරුගේ පිහිටීම 19 වන රූපයේ ද එය මුලින් ම ඡායාරූප ගත් ස්ථානයේ සිට වෙනස් වන අයුරු 20 වන වීඩියෝවේ ද දක්වමි. 

(ඈ)  සවස 4.00ට හිරු අහසේ දක්නට නො වී ය. ශ්‍රී ලංකාවේ මෙන් උදේ 6.00ට පමණ පායා සවස 6.00ට පමණ බැස යන ලෙස නො ව, වෙනස් වන කාල පරාස අනුව, උදේ 7:42AMට පෑයූ හිරු 4.42 වන විට අවරට යන නිසා විය යුතු ය (21-22 වන රූප). 

() සවස 4.00ට, ශීතලේ ගැහෙමින්, ඡායාරූප ගැනීමේ සහ නිරීක්ෂණ කාර්යයේ යෙදීමෙන් අනතුරු ව, ආපසු නිවසට එන අතර කුරුලු හඩක් ඇසිණී. හිමෙන් වැසුණු බිමට සාපේක්ෂ ව, හිම ද විසිරුණු ගසෙක අතුපතර, ඉහළ ගසෙක ගේ කුරුලු හැඩ ඇති කුරුඵ සමූහයක් ගී කියමින් හැසිරෙති   (23 වන වීඩියෝව). අපූරුයි. මේ කුඩා කුරුල්ලෝ කිසි ශීතලකින් ද දුකකින් ද තොර ව එළිමහනේ ගසකට වී ගී කියමින් සතුටින් සිටිති. 


කැනඩාවේ අත්දැකීම් (20) දෘෂ්‍ය කලා ඒකකය



කැනඩාවේ අත්දැකීම් (20) දෘෂ්‍ය කලා ඒකකය
2017.12.09 වන සෙනසුරා දා මිසිසිගා උපනගරයේ Riverwood උද්‍යානයේ පිහිටි දෘෂ්‍ය කලා ඒකකය (Visual Arts Mississauga) නරඹන්න ගියෙමි. ඒකකයට පිවිසෙන මාර්ගය ද කලා ඒකකයේ ගොඩනැගිල්ල ද කලාත්මක ව මෙන් ම සරල ව නිර්මාණය කර ඇත  (1-9 වන රූප). ගොඩනැගිල්ලේ ස්වයංක්‍රීය ව විවෘත වන පළමු දොරටුවෙන් ඇතුඵ වූ තැන ම, ආයතනය පිළිබද ව විස්තර සපයන නොමිලේ ලබා ගත හැකි විවිධ පත්‍රිකා හා පොතපත සහිත රාක්ක දෙකකි (10-11 වන රූප).  ස්වයංක්‍රීය ව විවෘත වන දෙ වන දොරටුවෙන් ඇතුඵ වන විට කලාත්මක පුටුවකි (12 වන රූපය). ඒ අසල ම පොතපත සහිත තව රාක්කයකි (13 වන රූපය). මේ රාක්කවලින්, ඒකකයේ අරමුණු සහ වැඩසටහන් ද කලාව පිළිබඳ වටිනා කරුණු ද සහිත පොත් සහ පත්‍රිකා 21ක් ලබා ගතිමි (14 වන රූපය). වර්ෂ 150ක දෘශ්‍ය කලා ඉතිහාසයේ, මතක තබා ගත යුතු වැදගත් දින සහ කරුණු ඇතුළත් දිනපොතක් කැනඩා ඩොලර් 10කට මිලට ගතිමි (15-17 වන රූප).  දිගැටි ගොඩනැගිල්ලේ කාමරවල වැඩිහිටියන්ට, නව යොවුනන්ට (13-18 වයස), ළමයින්ට (6-10, 6-14 හෝ 6-12, 9-11, 11-13 ආදි ලෙස විවිධ වූ  වයස් කාණඩවලට) පවත්වන කලාව හා සම්බන්ධ පන්ති ය; වැඩමුඵ ය; දේශන ය; ප්‍රදර්ශන ය; සාකච්ඡා ය. (https://www.visualartsmississauga.com වෙබ් පිටුවේ සහ Visual Arts Mississauga යන මුහුණුපොතේ විස්තර බලන්න. ඒවායේ චිත්‍ර ද, චිත්‍ර අඳින අයුරු ද ගැන විස්තර ඔබට බලා ගත හැකි ය). වෙබ් අඩවියෙන් ගත් රූප 6ක් මෙහි උපුටා දක්වමි (18-23 වන රූප).
ආයතනයේ පිහිටි 24 වන රූපය කුමක් විය හැකි ද? මේ චිත්‍රය දුටු විට මා ඉගැන්වීමේ දී භාවිත කරන නවදිල්ලියේ ගුවන් තොටුපළෙහි දී ගත් ඡායාරූපයක් ද මතක් විය (25 වන රූපය). ඒ ඡායාරූපය පෙන්වා මා සහභාගි වන්නන්ගෙන් අසනුයේ මේ කුමන ස්ථානයක තිබිය හැකි ඡායාරූපයක් ද යන්න ය. වැඩමුඵ ගණනාවක දී මේ ගැටලුව නැගුව ද නිවැරදි පිළිතුර වූ "වැසිකිළියට යන පාර පෙන්වන සංකේතයක්" යන නිවැරදි පිළිතුර සැපයූවේ, වතුකරයෙහි පෙර පාසල් සදහා වන පාඨමාලාවකට සහභාගි වූ ගුරුතුමියක පමණී.  ක්‍රියාමූලික පර්යේෂණකරණයේ දී, අපේ ව්‍යවහාරය සංවර්ධනය කර ගැනීම සදහා කරන මැදිහත් වීම, නිර්මාණාත්මක විය යුතු බව පෙන්වන්නට, මේ ඉන්දියාවේ ගුවන් තොටුපළෙහි දී ගත් ඡායාරූපය,  උදව් කර ගනිමි. නවදිල්ලියේ දී දුටු 26-30 වන ඡායාරූප ද බලා සතුටු වන්න. ඉන්දියාවෙනුත් අපට ගත හැකි දේ තිබෙන නිසා ය. 

කැනඩාවේ අත්දැකීම් (19) සංගීතයෙන් හැගීම්

කැනඩාවේ අත්දැකීම් (19) සංගීතයෙන් හැගීම්
බටහිර සංගීතයේ උච්ච ම ඵලය වන සංධ්වනි සංගීතයේ රස විඳිමු. ඒ අතර ම කැනඩාවේ අතුරුදහන් වූ හෝ ඝාතනය කරන ලද ස්වදේශීය කතුන් ද සිහිපත් කරමු. මේ සංගීත නිර්මාණය ඒ ඇබොරිජින් කතුන් වෙනුවෙනි.
 Toronto Symphony Orchestra added a new video: Yannick Plamondon: Wīhtikōw / Peter Oundjian · Toronto Symphon... December 13, 2017 ·
Written by Canadian composer Yannick Plamondon, TSO and Les Violons du Roy co-commission Wīhtikōw is an orchestral tribute to the thousands of Aboriginal women who have disappeared or been murdered over the past three decades. Listen to the stirring and emotional Canada Mosaic Sesquie below now.

කැනඩාවේ අත්දැකීම් (18) වෙනස් නො වන එක ම දේ වෙනස් වීමයි



කැනඩාවේ අත්දැකීම් (18) වෙනස් නො වන එක ම දේ වෙනස් වීමයි
කැනඩාවේ ප්‍රධාන ලක්ෂණය විවිධත්වයයි-නිරන්තර වෙනස් වීමයි. 2012 අගෝස්තු 21 වන දින කැනඩාවේ මිසිසාගා උපනගරයට පැමිණි විට අගෝස්තු-සැප්තැම්බර් මාසවල තිබූ ග්‍රීෂ්ම-ශරත් ඍතුවල ගහකොළ සහිත පරිසරය, 2012 දෙසැම්බර් 12 වන දින වන විට ශීත ඍතුවෙහි හිමපතනය නිසා වෙනස් වූ අයුරු නිරීක්ෂණය කරන්න. 2017.11.10 වන දින, මුලින් ම හිම මදක් පතනය වුව ද, දැඩි හිම පතනයක ඇරඹුම අද දක්නට ලැබිණි. පරිසර දෙකෙහි වෙනස සැසඳීම සඳහා විවිධ ස්ථානවල දී ගනු ලැබූ අගෝස්තු මස ඡායාරූප ද දෙසැම්බර් 12 වන දිනට අදාළ එම ස්ථානවල ම ඡායාරූප ද පිළිවෙළින් දක්වා ඇත (1-20 වන ඡායාරූප). 21 වන ඡායාරූපයේ දැක්වෙන රස නහර පිනවූ ක්‍රැබ් ඇපල් සහිත ගස, 22 වන ඡායාරූපයේ ඇපල් රහිත තත්ත්වයට පත් ව ඇති සැටි?  23-24 වන ඡායාරූපවල දැක්වෙන ගස, කුඩා නමුත් ශීතල කට්ට කා පුරුදු ගසකි. එහි කොළ වර්ණයේ මඳ වෙනසක් මිස, කොළ හැළී නැත. 25-26-27 පදුරුවල වෙසෙන ගේ කුරුල්ලෝ තාම සිටිති. උණුසුම් පළාත් බලා සංක්‍රමණය තව ම අරඹා නැත. දියුණු අපට නැති හීතල දරා ගැනීමේ ශක්තියක් කුඩා කුරුල්ලන්ට ඇත. 28 වන වීඩියෝ පටයෙන් හිම පතනයෙහි රටාව ද නිරූපිතයි.

කැනඩාවේ අත්දැකීම් (17) චිත්‍රශිල්පීන් 13 දෙනකුගේ පර්යාලෝක



කැනඩාවේ අත්දැකීම් (17)  චිත්‍රශිල්පීන් 13 දෙනකුගේ පර්යාලෝක
මිසිසාගා පුස්තකාලයෙන් ලබා ගත් ඇන්ජලා වෙන්ෂල් ලියූ  Wenzel, Angela (2009). 13 Artists children should know. Munich: Prestel. පොතෙහි අපූරු ගුණාංග රැසකි. ඒවා මෙසේ පෙළ ගස්වමි.
(    1)   1452-1987 දක්වා වර්ෂ 535ක කාලයේ ජීවත් වූ චිත්‍ර ශිල්පීන් 13 දෙනකු  ව, කෙටියෙන් නමුත් ඔවුන් එකිනෙකා පිළිබඳ සමස්තය ඇගවෙන සේ හඳුන්වා දීම
(     2)   විවිධ චිත්‍ර රටා - ශෛලි නිරූපණය වන සේ චිත්‍ර ශිල්පීන් තෝරා ගෙන තිබීම
(    3)   ඒ ඒ නිර්මාණකරුවන්ගේ නිර්මාණ නියැදි ලෙස දක්වා, ඒවා පැහැදිලි කිරීම සහ එමගින් චිත්‍ර ශිල්පියාගේ අනන්‍යතාව උලුප්පා පෙන්වීම
(   4)   1452-1987 කාලය, වර්ෂ පහෙන් පහට, සෑම පිටුවක ම උඩ රේඛීය ව දක්වා, චිත්‍ර ශිල්පියා සිටි කාලය නිශ්චිත ව පෙන්වා දීම සහ ලෝක ඉතිහාසයේ වැදගත් සිද්ධි ද සදහන් කිරීම. එමගින් චිත්‍ර කලාවේ සංවර්ධනය සහ ලෝක ඉතිහාසයේ වෙනස් වීම් රටා සසඳමින් පෙන්වා දීම
(    5)   චිත්‍රශිල්පය පිළිබද ව විධිමත් ව අධ්‍යයනය නො කළ අයකුට වුව පැහැදිලි වන සේ පොතේ අන්තර්ගතය සහ ආකෘතිය සැකසි තිබීම
(    6)   සියලු චිත්‍ර ශිල්පින් ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට හැකි ලෙස කරුණු ද චිත්‍ර ද උපුටා ගෙන විධිමත් ව ද නිර්මාණාත්මක ව ද ඉදිරිපත් කිරීම
(    7)   ඒ ඒ චිත්‍රශිල්පියාගේ පහත සඳහන් නිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගෙන දක්වමි.  ඒ චිත්‍ර කෘතියෙන් උපුටා ගැනීම උචිත නැති නමුත් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ ව ඇති නිසා උපුටා දක්වන්නට හැකි වීම ගැන සතුටු වෙමි.
(     8)   එක් එක් චිත්‍රශිල්පියා ගැන සුවිශේෂී කරුණ බැගින් ද ලියමි.

Leonardo da Vinci (1452-1519) - Mona Lisa - ඩා වින්සි, කැඩපත් අකුරින් (Mirror writing) තමා සොයා ගත් සියලු දේ ගැන සටහන් පොතක ලිව්වේ ය (අපේ ප්‍රාථමික පන්ති  වයසේ ළමයින් ද කැඩපත් අකුරු ලියනු ඔබ දැක ඇති.)
Jan Vermeer (1632- 1675) - The girl with a pearl earing - වර්මියර්, නිවසේ දී චිත්‍ර ඇඳීමට කැමති වූ, කලාකරුවෙකි. චිත්‍ර නිර්මාණයේ දී වර්ණයක් මත තව වර්ණ තවරා, පහළ ම වර්ණය අපූරුවට මතු කර ගත්තේ ය.
Claude Monet (1840-1926) - Arrival of  the Normandy train - මොන(ට්) එළිමහනේ  දී චිත්‍ර ඇඳීමට කැමති වූ කලාකරුවෙකි. නිරන්තර ව වෙනස් වන ආලෝකය පදනම් කර ගෙන, පරිසරය ද පුද්ගලයන් ද අධ්‍යයනය කළේ ය.
Henri Rousseau (1844-1910) - The sleeping Gypsy - රූසෝ, කලා විද්‍යාලයක විධිමත් ව ඉගෙන නො ගත් අතර කෙෘතුකාගාර හා පරිසරය නිරීක්ෂණයෙන් චිත්‍ර කලාව උගත්තේ ය.
Mary Cassatt (1844-1926) - The boating party - කැෂා (ට්), කාන්තාවනට චිත්‍ර කලාව අකැප යුගයක දී, චිත්‍ර කලාවට පිවිසියා ය. වෙසෙසින් කාන්තාවන් ද මව්වරුන් ද චිත්‍රයට නැගීමට ප්‍රිය කළා ය.
Vincent van Gough (1853-1890) - The bedroom - වෑන් ගෝ, ස්වකීය හැගීම් ප්‍රකාශනයට වර්ණ අතිශයෝක්තියෙන් භාවිත කළේ ය.
Henry Matisse (1869-1954) - The dance - මටිසේ, ඇස පිනවන සේ වර්ණ භාවිත කළේ ය. චිත්‍රයක් යනු එදිනෙදා වෙහෙස නිවා ගැනීමටත් විවේක ගැනීමටත් උදව් වන හාන්සිපුටුවක් හා සමාන විය යුතු යයි අර්ථනිරූපණය කළේ ය.
Paul Klee (1879-1940) - Ad Parnassum - ක්ලී පැවසුවේ කිසිවකු තිතක් තැබුවේ නම් එය රේඛාවක් බවට පත් වන බව ය.  රේඛාවක් නොඇදි දිනක් මට සොයා ගත නොහැකි යයි හේ පැවසී ය. එහි අදහස නම් සැම දා චිත්‍ර ඇඳි බව ය.
Franz Marc (1880-1916) - Cows-Red, green yellow - මාර්ක්, මිනිසුන්ගේ හේතුවිරහිතභාවය ගැන කම්පිත ව වඩාත් ප්‍රිය කළේ සතුන්ට ය. එහෙයින් චිත්‍රවලින් ද සතුන් නිරූපණය කළේ ය.
Pablo Picasso (1881-1973) – Guernica - පිකාසෝ, 20 වන සියවසේ ප්‍රචලිත ම චිත්‍රශිල්පියා ය. ලෝකය දෙස නව ක්‍රම-කෝණවලින් බලන්නට තැත් කළේ ය.
Marc Chagall (1887-1985) - I and the village - චැගල්, පිළිවෙළින් නැටුම් ශිල්පියකු, ගායකයකු, කවියකු වන්නට සිතුවත් අවසන චිත්‍ර කලාවට පිවිසියේ ය.  ස්වකීය චිත්‍රවලින් කවි වන් කතා පැවසුවේ ය.
Frida Kahlo (1907-1954) - My grandparents, my parents and  I - කහ්ලෝ, චිත්‍රවලින් පවුල් ගස් නිරූපණය කළේ ය. ජීවිත ඉතිහාසය නිරූපණයට චිත්‍ර ද භාවිත කළ හැකි බව පැහැදිලි ය.
කැනඩාවේ අත්දැකීම් - (17)  චිත්‍රශිල්පීන් 13 දෙනකුගේ පර්යාලෝක
Andy Warhol (1928-1987) - Campbell's tomato soup - ව(ර්) හෝල්, සැම දේ ලස්සන ය යන දර්ශනය මත කලාවේ නියැළිණි.