Saturday 13 January 2018

කැනඩාවේ අත්දැකීම් (22) Most important artist of all – you! ඉතා ම වැදගත් චිත්‍රශිල්පියා - ඔබ ය.



කැනඩාවේ අත්දැකීම් (22) Most important artist of all – you! ඉතා ම වැදගත් චිත්‍රශිල්පියා - ඔබ ය.
චිත්‍රශිල්පය පිළිබඳ ව වන 'ජෙනිෆර් මැක්කලි' ලියූ  23 ways  to be a great artist: A step –by-step guide to creating artwork inspired by famous master pieces – Jennifer McCully, 2015 නම් කෘතියේ සුවිශේෂිතා තුනකි.
(1)   ශ්‍රේෂ්ඨ චිත්‍රශිල්පියකු වීමට මාර්ග 23ක් ලෙස  කෘතියේ මාතෘකාව තිබුණ ද කරුණු දැක්වෙනුයේ පැරණි සහ නූතන ශිල්පීන් 22 දෙනකු ගැන පමණී. 23 වැන්නා ලෙස සලකනුයේ පොත හදාරන ශිෂ්‍යයා ය. මේ මූලික කරුණ වුව, මේ කෘතියේ විශිෂ්ටත්වය නිරූපණය කරනසුලු ය.
(2)   4 වන පිටුවෙහි 'අපි ශ්‍රෙෂ්ඨ කලා කෘතියක් නිර්මාණය කරමු (Let us make a masterpiece)' වසයෙන් ඇති මූලික හැදින්වීමේ දළ පරිවර්තනය කියවන්න. කෘතියක හැදින්වීම සතු විය යුතු ලක්ෂණ මැනවින් අඩංගු වනවා නේ දැයි බලන්න.
  • සෑම කලාකරුවකුට ම, ස්වකීය නිර්මාණය සඳහා  ආරම්භක අවස්ථාවක් (starting point) තිබේ. 'කැන්වසයක වර්ණ මිශ්‍ර විය යුතු අයුරු ගැන ආවේගයක් (excitement)', 'ක්ලේ මගේ අතට දැනෙන අයුරු'  වැනි මේ ඇරඹුම් අවස්ථා ශ්‍රෙෂ්ඨ කලා කෘති සදහා මග පෙන්වයි. සරල පියවර ඔස්සේ ගමන් කිරීම පහසු යයි ඔබට දැනෙන්නට පුඵවන. එහෙත් එසේ ගමන් කිරීම ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියකු වීමේ මූලිකාංගය නො වේ.
  • චිත්‍ර කලාකරුවන්ගේ උදාහරණ ඇසුරින්, ඔවුන් ගිය පියවර අනුව චිත්‍ර ඇදීමට ඔබට මග පෙන්වීමේ දී, හැකි තරම් නිර්මාණාත්මක වන්නටත් ඔබේ ම නිර්මාණයක් ගොඩ නගා ගන්නටත් උත්සාහ කළ යුතු ය. ඒ සදහා ඔබ උගත යුතු ය; අත්හදා බැලිය යුතු ය; ඔබේ සිතිවිලි, හැගීම්, සහ පෙෘරුෂය ඔබ නිර්මාණය කරන දැයට ඇතුළත් කළ යුතු ය.
  • මේ කෘතියේ සදහන් ශ්‍රේෂ්ඨ කලාකරුවන් චිත්‍ර කලාවේ නව නැම්මක් ඇති කළේ නිසැක ව ම එලෙසිනි. ඔවහූ ස්වකීය ම වූ ශෛලිය සොයා ගත්හ. එමගින් ශ්‍රේෂඨ කලාකෘති බිහි කළහ.
  • මේ පොතෙහි සදහන් ඒ ඒ ව්‍යාපෘතියෙහි, විවිධ සම්පත් භාවිතයෙන්, විවිධ ශෛලි (styles) සහ කලා ආකෘති (art forms) ඇතුළත් වූ  පියවර අනුගමනය කිරීම සඳහා  ඔබට උපදෙස් ලබා දුන්න ද, අවසන් ප්‍රතිඵලය ඔබේ ම තනි අග්‍ර කෘතියකි. ඔබේ අග්‍ර කෘතියේ, ඔබේ ම ආවේශය (inspiration) සහ කැමැත්ත (passion)  දිලිසී (shine)  මතු විය යුතු ය.
  • ඔබේ අභිලාෂය විය යුත්තේ කලා නිර්මාණයට අවශ්‍ය සියලු දේ හිමි කර ගැනීම නො ව, ඔබ සතු ද්‍රව්‍යවලින්, ඔබට කළ හැකි නිර්මාණය නිමැවුම ය.
  • මෙහි සදහන් නිර්මාණාත්මක ව්‍යාපෘතියක් කිහිප වරක් කිරීමට මැලි නො වන්න.  ඔබේ නිර්මාණාත්මක බව පිළිබද ප්‍රවීණතාව සදහා, එක් කලා ව්‍යාපෘතියක විවිධ අවස්ථාවල ද සෑම විටක ම නව ක්‍රමශිල්ප සහ වර්ණ අත්හදා බලන  විට, ඔබේ කලා නිර්මාණය මුඵමනින් ම නව තලයකට රැගෙන යනු ඇත.  එමගින් නිර්මාණාත්මක බව පිළිබද ව, ඔබ ම ප්‍රවීණයකු වනු ඇත. ඔබ නිර්මාණය කරන කලා නිර්මාණයේ දී, කළ යුතු නිර්මාණය පිළිබද ව බිය නො වන්න (fearless). නිර්භීත වන්න (brave).
(3)   61 වන පිටුවෙහි දැක්වෙන 'ඔබ කලාකරුවෙකි. කලාකරුවකු වීම යනු නො නවතින ක්‍රියාවලියකි. මේ ක්‍රියාවලියේ දී ඔබ අනුගමනය කළ යුතු ඉහළ ම උපදෙස් (top tips) මෙලෙස සපයමි.'  යන මැයින් ඇති කරුණු ද කියවන්න
  • ඔබේ ශෛලිය සොයා ගන්න-ඔබ පුහුණු වන තරමට ඔබේ ශෛලිය සවිමත් වනු ඇත.
  • විවිධ වූ ද්‍රව්‍ය (materials) රැසක් සමග වැඩ කරන්නට උත්සාහ කරන්න. එයින් ඔබ වඩාත් විනෝද වනුයේ කුමකින් දැයි බලන්න.
  • බිය නො වන්න - නව ක්‍රමශිල්ප අත්හදා බලන්න.  වර්ණ ගවේෂණය කරන්න. උපකරණ (tools)  සහ ද්‍රව්‍ය (materials) විවිධ අයුරින් භාවිත කරන්න.
  • ඔබේ කතාන්තරය කියන්න. ඔබේ කලාංගය, පොද්ගලික කරන්නට ඔබේ ම සිතිවිලි සහ හැගීම් ඇතුළත් කරන්න.  එවිට ඔබේ කලාංගය ජීවිතයට එකතු වනු ඇත.
  • ඔබේ කලා කෘතිය ඇරඹුමට සරල සලකුණක් තබන්න. එය, නව ව්‍යාපෘතියක් ඇරඹුමට ඇති බිය නැති කරනු ඇත. ඔබේ කලා කෘතිය නිම වූ විට, ඔබ තැබූ මුල් සටහන්, ඔබට සමහර විට නොපෙනෙන්ටත් පුඵවන. එයට කමක් නැත.
  • වැරදි කරන්න- එය කලාකරුවකු වීමේ අංගයකි. කර ගෙන යන දේට, කර ගෙන යන්න ඉඩ දීමෙන්, ඔබට ඔබේ ඉගෙනීමටත් වැඩි දියුණු වන්නටත් උදව්වක් ලැබේ. වැරුද්දක් නිසා, සමහර විට කලා නිර්මාණයක් වඩාත් හොද වනු ඇත.
  • නව නිර්මාණ කිරීම නො නවතන්න. නිරන්තර අභ්‍යාසය (practice) ඔබ  ව පරිපුර්ණ කරයි; අංගසම්පුර්ණ කරයි.
  • ශ්‍රේෂ්ට කලාකරුවකු වීමේ අත්‍යන්ත (ultimate) උපදෙස නම් විනෝදයයි (fun). දිනෙක ඔබ විශිෂ්ට කලාකරුවකු වන්නට හෝ නො වන්නට පුඵවන. අවසන් වසයෙන් ශ්‍රේෂ්ඨ කලාකරුවකු වීම යනු ඔබ සතුටට පත් කරන කලා නිර්මාණ බිහි වීමයි.
(4)   60 වන පිටුවෙහි ඇති සගරාවක් නඩත්තු කිරීම පිළිබද සංකල්ප  හා අදහස් ක්‍රියාමූලික පර්යේෂණකරණයේ නිරත වන සැමට ද වටිනා උපදෙස් සපයනසුලු ය.
  • කලා සගරාවක් (Art journal) නඩත්තු කිරීමෙන් ඔබේ කලා කටයුතු සංවර්ධනය වූ අයුරු හදුනා ගෙන ඔබේ කුසලතා සංවර්ධනය කර ගත හැකි ය. ඒ සදහා ඉගි මෙසේ ය.
  • ඔබේ අදහස්, චිත්තවේග, සහ ඔබ ව උනන්දු කළ දැ ගැන ලියන්නට පුරුදු වන්න. ඔබට පසු ව ඒවා දෙස බලා, ඒවා කලා නිර්මාණයක ආරම්භක අවස්ථා (starting point) ලෙස භාවිත කරන්නට පුඵවන. 
  • ඔබේ කලා නිර්මාණවල ඡායාරූප ගන්න. ඒවා සගරාවට ඇතුළත් කරන්න. වඩා විශ්වශ්‍යදායි නිර්මාණකරුවකු බවට ඔබ ම පත්වීමේ ප්‍රගති සටහන් ගැන හදුනා ගැනීමට ඒවා උදව් වනු ඇත.
  • ඔබ කලා නිර්මාණයක් කිරීමේ දී ගත් තීරණ හා ඒ තීරණවල අවස්ථා හදුනා ගන්නට ඔබේ ඡායාරූප උදව් වනු ඇත. ඊළග අවස්ථාවේ ඔබ අලුත් දැයක් කරන්නට තීරණය කරනවා ද? යනු තීරණය කිරීමට ද, ඡායාරූප උදව් කරනු ඇත.
  • සගරා, පුවත්පත්, පොත්වල චිත්‍ර කපා එකතු කරන්න. මේවා ඔබට අදහස් රැසක් ලබා දෙනු ඇත, ඔබට නිර්මාණාත්මක පිම්මක් (Boost) අවශ්‍ය වූ විට.
  • කුරුලු පිහාටු, ගස් කොල වැනි ඔබේ උනන්දුව ඇති කරවන දැ එකතු කරන්න හෝ ඡායාරූප ගත කරන්න.
  • මේ සියලු දේ ලිවීම සදහා, ඔබට තැන් තැන්වල ගෙන යා හැකි පහසු ආකාරයේ සගරාවක් භාවිත කරන්න. සගරා විවිධාකාර ය. විවිධ පුද්ගලයන් හුරු ව ඇත්තේ විවිධ වර්ගයේ සගරාවලට ය.  පොතක් මෙන් ම ටැබ්ලට්, ලැප්ටොප් පරිගණකයක්, ටෙලිපෝනයක් වුව මේ සදහා සුදුසු ය.


No comments:

Post a Comment