Saturday 13 January 2018

කැනඩාවේ අත්දැකීම් (23) දෙසැම්බර් 23 වන දින ගැනයි



කැනඩාවේ අත්දැකීම් - (23) දෙසැම්බර් 23 වන දින ගැනයි
දෙසැම්බර් පළමු වන දා වන විට, අප වාසය කරන විසි මහල් නිවාසයේ පහළ මහලෙහි, හැලොවින් සැමරුම සිදු වූ ස්ථානය ම, නත්තල් සැමරුමට සරසා තිබුණි (1-2 වන රූප).  සමහර ගෙවල් සහ ගෙවල  මිදුල ද 1 වන දා සිට ම නත්තල් සැමරීම සඳහා විදුලි බල්බ සහිත ව විවිධ ව සැරසිලි කර තිබුණි (3 වන රූපය). 23 වන දා සවස, නත්තලට දින දෙකකට පෙර, ගොඩනැගිල්ලේ නත්තල් හමුව සැමරිණි.  නත්තල් සීයා පැමිණ ළමයින්ට සීනිබෝලාදිය අඩංගු තෑගි මලු බෙදුවේ ය. වැඩිහිටියන්ට බිස්කට් සහ කෝපි සංග්‍රහ කෙරිණි (4-6 වන රූප).
23 වන දා උදයේ, ටොරොන්ටෝ නගරයට යාමට එළියට බසින විට හිම පිරුණු පරිසරය දක්නට ලැබිණි. නගරයට යන්නට එළියට බසින විට දක්නට ලැබුණු, හිම පිරුණු ගොඩනැගිල්ල ඉදිරිපිට බිම, එළියට බහින්නට කම්මැලිකමක් ඇති කළේ ය (7 වන රූපය).  නගරයට යන තෙක් මග දිගට වූයේ හිමෙන් වෙලා ගත් පරිසරයයි. හිමින් පිරුණු මාර්ග දෙපස නිවෙස් ද මිදුල් ද හිමෙන් වැසී ඇත. මහා මාර්ගවල හිම පාන්දර ම ඉවත් කෙරෙන නිසා වාහන ගමනාගමනයට බාධාවක් නැත. එහෙත් මාර්ගයේ දෙපස pavementවල හිම රැස් වී තිබුණි. නිවෙස්වලට පිවිසෙන තැන්වල හිම ඉවත් කර ගැනීමේ කාර්යය කර ගත යුතු වන්නේ නිවෙස් හිමියන් විසින් ම ය (8-18 වන රූප). හිම පිරුණු පදික වේදිකාවල ගමන් ගන්නා මගින් ද ඉදහිට දක්නට ලැබේ (16-17 වන රූප) .
ටොරොන්ටෝ නගරයේ, මහල් කීපයක් සහිත සුපර්මාර්කට් එකක් වැනි  Toronto Eaton Centre වෙත ගිය විට, තැනින් තැන නත්තල් සැමරුමට විවිධ සැරසිලි කර තිබුණි (19-28 වන රූප).
විවිධ ජාතීහූ මෙහි ගැවසෙති. අප්‍රිකානු සම්භවයක් සහිත පවුලක් ද දිටිමි. ප්‍රාථමික පාසල් වයසේ යයි සිතිය හැකි ළමයින් තිදෙනා සමග වතුර මලක් ළග සිටි පවුලේ පියාගේ මුහුණින් දිස් වූයේ කනස්සලු ස්වභාවයකි. සංස්කෘතියට හැඩ ගැසීමේ අපහසුව නිසා ඇති වූ කනස්සල්ලක් දැයි නො දනිමි. සැම මිනිසාට ම පොදු අවශ්‍යතාවක් වන ජලය, විවිධ රටාවලින් වතුර මලින් විහිදෙන විට, ඊට සාපේක්ෂ ව, අවට රැස් ව සිටින මිනිසුන්ගේ විවිධත්වය, ලෝකය පිළිබඳ අපූරු දර්ශනයක් අපට මවා පාන්නේ ය (29-30 වන රූප).
Hendriks Restaurant & Bar යන දැන්වීම දුටු බිරිඳ ඇසුවේ අපේ ගමේ ඉන්න හෙන්දිරික් හා සම්බන්ධයක් මේ ස්ථානයට තිබෙනවා ද යන්න ය.  නම්වලින් පවා ලෝකය එකිනෙකට බැදී ඇත. එහෙත් මිනිසා අවධාරණය කරන්නට කැමති එකිනෙකා අතර පවතින විවිධත්වයයි (31 වන රූපය).
මධ්‍යස්ථානයේ විවිධ අලෙවි සැල්වල විවිධ ආකාරයේ දැන්වීම් විය. අත්බෑග් විකිණීමට පළ කර  තිබූ දැන්වීම පැහැදිලි ය. එහෙත් කාන්තා රූපයක් සහිත ව තිබූ  Cool and comfy wireless යන  පද හතරින් අදහස් වන්නේ කුමක් දැයි අපැහැදිලි ය (32-33 වන රූප).
මධ්‍යස්ථානයේ වැසිකිළිවලට පිවිසෙන තැන, නවදිල්ලි නුවර ගුවන් තොටුපොළේ වැසිකිළිවලට ඇතුළු වන තැන දක්නට ලැබෙන අලංකාර රූප නැති අතර, සාම්ප්‍රදායක සලකුණු ම දක්නට ලැබේ (34 වන රූපය).
මධ්‍යස්ථානයේ පසෙකින්  එළියට ආ විට දක්නට ලැබුණේ ලෝකයේ දිග ම වීදිය ලෙස සැලකෙන  Yonge street  ය (35-36 වන රූප).  තවත් පසෙකින් එළිමහනට පිවිසි  විට පරෙවියන් රෑනක් මිනිසුන් පසු පස ගොස්, බිමේ මතු වන කෑම කනු දක්නට ලැබිණි. අප සිටින තැන සහ අප කරන දෙය පෙන්වන්නට මුහුණු පොත භාවිත කරන නිසා, හිම පිරුණ පරිසරයත් පරෙවියනුත් සහිත ව  ඡායාරූප කිහිපයකට පෙනී සිටියෙමි.  ඇගපත වසා සිටින දියුණු යයි සම්මත අපට වඩා, ශීතලට ඔරොත්තු දෙන ශක්තිය සහිත නො දියුණු කුරුලු රෑන් නිරූපණය වන නිසා  මේ ඡායාරූප ද වැදගත් පණිවිඩයක් දෙනු ඇතැයි සිතමි (37-41 වන රූප).
42 වන රූපයේ, අසල පිහිටි කතෝලික පල්ලියට සම්බන්ධ, නත්තලට අදාළ වැකියක් සහිත කුඩා ගොඩනැගිල්ලකි. ශ්‍රී ලංකාවට නත්තල් ඊයේ වුව ද කැනඩාවට අද ය. වෙලාවේ වෙනසේ බලපෑම නිසා ය. එහෙයින් සැමට සුභ නත්තලක් පතමි.











































No comments:

Post a Comment