Saturday 13 January 2018

කැනඩාවේ අත්දැකීම් (20) දෘෂ්‍ය කලා ඒකකය



කැනඩාවේ අත්දැකීම් (20) දෘෂ්‍ය කලා ඒකකය
2017.12.09 වන සෙනසුරා දා මිසිසිගා උපනගරයේ Riverwood උද්‍යානයේ පිහිටි දෘෂ්‍ය කලා ඒකකය (Visual Arts Mississauga) නරඹන්න ගියෙමි. ඒකකයට පිවිසෙන මාර්ගය ද කලා ඒකකයේ ගොඩනැගිල්ල ද කලාත්මක ව මෙන් ම සරල ව නිර්මාණය කර ඇත  (1-9 වන රූප). ගොඩනැගිල්ලේ ස්වයංක්‍රීය ව විවෘත වන පළමු දොරටුවෙන් ඇතුඵ වූ තැන ම, ආයතනය පිළිබද ව විස්තර සපයන නොමිලේ ලබා ගත හැකි විවිධ පත්‍රිකා හා පොතපත සහිත රාක්ක දෙකකි (10-11 වන රූප).  ස්වයංක්‍රීය ව විවෘත වන දෙ වන දොරටුවෙන් ඇතුඵ වන විට කලාත්මක පුටුවකි (12 වන රූපය). ඒ අසල ම පොතපත සහිත තව රාක්කයකි (13 වන රූපය). මේ රාක්කවලින්, ඒකකයේ අරමුණු සහ වැඩසටහන් ද කලාව පිළිබඳ වටිනා කරුණු ද සහිත පොත් සහ පත්‍රිකා 21ක් ලබා ගතිමි (14 වන රූපය). වර්ෂ 150ක දෘශ්‍ය කලා ඉතිහාසයේ, මතක තබා ගත යුතු වැදගත් දින සහ කරුණු ඇතුළත් දිනපොතක් කැනඩා ඩොලර් 10කට මිලට ගතිමි (15-17 වන රූප).  දිගැටි ගොඩනැගිල්ලේ කාමරවල වැඩිහිටියන්ට, නව යොවුනන්ට (13-18 වයස), ළමයින්ට (6-10, 6-14 හෝ 6-12, 9-11, 11-13 ආදි ලෙස විවිධ වූ  වයස් කාණඩවලට) පවත්වන කලාව හා සම්බන්ධ පන්ති ය; වැඩමුඵ ය; දේශන ය; ප්‍රදර්ශන ය; සාකච්ඡා ය. (https://www.visualartsmississauga.com වෙබ් පිටුවේ සහ Visual Arts Mississauga යන මුහුණුපොතේ විස්තර බලන්න. ඒවායේ චිත්‍ර ද, චිත්‍ර අඳින අයුරු ද ගැන විස්තර ඔබට බලා ගත හැකි ය). වෙබ් අඩවියෙන් ගත් රූප 6ක් මෙහි උපුටා දක්වමි (18-23 වන රූප).
ආයතනයේ පිහිටි 24 වන රූපය කුමක් විය හැකි ද? මේ චිත්‍රය දුටු විට මා ඉගැන්වීමේ දී භාවිත කරන නවදිල්ලියේ ගුවන් තොටුපළෙහි දී ගත් ඡායාරූපයක් ද මතක් විය (25 වන රූපය). ඒ ඡායාරූපය පෙන්වා මා සහභාගි වන්නන්ගෙන් අසනුයේ මේ කුමන ස්ථානයක තිබිය හැකි ඡායාරූපයක් ද යන්න ය. වැඩමුඵ ගණනාවක දී මේ ගැටලුව නැගුව ද නිවැරදි පිළිතුර වූ "වැසිකිළියට යන පාර පෙන්වන සංකේතයක්" යන නිවැරදි පිළිතුර සැපයූවේ, වතුකරයෙහි පෙර පාසල් සදහා වන පාඨමාලාවකට සහභාගි වූ ගුරුතුමියක පමණී.  ක්‍රියාමූලික පර්යේෂණකරණයේ දී, අපේ ව්‍යවහාරය සංවර්ධනය කර ගැනීම සදහා කරන මැදිහත් වීම, නිර්මාණාත්මක විය යුතු බව පෙන්වන්නට, මේ ඉන්දියාවේ ගුවන් තොටුපළෙහි දී ගත් ඡායාරූපය,  උදව් කර ගනිමි. නවදිල්ලියේ දී දුටු 26-30 වන ඡායාරූප ද බලා සතුටු වන්න. ඉන්දියාවෙනුත් අපට ගත හැකි දේ තිබෙන නිසා ය. 

































No comments:

Post a Comment