Wednesday 25 April 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (37) ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි දෙමළ බාලිකා විද්‍යාලය


අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (35) යටතේ සඳහන් වූ ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව කළ යහපත් ව්‍යවහාර හඳුනා ගැනීම සඳහා වූ පර්යේෂණයේ දී අවධානයට බඳුන් වූ තව පාසලක් වූයේ ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි බාලිකා විද්‍යාලයයයි. උදෑසන පාසලට එන ශිෂ්‍යාවන්, ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හෝ අමුත්තන් දකින විට Good morning යයි පැවසීම නිරීක්ෂණය වූ වෙසෙසි ලක්ෂණයක් විය. එමගින් මානව සම්බන්ධතා පාසල් වියේ සිට ගොඩ නැගීමට පාසල කටයුතු කර තිබුණේ ය.
ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි දෙමළ මාධ්‍ය පාසලේ හඳුනා ගත් යහපත් ව්‍යවහාරවල තව සුවිශේෂ ලක්ෂණයක් වූයේ, නාගරික පරිසරයක පිහිටි පාසලක් වුව ද පරිසරය ගසකොළවලින් අලංකාර වී තිබීමයි. ඔබට දක්නට ලැබෙන ඡායාරූප දෙකින් නිරූපණය වනුයේ පාසලේ අලංකාරවත් ම ස්ථාන දෙකකි. මේ ස්ථාන මොනවා විය හැකි දැයි වැඩමුඵවල දී විමසන විට නිවැරදි පිළිතුර නො ලැබෙන්නේ මෙවන් පරිසර තත්ත්ව ශ්‍රී ලංකාවේ පාසල්වලට නුහුරු නිසා විය හැකි ය.
ගසින් මලින් පිරි මේ ස්ථාන දෙක කුනු රොඩු කරන ස්ථානය සහ පාසලේ වැසිකිළිය යි. පිරිසිදු ව තබා ගත යුත්තේ පාස‍ලෙහි ඉදිරිපස පමණක් නො ව, මිනිස් අවශ්‍යතා සපුරාලන වැසිකිළි සහ කැළිසකල එකතු කරන ස්ථානත් බවට මෙමගින් අපූරු පණිවිඩයක් ලබා දීමට ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි බාලිකා විද්‍යාලයය සමත් ව ඇත.
2003-2004 වර්ෂ වන විට පාසලේ මේ නව්‍ය රටාවේ සංවර්ධනයට දායක ව සිටි කන්‍යා සොහොයුරිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට මගේ ප්‍රණාමය පළ කරමි.



 

1 comment: