Wednesday 25 April 2018

කැනඩාවේ අත්දැකීම් (51) චරිතය/කල්ක්‍රියාව ගැන සහතිකයක්-පාසල් සංස්කෘතිය ගැනත් කරුණු බිඳක්


කැනඩාවේ පීල් දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල්වල, පෙබරවාරි මස අවධාරණය කළ තේමාව 'චරිතවත් බවයි'. ඒ ඔස්සේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර, චරිතවත් බවට අදාළ සහතික පත්‍ර ලැබීමට වඩා සුදුසු තිදෙනකු පන්ති භාර ගුරුවරයා විසින් තෝරා ගන්නා ලදී. ශිෂ්‍යයන්ට සහතික පිරිනැමීමේ උත්සවයක් පැවැත්වෙන බවත් ඔබේ දරුවාට ද සහතිකයක් හිමි බවත් ඒ බව දරුවාට නොදන්වන ලෙසත් උත්සවයට සහභාගි වන ලෙසත්, සහතික පත්‍ර හිමි ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ දෙමාපියනට පණිවිඩයක්, ඔවුන්ගේ දුරකථනයට ලැබිණි. මේ උත්සවය නැරඹීමේ භාග්‍යය ලදිමි. උත්සවය පාදක ව මා නිරීක්ෂණය කළ සුවිශේෂ ලක්ෂණ මෙසේ ය.
• උගෙනුම යනු විභාග/විෂය සමත් වීම මෙන් ම ආකල්ප සංවර්ධනය ද සහිත ක්‍රියාවක් බව අවධාරණය වී ඇත.
• උත්සවයේ දී ප්‍රධානත්වය හිමි වූයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ය. ඉදිරිපස අසුන් ගෙන සිටිනුයේ ශිෂ්‍යශිෂ්‍යාවන් ය. ඉදිරිපස බිම වාඩි වී සිටිනුයේ ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. ක්‍රියාකාරකම් කරනුයේ ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. වැදගත් වන්නේ ශිෂ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිසා ය.
• නිශ්චිත නිල ඇඳුමක් ශිෂ්‍යයන්ට හෝ ගුරුවරුන්ට නැත. 2006 දී ඇමරිකා එක්සත් ජනපද සංචාරයක දී ද මේ ලක්ෂණය දැක, අපට මග පෙන්වූ මහතාගෙන් ඒ ගැන විමසු විට ඔහු ඇසුවේ මෙසේ ය. "වඩා වැදගත් ඇඳුම ද? ඉගෙනුම ද? " What is the most important thing? Dress or learning?
• මේ සමග ඇති ඡායාරූප හා වීඩියෝ දර්ශන අනුව සමහර ගුරුවරු ද බිම වාඩි වී සිටිති. තවත් අය දකුණු පස පුටුවල අසුන් ගෙන සිටිති. දෙමපියෝ පසුපස අසුන්වල සිටිති.
• විදුහල්පති නිශ්චිත තැනක නොසිටියි. ඔහු කවුරුන් දැයි ඔබට මේ දර්ශවලින් හඳුනා ගන්නට ද නො හැකි වනු ඇත.
• විදුහල්පතිගේ වැදුම්පිදුම් ලැබ, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ද බුලත් හුරුඵ සහිත ව වැඳුම් පිදුම් ලැබ, උත්සවයට පැමිණ, ශාලාවේ ඉදිරිපස ම සිටින, ඊනියා මහජන නියෝජිතයන් සහ නිලධාරින් නම් ඇත්තේ ම නැත.
• සහතිකලාභීන් නම් කර, සහතික පත් ලබා දුන්නේ පන්ති භාර ගුරු මහත්ම මහත්මීන් ම ය.
• උත්සවය අවසානයේ ත්‍යාග ලත් සිසු සිසුවියන්ගේ ඡායාරූප ගැනීමට නම් විදුහල්පති ද එක් වූයේ ය. ඒ අනුව ත්‍යාගලාභී සිසු දරු දැරියන්ට ගෙෘරව සම්පන්න හැඟීමක් ඇති වූ බව පෙනිණි. 








 

No comments:

Post a Comment