Wednesday 25 April 2018

කැනඩාවේ අත්දැකීම් (50) අප කැනඩාවට ආදරය කිරීමට හේතු


කැනඩාවේ අත්දැකීම් ගැන ලිපි 49ක් ලියා, 50 වැනි ලිපිය ලෙස කුමක් ලිවිය යුතු දැයි ප්‍රත්‍යවේක්ෂණය කරමින් සිටින විට අපූරු අත්දැකීමක් ලදිමි.
කැනඩාවෙහි ඉතිහාසයට 150 වසරක් පිරීම නිමිත්තෙන් VIBE arts නම් පුණ්‍යායතනය විසින්, තරුණයන් 500 දෙනකුට වඩා වැඩි පිරිසක් සම්බන්ධ කර ගෙන, 'කැනඩාව පිළිබඳ ඔවුන්ගේ හඩ' හඳුනා ගැනීමට, බිතු සිතුවම් 60ක් නිමවන ලදී. චිත්‍ර ඇඳි කණ්ඩායමේ හඬ නිරූපණයට පදනම් කර ගෙන තිබූ තේමා පාඨය වූයේ 'අප කැනඩාවට ආදරය කිරීමට හේතු' ය. තේමාව අනුව ඇඳි, අඩි 6X4 ප්‍රමාණයෙන් යුතු බිතු සිතුවම් කැනඩාවේ තෝරා ගත් ස්ථානවල ප්‍රදර්ශනය කර තිබේ. ශ්‍රී ලංකාවට පැමිණීමට 2018 මාර්තු 24 වන දින ටොරොන්ටෝ ගුවන් තොටුපළට පැමිණි විට, එහි බිත්ති දෙකක ප්‍රදර්ශනය කර තිබූ බිතු සිතුවම් නැරඹීමේ භාග්‍යය ලදිමි. ඒවායේ තුබූ පහත සඳහන් මාතෘකා බලන්න. ඒ අනුව, කැනඩාවට එහි වෙසෙන පුරවැසියන් කැමති වීමට බලපෑ සාධක ද හඳුනා ගනිමු.
• අප කැනඩාවට ආදරය කරනුයේ මේෆල් ගසේ කොළය නිසා ය (මෙය කැනඩාවේ ජාතික කොඩියේ සංකේතයයි)
• අප කැනඩාවට ආදරය කරනුයේ කැනඩා සංගීතය නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ අපට ගරු කරන නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ වනාන්තර නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ විවෘත මනස්, විවෘත හදවත්, විවෘත අවකාශය නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ අපට ඕන කෙනකු වීමට නිදහස ඇති නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ විවිධ භාෂා කථා කරන නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ ස්වදේශීය ජාතිකයන්ගේ ප්‍රඥාව නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ කතාන්දර කියන නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ ලස්සන ඔන්ටාරියෝ ප්‍රාන්තය නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ අපේ දියඇලි නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ නාගරික ප්‍රවාහන සේවා නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ නිර්භීත ක්‍රියා/වික්‍රම සඳහා ඇති අවස්ථා නිසා ය
• අප කැනඩාවට ආදරය කරනුයේ මේ බිමෙහි මුල් පදිංචිකරුවන් පිළිගැනීම නිසා ය
දැන් ශ්‍රී ලාංකිකයන් වන අපගේ වාරයයි. 2500 වසරකට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවට අප ආදරය කරන්නේ ඇයි?

















 

No comments:

Post a Comment