Tuesday 24 October 2017

කැනඩාවේ අත්දැකීම් (9) බස් ගැන වෙනස් බසක්


කැනඩාවේ අත්දැකීම් (9) බස් ගැන වෙනස් බසක්
            1-7            වන ඡායාරූප
ගස්වල විවිධත්වය සමග දුටු තව විවිධත්වයක් වේ. බස් නැවතුම් කුටිවල අලවා ඇති මිනිස් රූපවල විවිධත්වයයි.  බස්නැවතුම් කුටිවල ඇති දැන්වීම් පුවරුවල විවිධ ජාතිකයන්ගේ පිරිමි හා කාන්තා රුව නිරූපණය  වේ. එය විවිධ ජාතීන් ඇද ගැනීමේ වෙළෙද උපක්‍රමයක් ද? සමානතාව පිළිබද ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් දැයි නො දනිමි.

            8-10          වන ඡායාරූප
ස්වරූප දෙකක බස් ධාවනය වේ. තනි බසය සහ බස් දෙකක එකතුවක් වැනි බසයක්  වසයෙනි.  බසයක සිටිනුයේ රියදුරු පමණී. කඵ-සුදු-දුඹුරු-ගැහැනු-පිරිමි විවිධ ජාතිකයෝ බස් පදවති. හිජාබ් පැළදි මුස්ලිම් කාන්තාවෝ ද බස් පදවති. 
රියදුරු ළග ම මුදල් දමන කවුඵවකි. ගොඩ වන මගියෝ එක්කෝ අදාළ තැනට මුදල් දමා ටිකට්පතක් ගනිති. නැති නම් පෙර මුදල් ගෙවා මිලට ගත් කාඩ්පත (ප්‍රෙස්ටො කාඩ් -prepaid card-)  එතැන ම ඇති තීරයේ ගාවා ගාස්තුව ගෙවති (ශ්‍රී ලංකාවේ මහනුවර සහ කොළඹ සමහර තැන්වලට මේ කාඩ්  ක්‍රමය දැන් හදුන්වා දී තිබේ. එහෙත් එය ටිකට් ලබා දෙන මැසිමට අල්ලා මුදල් අඩු කර ගනු ලබනුයේ කොන්දොස්තර විසිනි). 
මිසිසාගා උප නගරයේ ඩොලර් 3.50ට පැය දෙකක කාලයක් ඕන දුරක් ඕන තැනකට ඕන බසයකින්  යා හැකි ය. සිගප්පූරුවේ ද මෙසේ නිශ්චිත මුදලක් ගෙවා ඕන තැනක ගමන් කිරීමේ ක්‍රමය වේ. එහෙත් ටොරොන්ටෝ නගරයේ බස් ගාස්තුව ඩොලර් 7කි.  ඊට හේතුව  සහ බස් නීති ගැන තව කරුණු යට විස්තර වේ.
ටිකට් ගැනීමට නිශ්චිත මුදල ම දැමීම උචිත ය. මුදල් තැන්පත් කිරීම සහ රියදුරු අතර සම්බන්ධයක් නැති නිසා ය. ඒවා ගණන් බලනුයේ බස් කොම්පැනියෙනි. මාරු සල්ලි නැති ව බසයට ගොඩ වුව හොත්, ඩොලර් 3.50ක ගාස්තුවට ඩොලර් 5 කාසියක් හෝ ඩොලර් 10ක කොළයක් මුදල් කුටියට දමා වුව ටිකට් පතක් ගත හැකි ය. නියමිත මුදල රැගෙන බසයට ගොඩ වීම  මගියා සතු වගකීමකි. එහෙත් ඉතිරි සල්ලි ගන්නට ක්‍රමයක් නැත්තේ ඒ මුදල් පරිපාලනය රියදුරුට අයත් නො වීමත් බසයේ පාලක කොම්පැනියට අයත් නිසාත් ය.   ශ්‍රී ලංකාවේ මෙන් උදේ පානාතිපාතා වේරමණී ලෙස පන්සිල්  රැගෙන, ඉතිරි සල්ලි නො දී කිසි ගාණක් නැති ව හොරකම් කරන කොන්දොස්තර ගතිගුණය" මෙහි නැත.

11-15 වන ඡායාරූප
බස් සදහා නිශ්චිත කාලසටහනක් පවති. එය බස් නැවතුම් පළවල ඉදි කර ඇති කුටියේ හෝ අසල කනුවක අලවා ඇත.  කුටියේ දෙදෙනකුට හිද ගන්නට පහසුකම් ඇත. සමහර විට මගීහු අසල තණකොළ වැවුණු පිටියේ හිදගෙන ද සිටිති. කුටි රහිත බස්නැවතුම් පළ ද වේ.  සෑම බස් නැවතුම් පළක් අසල ම, කුණු දැමීමට බදුනක් ඇත.  එහෙත් තැන තැන කඩදාසි, බීම ටින් සහ සිගරට් කොට දැකිය හැකි ය. ඒවා විනය-හොද පුරුදු නුපුරුදු කීප දෙනකු ද මිසිසාගාවල සිටින බවට සංකේත ය. සිගරට් මෙහි ඇති ඍණ ලක්ෂණයක් ද වේ. කැනඩා වැසියන් (කාන්තාවන් ද ඇතුඵ ව), ප්‍රසිද්ධ ස්ථානවල සිගරට් පානය කරනු දැකීම සුලභ දසුනකි.  ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල දුම් නොබොන නිසා අපට සතුටු විය හැකි ය.  ශ්‍රී ලංකාවේ මෙන් Mobile Phone දෙස ඇස්-හිත් යොමා සිටින පිරිස් ද වෙති.
නියමිත ස්ථානවල පමණක් බස් නැවැත්වීම ද විශේෂ ලක්ෂණකි. මාලදිවයිනේ දී ද මේ අත්දැකීම ලැබුවෙමි. බසය ගමන් කරන විට ඊළග බස් නැවතුම ගැන විස්තර බසයේ පටිගත කර ඇති යන්ත්‍රයකින් කියනු ලැබේ. බසය නැවතු පසු  ද එම ස්ථානයේ නම කියනු ලැබේ.
බසයට වඩා වාහනයක් ගෙන ගමන් යාම ලාභ හා ඉක්මන් බවට ද අදහස් පළ වෙයි. ශීත කාලයේ දී හිම සහිත බස් නැවතුම්පළවල ශීතලේ සිටිනවාට වඩා කාරයක යාම පහසු ය. එහෙත් හිමේ වාහන එලවීම කල් ගත වන, ලිස්සීමේ අනතුරු සහිත ක්‍රියාවක් නිසා බසයේ යාම පහසු බවට ද අදහසක් වේ.  මෙහි කාරයක් තබා ගැනීම යනු ජීවත් වීමට අවශ්‍ය සාමාන්‍ය දෙයක් ළග තබා ගැනීමක් මිස, ශ්‍රී ලංකාවේ මෙන් (මහන්) තත්ත්වය හගවන ලකුණක් නො වේ.  ටැක්ෂි සේවා ද ලබා ගත හැකි නමුත් ත්‍රීවීලර් සංස්කෘතියක්" නැත.

16-18 වන ඡායාරූප
පාසල් බස් රථ කහපාට ය.  පාසල් බසයක් ළමයින් බැස්සවීමට නැවැත්වූ විට බසය පසුකර වෙනත් වාහනවලට යාම ඒම නවත්වන සංඥාවක් දැක්වේ. ඒ අනුව ඉදිරියෙන් හා පසුපසින් එන වාහන නවතනු ලැබෙයි. එසේ කරනුයේ ළමයින්ගේ ආරක්ෂාවට ය. බසය පාසලට ගිය පසු ද පාසලේ ගුරුවරයකු හෝ විදුහල්පති පැමිණ ළමයින් බාර ගනු ලැබේ. ළමා ආරක්ෂාව රියදුරු වගකීම නිසා ළමයින් බසයෙන් බසින විට රියදුරු අදාළ භාරකරු පැමිණ සිටී දැයි විමසිලිමත් වීම විශේෂ ලක්ෂණයකි. ඉක්මනින් බහින්න", “ඉක්මනින් නගින්න", “බහින්න ළගයි, නැගිටලා ඉස්සරහට එන්න", " තේරෙන්න නැද්ද හෝල්ට් එක ළං වුණාම දොර ගාවට එන්න"  වැනි ශ්‍රී ලාංකික අපට හුරු (අමිහිරි-කන්දොස්කිරියා) වදන් නම් නො ඇසේ. පෙර ලිපියක කී පරිදි දොස්තරට වඩා ලෙඩාට ගරු කරන සංස්කෘතියක් මෙන් ම, කොන්දොස්තරට වඩා මගියාට ගරු කරන සංස්කෘතියක් ද තිබෙන නිසා ය. 
බස් රථ කොම්පැනියේ ලියාපදිංචි වූ විට, පාසල් බසයක් විනාඩි 10ක් හෝ ප්‍රමාද වේ නම් ඊමේල් මගින් දන්වනු ලැබීම ද විශේෂ ලක්ෂණයකි. .
බුද්ධිණී රුහුනුහේවා මහත්මිය විග්‍රහ කරන පරිදි ගමනාගමනය පාලනය වෙන්නේ නගර සභා (municipal government) මගිනි. ඒ ඒ නගර සභා ප්‍රදේශයේ නීති එකිනෙකට වෙනස් ය. ඒ නිසා එක එක නගර සීමා බල ප්‍රදේශයට සුවිශේෂී  ගමනාගමන (බස්, දුම්රිය) ගාස්තු ද වෙයි.  ගමනාගමනය පාලනය වෙන්නෙත් වෙන ම transit commissionවලිනි. උදා. ටොරොන්ටෝ ttc,  මිසිසාගා miway,  බ්‍රැම්ටන් brampton tc ලෙස වෙන ම බස් සේවා කොමිෂන් වෙයි.  බස් ගාස්තු ද මේ එක එක commission අනුව වෙනස් ය. මගියාගේ වයස අනුවත් ගාස්තු වෙනස් වීම ලක්ෂණයකි. උදාහරණයක් ලෙස ටොරොන්ටෝවේ  TTC කොමිෂමේ වැඩිහිටියකුට ගාස්තුව $3.25කි.  පාසල් සිසුන් හා අවුරුදු 65ට වැඩි කෙනකුට  $2.10කි.  ශ්‍රී ලංකාවෙ සීසන් වැනි මාසික වාර ප්‍රවේශ පත් ක්‍රමයකුත් තිබේ.  උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටත් සහන ගාස්තුවට සීසන් (monthly pass) බලපත්‍ර දෙනු ලැබේ.
බුද්ධිණී තවදුරටත් පවසන  විදියට, මේ වන විට  pilot project එකක් මිසිසාගා උපනගරයේ ක්‍රියාත්මක ය. ඒ අනුව  miway senior citizen මහඵ අයට, උදේ 9 සිට හවස 3 අතර කාලයේ  බස් ගාස්තුව $1කි. ඒ සදහා වයස ඔප්පු කරන age prove ක්‍රමයක් තිබිය හැකි ය. මේ ගැන වැඩිපුර විස්තර සෙවිය යුතු ය.
ටිකට් පතකට පැය දෙකක් ගමන් කළ හැකි නමුත් උපනගර දෙකක වෙනස් ට්‍රාන්සිට් කොම්පැණි දෙකක බස් දෙකක ගිය හොත් බස් දෙකට වෙන වෙන ම ටිකට් සදහා ගෙවන්න අවශ්‍ය වේ.  පෙර ගෙවුම් ප්‍රෙස්ටො කාඩ් (prepaid card එකක්) හැම බසයක ම පාවිච්චි කරන්න පුඵවන් වුණත් උපනගර දෙකක කම්පැණි දෙකක බස්වල ගිය හොත්, වෙන ම බස් ගාස්තු, බස් දෙකට ම අඩු කර ගනු ලැබේ. නම් පැය 2 ඇතුළත කොම්පැනි දෙකක බස් දෙකක ගමන් කළ හොත් දෙවරක් ගෙවිය යුතුයි. පෙර ද සදහන් කළ පරිදි එක කම්පැණියේ ඒ කියන්නෙ miway බසයේ යන්නේ නම් පැය දෙකක් ඇතුළත ඕන තරම් බස් ගණනක ඕන දුරක් යන්නට පුඵවන.  Myway සමාගමේ  බසයේ පැයක් ගමන් කොට ඊළඟට brampton tc සමාගමේ බසයට නැගි විට පෙර බසයේ ගාස්තු වලංගු නැත. ඒ සදහා වෙන ම ගාස්තු ගෙවිය යුතු ය. බලය විවිධ ප්‍රදේශවලට බෙදීමේ දී ඒඒ පෙදෙසේ නීතියට මහජනයා අවනත විය යුතු නිසා ය.
කැනඩාව ලොකු රටක් නිසා මෙසේ බලය බෙදීමේ වැරැද්දක් නැත. අප ඉන්න කැනඩාවේ ඔන්ටාරියෝ පළාත, ලංකාව වගේ දහ ගුණයක් පමණ ඇත. ඉතින් බෙදා නො ගෙන පාලනය අමාරු ය.






















No comments:

Post a Comment