Sunday 8 October 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (9) ක්‍රියාමූලික පර්යේෂණ කරන බව නො දැන අපි ක්‍රියාමූලික පර්යේෂණ කරමු.. We conduct action research without knowing that we are doing action research




අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන්  (9)  ක්‍රියාමූලික පර්යේෂණ කරන බව නො දැන අපි ක්‍රියාමූලික පර්යේෂණ කරමු.. We conduct action research without knowing that we are doing action research
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - 8හි සදහන් වූ කරුණු දෙකක් තවදුරටත් පැහැදිලි කළ හොත් යෙහෙකැයි හැගුණු හෙයින් ලියමි.
(අ) පළමු වන රූපයේ දැක්වෙන්නේ ක්‍රීඩාවක් නරඹන තිදෙනකුගේ රූපයකි.  එහි සදහන් සංකල්ප තුන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඇසුරෙන් මෙසේ විග්‍රහ කළ හැකි ය.
ශ්‍රී ලංකාවේ සමානතාව (Equality)  පවතින බවට උදාහරණ දෙකක් නම් දුප්පත් පොහොසත් භේදයකින් තොර ව සියලු පාසල් ශිෂ්‍යයන්ට නොමිලේ නිල ඇදුම් සහ පෙළපොත් ලබා දීමයි. ඒ අනුව ඉතා ම පෝසත් පවුලක ළමයකුටත් මේ අයිතිවාසිකම හිමි වේ. ඉතා ම දුප්පත් පවුලක ළමයකුට නිල ඇදුම් 3ක් දුන හොත් හොද විය හැකි මුත් ඒත් ලැබෙනුයේ එක් ඇදුමකි.  පාඩමකට සම්බන්ධ සමානතාව පිළිබද උදාහරණයක් නම්, ගුරුවරයකු සියලු සිසුන් එක ම දක්ෂතාවකින් යුතු යයි සිතා , එක ම ක්‍රමයකින් ඉගැන්වීම ය. 
ශ්‍රී ලංකා අධ්‍යාපනයේ සමතාව (Equality) පවතින බවට උදාහරණයක් නම්, විශ්වවිද්‍යාලයවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී සලකනු ලබන  Z  අගය, දුෂ්කර/අඩු පහසුකම් සහිත යයි සම්මත දිස්ත්‍රික්කවල සිසුන් සදහා අඩු කර තිබීමයි. පාඩමකට සම්බන්ධ උදාහරණයක් නම් ළමයින්ගේ විවිධ මට්ටම් සලකා, ඒඒ මට්ටමේ ළමයින්ට ගැළපෙන ලෙස, විවිධ ක්‍රමශිල්ප අනුව ඉගැන්වීමට හැකි වන ලෙස පාඩම සැලසුම් කර ක්‍රියාත්මක කිරීමයි.  දැනට ප්‍රාථමික පන්තිවල ක්‍රියාත්මක වන බහුතල ඉගැන්වීම් ක්‍රමය (Multilevel  teaching mwthod) ද මේ සදහා උදාහරණයකි.
යථාර්ථය (Reality) සදහා  උදාහරණයක් නමි සමහර පාසල්වල සමහර පන්තිවල සමහර ගුරුවරුන්  විභාග ඉලක්ක කර ගෙන, දක්ෂ යයි සම්මත සිසුන් කෙරේ පමණක් අවධාරණය යොමු කිරීමත් අදක්ෂ යයි සිතන සිසුන් නො සලකා හැරීමත් ය.

(ආ) “ගුරුවරයකුට ස්වභාවික ව ම ක්‍රියාමූලික පර්යේෂකයකු විය හැකි ය" යන ප්‍රකාශයෙන් කුමක් අදහස් වේ ද? දෙ වන රූපයේ ඇති පොතෙහි කර්තෘ රිචර්ඩ් සේගර් මෙසේ පවසයි. “ක්‍රිස්ටෝෆර් කොලම්බස්  යනු ක්‍රියාමූලික පර්යේෂකයෙකි."  එහෙත් අප කවුරුත් දන්නා පරිදි කොලම්බස් කළේ ඉන්දියාව සොයා ගැනීමට ගොස් ඇමරිකාව සොයා ගැනීමයි. මේ සදහා ඔහු ගත් ක්‍රියාමාර්ග අනුව හෙතෙම ක්‍රියාමූලික පර්යේෂකයකුගේ ලක්ෂණ සහිත භූමිකාවක් ඉටු කර ඇති බව" සේගර් ස්වකීය කෘතියේ සදහන් කරයි. කොලම්බස් කෙදිනකවත් තමා ක්‍රියාමූලික පර්යේෂණයක් කළ බව දැන ගෙන සිටියේ නැත. එසේ කළ බව කියා ද නැත.
Action research (ක්‍රියාමූලික පර්යේෂණ) යන පද දෙක හදුන්වා දුන් කුර්ත් ලෙවින් (Kurt Lewin) කරනු ලැබුයේ  ද සමාජයේ පවතින ගැටලු විසදීමෙන්, සමාජ වෙනසක් සදහා ඔහු ක්‍රියාත්මක කළ  සමාජ ක්‍රියාකාරකම් කීපයකට එම නම යෙදීම ය.  
මේ අයුරින් ම  ශ්‍රී ලංකාවේ පාසල්වල නිහඩ ව ද විශිෂ්ට ලෙස ද සේවයක් කරන ගුරුවරු ද විදුහල්පතිවරු ද (එසේ ම වෙනත් ඕනෑ ම ක්ෂේත්‍රයක වෘත්තිකයකු ද), තමන් ක්‍රියාමූලික පර්යේෂණ කරන බව නො දැන ක්‍රියාමූලික පර්යේෂණ කරති. උදාහරණයක් නම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැටවල කනිෂ්ඨ විද්‍යාලයයේ විල්බර්ට් රණසිංහ ගුරුතුමා, එකී ගම්බද පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා දීමට ගත් ක්‍රියාමාර්ගයි. එම ක්‍රියාමාර්ගය පර්යේෂණ වාර්තාවක් ලෙස ලියා නැතත් ඔහු ගත් ක්‍රියාමාර්ග විග්‍රහ කළ හොත් එහි  ක්‍රියාමූලික පර්යේෂණ ලක්ෂණ දක්නට ලැබේ. විදුහල්පතිවරයකුට සම්බන්ධ උදාහරණයක් ගත හොත් බදුල්ලේ දෙමෝදර වලස්බැද්ද විද්‍යාලයයේ ආර්. එම්.ඩී. රත්නායක විදුහල්පතිතුමාගේ භූමිකාව  නිදසුනක් සේ ගත හැකි ය (www.nie.lk  වෙබ් අඩවියේ Research යටතේ ඇති Research by Principals 2008 යන මාතෘකාවෙන් ඇති වැසෙන්නට නියමිත ව තිබූ පාසල් දියුණු කළ විදුහල්පතිවරුන් 7 දෙනා පිළිබද වාර්තා බලන්න).
මේ අනුව ශ්‍රී ලංකාවේ සියලු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ස්වකීය භූමිකාව නිර්මාණාත්මක ව ඉටු කරන විට, ඒ දෙස පර්යේෂණ දෘෂ්ටියෙන්  ද බැලීමට කටයුතු කරන්නේ නම් "මම ද ක්‍රියාමූලික පර්යේෂකයෙක් වෙමි" යන අදහස ද ඇති කර ගත හැකි වනු ඇත (වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ -මම ක්‍රියාමූලික පර්යේෂකයෙක් වෙමි- කෘතිය ද http://www.nwpedu.lk අඩවියෙහි http://nwpedu.lk/pdfup/index.php යන අංශයෙන් නොමිලේ බාගත කර ගෙන කියවන්න).

4 comments:

  1. Sir very important concepts and it can be developed attitudes for all others . I have lots of incident and my experience as such . . I'll call you later . Sir . Now I'm on the way. Ok sir thanks for your good ideas .Ok BS!!!

    ReplyDelete