Sunday 8 October 2017

කැනඩාවේ අත්දැකීම් (6) කැනඩාවේ සිංහල සංස්කෘතිය


කැනඩාවේ අත්දැකීම්  (6)  කැනඩාවේ සිංහල සංස්කෘතිය

1.     නිවසට පිවිසෙන විට ම දක්නට ලැබෙනුයේ 'මෙම නිවසට බුදු  සරණයි' යන වැකිය ද 'ධර්මචක්‍රය' ද සහිත  ව බිත්තියේ දෙරට ඉහළින් එල්වා ඇති පුවරුවයි.  ඒ පුවරුව දෙස සිට නිවසට පිවිසෙන දොරටුව දෙස බලන විට ඉහළින් සීවලී මහ රහතන් වහන්සේගේ රූපයකි. ඒ අසල ම බිත්තියේ තබා ඇති බුද්ධ ප්‍රතිමාවකි. රත්නමාලා ගාථා යන්ත්‍රයේ රූපයක් ද අසල වේ. ශාලාවේ තිබෙන මංගල ඡායාරූපයේ යුවල සාම්ප්‍රදායික උඩරට ඇදුමින් සැරසී සිටිති. සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයට කළ සේවය වෙනුවෙන් බුද්ධිණී රුහුණුහේවා මහත්මියට පිරිනැමුණු ඵලකයක් ද දැකිය හැකි ය. ජාතික රූපවාහිනියෙහි 'සිහිනයකි රෑ' රූපවාහිනි වැඩසටහනින් යශෝදා විමලධර්ම ද  පොලිස්පති පූජිත ජයසුන්දර ද ගී තෝරති. නෙලූ අධිකාරී සහ ආධුනික ගායිකාවක් ලතාගේ ජනප්‍රිය සිහල ගී ගයති. නිවසේ පිටුපස පෝච්චි දෙකක වවා ඇති මිරිස් පැළයක් හා කරපිංචා පැළයකි. දිවා කෑම මේසය, පොලොස්, අල, බෝංචි, සලාද ද සහිත එළවඵ කෑමවලින් සමන්විත වනුයේ, නිවසේ සාමාජිකයන් එළවඵ පමණක් අනුභව කරන නිසා ය. අතුරුපසට සව් බන්දේසියකි. නිවසේ සැමියා, ප්‍රදීප් විසින් වට්ටක්කා කොළ ද මිශ්‍ර කර සාදන ලද වඩේ හා සමාන කෑම දකින විට ලංකාවේ සිහල සංස්කෘතියට වෙනස් ලක්ෂණයක් ගැන ඉඟියක් ලැබේ.  මේ සිහල බොදු ගෙදර පිහිටියේ, ශ්‍රී ලංකාවේ නො ව, කැනඩාවේ ප්‍රාන්ත නවයෙන් එකක් වන ඔන්ටාරියෝ ප්‍රාන්තයේ එටෝබිකෝ උප නගරයේ ය.  

ඔන්ටාරියෝ යනු, බහුවාර්ගික-බහුභාෂික-බහුසංස්කෘතික බව නිරූපණය කරන කැනඩාවේ ප්‍රාන්තයකි. සුදු ජාතිකයනට අමතර ව ශ්‍රී ලාංකික, චීන, තායිලන්ත, වියට්නාම්, පකිස්තානු, ඉන්දීය, අප්‍රිකානු රටවල විවිධ ජාතීහු වාසය කරති. ඇදුම් ද නානා ප්‍රකාර ය. මුස්ලිම් කතුන් අතර ඇඳුම විවිධ ය. ශ්‍රී ලංකාවේ මෙන් කඵ ම අදින - මුහුණ ද වසා සිටින කතුන් අතර, ශ්‍රී ලංකාවේ දක්නට නො ලැබෙන, ඔඵව විවිධ වර්ණ සහිත හිජාබ්වලින් වසා ගෙන, විවිධ වර්ණ උඩු කය ඇදුම් ඇද, ඇගේ හැඩරුව හොදින් පෙනෙන ලෙස හිරට කලිසම් අදින මුස්ලිම් කාන්තාවෝ ද වෙති. මෝස්තරයක් ලෙස කලවයේ සිට පහළට තැනින් තැන ඉරුණු කලිසම් අදින සුදු-කඵ කාන්තාවෝ ද වෙති. පිරිමින්ගේ කලිසම් ද විවිධ ය. මේ උදවියගේ ඡායාරූප ගැනිම නීතිය සහ ආචාරධර්ම අනුව කළ නො හැකි හෙයින් අන්තර්ජාලයේ පළ වූ අමුතු ගැහැනු පිරිමි කලිසම්වල රූප මේ සමග අමුණමි. එවන් ඇදුමක් දුටු ශ්‍රී ලංකික අත්තම්මා කෙනකුගේ ප්‍රතිචාරවලින් ජනනය වන උපහාසය ද සහිත මුහුණු පොත් පෝස්ටුවක් ද කියවමු. පිරිමියා සිටින රූපයේ යට ම 'අනාගතයේ' කියා තිබුණත්, මේ රූපය කැනඩාවේ සමහර පිරිමින්ට නම් වර්තමානයට ද අදාළ ලක්ෂණයකි. හෙතෙම යටට ද කලිසමක් වන් ඇදුමක් ඇද ඇත.  කලිසම උඩින් අදින අනික් කලිසම පහළට බේරිමත් එය විටින් විට උඩට ගැනීමත් මේ කලිසම අදින පිරිමින්ගේ ලක්ෂණයකි. වෙනින් වැදගත් වැඩ නැති නිසා නම් මෙසේ කලිසම හද හදා සිටිය හැකි ය. මට මෙවිට මතක් වන්නේ ලංකාවේ අමුතු ලෙස කොණඩය බැද, නිතර ම එය හදමින් සිටින ගැහැනු ළමයින් ය. රූපවාහිනියේ පෙනී සිටින නවක නිළියෝ ද මෙසේ කොණඩය අපට පේන්න සිය සැරයක් විතර හදති. මේ නවක නිළියන් රගපෑ නාට්‍ය මොනවා දැයි අප නොදන්නා අතර ඔවුන්ට කියන්නට අලුත් අදහස් නැති නිසා දෝ, කොණඩය පෙන්නන්ට මෙන් එය මෙසේ නිතර නිතර හදති. එය ශ්‍රී ලාංකික සංස්කෘතික විවිධත්වය නිරූපණය කරන ලක්ෂණයක් ලෙස සලකා සතුටු වෙමු.  

සුපර් මාර්කට්වල එක දිගට ඇති  බඩු විකුණන කවුන්ටර්වල, සුදු, කඵ මෙන් ම විවිධ ආගමික ලක්ෂණ  සහ කායික ලක්ෂණ දරණ අය ද සේවය කරති.  පාසල් බස්රථ සියල්ල කහ පාට නමුත් ඒවා පදවන රියදුරෝ හින්දි පිරිමි-කතුන්, මුස්ලිම් පිරිමි-කතුන්, නීග්‍රෝ පිරිමි-කතුන් ආදි ලෙස විවිධ වෙති. විවිධත්වය සහිත ව මිනිසුන් සාමකාමී ව ජීවත් වන අයුරු අපූරු ය; සහජීවනය ද අපූරු ය.  

අප සිටින 20 මහල් ගොඩනැගිල්ලේ සිටින මුස්ලිම් කතක පකිස්තානයේ සිටි දන්ත වෛද්‍යවරියකි. මෙහි ඇය දරු දෙදෙනා සහ සැමියා සමග සිටිති. ඇය හා කතා බහේ දී පැවසුවේ, දකුණු ආසියානු රටවලට වඩා මෙහෙ සාමකාමි නිසා පදිංචියට පැමිණි බව ය.  We want to live peacefully" ලෙස ඇය පැවසුවා ය. පකිස්තානයේ දන්ත දෛව්‍යවරියක ලෙස සේවය කර ඇතත්, ඇයට මෙහි රැකියාව කිරීමට නම් වෙන ම පාඨමාලා කර License  ගත යුතු ය. එසේ කළ යුතු වනුයේ ඇයි දැයි ඇසූ විට ඇය පැවසුවේ මෙසේ ය "අපේ රටේ අපට වාහන එළවීමට හැකි වුවත්, කැනඩාවේ නීති අනුව වාහන එළවීමට වෙන ම පුරුදු විය යුතු  ය. කැනඩාවේ වාහන පදවන්නේ පාරේ දකුණින් වීම නිසා ඒ සදහා හුරු වීම වෙන ම කලාවකි.  මේ අනුව වෘත්තියකට අදාළ සුදුසුකම් පිටරටක ලැබුවත් කැනඩාවට අදාළ සුවිශේෂ ලක්ෂණ සපුරාලීමට සුවිශේෂි පාඨමාලා හැදෑරිය යුතු ය."  මේ අනුව ඇය මේ සංසිද්ධිය ගැන අපූරුවට අදහස් ලබා දුන්නා ය. තවත් උදාහරණයක් මේ අනුව මට මතක් විය. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට සැලකීමේ-ගරු කිරීමේ සම්ප්‍රදායයක් තිබුණ ද කැනඩාවේ ඇත්තේ ලෙඩාට ගරු කිරීමේ ලා වන සම්ප්‍රදායකි. ඒ නිසා ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් මෙහි පැමිණියත්, තවත් අවුරුදු තීපයක් ගත කර කැනඩාවේ දී වෛද්‍ය කලාව නැවත උගත යුතු ය; අදාළ පාඨමාලා හැදෑරිය යුතු ය.  කැනඩා අනන්‍යතාව අත්පත් කර ගැනීම සඳහා ය.

2.      බුද්ධිණී ගේ නිවස පදනම් කර ගත් මගේ නිරීක්ෂණ සහ ප්‍රත්‍යෙව්ක්ෂණවල නිමාවක් වන පාටක් නැත. එහෙයින් ඇගේ දියණිය දෙස බලමි.  පාඨලී පාසල් දැරියකි. අනාගත අපේක්ෂාව පශු වෛද්‍යවරියක වීම ය. ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ම ඇත්තේ එක ම පශු වෛද්‍ය විද්‍යාලයක් නිසා එය තරගකාරි ය. එහෙත් ඇය අදිටනින් සිටින්නී ය. ඇයගේ සුරතලා, ඇයගේ අනාගත වෘත්තීය අපේක්ෂාවට උචිත වන පරිදි  Mr. Kitty ය. කිටී පූසෙකි. කිටීට ශරීර කාත්‍යය සදහා වෙන ම ස්ථානයක් ඇති අතර ඒ කාර්යය විධිමත් ව කිරීම සදහා කිටී පුරුදුපුහුණු (Train) වී ඇත. පාඨලීගේ පූසාට අමතර ව ගෙදරට තව පූසකු කොහේ දෝ සිට පැමිණ ඇත. උහු සදහා නවාතැනක් එළිමහනේ තනා ඇත. පූසකු ඇති කරන විට ගෙදරක ඇති දැඩි වන පූසන් එළිමහනට පුරුදු කිරීම සදහා එළිමහනට ගෙන යාම සදහා, බල්ලකු සරසන්නා සේ  සරසන අයුරු ද අපූරු ය. 

කැනඩාවේ නීතිය අනුව බල්ලන් අයාලේ යැවීම තහනම් ය.  බල්ලකු ඇති කරන්නේ නම් දිනකට පැය දෙකක් එළිමහනේ ඇවිද්දවිය යුතු ය. මේ කාර්යයේ යෙදෙන ගමන් ව්‍යායාමය ලබා ගන්නා අය ද සිටිත්. සමහර අය මෙය රැකියාවක් ලෙස ද කරති. පැයකට නිශ්චිත මුදලක් ගෙන ඔව්හූ, බල්ලන් දෙතුන් දෙනකු රැගෙන ඇවිද්දවා, මුදල් හම්බ කරති. කැනඩාවේ වැටුප් ගෙවනුයේ පැය ගණන් අනුව ය.   

බල්ලන් සුරතල් කරන ශෛලියෙන් පෙනෙනුයේ කැනඩාවේ බල්ලන් ආදරයෙන් රැක බලා ගන්නා ආකාරයයි. කුඩා බිළිදා කරත්තයේ තල්ලු කර ගෙන යන සමහර මව්වරු, ලණුවක ගැට ගසා ගෙන බල්ලකු හෝ දෙදෙනකු රැගෙන යන අයුරු ද දැකිය හැකි ය.  මව්වරු, කෙසේ,  සමබර ව මේ භූමිකා ඉටු කරන්නේ දැයි නො දනිමි. කුඩා බලු පැටවුන් දෙදෙනකු දෙඅතට වඩාගෙන උන් සිප ගනිමින් ආදරයෙන් අත ගාමින් ගමන් කරන කාන්තාවෝ ද සිටිති. පිරිමියෙක් බෝලයක් එහෙ මෙහෙ විසි කරමින් බල්ලා සමග මිදුලක සෙල්ලම් කරයි. කැනඩාවේ සිටින සුප්‍රසිද්ධ ගායිකා සෙලින් ඩියොන් බල්ලකු සුරතල් කරනු බලමින් තාවකාලික ව සමු ගනිමු. 

























1.    

1 comment:

  1. පරණ සරල බ්ලොගර් ටෙම්පලේට් එකකට එන්න , එතකොට කියවන අය ගොඩ දෙනෙක් එයි

    ReplyDelete