Monday 16 October 2017

කැනඩාවේ අත්දැකීම් (7) මිරිස් ගසේ විවිධ රටා - කැනඩාවේ වෙනස් රටා

කැනඩාවේ අත්දැකීම් (7) මිරිස් ගසේ විවිධ රටා-කැනඩාවේ වෙනස් රටා 
      1)      ඔක්තෝබර් මස පළමු වන දින බුද්ධිණී  නිවසෙන්, තෑග්ගක් ලෙස ලැබුණු විට මිරිස් ගසෙහි  මිරිස් කරල් ද මලක් ද පිපී තිබුණි.
      2)      ඔක්තෝබර් 15 වන දින, විවිධ තලවලින්, ගසෙහි  ඡායාරූප ගතිමි. ශාකයේ පවතින විවිධත්වය නිරූපණය කරන  පරිදි රතු මිරිස් කරලක්, කොළ පාට මිරිස් කරලක් සහ අනාගත මිරිස් කරල්වල පෙරනිමිති ලෙස අලුතින් පිපුණු මල්, එක විට නිරූපණය වන අපූරුව!  
      3)      මිරිස් රස සහිත ව කෑම ඉවීමට අවශ්‍ය බඩු ගන්නට, සුපර්මාර්කට් වෙත යන විට, කටට රස හුරු බතල ද අර්තාපල් ද විකුණන්නට තිබේ.  මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේ දී, බොහෝ කලකට පෙර පැවති දේශනයක දී, ආචාර්ය නලීන් ද සිල්වා පැවසු අදහස්  (බටහිර ජාතිකයන් අපට හදුන්වා දුන් අර්තාපල්වලින් අල හොද්ද හදා ගෙන -බටහිර මිනිසුන් මෙන් චිප්ස් නො කා- දේශීය කර ගන්නට සිංහලයන් සමතුන් වූ බව සහ එවන් දේශියකරණයක් දේශපානයේ දීත් අවශ්‍ය වේ) මතක් වෙයි. 
     4)      පේරු රටේ උපත ලැබූ අර්තාපල් අලය, ලෝකය වටේ යමින් කරන විපර්යාසය?  පිළිවෙළින් ඉරිගු, තිරිගු සහ සහල්වලට පසු ලෝවැසියන්ගේ ප්‍රධාන ම ආහාරය අර්තාපල් ය. ශ්‍රී ලාංකික අපි, දේශීය ව සිතන (නො සිතන?)  ගමන්, මේ ආහාර වර්ග හතර ම බුදින ලෝක පුරවැසියෝ ද වී ඇත්තෙමු.
     5)      සුපර්මාර්කට්වල තව රාක්කයක පොල් ය. පැපොල්  ද ඒ අසල ම ය.  මේ සිංහල පද දෙකේ සමාන බව,  දැන ගෙන දෝ, මේ දෙක එක ළඟ විකුණන්නට තබා තිබෙන අපූරුව!  එහෙත් පොල් ගෙඩිය, ඉටි කොළවලින් ඔතා තිබීම විශේෂත්වයකි. ඒවා ආනයනය කර තිබෙන්නේ ඩොමීනිකන් රිපබ්ලික් රටිනි.      ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ පොල් ද දෙමළ ජාතිකයන් සතු කඩවල තිබේ. එහෙත් ඒවා ද මෙසේ කැනඩා සම්ප්‍රදායය අනුව ඉටි කොළවලින් ඔතා තිබේ. ඉටි කොළය, මගේ සිහිය ශ්‍රී ලංකාවෙන් කැනඩාවට යොමු කරවයි. පොල් ගෙඩියක මිල කැනඩා ඩොලර් 2ක් පමණ ය (ශ්‍රී ලංකාවේ මුදලේ  විටිනාකම අනුව රුපියල් 220ක් පමණ ය).
     6)      අපේ නිවෙස්වල පොල් වතුර කෙතරම් නාස්ති කරන්නේ ද? යන වග සිහියට එන්නේ පොල් වතුර පැකට් කර විකුණන්නට තිබෙනු දකින විට ය. තායිලන්තයෙන් ආනයනය කර ඇති මේ පොල් වතුර පැකැට්ටුවක කල් ඉකුත් වීමේ දිනය  2018 දෙසැම්බර් දක්වා වේ. සැලසුම් කරත හොත් ලංකාවට ද විදේශ විනිමය ඉපැයිය හැකි මගකි.  
    7)      පොල් වතුර පැකට් කිරීම මෙන් ම, ළමයින්ගේ කටින් ගැළවී වැටෙන දත් පැකට්ටුවක බහාලීමේ කලාවක් ද කැනඩාවේ වේ. සිංහල අප පුරුදු ව සිටිනුයේ අවුරුදු 6-7 දී දත් ගැළවෙන විට, ඒවා ළමයා ලවා වහලට වීසි කරවමින්, “ටින් ටින් ගානා-  මගෙ පොඩි ලේනා- මේ කිරි දත අර ගෙන- වෙනින් දතක් දියෝ දියෝ"  ලෙස රිද්මයට කවියක් ළමයින් ලවා කියවීමට ය. එහෙත් කැනඩාවේ පාසල්වල පුරුද්ද වනුයේ ළමයින්ට දත දැමීමට,  දතක රටාවෙන් යුතු කුඩා සෙල්ලම් පෙට්ටියක් තෑගි දීම ය. බුද්ධිණී සමහර ගෙවල පුරුද්දක් ගැන මෙසේ පවසන්නී ය. --ළමයකුගේ දතක් වැටුණු පසු, රෑ නිදියන්නට යන එම දරුවාගේ කොට්ටය යට එම දත තබන බවත් එය සුරගනක් පැමිණ, ගෙන යන බවත් ළමයාට පවසනු ලැබේ.  දරුවාට නින්ද ගිය විට, දත රැගෙන විසි කරන දෙමාපියන්, එතැන කාසියක් තබා, උදෑසන ඇහැරෙන දරුවාට, එම කාසිය සුරගන ලබා දුන් තෑග්ගක් ලෙස දැනෙන්නට සලස්වයි.   එවිට දරුවා සතුටු වෙයි.-- 












6) 

No comments:

Post a Comment