Saturday 18 August 2018

කැනඩාවේ අත්දැකීම් (100) අත්තම්මාගේ චීන කුන්ෆු


කැනඩාවේ අත්දැකීම් (91) යටතේ මා ඉදිරිපත් කළ චීන ව්‍යායාම් රටා, කුන්ග් ෆූ ශෛලියට සමාන බව, එම වීඩියෝ පට මට දුන් අවුරුදු 74ක් වයසැති කාන්තාව දිනෙක පැවසුවා ය. වයායාම් කිරීමට අවශ්‍ය රේඩියෝව රැගෙන එන්නේ ඇයයි. ඇය කණ්ඩායම ඉදිරියේ සිට ව්‍යායාම කරන්නී ය. අප ලබන ඉරිදා ආපසු ශ්‍රී ලංකාවට යන බව කියන්න තැත් කළත් ඇයගේ අඩු ඉංග්‍රිසි දැනුම නිසා අදහස සන්නිවේදනය කරන්නට බැරි විය. ව්‍යායාමයට ආ තව මහතකු පෙන්වා, ඔහුට ඉංග්‍රිසි හැකි යයි ඇය පැවසු විට ඔහුට පණිවිඩය කියා එය චීන කාන්තාවට කියන්නැයි කී විට ඔහු කීවේ තමා වියට්නාම් ජාතිකයකු බවත් චීන බස බැරි බවත් ය. මෙතෙක් කල් අප සිතා සිටියේ ඔහු ද චීන ජාතිකයකු බව ය. ටික වෙලාවකින් ඔහු 'ශ්‍රී ලංකා' කියා, අහසට දකුණු අත දිගු කර ගුවන් යානාවක් යන විදිය උඩ පැන පෙන්වා, අප ආපසු යන  පණිවිඩය සන්නිවේදනය කළේ ය. අප කුඩා ළමයින්ට සමහර දේ කියා දෙන්නේත් එසේ නේ දැයි එවිට සිතුණි. වියට්නාම් මහතා, 'ටුඩේ මන්ඩේ' කියා මහපට ඇගිල්ලෙන් පෙන්වා 'ටියුෂ්ඩේ, වෙන්ස්ඩේ' ආදි ලෙස පොඩි ළමයකුට උගන්වන්නා සේ එක් එක් ඇඟිල්ල නවමින්-පෙන්වමින්,  'සන්ඩේ' කියා අත ඔසවා, නැවත ගුවන් යානය යන අයුරු චීන කාන්තාවට කීවේ ය. එමගින් පණිවිඩය චීන කාන්තාවට තේරිණි.
අප යන බව දැන ගත් චීන කත, ව්‍යායාමවලින් පසු ආපසු එන අතර, බොහෝ විස්තර කියන්න තැත් කළත් හරිහැටි තේරුණේ නැත. ඇය ගුරුවරියක ව සිටි බව මීට පෙර දැන සිටියත්, චීනයේ සිටිය දී, පාසල්වල ළමයින්ට කුන්ෆුවලට සමාන  චීන ව්‍යායාම  සටන් ක්‍රමය ද උගැන්වූ ක්‍රිඩා ගුරුතුමියක් බව ඇය කියන්නට උත්සාහ කළ දෙයින්  වැටහිණි. ඇය කුන්ෆු හා සමාන චීන ව්‍යායාම කර  පෙන්වුවා ය. මම එය වීඩියෝ කර ගතිමි. ඇයගේ සැමියාගේ රැකියාව ගැනත් ඇය අත් ඉහළට ඔසවමින් කියන්න තැත් කළත්, එම රැකියාව කුමක් දැයි නො තේරුණි.
චීනයෙන් ගත යුතු ම දේ, තවමත් අප ගෙන නැති බව ඇයගේ නීරෝගී සිරුරින් පැහැදිලි වේ. අවුරුදු 74ක් වයස නමුත් කඩිසර සහ අපූරුවට ව්‍යායාම කරන  ඇයට තව තවත් නීරෝගී සුව සහ දීර්ඝායු පතමි.



No comments:

Post a Comment