Sunday 12 August 2018

කැනඩාවේ අත්දැකීම් (94) ඔන්ටාරියෝ විලෙහි පාත්තයා


2017 අගෝස්තු මස 26 වන දින පළමු වරට ඔන්ටාරියෝ විල ද ඒ අවට උද්‍යානය ද නරඹන්නට ගියෙමි.  විලේ දිය කෙළිමින්-නාමින් සිටි පක්ෂියා දුටු විට, මට 1966 දී පළමු වරට, පියාට ලැබුණු ස්ථාන මාරුව නිසා, මාතර ගිය විට දුටු  මුහුදේ අරුමය මතක් විය. එදින දිය රැළි පා ගන්නට බියෙන් මුහුදු වෙරළෙහි වැල්ලට වී සිටි මට, අද  සතුටින් සමබර ව විලේ ස්නානය කරන පක්ෂියා දුටු විට, වඩා වාසනාවන්ත කවුරුන් දැයි දැන් අවබෝධ වේ. මුහුදෙහි ඉම ක්ෂිතිජයේ රවුම් හැඩය පළමු වරට ද දුටුවේ එදා ය.  අප සමග ගිය ගුරුතුමකු වූ ගාමිණී කුලතුංග මාමා මා අසන ප්‍රශ්න (මුහුදට එහා තියෙන්නේ මොකක් ද? ඇයි අර ඈත රවුම්?) අසා කීවේ "හයියෙන් අහන්න එපා. මිනිස්සු හිනා වෙයි" කියා ය.
මුහුද අසල පොලිස් නිවාසවල පදිංචි ව සිටි අපට අනතුරු ව මුහුද සාමාන්‍ය දර්ශනයක් විය. මුහුද අසලින් විහිදුණු පාර දිගේ තනි ව ම ගොස්, පළමු දින පාසලට ගිය අයුරු ද මතකයට නැඟෙයි.  පියා පාසලට ගොස් ඇතුඵ වීමට අදාළ කරුණු සපයා, පත්‍රිකා දෙකක් නිවසට ගෙන ආවේ ය. ඒවා රැගෙන මට ද අයියාට ද තනි ව පළමු දින පාසලට යන ලෙසත් ගේට්ටුවට ඒවා පෙන්නූ පසු පාසලට ඇතුළත් කර ගනු ඇති බවත් කීවේ ය. මුලදී බියක් දැනුණ ද තනි ව පාසලට ගිය අප, ගේට්ටුව අසල සිටි ලොකු ළමයකුට කොළ දෙක පෙන්වූ පසු, කාර්යාලයට රැගෙන ගිය අතර, අනතුරු ව කිසි දු හිංසාවකින් තොර ව 8 වන ශ්‍රේණිය පන්තියට යාමට ද හැකි විය. එවන් නිදහස් පරිසරයක් අද පාසල්වල තිබේ දැයි නො දනිමි.  පසු ව ලියන්නට අදහස් කරන සිද්ධි එක දෙකක් හැර, ඔන්ටාරියෝ විලේ පාත්තයාට සමාන නිදහසින්-සතුටින්, මා ඉගෙන ගත් සියලු පාසල්වල සිටින්නට හැකි වීම ගැන සතුටු වෙමි.  
පන්තියේ ගාවින් නමින් ඉගෙනීමට දක්ෂ ළමයෙක් සිටියේ ය. ඔහු දැන් කොහේ ඉන්නවා දැයි දන්නේ නැත.



No comments:

Post a Comment