Sunday, 12 August 2018

කැනඩාවේ අත්දැකීම් (94) ඔන්ටාරියෝ විලෙහි පාත්තයා


2017 අගෝස්තු මස 26 වන දින පළමු වරට ඔන්ටාරියෝ විල ද ඒ අවට උද්‍යානය ද නරඹන්නට ගියෙමි.  විලේ දිය කෙළිමින්-නාමින් සිටි පක්ෂියා දුටු විට, මට 1966 දී පළමු වරට, පියාට ලැබුණු ස්ථාන මාරුව නිසා, මාතර ගිය විට දුටු  මුහුදේ අරුමය මතක් විය. එදින දිය රැළි පා ගන්නට බියෙන් මුහුදු වෙරළෙහි වැල්ලට වී සිටි මට, අද  සතුටින් සමබර ව විලේ ස්නානය කරන පක්ෂියා දුටු විට, වඩා වාසනාවන්ත කවුරුන් දැයි දැන් අවබෝධ වේ. මුහුදෙහි ඉම ක්ෂිතිජයේ රවුම් හැඩය පළමු වරට ද දුටුවේ එදා ය.  අප සමග ගිය ගුරුතුමකු වූ ගාමිණී කුලතුංග මාමා මා අසන ප්‍රශ්න (මුහුදට එහා තියෙන්නේ මොකක් ද? ඇයි අර ඈත රවුම්?) අසා කීවේ "හයියෙන් අහන්න එපා. මිනිස්සු හිනා වෙයි" කියා ය.
මුහුද අසල පොලිස් නිවාසවල පදිංචි ව සිටි අපට අනතුරු ව මුහුද සාමාන්‍ය දර්ශනයක් විය. මුහුද අසලින් විහිදුණු පාර දිගේ තනි ව ම ගොස්, පළමු දින පාසලට ගිය අයුරු ද මතකයට නැඟෙයි.  පියා පාසලට ගොස් ඇතුඵ වීමට අදාළ කරුණු සපයා, පත්‍රිකා දෙකක් නිවසට ගෙන ආවේ ය. ඒවා රැගෙන මට ද අයියාට ද තනි ව පළමු දින පාසලට යන ලෙසත් ගේට්ටුවට ඒවා පෙන්නූ පසු පාසලට ඇතුළත් කර ගනු ඇති බවත් කීවේ ය. මුලදී බියක් දැනුණ ද තනි ව පාසලට ගිය අප, ගේට්ටුව අසල සිටි ලොකු ළමයකුට කොළ දෙක පෙන්වූ පසු, කාර්යාලයට රැගෙන ගිය අතර, අනතුරු ව කිසි දු හිංසාවකින් තොර ව 8 වන ශ්‍රේණිය පන්තියට යාමට ද හැකි විය. එවන් නිදහස් පරිසරයක් අද පාසල්වල තිබේ දැයි නො දනිමි.  පසු ව ලියන්නට අදහස් කරන සිද්ධි එක දෙකක් හැර, ඔන්ටාරියෝ විලේ පාත්තයාට සමාන නිදහසින්-සතුටින්, මා ඉගෙන ගත් සියලු පාසල්වල සිටින්නට හැකි වීම ගැන සතුටු වෙමි.  
පන්තියේ ගාවින් නමින් ඉගෙනීමට දක්ෂ ළමයෙක් සිටියේ ය. ඔහු දැන් කොහේ ඉන්නවා දැයි දන්නේ නැත.

කැනඩාවේ අත්දැකීම් (93) ඔන්ටාරියෝ විල අසල දී ෆ්‍රැන්සිස්කෝ ගුරුතුමියගේ මතකය


 2018 ජූලි 6 වන දින දෙ වර වරට ඔන්ටාරියෝ විල ද ඒ අවට උද්‍යානය ද නරඹන්නට ගිය විට  1966 දී මාතර ශාන්ත සර්වේෂස් විදුහලේ 8 වන ශ්‍රේණියේ මතකය ද සිහියට නැගිණි. අපට භූගෝල විද්‍යාව උගැන්වූ ෆ්‍රැන්සිස්කෝ ගුරුතුමිය, පංච මහා විල් ලකුණු කරන්නට කියා දුන්නා ය. වරෙක ඇය ඔස්ට්‍රියාව ලකුණු කරන්නට කියූ විට මා ලකුණු කර තිබුණේ ඔස්ට්‍රේලියා ව ය. එකල මා දැන සිටියේ ඔස්ට්‍රේලියාව ගැන පමණී. ෆ්‍රැන්සිස්කෝ ගුරුතුමිය නිවැරදි ව යුරෝපයේ ඔස්ට්‍රියාව තිබෙන තැන ලකුණු කර කියා දුන්නා ය. නිශ්ශබ්ද ව තම භූමිකාව ඉටු කළ එතුමිය, ගුරු මේසය අසල දී නිවැරදි කළ මේ කරුණ පිළිබඳ මතකය අදටත් තිබෙන්නේ කුමන අරුමයක් නිසා ද? 

Thursday, 9 August 2018

කැනඩාවේ අත්දැකීම් (92) 2017 දෙසැම්බර් 28 CN tower මතක් කළ ටිටිකාකා විල


පසුගිය වර්ෂයේ ශීත සමයේ සුරංගනී නැගණිය සහ ගැරී සමඟ, පාර දෙ පස හිම නරඹමින් වාහනයකින් ද පා ගමනින් ද සී එන් කුඵණ නරඹන්නට ගියෙමු.  ප්‍රවේශ පත්‍ර ගන්නා තැන බිත්තියක ඇඳ තිබූ, රතු පාට මේපල් කොළය නිර්මාණය කිරීමට භාවිත කර තුබූ සීඑන් කුඵණ-සතුන්-ගස්-ආදිවාසී නිමැවුම් ඇතුළත් විවිධ රූප, කැනඩා පරිසරයේ විවිධත්වය මැනවින් නිරූපණය කළේ ය. කුඵණ මුඳුනට විදුලි සෝපානයෙන් නඟින විට ද නැඟි පසු ද අවට පරිසරයේ ඔන්ටාරියෝ විල, හිරු, ගොඩනැගිලි, පාරවල්, දුම්රිය සහ රථවාහන, මිනිසුන් ද සමඟ පවතින අයුරු - ක්‍රියාකාරි වන අයුරු, වෙනස් දෘෂ්ටි කෝණයකින් නරඹන්නට හැකි විය.   
කුඵණ උඩ සිටින විට දුටු ඔන්ටාරියෝ විල නිසා පළමු ව මතක් වූයේ 1971 උසස් පෙළ විභාගයේ දී භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ ව ලෝක සිතියමේ ලකුණු කරන්නට දුන් ටිටිකාකා විලයි. මා හට එය ලකුණු කරන්නට හැකි වුවත්, විභාගයට පසු දැන ගත්තේ සිසුන් වැඩි දෙනකුට එය ලකුණු කිරීමට නො හැකි ව තිබූ බවයි. භූගෝල විද්‍යාව උගැන්වූ ශාන්ත සිල්වෙස්තරයේ ජයසේකර ගුරුතුමා පාසල පටන් ගත් පසු එය තිබූ තැන ළමයින්ට හිස් සිතියමක ඇඳ පෙන්වා දුන්නේ ය.  දෙවනු ව ටිටිකාකා විලේ අතීතය මතක් විය. දකුණු ඇමරිකාවේ  පිහිටි මේ විලේ නමෙහි අරුත ව්‍යාඝ්‍ර මුහුණ යන්නයි. විල, ව්‍යාඝ්‍ර මුහුණක් සේ පෙනෙන්නේ අහසේ සිට බලන විට ය. ගුවන් යානා නො තිබූ අතීත කාලයේ මිනිසුන්, මේ රූපය ගුවනේ සිට  දැක්කේ කෙසේ ද යනු ගැටලුවකි. පේරු රටේ ගල්ගුහාවල කටු ගා ඇති ගුවන් යානා හා සමාන පැරණි රූපවලින් අනුමාන කරනුයේ ඈත අතීතයේ විශ්වයේ සිට දියුණු ජීවින් මේ ප්‍රදේශයට පැමිණ පදිංචි වූ බව ය. වර්තමානයේ වුවත් රූප රැජනන් වැඩිපුර බිහි වන්නේ දකුණු ඇමරිකාවෙන් නිසා මේ විශ්වීය සම්බන්ධය ගැන නම් තවදුරටත් සිතන්නට අපට සිදු වනු ඇත. 
(සීඑන් කුඵණ ගැන වැඩි විස්තර සඳහා, https://rasudal.blogspot.com/2017/01/cn-3.html යන බුද්ධිණී රුහුණුහේවා සතු බ්ලොග් අඩවියේ ඇති ලිපිය ද කියවන්නට ඔබ සැමට ඇරියුම් කරමි)













කැනඩාවේ අත්දැකීම් (91) චීන සම්භවයක් සහිත වයස්ගත වූවන්ගේ රිද්මය


2018 ජූනි 14 වන දා සවස පරිසරය දකින්නත් සමඟ ඇවිදින්නට ගොස් ආපසු එන විට ගිනි නිවන හමුදාවෙන් අප වසන 20 මහල් ගොඩනැගිල්ලට වාහන තුනක් පැමිණ තිබුණි. අනතුරු හඟවන නාද මාලාව ද හඬ නගමින් තිබුණි.  මේවැනි අවස්ථාවල දී ඉහළ මහලට නැගීම සඳහා lift භාවිතය තහනම් කර ඇති නිසා පහළට වී සිටින විට නිතිපතා දකින ජපන් ජාතික ලක්ෂණ සහිත යුවළක් ද අප සිටින තැනට පැමිණියේ ය.  මේ නිසා ඔවුන් සමඟ කතා කරන්නට අවස්ථාවක් සලසා ගතිමි.  මා සිතුවේ ඔවුන් ජපානයෙන් පැමිණි අය  වුවත්, ඔවුන් චීන ජාතිකයන් ය. මහතාගේ වයස අසූවකි. බිරිඳගේ වයස 74කි. ඉංග්‍රීසි භාවිතය දුර්වල නිසා ඔවුන් වයස පැවසුවේ වම් අත අල්ලේ දකුණු අතේ ඇගිලිවලින් 80 සහ  74 යන අංක ඇඳ පෙන්වමිනි. බිරිඳ චීනයේ ගුරුතුමියක ලෙස සේවය කර ඇත.  සැමියා කළ සේවය නිශ්චිත ව හඳුනා ගත නො හැකි විය.  අදහස් ඉංග්‍රීසියෙන් පැවසීමේ අපහසුව තිබෙන නිසා ය. ඔවුන් දෙදෙනා තනි ව මෙහි විසි මහල් නිවාසයේ 19 වන මහලේ නිවසක වසති. වයස හතළිහක් පමණ වන පුතා, වෙන ම තැනක සිටී.  දුව ඇමරිකාවේ සිටින්නී ය. කැනඩාවට පැමිණ අවුරුදු 15කි (ඇඟිලිවලින් පැවසු පරිදි).
සැමියා අවුරුදු අසූවක් වයස නිසා උපදින්නට ඇත්තේ 1938 විය යුතු ය. ඒ නිසා චීන විප්ලවය ද ඉන් පසු රටේ ඇති වූ වෙනස්කම් ගැන ද අසන්නට ආසාව තිබුනත් අදහස් පැවසීමේ අපහසුව නිසා ඒ දත්ත ලබා ගත නො හැකි විය. සමාජවාදී චීනයෙන් මේ අය කෙසේ මෙරටට පැමිණියේ ද?  පැමිණියේ දැයි ද? යන්න දැන ගැනීමට වුවමනාව තිබුණ ද ඒ විස්තර අසා ගැනීමට නො හැකි විය.  
අගෝස්තු 4 වන දා අප වසන මහල් නිවාස අසල ඇති Beechwood park වෙත ගිය විට මේ චීන ජාතික මහතා  පිට්ටනියේ සෙවණැති ගොඩැල්ලක පැයක් පමණ බිම හිඳගෙන සිටිය අතර ගුවන්විදුලියට සවන් දෙන බව දක්නට ලැබුණි. ඔහු ආපසු එන විට ගුවන්විදුලිය පෙන්වා කිව්වේ, හැම දා ම මේ පිට්ටනියට පැමිණ ගුවන්විදුලිය අසමින් නිදහසේ ඉංග්‍රීසි ඉගෙන ගන්නා බව ය. වයස 80ක් වී ඇතත් ඉගෙනුම අත්හැර නැති තරුණ ජවය සහිත මහතෙකි. පළමු ව හමු වූ දිනට වඩා අද ඔහුගේ ඉංග්‍රීසි වදන් භාවිතයේ වැඩියක් දක්නට ලැබේ.
ජපානයේ යයි මා සිතු, එහෙත් චීන ජාතික වයස්ගත  10 දෙනකු පමණ  පිරිසක් සැම දා ම සවස පිට්ටනියේ තැනක, ඉහත සඳහන් ගුරුතුමියක ව සිටි කාන්තාව ගෙනෙන කුඩා රේඩියෝවකින් සංගීතය වාදනය කර, සංගීත නාදයට අනුව නර්තන රිද්මයට සමාන ව්‍යායාමවල යෙදෙණු  නිරීක්ෂණය කර තිබුණි.  මෑතක දිනක ඒ අසලට ගිය විට අපට ද ව්‍යායාම සදහා ආරාධනා කළ නිසා සහභාගි වූ විට අත්දකින්නට ලැබුණේ අපූරු අත්දැකීම් සමුදායකි. චීන සංගීත රටා අනුව සිරුරේ සියලු අග පසඟ චලනය කරන්නට හැකි වන ලෙස සරල එහෙත් සිරුරට මඳක් වේදනා ගෙන දෙන, ක්‍රියාකාරකම් සමූහයකි.   දිවීම හෝ ඇවිදීම අවශ්‍ය නො වන,  පාදවලින් පියවර දෙක තුනක් පමණක් ඉදිරියට පසුපසට දකුණට සහ වමට ගමන් කරමින් ද අත්පා විවිධාකාර ලෙස චලනය කරමින් ද කරන ව්‍යයාම මාලාවේ දී අවසන් භාගයේ දී සහභාගි වන්නන් කවයක් ලෙස සෑදී පාද චලනය කරමින් ව්‍යායාම කරනු ලැබේ. එක් චීන කාන්තාවක් අපට ව්‍යයාම අනුකරණය කරන්න බැරි බව දැන, අප ඉස්සරහට ගොස් අපට පෙනෙන්නට ව්‍යායාම කරමින් ඒ අනුව ව්‍යායම කරන්නට මග පෙන්නුවා ය.  
මේ සියලු දෙනාට ඉංග්‍රීසි භාෂා භාවිතය ඇත්තේ ම නැති තරම් ය. ප්‍රශ්නයක් ඇසූ විට no English ලෙස පවසති. ව්‍යයාම් පටන් ගන්නා වෙලාව ඇසූ විට,  මහතකු වම් අතෙහි දකුණු අතේ ඇගිලිවලින් 7.30 ලියා, 7.30ට බව පැවසුවේ ය. භාෂා දැනුමට සාපේක්ෂ ව කණ්ඩායමේ අය නීරෝගී ය. අවුරුදු 70ට වඩා වයස වුවත් පිරිමින්ගේ බඩවල් ලොකුවට පේන්න නැත්තේ ව්‍යායාම නිසා විය හැකි ය.  සිරුර කෙළින් තබා ගෙන,  ගමන් කරන ආකාරයේ ද විශේෂත්වයක් සමඟ නීරෝගී ලක්ෂණය දක්නට ලැබේ. අවුරුදු 83ක් වයසැති මහතකු අපූරු ජවයකින් ව්‍යායාමවල යෙදෙන අයුරු, දකින්නට ආශා උපදවනසුලු ය. 
සැම දා ම උදේ 7.30 ට සහ සවස 7.30 ට කණ්ඩායමේ අය පැමිණ ව්‍යායාමවල යෙදෙති.  උදයේ ව්‍යායාම් රටාව සවසට වඩා වෙනස් ය. ඒ වෙනස වීඩියෝවලින් බලා ගත හැකි වනු ඇතැයි සිතමි.
එක් කාන්තාවකට පුතුන් දෙදෙනකු සහ දූවරුන් දෙදෙනකු සිටින අතර එයින්  දෙනෙකු කැනඩාවේ වෙසෙති. එහෙත් වෙන ම නිවාසවල ය. අවුරුදු දෙකකට වරක් චීනයට යන බව ද පැවසිණි. දින තුන හතරක් ව්‍යායාමවලට සහභාගි වූ පසු රේඩියෝව ගෙනෙන කාන්තාව, එහි තිබූ සිම්එක ගළවා මට දී, පරිගණකයට කොපි කර ගන්නා මෙන් ඉල්ලා සිටියා ය. එය කොපි කර ගෙන පසු ව දා භාර දුන් විට වීඩියෝ පට සහිත සිම් එකක් ද පිටපත් කර ගන්නට දුන්නා ය.
දිනක ව්‍යායාමවලට උස මහත රුසියානු ජාතික කාන්තාවක් ද පැමිණියා ය. කුන්ෆු සටන් ශෛලියේ ව්‍යායාමවලට ඇය කැමති බව අත්පා සොලවා පැවසුවා ය.

Monday, 6 August 2018

කැනඩාවේ අත්දැකීම් (90) Odd squad ළමා වැඩසටහන



Odd squad යනු අවුරුදු 5-8 වයසේ පෙරපාසල්, ප්‍රාථමික පාසල් ළමයින් මෙන් ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ඉලක්ක කර ගත් වැඩසටහනකි. ගණිතයට අදාළ සංකල්ප අවධාරණය වෙතත් ළමයින් ගණිත සංකල්ප කරා පිවිසෙන්නේ නොදැනුවත් ව ම ය. ගැටලු විසඳීම (problem solving), එක් ව කටයුතු කිරීම (working together), සන්නිවේදනය (communication) සහ නොපසුබට වීර්යය (perseverance)  ගැන ද අදහස් ලබා දෙන ළමා වැඩසටහනකි. tvokids නම් රූපවාහිනී චැනලයේ විකාශනය වන්නකි.

Sunday, 5 August 2018

කැනඩාවේ අත්දැකීම් (89) ජීවිත ගමනේ විවිධ රටා

කුරුල්ලෝ ද මිනිස්සු ද ලේන්නු ද තම තමන්ට ආවේණික රටාවලට අනුව ජීවත් වීම සදහා ගමනේ  යෙදෙති.

කැනඩාවේ අත්දැකීම් (88) Dino-dana ළමා වැඩසටහන


tvokids නම් රූපවාහිනී චැනලයේ විකාශනය වන dino-dana යන ළමා වැඩසටහනේ දී Dana නැමැති අවුරුදු 9ක කුඩා ගැහැනු ළමයා, තමාට ලැබුණු පොතක් ඇසුරින්,  පාෂාණීය ධාතුවිද්‍යාව (Paleontology) නමැති විෂයයේ පුරුදු පුහුණු වන්නියක ලෙස ඩයිනෝසරයන් පිළිබඳ ව අඛණ්ඩ ව සම්පරීක්ෂණ පර්යේෂණයේ යෙදෙන්නී ය. https://tvokids.com/school-age/dino-dana යන වෙබ් අඩවියෙන් මේ ළමා වැඩසටහන් නැරඹිය හැකි ය. කුඩා කල ම ළමයින් පර්යේෂණයට යොමු කර ඇති අයුරුත් පවුලේ සාමාජිකයන් එයට දායක වන අයුරුත් ළමයින්ගේමෙන් ම වැඩිහිටියන්ගේ ද  සිත් ඇදබැඳ තබා ගන්නාසුලු ය. ළමා රඟපෑම් ශෛලි ද අපූරු ය.