Friday 3 November 2017

කැනඩාවේ අත්දැකීම් (10) හැලොවින් ඇසින් මිනිසාගේ ශෛලිය දකිමි


කැනඩාවේ අත්දැකීම් (10) හැලොවින් ඇසින් මිනිසාගේ ශෛලිය දකිමි
නයගරා දිය ඇල්ල ගැන ඉගෙන ගත්තේ පාසල් සමයේ දී ය. එහෙත් නයගරාව යනු කිලෝමීටරයක් පමණ දුර මහා මාර්ගයේ යමින් නැරඹිය යුතු දියඇලි මාලාවක් මිස තනි දියඇල්ලක් නො වන බව තේරුණේ එසේ උගෙන අවුරුදු 50කට පමණ පසු, මාස දෙකකට පෙර, පළමු පෙළ අත්දැකීමක් ලෙස නයගරාව  සියැසින් නැරඹීමේ දී ය. හැලොවින් ගැන ද මේ න්‍යායය පොදු  නිසා මගේ පළමු පෙළ අත්දැකීම් ලියමි.
(1-7 වන රූප) 31 වන දා  පාරේ ගමන් කරන විට දුටුවේ සෑම නිවෙසක ම නො ව සමහර නිවෙස්වල පමණක්  හැලොවින් සැමරිමේ සංකේත නිරූපණය කර තිබෙන බව ය. හැලොවින් සමරන නිවෙස් ද ඒවා සමරනුයේ තම තමනට ආවේණික ශෛලියෙනි. සමහර නිවෙසක වට්ටක්කා ගෙඩියක් පමණක් ප්‍රදර්ශනය වේ. තව නිවෙස්වල වට්ටක්කා ගෙඩි කිහිපයකි. ගෙඩිවල  මුහුණක් ඇද හෝ ඇස් කන් නාසා කට කපා සකස් කර ඇත. වට්ටක්කා ගෙඩිවල ප්‍රමාණය ද වර්ණය ද විවිධ ය. ඒවා තබන තැන් ද විවිධ ය. නිවසට ඇතුඵ වන පඩිපෙළ උඩ, පඩිපෙළ  වැටෙහි, මිදුලෙහි, ගෙයි ඇතුළෙහි ටීපෝවක් උඩ වසයෙනි.  රාත්‍රියේ දී සමහර වට්ටක්කා ගෙඩි තුළ පහන් පත්තු කර ඇත. නැත හොත් බල්බ් පත්තු කර ඇත.
(8-12 වන රූප) තවත් නිවසක හොල්මන් රුවකි. රුවේ ප්‍රමාණය ද වර්ණය ද නිවෙස අනුව වෙනස් ය. තවත් නිවෙසක මුඵ මිදුල ම පිරි ඇත්තේ සෙහොනක තිබෙන අංග ලක්ෂණවලිනි. සමහර නිවෙස්වල වහලේ ද ගස්වල ද විවිධ හොල්මන් රූප ය.
(13-21 රූප) සවස 6.30න් පසු වැඩිහිටියන් සමග ළමයි ගෙවල් ගානේ යති. හැලොවින්  සමරන ගෙවල් ද ඒවායේ විවිධ රූප ද විවිධ ලෙස එළි ගන්වා ඇත.   ළමයි ඉහත සලකුණු සහිත නිවෙස්වල පමණක්  ගොස් දොරවලට තට්ටු කරති; හෝ සීනුව නාද කරති. දොර විවර කළ විට, පිටතින් එන ළමයා හෝ ළමයි  Trick or treat? (උප්පැරවැට්ටියක් ද? සංග්‍රහයක් ද?) යනුවෙන් විමසති. එවිට ගෙහිමියෝ සිනා මුහුණින් යුතු ව විවිධ රසකැවිලි  වර්ග ළමයින් ගෙන යන බෑග්වලට දමති. සමහර නිවෙස්වල කෑම බන්දේසි පෙන්වා කැමති ලෙස ගැනීමට ඉඩ හරිනු ලැබේ. දමන රසකැවිලි වර්ගය සහ ප්‍රමාණය නිවසින් නිවස වෙනස් ය.  එක් නිවසක වැඩිහිටියෙක් එළියේ භාජන තුනක රසකැවිලි තබා ගෙන සිටි අයුරු මෙහි ඇති රූපයක ඔබට දකින්නට හැකි ය. සෑම නිවසක දී ම දුටු ලක්ෂණය වූයේ සිනහ මුසු මුහුණින් සතුටු සිතින් සංග්‍රහ ලබා දීම ය. නිවෙසක එළිමහනේ භාජනයක ‍ටොපී බදුනක් සමග පුවරුවක ලියා තිබුණේ, 'අප නිවසේ නැති නිසා බදුනෙහි කෑම රැගෙන යනු මැන' ලෙස ය.
(22-42 වන රූප) අප වෙසෙන නිවස පිහිටි 20 මහල් ගොඩනැගිල්ලේ සැමරුමට පෙර, ඒ ගැන වූ දැන්වීමක් විවිධ තැන්වල අලවා තිබුණි.  පහළ ම පිවිසුම් ශාලාව, 31 දා වන විට හැලොවින් සැමරුමට සරසා තිබුණි.   එහි තැනෙක සෙහොන් පිට්ටනියකි.  බිත්තිවල විවිධ රූප හා දැන්වීම් ය. ළමයකු හැලොවින් නිරූපණයට ඇදි චිත්‍රයක් (42 වන චිත්‍රය) ද විය.
(43-54 වන රූප) රෑ වන විට ළමයි විවිධ ඇදුමින් සැරසි මෙතැනට පැමිණ විවිධ ආලෝක ලක්ෂණ සහිත රූප නරඹති. කෑ කෝ ගසති. විනෝද වෙති.  බෙදන රසකැවිලි ගැනීමට පෝළිමකට සැදෙති.  සමහර වැඩිහිටියෝ ද විවිධ මෝස්තරවලින් සැරසි සිටිති.
(54-64 වන රූප) අවසන් වසයෙන් ශාලාවේ තිබූ රූප යුගල වෙන වෙන ම බලන්න. උදාහරණයක් ලෙස 54-55 රූප දෙකේ සිටිනුයේ එක ම පුද්ගලයෙකි. ඒ දෙස බලන්නට අප සිටින ස්ථානය අනුව එක් රූපයක දී මිනිසා යකකු සේ දිස්වෙයි. 56-57, 58-59, 60-61, 62-63 රූප යුගල එකිනෙක ද මේ බවට උදාහරණ ය. මේ රුවෙහි පරිවර්තනය, 64 වන වීඩියොවෙන් ද පැහැදිලි වෙයි. මිනිසාට යකකුගේ ලක්ෂණ ඇති බව ද මින් නිරූපණය වනුයේ? ගැහැනිය සහ පිරිමියා දෙදෙනා ම සිටින රූපවල ගැහැනිය යැකින්නියක ලෙස පෙනෙන විට පිරිමියා මිනිසකු සේ පෙනෙයි. පිරිමියා යකකු සේ දිස් වන විට ගැහැනිය, රූමත් ගැහැනියක ව පෙනෙයි. මෙයත් සංකේතාත්මක ද? "මට ජීවත් වන්න වෙලා තියෙන්නේ යකෙක් එක්ක." "මේ යැකින්න එක්ක ඉන්නවට වඩා හොදයි මැරිල යන එක" ආදි ලෙස සමහර පවුල්වල අදෝනා ඇසෙන්නේ මේ නිසා ද? 
(65-67 වන රූප) මිනිසාට මිනිස් ලක්ෂණ නම් අනිවාර්යයෙන් ඇත. ළමයින්ට ලැබෙන විවිධ රසකැවිලිවල ප්‍රමාණයෙන් එය නිරූපිත ය.
(හැලොවින් පිළිබද ශාස්ත්‍රිය කරුණු දැන ගැනීමට මා බෙදා හැරි බුද්ධිකා රුහුණුහේවා මහත්මිය ලියූ ලිපිය කියවන්න Rasudal.blogspot.com).




































































No comments:

Post a Comment