Sunday 26 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (16) "so close, no matter how far - කෙතරම් දුර සිටිය ද අප බෙහෙවින් සමීප ය"





අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (16) "so close, no matter how far -  කෙතරම් දුර සිටිය ද අප බෙහෙවින් සමීප "
( 1)   1998 දී නිකුත් වූ සම්භාව්‍ය ගණයේ ෂෙලෝ වාදකයන් හතර දෙනකුගේ (Eicca Toppinen, Paavo Lötjönen, and Perttu Kivilaakso) වාදනයෙහි රස විදින්න. ඒ අතර, පසුබිමින් දැක්වෙන රූපරාමුවලින් ඇගවෙන, පර්යේෂකයකු හා උපදේශකයකු සතු විය යුතු  භූමිකාව හා සබැදි සංකල්ප ගැනත් අවධානය යොමු කරමු.
(අ)       හුදෙකලා නිවෙසක, නිදහසේ ඔන්චිල්ලා පදිමින් සිටින යුවතියකි (පාසල්වල නිදහසේ උගන්වමින් සිටින ගුරුවරුන් මට සිහියට නැගේ). 
(ආ)      අමුත්තකු කුඩා ඔරුවක් රැගෙන විත් එය යුවතියට දී ඇය කැදවා ගෙන යයි (මට මතක් වෙන කරුණු මෙසේ ය. පාසලේ නිදහසේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදී සිටින ගුරුවරුන්ට,  ක්‍රියාමූලික පර්යේෂණයක් කරන්නට යැයි අධ්‍යාපන කාර්යාලයෙන් ඉල්ලීමක් කෙරෙයි. නැති නම් අධ්‍යාපනවේදී හෝ අධ්‍යාපනපති හෝ වෙනත් පාඨමාලාවකට බැදී, ඉගෙනුම ලබන ශිෂ්‍යයාට පර්යේෂණයකුත් කරන්නට වේ යයි පවසනු ලැබෙයි).
(ඇ)       මුල් අවස්ථාවේ දී දෙදෙනා ම ඔරුව ඔසවා ගෙන යති. මුලින් ම අමුත්තා පෙර ගමන් කරයි. ටික වෙලාවකින් යුවතිය පෙරට වී ගමන් කරයි (පර්යේෂණයක දී දැනුම් තේරුම් ඇති කථිකාචාර්යවරයකු මුල් අවස්ථාවේ දී පර්යේෂණ ගැන දේශන පවත්වමින් සිසුන් වන ගුරුවරුන්ට මග පෙන්වනු ලැබේ. ඒ කරුණු මැනවින් ග්‍රහණය කර ගන්නා ශිෂ්‍යයා, මදක් දුර ගිය පසු උනන්දු වී කථිකාචාර්යවරයාටත් වඩා වේගයෙන් පර්යේෂණ ක්‍රියාදාමයට අනුවර්තනය වේ.  වැඩි වැඩියෙන් පර්යේෂණ ගැන කරුණු සොයයි; පොත් කියවයි. ශිෂ්‍යයාට ලැබෙන නව පර්යේෂණ එළිය හිරුගෙන් ද සංකේතමත් වෙයි.
(ඈ)       ශීතල නිසා මිදුණු ගගක් අසලට පැමිණි පසු ඔරුව බිම තබා, දෙදෙනා ම පොළව සාරමින් ඉදිරියට යාමට හැකි දැයි පරික්ෂා කර බලති (මේ පර්යේෂණයේ ආනුභවික අවධියට (Empirical stage) පිවිසීමේ අවස්ථාවයි. මෙතෙක් පර්යේෂකයා සිටියේ සාංකල්පික අවධියේ ය (Conceptual stage). එනම් පර්යේෂණ ගැන හදාරමින් පර්යේෂණය සැලසුම් කරන අවස්ථාවේ ය. ආනුභවික අවධියට පිවිසුණු  විට පර්යේෂකයා ක්ෂේත්‍රයේ දී දත්ත රැස් කරන්නටත් එමගින් නව නිර්මාණයක් මතු කර ගන්නටත් උත්සාහ දරයි. මෙය සාංකල්පික අවදියට වඩා වෙහෙසකර. වූ කාලය ගත වන පර්යේෂණ අවධියකි. ඒ සදහා ද කථිකාචාර්ය උපදේශකගේ සහාය අවශ්‍ය වේ). ඔන්චිල්ලා පදිමින් නිදහසේ සිටිනවාට වඩා පර්යේෂණ කාර්ය ටිකින් ටික දුෂ්කර ද වෙයි. 
(ඉ)        අනතුරු ව දෙදෙනා ම ඔරුව ගෙන මිදුණු ගග දිගේ ගමන් කරති. (අපූරුයි. ඉදිරියෙන් යනුයේ යුවතියයි. එනම් කථිතාචාර්යවරයාට වඩා පර්යේෂණ උනන්දුව ඇති විය යුතු පර්යේෂකයා, පර්යේෂණය සමග ඉදිරියට යයි. උපදේශක කරනුයේ පසෙකින් සිට උදව් දීමක් පමණී).
(ඊ)        ඊළගට දෙදෙනා ම සම සම ව ඔරුව ඔසවා ගෙන යන සැටිත් විටෙක අමුත්තා පමණක් එය ඔසවා ගෙන යන විට යුවතිය පසුපසින් දිව යන සැටිත් නරඹන්න (පර්යේෂණයක් කරන විට, ආධුනික පර්යේෂකයකුට පර්යේෂණය එපා වන අවස්ථා ද එයි. එවිට උපදේශක යුතුකම වනුයේ පර්යේෂණය ගැන වැඩි චින්තනය යොදවා - බර දරා එයට සහාය වීමයි. එමගින් ශිෂ්‍යයාට උදව් දීමයි. ශිෂ්‍යයා ධෛර්යවන්ත කිරීමයි). (මෙහි දී මට පැරණි සිද්ධියක් මතක් වේ. 1990 ජාතික අධ්‍යාපන ආයතනයේ (ජාඅආ) ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර අනුස්මරණ දේශනය පැවැත්වනු ලැබුයේ මහාචාර්ය කාල් ගුණවර්ධන විසිනි. දේශනයේ කටයුතු සම්බන්ධීකරණය කළ මා දවසක් මහාචාර්ය කාල් ගුණවර්ධන හමු වීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එතුමාගේ නිවසට ගියෙමි.  අදාළ සාකච්ඡාවලින් පසු එතුමා පැවසුවේ “මේ දිනවල ෆාදර් කෙනෙකුට පීඑච්ඩී එකකට උදව් කරන බවත් ඒ නිසා විවේකයක් නැති බවත් කාර්යබහුල බවත්" ය.  පර්යේෂණ උපදේශක සතු වූ වගකීමේ ගැඹුර ද එතුමාගේ මුහුණින් නිරූපණය විය).  
(උ)       ඔරුව දියඹට පා කර හරිනුයේ අමුත්තා විසිනි (පර්යේෂණ ක්‍රියාවලියක දී, පර්යේෂණ උපදේශක, පර්යේෂණ දිශානතිය පෙන්වා දෙනු ලබන අවස්ථා මෙන් ම. නිවැරදි නව තීරණ,  ශිෂ්‍යයා වෙනුවෙන්  ගත යුතු අවස්ථා ද තිබේ. මගේ අත්දැකීම්වලින් උදාහරණ දෙකක් පවසමි. පළමු ව මගේ ආචාර්ය උපාධි නිබන්ධය ලියා පර්යේෂණ උපදේශක ආචාර්ය එන්.ජී. කුලරත්න වෙත විමර්ශනය සදහා භාර දුන් පසු වූ සිදුවීමක් මට මතක් වේ. එතුමා මා කළ දත්ත විශ්ලේෂණය අනුව, සතර වන පරිච්ඡේදයේ තේමා  දිශාගත විය යුතු අයුරු, මා නො සිතු ශෛලියකින්, අලුතින් ම ව්‍යූහගත කර මට පෙන්වා දුන්නේ ය. දෙවනු ව ආචාර්ය උපාලි එම්. සේදර, 1986 දී, ශාස්ත්‍රපති (අධ්‍යාපන) පාඨමාලාවට අදාළ ව අපට මිනුම් සහ ඇගයුම් විෂයය උගැන්වීමේ දී දින කිහිපයක් ම විශ්වශ්‍යතා සංකල්පය පැහැදිලි කළ අයුරු ද මතක් වේ. එක් අවස්ථාවක දී එතුමා පැවසුවේ, විශ්වශ්‍යතා සංකල්පයේ යම් පාර්ශ්වයකට අදාළ ගැටලුවක් ගැන දර්ශනසූරි උපාධිය සදහා වූ පර්යේෂණය කරන්න දැඩි ආශාවක් ඇති වුණත් උපදේශක එය කිසිසේත් අනුමත නො කළ බවත් එනිසා විශ්වශ්‍යතා සංකල්පයේ ම වෙන පැත්තක් පර්යේෂණයට තෝරා ගත් බවත් ය).
(උෘ)    අවසන් ප්‍රතිඵලය ලෙස ඔරුව විශාල නැවක් බවට පත් ව තිබේ (උපදේශකටත් ශිෂ්‍යයාටත් දෙදෙනාට ම පර්යේෂණ නිමැවුම ගැන සතුටු විය හැකි ය.

( 2)    වීඩියෝ දර්ශනයේ සමස්ථාර්ථය වනුයේ මූලික සංකල්පයකින් (එනම් අතේ ගෙන යා හැකි කුඩා ඔරුවකින්) ඇරඹෙන පර්යේෂණයක් ක්‍රමානුකූල ගමනකින් පසු-කාලය ගත වීමත් සමග නව නිමැවුමක්-නිර්මාණයක් (අලංකාර නැවක්) බවට පත් කළ හැකි බව ය. මෙය තවදුරටත් තේරුම් ගැනීම සදහා, දැන් අප මේ සංගීත වාදන ඛණ්ඩයට පදනම් වූ මුල් ගීතය නරඹමු. අනතුරු ව  ගීතයේ පදමාලාවට සහ තනුවට අදාළ  විස්තරය කියවා, ගීතයේ සංවර්ධනය, පර්යේෂණ ක්‍රියාවලියට සම්බන්ධ වන අයුරු හදුනා ගනිමු.
( 3)    මේ ගීතයේ උපත සිදු වූයේ මෙසේ ය. සංගීත කණඩායමක ප්‍රධාන ගායක සහ ගිටාර් වාදක ජේම්ස් හර්ට්ෆීල්ඩ් (James Hetfield), 1991 මුල දී සංගීත චාරිකාවකට ඈත පළාතකට ගිය අවස්ථාවේ දී,  ස්වකීය  මිතුරියට දූරකථන ඇමතුමකින් සම්බන්ධ වූයේ ය. දකුණතින් ගිටාරයේ තත් වයමින් වමතින් දුරකථනයෙන් කතා කරන විට "so close, no matter how far,  කෙතරම් දුර සිටිය ද අප එකිනෙකාට සමීප ය" යන අදහස හුවමාරු වී ඊට අදාළ සංගීත ස්වර ද ගිටාරයෙන් ඉබේ ම මෙන් වැයුණේ ය.  මේ ගීතයේ මුල් පදනමයි; සංකල්පයයි. පසු අවස්ථාවක ලියැවී සම්පූර්ණ වූ ගී පද, ගීතයකින් ප්‍රචාරයට අදහසක් ජේම්ස් හර්ට්ෆීල්ඩ් ගායකයා වෙත නො තිබිණි. එය තමාත් මිතුරියත් අතර සිහිවටනයක් සේ පමණක් සේ තබා ගැනීමට හේ සිතා සිටියේ ය.  එහෙත් සංගීත කණ්ඩායමේ වෙනත් සාමාජිකයකු වූ ලාර්ස් උල්රිච් (Lars Ulrich) ගීතය අසා, 1992 දී සංගීත කණ්ඩායම නිකුත් කිරීමට නියමිත ව තිබූ  Metallica යන ඇල්බමයට එය ඇතුළත් කිරීමට සුදුසු යයි යෝජනා කළේ ය. රොක් (Rock) ශෛලියේ ෂානරයෙන් හෙවත් රීතියෙන් (Genre) සංගීතය පබැදි  ගීතය, 1991 අගෝස්තු මස පටිගත කෙරිණි.
( 4)    පර්යේෂණයකට වුවත් පළමු ව මතු වනුයේ මූලික අදහසකි. කිසියම තේමාවකට මූලික කැමැත්තකි. ඒ සදහා අප එදිනෙදා ලබන අත්දැකීම් ද හේතු භූත වනු ඇත. ඒ අදහස ක්‍රමානුකුල ව මල් ඵල ගැන්වීමට කල් ගත වේ. ඒ කාලය අතරතුර විවිධ බාධක ද ඉස්මතු වේ.  උදාහරණ දෙකක් පවසමි.
a.       පළමු ව මගේ දර්ශනසූරි උපාධි නිබන්ධයේ තේමාව වන “අධිප්‍රජානනය" (Metacognition) යන පදය මට මුලින් ම දැන ගන්නට ලැබුණේ ජාතික අධ්‍යාපන ආයතනයේ (ජාඅආ) පර්යේෂණ ඒකකයට "ප්‍රජානනය (Cognition) " පාදක ව "ශ්‍රී ලාංකික ළමයා අවබෝධ කර ගැනීම" පිළිබද පර්යේෂණ මාලාවක් කිරීමට උපදෙස් දීම සදහා පැමිණි ඇමරිකන් ජාතික මහාචාර්ය ජෙෆ්රි ගොරෙල් ගෙනි. ඒ 1990 දශකයේ මුල දී ය. එය ආශ්‍රිත මගේ පර්යේෂණය නිමැවී දර්ශනසූරි උපාධිය හිමි වූයේ අවුරුදු 15කට පමණ පසු 2006 දී ය.
b.       දෙවන උදාහරණය ශ්‍රි ලංකාවේ ගුරුවරයකු විසින් නිම කරනු ලැබ මුද්‍රණයෙන් ප්‍රසිද්ධ කළ පළමු ක්‍රියාමූලික පර්යේෂණය ගැනයි. ජාඅආ ක්‍රියාත්මක කළ "ගුරුවරයා පර්යේෂකයකු වසයෙන්" යන ව්‍යාපෘතියට තෝරා ගත් ගුරු කණ්ඩායමෙන් අයකු  වූයේ ත්‍රි/අග්බෝපුර කනිෂ්ඨ විද්‍යාලයයේ කාන්ති දේදුනුපිටියයි. කණ්ඩායමට මූලික උපදෙස් ජාඅආ දී ලබා දීමෙන් පසු පාසල්වල දී පර්යේෂණයට උපදෙස් දීමට උපදේශකවරුන් පස් දෙනා පාසල් පහකට ගියහ. මා ත්‍රි/අග්බෝපුර කනිෂ්ඨ විද්‍යාලයයේ දී දේදුනුපිටිය ගුරුතුමිය සමග ගැටලු ගැන සාකච්ඡා කරන විට ඇ නිරන්තර ව පැවසුවේ පාසල් නොපැමිණෙන-ඉගෙනුමට දුර්වල-ගෙදර පරිසරය අහිතකර ළමයින් ගැන ය. ඒ ගෙදර පරිසරයක් බලන්න අපි යමු යයි තීරණය කර ගෙන, පාසල නිම වූ පසු නිවස කරා ගමන් කළෙමු. අඩි 10X10 පොල් අතු සහිත මිටි වහල+මැටි බිත්තිය සහිත තනි කාමරයේ ගෙදර ළග කුඩා කුකුඵ කූඩුවක් ද විය. ගෙදර සහ කුකුඵ කූඩුව අතර වෙනසක් නොපෙනෙනසුලු විය. මා දෙස බලා කාන්ති ගුරුතුමිය ඇසුවේ  “සර් හිතනව ද මේ වගේ ළමයින්ට උගන්නන්න පුඵවන් කියලා" ලෙස ය. එවිට මා පැවසුවේ එය ම තමයි ඔබේ පර්යේෂණයේ තේමාව සහ මාතෘකාව කියා ය. මේ මූලික අදහසින් ඇරඹුණු පර්යේෂණයේ වාර්තාව, ජාඅආ පුස්තකාලයේ ඇති අතර මේ පර්යේෂණය ඔබ සැමට කියවන්නට ඇරියුම් කරමි (මාතෘකාව: මේ වගේ ළමයින්ට උගන්වන්නට අපට මැදිහත් විය හැකි ද?). ප්‍රශ්නාර්ථයක් සහිත ව පර්යේෂණ මාතෘකා ලිවිය හැකි ද? යන ගැටලුව ද මේ මාතෘකාව දුටු සමහර පර්යේෂකයෝ (උපහාසයෙන් දැයි  නො දනිමි) එකල ඇසූහ.
(5)    කෙටි අදහසකින් ද ගැඹුරු දර්ශනයක්-පළල් දෘෂ්ටියක් ලබා දිය හැකි ය. මට නැවතත් මතක් වනුයේ මහාචාර්ය කාල් ගුණවර්ධන සහ එතුමා පැවැත්වූ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර අනුස්මරණ දේශනයයි. කන්නන්ගරයන් වරෙක මෙසේ පවසා තිබේ.
 “අප ආදර්ශ ගත යුත්තේ මෑත අතීතයෙන් නො ව ඈත අතීතයෙනි"
මහාචාර්ය කාල් ගුණවර්ධන ස්වකීය දේශනයේ දී කරනුයේ මේ පද 10න් කියැවෙන කරුණු සත්‍ය වන්නේ ඇයි දැයි තහවුරු කිරීමට එතුමා විශේෂඥතාව දැක්වූ ලන්දේසි යුගයේ ඉතිහාසය ඔස්සේ කරුණු ගෙන හැර පෑමයි. ඒ අනුව යුරෝපීය පාලන යුගවලින් නො ව පැරණි ලංකාවෙන් අප ආදර්ශ ගත යුතු බව ද තර්කානුකූල ව පෙන්වා දෙයි.

( 6)     කුඩාවට ඇරඹෙන නිර්මාණයක-පර්යේෂණයක ගමන් මගෙහි නැගීම් බැසීම්, පර්යේෂණයේ යථාර්ථ රේඛාව සහිත රූපයකින් ද නිරූපණය කරමි. ආරම්භයේ පර්යේෂකයකුට ඇති උනන්දුව විටින් විට උස් පහත් වන අයුරු ඔබේ අත්දැකීම්වලින් ම තේරුම් ගන්නට උත්සාහ කරන්න.
( 7)    අවසන් වසයෙන් මේ සටහන ලියන්නට පදනමි වූ ගීතය මට මුලින් ම අසන්නට ලැබුණේ කෙසේ දැයි පවසනුයේ මුලික අදහසක් දිගු කලකට පසු දිගු අදහසක් බවට පත් වන බව පෙන්වීමට ය. 2010 පමණ මපුතු විදුශංඛ ගිටාරය වයමින් අපූරු නාද මාලාවක් නිකුත් කරමින් සිටියේ ය. සිංහල ගීතවලට හුරු ව සිටින අතර අපරදිග ජිම් රීව්ස්, බොනී එම්. අබා මගින් බටහිර සංගීතය ගැන මදක් දැන සිටි මට මේ ස්වර රටාව නව එළියක් ලබා දුන්නේ ය. පුත්‍රයා මේ ගීයේ පද ද ගීය ද අන්තර්ජාගයෙන් බාගත කර දුන්නේ ය. ඒ මුල් එළිය, අවුරුදු හතකට පමණ පසු සමාජගත වන පළමු අවස්ථාව මෙයයි.


ගීයේ පදමාලාව මෙසේ ය.
Metallica Lyrics
"Nothing Else Matters"
So close no matter how far
Couldn't be much more from the heart
Forever trusting who we are
And nothing else matters

Never opened myself this way
Life is ours, we live it our way
All these words I don't just say
And nothing else matters

Trust I seek and I find in you
Every day for us something new
Open mind for a different view
And nothing else matters

Never cared for what they do
Never cared for what they know
But I know

So close no matter how far
Couldn't be much more from the heart
Forever trusting who we are
And nothing else matters

Never cared for what they do
Never cared for what they know
But I know

I never opened myself this way
Life is ours, we live it our way
All these words I don't just say
And nothing else matters

Trust I seek and I find in you
Every day for us something new
Open mind for a different view
And nothing else matters

Never cared for what they say
Never cared for games they play
Never cared for what they do
Never cared for what they know
And I know

So close no matter how far
Couldn't be much more from the heart
Forever trusting who we are
No nothing else matters

Published on Apr 27, 2016

No comments:

Post a Comment