Wednesday 29 November 2017

කැනඩාවේ අත්දැකීම් (16) ගසකින් ගෙඩියක් කඩා ගැනීමේ කලාව




කැනඩාවේ අත්දැකීම් (16) ගසකින් ගෙඩියක් කඩා ගැනීමේ කලාව
1.    අවුරුදු 3 හා 6 වයසැති දරුවන් පස් දෙනකුගේ නිර්මාණ නිරීක්ෂණය කරන්න (1-23 වන රූප). කටු ගෑමෙන් ද අනතුරු ව තිත්වලින් දඇරඹෙන චිත්‍ර ඇදීමේ රටාව මිනිස් මුහුණක් (1-15 වන රූප) සහ මාඵවකු (16-19 වන රූප) සහ දේදුන්නක් (20-23 වන රූප) ඇදීම දක්වා සංවර්ධනය වී ඇති අයුරු බලන්න.  මේ චිත්‍රමාලාව පාදක ව චිත්‍ර ඇදීමට සම්බන්ධ ව හැඩය, වර්ණ ගැන්වීම සහ සංකල්ප සංවර්ධනය වන අයුරු පිළිබද ව ද සිතා බලන්න. මේ කුමන රටක ළමයින් පස් දෙනකුගේ නිර්මාණ ද? ඔබ සිතනු ඇති කැනඩාවේ ළමයින්ගේ නිර්මාණ ලෙස.  නැත. කැනඩාවේ ළමයින් තිදෙනකුගේ මෙන් ම ශ්‍රී ලංකාවේ ළමයින් දෙදෙනකුගේ ද චිත්‍ර මෙහි මිශ්‍රිත ව ඉදිරිපත් කර ඇත. මේ චිත්‍රවලින් මා පෙන්වන්නට යනුයේ ළමයාගේ නිර්මාණාත්මකභාවය සහ එහි සංවර්ධනය සෑම රටකට ම පොදු ලක්ෂණ සහිත බව ය.
2.    මෙහි දී මට මතක් වනුයේ දේශනයක දී ආචාර්ය සුසන්ත ගුණතිලක කී අදහසකි. ශ්‍රි ලංකාවේ මිනිසතු ගසකින් ගෙඩියක් කඩන්නට ගසකට ගලක් ගසන ක්‍රමය, ඇමරිකාවේ මිනිසකු ගසකින් ගෙඩියක් කඩන්නට ගලක් ගසන ක්‍රමයට ම සමාන ය. එහෙත් මේ දෙදෙනා එකිනෙකාගෙන් මේ කාර්යය අනුකරණය කර ඉගෙන ගෙන නැත. මිනිසාට උපතින් උරුම වූ දෙයෙහි ප්‍රතිඵලයක් ලෙස, එකිනෙකා අතින් මේ කාර්යය සිදු වනුයේ ස්වභාවික ව ම ය. තවත් අතකින්, නව නිර්මාණයක්, ලෝකයේ දෙතැනක, නිර්මාණකරුවන් එකිනෙකා කවුරුන් දැයි නො දැන, එකිනෙකාට ස්වායත්ත ව බිහි වන්නට ද පුඵවන. උපුටා දක්වා ඇති ළමයින්ගේ චිත්‍ර නිර්මාණ දෙස ද බැලිය යුත්තේ මේ පදනමිනි.
3.    සැම ළමයාට ම පොදු ව හිමි නිර්මාණාත්මකභාවය, දිගට ම පවත්වා ගෙන යාමටත් සංවර්ධනය කිරීමටත්  උචිත ලෙස පාසල හැඩ ගැසී ඇති ද යනු නම්, ඒ ඒ රට අනුව වෙනස් වන්නට පුඵවන. මෙහි දී මට මතක් වනුයේ, ජාතික අධ්‍යාපන ආයතනයේ පළමු පර්යේෂණ අධ්‍යක්ෂ ලෙස සේවය කළ (1987 සිට) ආචාර්ය ජී බී. ගුණවර්ධන පැවසු අදහසකි.  විදෙස් රටක වියතකුගේ අදහසක් උපුටමින් ඔහු පැවසුවේ මෙසේ ය. " දඩයක්කරුවකුගේ විදුලි පන්දම් එළිය ඇස් දෙකට වැදුණු විට, කැලේ නිදහසේ සිටින මුවෙක් අන්දමන්ද වෙයි. මේ අන්දමන්ද ස්වභාවය පදනම් කර ගෙන,  දඩයක්කරුවා මුවාට ඉලක්කයට වෙඩි තබයි. කුඩා ළමයාට පාසල මුලින් ම පෙනෙනුයේ ද ඇස් නිලංකාර කරවන විදුලි පන්දම් එළියක් සේ ය. අධ්‍යාපනඥයන්ගේ යුතුකම, දඩයක්කරුවන් නො වී ළමා ඇසට ප්‍රිය වූ ආලෝකයක් පාසලින් ලබා දීමට  පියවර ගැනීම ය."  අපි අධ්‍යාපනඥයන් වෙමු ද? දඩයක්කරුවන් වෙමු ද?
4.    ආචාර්ය ජී බී. ගුණවර්ධන ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරද්දී එතුමාගේ සිතිවිල්ලක් අනුව උපත ලැබ,  ඔහුගේ  උපදෙස් පරිදි  ක්‍රියාත්මක කළ,  ශ්‍රී ලාංකික ළමයා අවබෝධ කර ගැනීම පිළිබද අන්වායාම අධ්‍යයනයේ පරමාර්ථය වූයේ, ප්‍රාථමික පාසල් අවධියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංවර්ධන රටා විවිධ පැතිවලින් අධ්‍යයනය කර හදුනා ගැනීමයි (Longitudinal study) (2002-2006). එහි දී  අවධාරණයට ලක් වූ විෂය ක්ෂේත්‍රයක් වූයේ චිත්‍ර කලාවයි. ජාතික අධ්‍යාපන ආයතනයේ www.nie.lk වෙබ් අඩවියෙන් බාගත කර ගත්, ප්‍රාථමික පාසල් ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ චිත්‍ර සංකල්ප සාධන රටා පිළිබද විද්‍යුත් සමර්පකය  (Power point presentation) හදාරන්න (24-34 වන රූප). 1  වන ශ්‍රෙණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා ගමන් කරන විට චිත්‍රවල හැඩය, වර්ණය සහ සංකල්ප 1-2-3 ශ්‍රේණිවල දී ක්‍රමානුකූල ව සංවර්ධනය වුවත්, අනතුරු ව, 4-5 ශ්‍රේණි දෙකේ දී සංවර්ධනය, අඛණ්ඩ නො වන බව ඔබට පැහැදිලි වනු ඇත. මෙයින් පැහැදිලි වනුයේ පාසල ක්‍රමානුකූල ව ශ්‍රී ලංකික ළමයාගේ චිත්‍ර කලාවේ නිපුණතා නගා සිටුවන්නට අසමත් ව ඇති බව ද? එනිසා ටිකින් ටික දඩයක්කාර භූමිකාවට පිවිස ඇති බව ද? 




































No comments:

Post a Comment