Sunday 26 November 2017

කැනඩාවේ අත්දැකීම් (14) ඔබේ ම සැලැස්මක් Own plan - ගෙදර වැඩක් නො වේ


කැනඩාවේ අත්දැකීම්  (14) ඔබේ ම සැලැස්මක්  (Own plan) - ගෙදර වැඩක් නො වේ
1 වන ශ්‍රේණියේ දැරිය, පියා සමග වෙළෙදපොළට ගොස් එන විට ගෙනාවේ කුඩා පොතකි (1 වන රූපය). එසේ පොතක් ගැනීමට හේතුව නො දනිමි. සෙල්ලම් බඩු වෙනුවට එය ගත්තේ මන්දැයි ඇසු විට “නිකන්" කිව්වා ය.
  ටික දිනකට පසු සදුදා දිනක පාසල ඇරී නිවසට ආ පසු, ඒ පොතේ පිට කවරයේ කුඩා කොලයක් අලවා තිබෙනු දුටුවෙමි. එය ඇඳ අලවා තිබුණේ නිවසට ආ පසු ය. එහි විවිධ හැඩවල රූප ද පැන්සලෙන් කුඩාවට ඇඳ තිබුණි. එසේ ඇන්ඳේ ඇයි දැයි ද නො දනිමි.
ටික වෙලාවකට පසු කඩදාසියක් (පේපර් එකක්) ඉල්ලා ගත් ඇය, එය විවිධ හැඩවල කෑලිවලට ඉරමින්  ටේප්වලින් අලවමින් මොනවා ද කරනවා දිටිමි. ඒ අතර ම රූපවාහිනිය ද නරඹමින් සිටිනු දක්නට ලැබුණි. කාලය ගත වෙත් ම දක්නට ලැබුණේ පුටුවක ආකෘතියකි (2-5 වන රූප). ඇය මව ළගට පැමිණ, කනස්සල්ලෙන් මෙන්, පුටුව හිටවන්නට බැරි නිසා, එය සිටවීමට හැකි වන පරිදි සාදා දෙන්නැයි ඉල්ලුවා ය. මේ හදන්නේ කුමක් දැයි මව ඇසූ විට පිළිතුරක් ලැබිණි.  
“මිස් කූෂායි කිව්වා (ඇයගේ පන්තියේ ගුරුවරියකි. මෙහි ගුරුවරුන් අමතන්නේ මිස්ට සුලිමාන්, මිස් ඇන් ආදි ලෙස ය. එහෙත් ශ්‍රී ලංකාවේත් එසේ කළ යුතු යයි නො කියමි) බ්‍රහස්පතින් දා කඩදාසියයි ටේප් එකකුයි විතරයි දෙන්නේ. පුටුවක් හදන්න ඕන. ඒකට Own plan කරන්න කිව්වා. පපි කෙනෙක් උඩ තියන්නත් පුඵවන් වෙයි කිව්වා. මම ට්‍රයි කළා ප්‍රැක්ටිස් කරන්න"
මේ අනුව ගුරුවරයා ළමයින්ට නිවසේ දී හිතන්න අරමුණක් දී තිබේ. ඒ අනුව ස්වාධීන ව කටයුතු කරන්නට හුරුවක් ද ලබා දී තිබේ. ගැටලුවක් ආ විට පමණක් වැඩිහිටියන්ගෙන් උදව් ගැනීමට පුරුද්ද ද ලබා දී තිබේ.
මවගේ උදව් අනුව, ටේප්වලින් පුටු කකුල් සවිමත් කළ යුතු ආකාරය දැන ගත් දැරිවිය, එතෙක් සාදා තිබූ පුටුව ගළවා දමා විසි කර, එක් පසක ටයිප් කර තිබූ, ඉවත ලන කඩදාසියකින් නැවත පුටුවක් හැදුවා ය (6  වන රූපය).
ඉන් පසු ඇයට ආ ගැටලුව වූයේ, පපි කෙනකු ඒ මත තැබිය හැකි ද යන්නයි. මේ ක්‍රියාවලිය දෙස බලා සිටි මා  කිව්වේ "මිස් කූෂායි එසේ කියන්න ඇත්තේ, 'එහෙම හිටවන්න බැරි ය යන අත්දැකීම ලබා දෙන්න  විය හැකි' බව ය. කෙසේ හෝ පපි, හෙමින් සැරේ  පුටුව උඩ තැබූ විට කඩදාසි පුටුව කඩා නො වැටී අපූරුවට තිබුණි.
පපි, කඩදාසියෙන් සැදූ පුටුවෙහි, සමබර ව සිටීමට සම්බන්ධ විද්‍යාත්මක පදනම කුමක් දැයි නො දනිමි. කඩදාසිවලින් සැකසූ සවිමත් නො වන කකුල් හතර සමබර වන සේ, පුටුව උඩ පපි තැබිය හැක්කේ කෙසේ ද? මට ආ මේ ගැටලුව දැරිවියට ආවේ දැයි නො දනිමි. වැඩිහිටියකුට එන ගැටලු කුඩා ළමයකුට පැමිණිය යුතු නැති නිසා ය. ළමයා ළමා වයසට උචිත දේ පමණක් උගෙන අවශ්‍ය විට වැඩිහිටියකු ලෙස ඒවා අනාගතයේ දී උදව්වට ගනු ඇත.
මට මෙහි දී විවිධ සංගීත භාණ්ඩවල නාද එක ම සංගීත භාණ්ඩයකින් ලබා දෙන පරිදි සූර්තාර් හෙවත් ශ්‍රී වීණා යන සංගීත භාණ්ඩය නිපැයූ, ලයනල් අල්ගම සංගීතවේදියා කියූ අදහසක් සිහියට නැගේ. මේ සංගීත භාණ්ඩය නිර්මාණය වූ අයුරු පිළිබද ව අදහස් දක්වමින් හෙතෙම වරෙක පැවසුවේ මෙවන් අදහසකි.  "මා වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු ව වඩුවැඩත් ඉගෙන ගත්තා. වඩුවැඩ ඉගෙන ගනිද්දි මා ලද හුරුව මේ සංගීත භාණ්ඩය නිර්මාණය කිරීමේ දී මට උපකාර වුණා."
මේ ප්‍රකාශය පාසල් අධ්‍යාපනයේ පරමාර්ථය ද මැනවින් නිරූපණය කරයි. පාසලේ පරමාර්ථය සිසුන් වෘත්තීන්ට හුරු කිරීම නො වේ. අනාගත පුරවැසියකු ලෙස නිරත විය හැකි ඕනෑම වෘත්තියකට අවශ්‍ය පොදු නිපුණතා ලබා දීම ය. ලයනල් අල්ගමයන්ට පාසලේ දී වඩු වැඩ ඉගැන්වූයේ  'වඩු බාස් කෙනකු වීම' යන වෘත්තියට පුහුණු කිරීමේ චේතනාවෙන් නො වේ (ඔහුගේ අවශ්‍යතාව ඒ වී නම් වඩු බාස් කෙනකු වැනි වටිනා වෘත්තියකට පිවිසුණාට ද වැරුද්දක් නැත). ශාස්ත්‍රීය නිපුණතා මෙන් ම වෘත්තීය නිපුණතා ද ලබා දීම  පාසලේ දී කළ යුතු වූ කාර්යයක් නිසා ය.  මිස් කුෂායි ගේ own plan උපදෙසේ අරමුණ ද, මේ 1 වන ශ්‍රේණියේ ළමයින් අනාගතයේ පුටු සාදන වඩු බාස් ලා කිරීම නො වේ.
මිස් කුෂායි ගේ own plan උපදෙස පෙන්වන්නේ, ශිෂ්‍ය නිපුණතා විවිධ පාර්ශ්වවලින්  නැංවීමට, ඒ ක්‍රියාකාරකම  උදව් වන ආකාරයයි.  දැරිවියගේ ක්‍රියාකාරකම පිළිබද මගේ නිරීක්ෂණ අනුව, මා දුටු සංවර්ධනය වන ශිෂ්‍ය නිපුණතා පහත සදහන් තේමාවලට අදාළ ය. 
·      අනාගත සැලැස්මක් ගැන සිතිවිල්ල යොමු කිරීම
·      සැලැස්මට අදාළ පෙර සැලසුම් අත්හදා බැලීම
·      සැලැස්මක් වැරදෙන්නට හැකි බව දැන ගැනීම
·      වැරදීමෙන් පාඩම් උගෙන ඊළග පියවරට යා යුතු බව දැන ගැනීම
·      විවිධ හැඩ අතින්-ඇගිලිවලින් ඉරා වෙන් කර ගැනිමේ නිපුණතා ලැබීම-එමගින් ඇගිලි සුඛනම්‍ය වීම
·      ටේප් පටිය භාවිතය සහ එයින් පටි කපා, විවිධ කොටස් විවිධාකාරයෙන් ඇලවීමේ නිපුණතාව
·      අවධාන නිපුණතා
·      පුටුවේ සුවිශේෂී කොටස් මෙන් ම සමස්තය දැකීමේ නිපුණතා
·      පුටුවේ සුවිශේෂී කොටස් මෙන් ම සමස්තයේ ක්‍රියාකාරිත්වය දැකීමේ නිපුණතා
·      ස්වාධීන ව කාර්යයක නිරත වීමේ නිපුණතා
·      ගැටලුවල දී අන් අයගේ උදව් ඉල්ලීමේ නිපුණතා
·      දෙඅත්-දෙඇස් සමායෝජන කුසලතා
දැන් මවගේ භූමිකාව ගැන සිතමු. ඇය ළමයා නිවසට පැමිණි පසු කළේ ළමයාගේ බෑගයේ ඇති, පාසල සහ නිවස ලිපි හුවමාරු කරන කඵ ලියවිලි ගොනුව ඇර බලා එහි ලිපි තිබේ දැයි පිරික්සීම පමණී. දුන් ගෙදර වැඩ මොනවා දැයි නො ඇසුවා ය. දැරිවිය ද මෙහෙම වැඩක් කරන්න තිබේ යයි නොපැවසුවා ය. "උගැන්වීම අයත් පාසලට ය. ගෙදරට නො වේ ය" යන සරල වුණත් සංකීර්ණ පණිවිඩය නො වේ ද මෙමගින් පැවසෙන්නේ? 








No comments:

Post a Comment