Sunday 12 November 2017

කැනඩාවේ අත්දැකීම් (12) පාසලින් ප්‍රජාවට පණිවිඩ මුසු අදහස්


කැනඩාවේ අත්දැකීම් (12) පාසලින් ප්‍රජාවට පණිවිඩ මුසු අදහස්
     1.       සැප්තැම්බර් මස ඇරඹෙන පාසල් නව වසරේ දී,  අවුරුදු 3 මාස 6 පමණ වයසේ සිට ළමයි පාසල් යති. පාසලේ ම ඇති ජූනියර් කින්ඩර්ගාර්ටන් සහ සීනියර් කින්ඩර්ගාර්ටන් පන්තිවල ගත කරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අනතුරු ව 1 වන ශ්‍රේණියට පිවිසෙති. ළමයින්ගේ බෑග්වල කිසිදු පොතක් පතක් පැන්සලක් පෑනක්  නැත. ඒවා තිබෙනුයේ පාසලේ ය. ලැබෙනුයේ නොමිලයේ ය. බෑගවල ඇත්තේ ගෙදරින් යවන කෑම පෙට්ටිය -වතුර බෝතලය පමණී. සමහර විට පුස්තකාලයෙන් ගත් පොතක් බෑගයේ වේ. විශේෂ ලක්ෂණයක් වනුයේ පාසලින් නිවසට පණිවිඩ එවන්නට සහ එම පණිවිඩවලට (දෙමාපියන්ට) පිළිතුරු යවන්නට ඉටි කවරයක් වැනි බෑගයක් ළමයින්ගේ බෑග්වලට පාසලින් ම සපයා  තිබීම ය (1-2 වන රූප).

      2.       අද මේ කවරයේ තිබූ විදුහල්පති අත්සනින් එවූ ලිපියේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.
2017. නොවැම්බර් 7
හිතවත් ............රජයේ  පාසලේ පවුල් වෙත
අද අපේ පාසලට බලපෑම් කළ කරුණක් ගැන ඔබ ව දැනුම්වත් කිරීමට මෙසේ ලියමි. අද  පෙ.ව.  9.45ට පමණ ප්‍රජා සාමාජිකයකු මෙන් ම පාසලේ ද ගුරුවරයකු, පාසල් භූමියේ වෘකයකු (Coyote) දුටුවේ යයි වාර්තා කළේ ය. වෘකයා දකින අවස්ථාවේ සියලු පාසල් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය ද සිසුන් ද සිටියේ පාසල් ගොඩනැගිල්ල ඇතුළත ය.
සියලු කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් ආරක්ෂා සහිත ය.   ශිෂ්‍යයන් තමන්ගේ පළමු පෝෂණ විවේකයට යන්නට පෙර, අප පාසල් භූමිය ආරක්ෂිත බවත් උවදුරුවලින් තොර බවත් තහවුරු කළෙමු.  අපි අපේ පාසල් පරිසරය අඛණ්ඩ ව අභිමන්ත්‍රණය (Monitor) කරමු. නිවැසියන්ට අප නැවතත් මතක් කරනුයේ වෘකයන් නිතර ම නාගරික ප්‍රදේශවල දකින්නට ලැබෙන බවත්  උන්ට විවිධ පරිසර තත්ත්වවලට හුරු වන්නට ඉහළ කුසලතා ඇති බවත් ය. වර්ෂයේ මේ කාලයේ වෘකයෝ ආහාර සොයා යති.
·         වෘකයන්ට හිතාමතා ආහාර නො දෙන්න. හෝ සුරතල් සතුන්ට දීම සදහා හෝ ආහාර එළිමහනට නොදමන්න
·         වෘකයන්ට ළං වන්නට හෝ උන් අල්ලන්නට හෝ තැත් නො කරන්න
·         සුරතල් සතුන් සම්බන්ධයෙන් පූර්ව ආරක්ෂිත වැඩපිළිවෙළක් යොදන්න. පූසන් ගෙවල් ඇතුළත තබා ගන්න. බල්ලන් සමග ඇවිදින විට, කෙටි රැහැන් භාවිත කර  ඔබට ළං ව තබා ගන්න
·         වෘකයන් ගැවසෙන්නට ඉඩ ඇති නිසා කඵවර වන විට සහ උදේ පාන්දර උයන්වල නො ගැවසෙන්න
·         වෘකයන් මිනිසුන්ට පහර දීම ඉතා ම දුර්ලභ බව ද කාරුණික ව සලකන්න
වෘකයන්ගේ සාමාන්‍ය හැසිරීම සහ පූර්වාරක්ෂාව ගැන තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය. www.mississauga.ca/potal/residents/animalservices
මේ සිද්ධිය ගැන ප්‍රශ්න (questions) හෝ සැලකිල්ල යොමු කළ යුතු කරුණු ‍(concern) වේ නම්, සැම විට ඔබට කළ හැකි පරිදි,  මට පාසලේ දුරකථනයෙන් (905--------------------) කතා කරන්න.

අවංක ව
.............................
විදුහල්පති

       3.        ලිපියෙන් හදුනා ගත් මිසිසාගා පාසල් ක්‍රමයට අදාළ ලක්ෂණ මෙසේ ය.
-       පාසලේ සිදු වන සුඵ සිදුවීමක් ගැනත් දෙමාපියන් දැනුම්වත් කිරීමේ ලක්ෂණය
-       සිදුවීම ළමයින්ගේ ආරක්ෂාවට බලපා ඇති ආකාරය ගැන කරුණු පැවසීම
-       සිදුවීම සම්බන්ධයෙන් පාසල ගත් කළමනාකරණ පියවර පැහැදිලි කිරීම
-       සිදුවීම සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව කටයුතු කළ යුතු-කළ හැකි ආකාර ගැන දැනුම ලබා දීම
-       වැඩිදුර කරුණු දැන ගැනීමට අදාළ මූලාශ්‍රය සැපයීම
-       මේ කරුණ ගැන වැඩිදුරටත් කරුණු සැපයීමට විදුහල්පති සැදී පැහැදී සිටිම
පාසල දෙමාපියන්ගෙන් සම්පත් ලබා ගන්නා ආයතනයක් පමණක් නො වන බවත් පාසල දෙමාපිය ශක්‍යතා සංවර්ධනයට කැප ව ඇති බවත් මේ කරුණු අනුව පැහැදිලි ය.
      4.       www.mississauga.ca/potal/residents/animalservices වෙබ් අඩවිය ද අපූරු ය. එහි වෘකයන් (3-4 වන රූප) සහ අනෙකුත් සතුන් ගැන නීතිමය සහ අනෙක් සම්බන්ධිත කරුණු සරල ව දක්වා ඇත.  එහි ඇතුළත් මේ කරුණ දෙස බලන්න.  Coyotes යනු අප පරිසර පද්ධතියේ වැදගත් අංශයකි. මීයන් සහ කන්නකයන් (Rodent - මී විශේෂයකි) සංගහනය පාලනය කරන නිසා ය. වෘකයෝ මිනිසුන් කෙරෙහි කුලෑටි ගතියක් දක්වති. එහෙත් ස්වභාවික කුතුහලය නිසා මිනිසුන් දෙස බලති.  මිනිසුන් පසුපස එති." 
    5.       http://www.peelschools.org/parents/kindergarten/Pages/default.aspx යන වෙබ් පිටුවේ පාසල් ක්‍රමයත් අධ්‍යාපනයත් ගැන කරුණු ඇත.





No comments:

Post a Comment