Sunday 5 November 2017

කැනඩාවේ අත්දැකීම් (11) කකුල් තුනේ මිනිසුන් නො දකිමි




කැනඩාවේ අත්දැකීම් (11) කකුල් තුනේ මිනිසුන් නො දකිමි

      1.    එඩ්වින් ආරියදාස මහතා කලකට ඉහත පැවැත්වූ දේශනයක දී අසන්නට ලැබුණු තවත් කතාවක් මෙසේ ය. පෙරදිගට එන්නට පෙර යුරෝපීයයන් සිතා සිටියේ ආසියාවේ සිටිනුයේ  කකුල් තුනක මිනිසුන් බව ය. ඒ අනුව 'රවුමට කැරකි කැරකි ආසියානුවන් ගමන් කරති' යි යුරෝපීයයෝ සිතූහ (කරකැවෙමින් ගමන් කළ අයුරු, දකුණත පහළට හෙළා, අතේ ඇගිලිවලින් පෙන්වූ අයුරු තවමත් මා මතකයේ පවති). මේ අදහස වැරදි බවත් ආසියාවේ සිටිනුයේ ද සමාන මිනිස් කොට්ඨාසයක් බවත් යුරෝපීයයෝ මෙහි පැමිණි පසු තේරුම් ගත්හ.
     2.      මේ අත්දැකීම අනුව, මගේ පර්යේෂණ දේශනවල දී මා අවධාරණය කරන කරුණක් ද ලියමි.  පිටසක්වල සිටින ජීවින් ගැන නිපැයුණු චිත්‍රපටවල හා කතාන්තරවල විවිධ විකාරරූපි සතුන් නිරූපණය වනු දක්නට ලැබේ.  එඩ්වින් ආරියදාසගේ අදහස අර්ථනිරූපණයෙන්  මා කියන්නේ අනාගතයේ අපට පිටසක්වලිනුත් හමු වෙනුයේ අපට සමාන ම මිනිස් කොට්ඨාසයක් බවයි. ඊට හේතුව මෙසේ ය.  අපේ ළමා කාලයේ දී අපේ නෑදැයන් සිටියේ ලංකාවේ විවිධ ගම්වල ය. එහෙත් අද හමු වන කාගෙන් හෝ අසන විට කියවෙන්නේ  "දුව ඉන්නේ චීනයේ", "පුතා ඔස්ට්‍රෙලියාවේ නැත්නම් බංග්ලාදේශයේ වෛද්‍ය උපාධියට ඉගෙන ගන්නවා"  "නෝනා, පුතාලගේ ළමයි බලල එන්න එංගලන්තයට ගියා." "දුවට ඇමරිකාවේ පදිංචි වෙන්න ග්‍රීන්කාඩ් ලැබිලා" වගේ ප්‍රකාශ ය. මෙ අනුව තව අවුරුදු පන්සීයකින් පමණ පෘථිවිවාසින් පවසනු ඇත්තේ  "මගේ දුව, අගහරු ලොකේ අභ්‍යවකාශගාමියෙක් බැන්දා." "පුතා ජොබ් එකකට ජුපිටර් ගේ තුන් වන හදට ගිය වෙලාවේ ජුපිටර් වංශයේ කෙල්ලෙක් සෙට් කර ගෙන" "අපේ පුතාට අහවල් සූර්ය ග්‍රහ මණ්ඩලයේ අහවල් ග්‍රහ ලෝකයෙන් proposal එකක් ඇවිත්" වැනි කතා විය හැකි ය.
      3.      කැනඩාවට තාවකාලික ව පැමිණි මට, මේ කරුණු මතක් වූයේ, අන්තර්ජාලයේ සැරිසරන විට හමු වූ විවිධ රටවල සුපර් ස්ටාර් තරග නරඹන විට ය. ශ්‍රී ලංකාවේ සුපර් ස්ටාර් තරග, මුල්කාලීන ව ඒවාට තිබූ ආකර්ෂණය කරණ කොට ගෙන පූර්ණකාලීන ව නරඹද්දී සහ පසු වන විට පෙනෙන්නට පටන් ගත් විකාරරූපි ලක්ෂණ නිසා එහෙන් මෙ‍හෙන් නරඹද්දී  මා දැක තිබූ ලක්ෂණ (අවලස්සන ද වන්නට පුඵවන) මෙසේ අනුමාතෘකාවලට සාරාංශගත කරන්නට පුඵවන.
(අ) ගයන-රගන අයගේ විලාසිතා-හැසිරිම් රටා (මෙහි දී මට මතක් වනුයේ ලෝ ප්‍රකට සිතාර් වාදක රවි ශංකර් පිළිබද ව වූ විවේචනයකි.  රවි  ශංකර් සිතාරය වයන විට, භාවිත කළ විවිධ බාහිර ඉරියව් මේ විවේචනයට මූලික විය. 'ප්‍රේක්ෂකයන් ශාස්ත්‍රීය සංගීතය රස විදිය යුත්තේ මුඛ-මුහුණු-හස්ත-ශාරිරික වූ විප්‍රකාර ඉරියව් දැකීමෙන් නො වේ. සංගීතයේ භාවය ම විද ගනිමින් හදවතිනි.' ). 
(ආ) විනිශ්චය මණ්ඩලයට කියන්නට අදහස් නැති නිසා හෝ තියෙන අදහස් නිවැරදි ව කියා ගන්නට බැරි නිසා හෝ  වෙළෙද ප්‍රචාරයට යොමු  වූ මාධ්‍ය ආයතනයේ ඉල්ලීමට අනුගත විය යුතු නිසා හෝ ආරූඪ කර ගත් වෙස් වලා ගැනීම්- කෘත්‍රීම රගපෑම් සහිත හැසිරීම් රටා-කතා ශෛලි
(ඇ)  අම්මලා තාත්තලාගේ සතුට, දුක හා කදුඵ මුසු වූ නිරූපණ (මේ දුක සතුට නම් අව්‍යාජ විය හැකි ය). මෙහි දී මට මුහුණු පොතේ ගිය උපුටනයක් ද මෙහි දී මතක් වේ. පහත පරිදි ය.
Ann De Alwis was feeling disgusted.
රියලිටි මෙගා තරු කෙරුවාව සමඟ වැනසෙන වන පාසල් සිසුන්ගේ විලිබිය
තම දරුවා බිලිදී අත්පුඩි තලන අයුරු දෙමාපියන්...

(ඈ) සහභාගිවන්නන්ගේ විවිධ හැසිරීම්
(ඉ) නිවේදකයන්ගේ අවශ්‍ය සහ අනවශ්‍ය චර්යා රටා-කතා-යාන් හෑලි
(ඊ) ගයන-රගන අයගේ නිවෙස් සහ පසුබිම් විස්තර
මේ ලක්ෂණ අපට ආවේණික යයි සිතුවත්, දැන් බැලින් නම් මේ ලක්ෂණ අඩු වැඩි ඇති ව සියලු රටවල පවතියි. එසේ පවතිනුයේ ද සුපර්ස්ටාර් තරගවල ය. ඒ ඒ රටවල සුපර් ස්ටාර් තරගවල වෙනස් ව දක්නට ලැබෙනුයේ භාෂාව, සිටින අයගේ හමේ වර්ණය, සංගීත රටා පමණි.
     4.      දැන් අපි පළමු ව ඉන්දියාවේ ගීයක්, දෙවනුව යුක්රේනයේ දි රැගුණු 'කතක්' රංගනයක්, තෙවනු ව යුක්රේනයේ ම ගැහැනු ළමයකුගේ නැටුමක් නරඹමු-අසමු-රස විදිමු (රස විදිය හැකි නම්). අනතුරු ව පිළිවෙළින් චීන, අරාබි, දකුණු අප්‍රිකානු, ඔස්ට්‍රෙලියා නිරූපණ සමූහයක් නරඹමු-අසමු-රස විදිමු (රස විදිය හැකි නම්). මේ සියල්ලේ තිබෙන සමානකම් ඉහත සදහන් කළ මාතෘකා ඔස්සේ අධ්‍යයනය කරමු. වෙසෙසින් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයේ ලක්ෂණ සහ ප්‍රවීණ විනිශ්චය මණ්ඩල සාමාජිකයන් 'නවක ගායකයන් සතු නමුත් තමන් සතු නො වන ලක්ෂණ නිසා දෝ පුදුම වෙන අයුරුත්- අසුනින් පවා නැගිට නවකයනට ආචාර කරන අයුරුත්' නිරීක්ෂණය කරමු.
      5.      ශ්‍රී ලාංකික අප, අපේ අනන්‍යතාව ගැන කතා කළත්, ගති පැවතුම්වලින් නොදැනි ම ලෝක පුරවැසියෝ  වී සිටිත් ද?  නැත හොත් ලෝකයට ගැති වී සිටිත් ද?
      https://www.youtube.com/watch?v=oJcN_bo49UM යන වෙබ් පිටුවේ ඇති Little Champ ANAMIKA CHOUDHARY  ගීතය පළමු ව නරඹන්න

5

















No comments:

Post a Comment