Sunday 26 November 2017

කැනඩාවේ අත්දැකීම් (15) පවුලේ ස්ටීම් අභියෝගය (Family STEAM Challenge), සමාජයේ ජීවත් වීමේ අභියෝගයට ද මග කියා දෙ


කැනඩාවේ අත්දැකීම් (15) පවුලේ ස්ටීම් අභියෝගය (Family STEAM Challenge), සමාජයේ ජීවත් වීමේ අභියෝගයට ද මග කියා දෙයි
පළමු වන ශ්‍රේණියේ සිසුසිසුවියනටත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටත් මාසික ව (සමහර විට මාස දෙකකට වරක්), පන්ති භාර ගුරුතුමා විසින් අභියෝගයක් එවනු ලැබේ. අභියෝගයේ නම STEAM ය. STEAM යන පදයේ එක් එක් අකුරින් ඇගවෙනුයේ Science විද්‍යාව, Technology තාක්ෂණය, Engineering ඉංජිනේරු විද්‍යාව, Art කලාව සහ Math ගණිතයයි.  නොවැම්බර්-දෙසැම්බර් මාසවල අභියෝගයට අදාළ පත්‍රිකාවෙහි මුල් පිට සහ පසු පිට 1-2 වන රූපවල වේ. එයට මවිසින් කළ දළ සිංහල පරිවර්තනය කියවමු.  පරිවර්තනයේ තැන් තැන්වලට මවිසින් අංක යොදනු ලැබුවේ, මවිසින් පසු ව කියනු ලබන අදහස්වලට උදව්වක් වසයෙනි. 
--------------------------------------------------------------------------------------------------------------------------
පවුලේ ස්ටීම් අභියෝගය (Family  STEAM Challenge) යනු (1) පවුලේ සැමට සම්බන්ධ විය හැකි ඉගෙනුම් අවස්ථාවකි.  (2-3) පවුලේ සියලු දෙන එක් ව මේ කාර්යය කිරීමෙන් ඔබේ දරුවාගේ වාග්මාලාව (Vocabulary) ගොඩ නගා ගැනීමට ද (4) සහයෝගි කුසලතා (Co-operative skills)  සංවර්ධනය කර ගැනීමට ද හැකි වේ.

(5) ඔබේ ළමයාට ඔහුගේ ඉගෙනුම් ක්‍රියාවලිය දිගට ම, කටු සටහන්වලින්, චිත්‍රවලින්,  වීඩියෝවලින් සහ/හෝ  වෙනත් නිර්මාණාත්මක මාදිලිවලින් ලේඛනගත කිරීමට ධෛර්යමත් කරන්න. (6) එසේ ගන්නා වීඩියො සහ ඡායාරූප, යූඑස්බී (USB) එකකින් එවු විට පන්තිය සමග හුවමාරු කර ගත හැකි ය. එසේ එවන යුඑස්බී එකේ කරුණාකර දරුවාගේ නම සදහන් ලේබලයක් අලවන්න.

ස්ටීම් ඉගෙනුම් පරමාර්ථය: අප ඉංජිනේරු ක්‍රියාවලිය ගැන අවබෝධයක් උත්පාදනය කිරීමට ආරම්භ කරනු ලැබේ. (7) ඒ අනුව - ශිෂ්‍යයන් ගැටලුවක් අවබෝධ කර ගනිති. - නැත හොත් සැලසුමට ඇති අභියෝගයක් හදුනා ගනී-විසදුමක් සංවර්ධනය කරයි.

ගණිතය ඉගෙනුම් පරමාර්ථය:  (8) අසම්මත ඒකකවල දිග මැනීමට අපි ඉගෙන ගනිමු.

නොවැම්බර්/දෙසැම්බර් අභියෝගය:
(9) ඔබේ නිවස හෝ ගරාජය අවටින් සොයා ගත හැකි ප්‍රතිචක්‍රියකරණ ද්‍රව්‍යවලින් කුඩා රොබෝවක් නිර්මාණය කරන්න

නිර්මාණයේ සාර්ථක බවට නිර්ණායක:  ප්‍රතිචක්‍රියකරණ ද්‍රව්‍ය අවම ලෙස 50%ක් විය යුතු ය.
-කුඩා වූ සීනිබෝල-ටොපී වැනි පෙට්ටිවලින් කරන නිර්මාණ ඉතා හොදයි
දම්වැල් පුරුක් 10කට වැඩි නොවිය යුතු ය (30 cm පමණ)
අත්වල එකතුවේ දිග ද දම්වැල් පුරුක් 10කි.
එක බැටරියකින් ක්‍රියාත්මක වන අංගයක් ද ඇතුළත් කරන්න.
-උදා- ලේෂර් ඇස්, දැල්වෙන සිරස්පටියක්, හඩ පෙට්ටියක්

මේ කොලයේ පසුපස, සැලැස්මක් සැදීමට භාවිත කරන්න
රොබෝ ගේ නම
භාවිත කළ ද්‍රව්‍ය
දළ සැලැස්ම
රොබොවේ නිර්මාණාත්මක ගුණාංග ගැන ශිෂ්‍යයා ලියු  වාක්‍ය 2-4ක්

පවුලේ ස්ටීම් අභියෝග මසක් දික් වූ පැවරුම් ය. මේ අයුරින් දිගු කලක් දෙනුයේ පවුලකට සැලැස්මක දළ පිටපත සැදීමට, ද්‍රව්‍ය එකතු කිරීමට, සහ නිර්මාණය කිරීමට ය. (10) ඔබට කිසියම් ම හෝ ද්‍රව්‍යයක් අවශ්‍ය නම් ගුරුවරයා ඇමතිමට පසුබට නොවන්න.
*කරුණාකර රොබෝව සමග චේන් ලින්ක් එක නැවත එවන්න
---------------------------------------------------------------------------------------------------------
පාසලින් එවූ පත්‍රිකාවේ තිබූ විස්තරය කියවන විට, පහත සදහන් අංක යටතේ වූ අදහස් ඔබට මතු වූයේ දැයි බලන්න. සිංහල පරිවර්තනයේ මා යොදා ඇති අංක හා සබැදි කරුණු අනුව, මට ඇති වූ අදහස් මෙසේ ඒ අංක අනුව ම පෙළ ගස්වා ඇත.
      1.       දරුවාගේ ඉගෙනුමට පවුලේ සාමාජිකයන් ධනාත්මක ව සම්බන්ධ කිරීමට ක්‍රියාකාරකමක් පාදක ව ගත් උත්සාහයකි
      2.       පවුල් සාමාජිකයන් අතර අදහස් හුවමාරුවටත් කතා බහටත් මග පෙන්වන වෑයමකි.
      3.       දරුවාගේ වචන කෝෂය පවුලේ කතාබහින් වැඩි කිරීමේ ලා වන මැදිහත් වීමකි.
      4.       සමාජයේ ජීවත් වීමට අවශ්‍ය සහයෝගය හුරු පුරුදු කරන්නට, පවුල් සාමාජිකයන් ද ඈදා ගෙන ගත් වෑයමකි
      5.       කරන දේ ලේඛනගත කිරීමට සහ වාර්තා කිරීමට ළමයාට හුරු කරවන ප්‍රයත්නයකි.
      6.       ශිෂ්‍යයකුගේ නිමැවුමක් අන් ශිෂ්‍යයන්ට ද හුවමාරු කර ගන්නට ඉඩ දී, එමගින් සැමට ඉගෙනුම් අවස්ථා බෙදා හදා ගන්නට ඉඩ දෙන ක්‍රියාකාරකමකි.  බෙදාහදා ගැනීම පුරුදු කරන ක්‍රියාකාරකමකි.
      7.       ගැටලු තේරුම් ගැනීම, ගැටලුවෙන් මතු වන අභියෝගය විසදීමට සැලසුම් කිරීම, සැලැස්ම විසදීමට ක්‍රියා කිරීම, මේ සියලු පියවර සදහා සහයෝගයෙන් කටයුතු කිරීම.  මේ පියවර තුනෙහි නිරත වීමේ දී පවතින සීමා ඔස්සේ කටයුතු කළ යුතු යයි ද තේරුම් ගැනීම
      8.       දිග සංකල්පය නව මානයකින් ගැඹුරින් තහවුරු කිරීමට ගත් ප්‍රයත්නයකි.
      9.       අපද්‍රව්‍ය විද්‍යාත්මක ව භාවිත කිරීමට කුඩා කල සිට ම හුරු කරවන වයායාමයකි.   
     10.   මෙය පවුලේ සාමාජිකයන් තනි ව ම කළ යුතු කාර්යයක් ම නො වනු ඇත. අවශ්‍ය නම් ගුරු  සහාය පැතිය හැකි ය.

අප මෙතෙක් කතා කළේ ඉදිරියට කළ යුතු ව ඇති ක්‍රියාකාරකමක් ගැන තතු ය. දැන් ඔක්තෝබර් මස දී තිබූ ක්‍රියාකාරකම දෙස බලමු (3 වන රූපය). එහි ඇත්තේ ද සමාන උපදෙස්  ය. එහෙත් ක්‍රියාකාරකම වෙනස් ය. ක්‍රියාකාරකම වනුයේ ජිල් බෝල යැවිය හැකි වංකගිරියක් හෝ පැටලිලි සහිත මාර්ගයක් (Marble maze) නිමැවුම  යි. උදාහරණ තුනකුත් පාසලින් එවු උපදෙස් පතෙහි දී ඇත. උදාහරණ තුනේ විවිධත්වය බලන්න. ඒ අනුව විවිධ නිර්මාණ (සරල බවේ සිට සංකීර්ණ වූ) අපේක්ෂා කරන බව පැහැදිලි ය.
            උපදෙස අනුව ඒ ඒ ළමයා සහ පවුල් සාමාජිකයන් නිමවා ඇත්තේ එක් එක් ආකාරයේ නිර්මාණ ය (4-5 වන රූප දෙක සහ 6-9 වන රූප බලන්න) ඒවායේ කුඩා බෝලයක් දැමිය හැකි තැනක් ද එය ගමන් කරන මාර්ගය ද පිට වන ස්ථානය ද විවිධ ලෙස සාදා ඇති අයුරු බලන්න.  ශිෂ්‍යයා සහ ගෙදර පරිසරය අනුව නිර්මාණය විවිධ වීම සදහා ඉඩ සලසා තිබේ. නිර්මාණය අනුව ළමයින් එකිනෙකා සමග සැසදීමට හෝ  එමගින් ළමා මනසට අපහාස වන සේ කතා කිරීමට උත්සාහ නො ගැනේ.  නිර්මාණයට "මේ මොන කෙහෙල්මලක් ද?" (ශ්‍රී ලංකාවේ නො ව, කෙසෙල් වැවෙන වෙන රටවල සමහර ගුරුවරුන්ගේ කියමනකි)  කියා විසි කරන ලක්ෂණයක් ද නැත. එක් එක් ශිෂ්‍යයාගේ නිර්මාණය රස විදිමින් උගෙනුමට, අන් සිසුනට අවස්ථාව ඇත. අන් නිර්මාණ ඇගයුමට ද අවස්ථාව ඇත.
            ඔක්තෝබර් පත්‍රිකාවේ ස්ටීම් සැලසුම් ක්‍රියාවලිය (S.T.E.A.M. Design Process) ගැන ඇති අපූරු රූපය ද එහි සදහන් පියවර ද සුවිශේෂ ව බලන්න (10 වන රූපය). රූපයේ චක්‍රීය ක්‍රියාවලියෙහි ඒ ඒ පියවරින් නිර්මාණය කරන්න (Create) - වැඩි දියුණු කරන්න (Improve) - බෙදා හදා ගන්න (Share)- අසන්න හෝ විමසන්න (Ask) -පරිකල්පනය කරන්න (Imagine) - සැලසුම් කරන්න (Plan) යන පියවරවලට ශිෂ්‍යයා ද පවුලේ සාමාජිකයන් ද යොමු කර ඇත. මේ ක්‍රියාවලියේ නිරත වීමෙන් විෂය ක්ෂේත්‍ර පහක අත්දැකීම් ළමයාට වක්‍ර ව ද නො දැනීම ද ලැබේ. ඉංජිනේරු විද්‍යාව. ගණිතය, විද්‍යාව, තාක්ෂණය, කලා (සංගීතය චිත්‍ර ඇතුළත්) වසයෙනි. 
"පාසලේ ප්‍රාථමික වයසේ ළමයින්ට ලබා දිය යුත්තේ විෂයය නො ව, සංකල්පයි. ඒ සදහා තිබිය යුතුතේ තේමා පාදක විෂයමාලාවකුයි" යන අදහස නිරූපණය කරන ක්‍රියාකාරකමක් සේ ස්ටීම් අභියෝගය සැලකිය හැකි ය. 

පරිකල්පනයට ලබා දී ඇති ස්ථානය ද මෙහි දී වැදගත් ය.  20 වන ශතවර්ෂයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ලෙස නම් කෙරුණු ඇල්බර්ට් අයින්ස්ටයින් වරෙක පැවසුවේ දැනුමට වඩා පරිකල්පනය වැදගත් බව ය. දැනුම දැන් දන්නා දේටත් තේරෙන දේටත් පමණක් සීමා වී ඇත. එහෙත් පරිකල්පනය, මුඵ ලෝකයත් එහි තවදුරටත් දැන ගන්නට ඇති දේත් වැළද ගනියි. “Imagination is more important than knowledge. For knowledge is limited to all we now know and understand, while imagination embraces the entire world, and all there ever will be to know and understand.” ඒ අදහස ඔස්සේ ගිය ක්‍රියාකාරකමක් සේ ද මෙය සැලකිය හැකි ය.

මීට ඉහත ලිපියේ දී අප කතා කළ  My own plan යන ක්‍රියාකාරකමේ දී ද ශිෂ්‍යයාට හිතන්නට පරිකල්පනය කරන්නට දී ඇති අවකාශය ගැන අවධානය යොමු කරන්න 

 











.

No comments:

Post a Comment