Monday 2 July 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (57) මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් - 2 වන ලිපිය


  1. මිශ්‍ර පර්යේෂණ වන්නේ හෝ නො වන්නේ මොනවා ද?
පර්යේෂණ ක්‍රමවිද්‍යාව අනුව, පර්යේෂණ ගැටලුවක් විසදිම සදහා සාක්ෂ්‍ය සපයනුයේ දත්තයි. දත්ත පර්යේෂණයක 'හදවත' යයි සලකනු ලබනුයේ මෙනිසා ය. මා 1995 දී පළ කළ 'ඉන්දියාවේ අධ්‍යාපන චාරිකාවක් හා සබැදි ක්ෂේත්‍ර සඟරාව' යන කෘතියේ සඳහන් කළ අයුරු, "දත්ත පර්යේෂණයක 'හදවත'" යන අදහස අපට ලබා දුන්නේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර NCERT ආයතනයේ දී, එහි සැලසුම් කටයුතු භාර ව සිටි මහාචාර්ය කුල්දීප් කුමාර් ය.
දත්ත, කතාන්තර ශෛලිය සහිත ගුණාත්මක දත්ත හෝ සංඛ්‍යාත්මක වූ ප්‍රමාණාත්මක ලෙස වර්ග වන බව අපි දනිමු. 'ගැටලුවක් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට, එක් දත්ත වර්ගයක භාවිතයට වඩා, මේ දෙවර්ගයේ ම දත්ත භාවිතයෙන් හැකි වන්නේ ය' යනු මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම්වල මූලික කර්කයයි. එහෙත් හුදෙක් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත එකතු කර ඉදිරිපත් කිරීමක් පමණක් මිශ්‍ර පර්යේෂණයක් නො වන්නේ ය.
මෙහි දී, ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැනියන් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ https://cirt.gcu.edu/research/developmentresources/research_ready/mixed_methods/ choosing_design යන වෙබ් පිටුවේ, ජෝන් ඩබ්ලිව් ක්‍රෙස්වෙල් (John W. Creswell) පෙන්වා දෙන, මිශ්‍ර පර්යේෂණවල මූලික ලක්ෂණ 4 සහ මිශ්‍ර පර්යේෂණ නො වන කරුණු 4 හඳුනා ගැනීම වැදගත් වේ. 

I.         මිශ්‍ර ක්‍රම පර්යේෂණවල මූලික ලක්ෂණ (4 key features)
  • පර්යේෂණ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දෙවර්ගයේ ම දත්ත එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීම.
  • දැඩි ව පරීක්ෂා කර (rigorous) සකස් කර ගත් ක්‍රම/ප්‍රවේශ භාවිත කිරීමෙන් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීම
  • සුවිශේෂී වූ මිශ්‍ර ක්‍රම පිරිසැලසුමක් භාවිතයෙන් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත  සංයෝගය (combine) සහ සමෝධානය (integration).
  • මිශ්‍ර ක්‍රම පිරිසැලසුම, පළල් වූ 'පර්යේෂණ ක්‍රමයක්  හෝ න්‍යායයක් හෝ දර්ශනයක් හෝ' පදනම් වූ පළල් රාමුවක් (framework) අනුව රාමුගත විය යුතු වීම.

II.      මිශ්‍ර ක්‍රම පර්යේෂණ නොවන්නේ මොනවා ද?
  • 'මිශ්‍ර පර්යේෂණ' යන නම භාවිත කළත්, දැඩි වූ (rigorous) පර්යේෂණ ක්‍රියාමාර්ග (procedure)  පදනම ලෙස භාවිත නොකිරීම; පර්යේෂණ ක්‍රියාමාර්ගය,  භූමිගත න්‍යාය වැනි මැනවින් සැලසුම් කළ / හෝ දැඩි  (rigorous) පර්යේෂණ ක්‍රමයකට අනුගත නොවීම. 
  • හුදෙක් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත  ඉදිරිපත් කිරීමක් පමණක් වීම.
  • සංයෝගයෙන්-මිශ්‍රණයෙන් තොර ව, හුදෙක් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක  දත්ත රැස් කර, වෙන් වෙන් ව ඉදිරිපත් කිරීම
  • බහුවිධ ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශ (උදා: සම්පරීක්ෂණ, සමීක්ෂණ)  මිශ්‍ර කිරීම හෝ බහුවිධ ගුණාත්මක පර්යේෂණ ප්‍රවේශ (උදා: සම්මුඛ සාකච්ඡා, නිරීක්ෂණ)  මිශ්‍ර කිරීම.

  1. මිශ්‍ර පර්යේෂණ  පිරිසැලසුම් වර්ගීකරණය
 මිශ්‍ර පර්යේෂණ  පිරිසැලසුම් ගැන කරුණු ඉදිරිපත් කරන ලේඛකයන්, ඒවා නැවත වර්ග කිරීමට ද යත්න දරා තිබේ. ඒ අනුව, 1994, 2003 සහ 2012 වර්ෂවල ඉදිරිපත් වූ වර්ගීකරණ  තුනක් දැන් හඳුනා ගනිමු.  මේ එකිනෙක වර්ගීකරණය යටතේ දැක්වෙන පිරිසැලසුම්වල ලක්ෂණ, සමාන වන අවස්ථා තිබෙන නිසා, වර්ගීකරණ තුනෙහි පිරිසැලසුම්, එකිනෙක හා  සැසඳීමෙන් තේරුම් ගැනීමේ හැකියාව ද පවතියි.
1994 සිට මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් සංවර්ධනය වූ අයුරු ගැන ද ඔබට අවබෝධ කර ගන්නට හැකියාවක් ඇත. 

1.      පළමු වන වර්ගීකරණය
Mathews B. Miles සහ A. Michael Huberman, ප්‍රමාණාත්මක සහ ගුණාත්මක පර්යේෂණ සමෝධානය සඳහා පර්යේෂණ පිරිසැලසුම් හතරක්, 1994 දී පෙන්වා දී තිබේ (මූලාශ්‍රය: Uwe Flick, 2006, 26 වන පිටුව) (1 හා 2 වන රූප). ඒවා සරල ව සහ කෙටියෙන් මෙසේ ය.
·         ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රවේශ අනුව, දත්ත එක් වර-අඛණ්ඩ ව රැස් කරමින් පර්යේෂණයේ නියැළීමේ පිරිසැලසුම
·         ගුණාත්මක ප්‍රවේශය අනුව අඛණ්ඩ ව දත්ත රැස් කරන අතර, එමගින් ලබන අනාවරණ හෝ ප්‍රගණ්ඩන (hunch) හෝ කල්පිත (hypotheses) තහවුරු කර ගැනීමට, විටින් විට ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ද පර්යේෂණ කිරීම
·          පළමු ව ගුණාත්මක ප්‍රවේශය අනුව ගැටලුවක් ගැන ගවේෂණය කර ගොඩ නගා ගන්නා අනාවරණයක් තවදුරටත් පරික්ෂාවට ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ප්‍රශ්නාවලි සමීක්ෂණයක් කිරීම හෝ ගොඩ නගා ගන්නා කල්පිතයක් සත්‍ය දැයි පිරික්සීමට ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් සම්පරීක්ෂණ පර්යේෂණයක් කිරීම; අනතුරු ව එහි ප්‍රතිඵල තවදුරටත් විග්‍රහ කිරීමට නැවත ගුණාත්මක ප්‍රවේශය අනුව දත්ත රැස් කර පර්යේෂණයක් කිරීම
·         ඉහත තුන් වන පිරිසැලසුමේ ආකෘතියට සමාන නමුත් පළමු ව ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් සම්පරීක්ෂණයක් හෝ සමීක්ෂණ පර්යේෂණයක් කර, අනතුරු ව පිළිවෙළින් ගුණාත්මක ප්‍රෙව්ශයෙන් ද ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ද පර්යේෂණ කර ගෙන යාම.

11.  දෙ වන වර්ගීකරණය
ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැනියන් විශ්වවිද්‍යාලයයේ වෙබ් අඩවියේ https://cirt.gcu.edu/research/developmentresources/ research_ready/ mixed_ methods/ choosing_design යන පිටුව අනුව, ජෝන් ඩබ්ලිව් ක්‍රෙස්වෙල් John W. Creswell (2003) (Creswell, J. W., Plano Clark, V. L., Gutmann, M. L., & Hanson, W. E. (2003). Advanced mixed methods research designs. Handbook of mixed methods in social and behavioral research, 209-240.)  2003 දී ඉදිරිපත් කළ මිශ්‍ර පිරිසැලසුම් 6කි. මෙයින් මුල් තුන අනුක්‍රමික (Sequential) ය. එනම් එක් පර්යේෂණ ප්‍රවේශයකට පසු ව අනික් පර්යේෂණ ප්‍රවේශයෙන් දත්ත රැස් කරනු ලැබේ. ඉතිරි තුන සමගාමී (Concurrent) ය. එනම් එක් පර්යේෂණ ප්‍රවේශයකින් පර්යේෂණ කරන අතර ම අනික් පර්යේෂණ ප්‍රවේශයෙන් ද දත්ත රැස් කරමින් පර්යේෂණය කර ගෙන යා යුතු ය.
  • Sequential Explanatory Design – අනුක්‍රමික ව්‍යාඛ්‍යාත්මක (පැහැදිලි කිරීමේ) පිරිසැලසුම
  • Sequential Exploratory Design – අනුක්‍රමික ගවේෂණ පිරිසැලසුම   
  • Sequential Transformative Design – අනුක්‍රමික පරිණාමන පිරිසැලසුම   
  • Concurrent Triangulation Design – සමගාමී ත්‍රිකෝණීකරණ පිරිසැලසුම
  • Concurrent Nested (Embedded) Design – සමගාමී ගිල්ලවන/ ඔබ්බවන ලද පිරිසැලසුම
  • Concurrent Transformative Design – සමගාමී පරිණාමන පිරිසැලසුම

මේ එකිනෙක පිරිසැලසුම පිළිබඳ ව සරල ව හඳුනා ගනිමු. ඒ අතර ම එක් පිරිසැලසුමක් අනිකකට වෙනස් වන අයුරු ද තේරුම් ගනිමු.
  • Sequential Explanatory Designඅනුක්‍රමික ව්‍යාඛ්‍යාත්මක (පැහැදිලි කිරීමේ) පිරිසැලසුම
අවධි දෙකක දී පර්යේෂණය කර ගෙන යා යුතු පිරිසැලසුමක් සහිත මිශ්‍ර පර්යේෂණයකි.  ඒ අනුව පළමු ව (නැති නම් පළමු වන අවධියේ දී) ප්‍රමාණාත්මක ප්‍රවේශය අනුව දත්ත රැස් කරමින් පර්යේෂණය කළ යුතු ය (උදාහරණයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය වන පරිදි අහඹු ලෙස තෝරා ගත් 3 වන වර්ගයේ පාසල් 80ක නියැදියකින් ආරම්මනගත නියැදිකරණ ක්‍රමය අනුව සිටින සියලු 1 වන ශ්‍රේණියේ ගුරුවරුන් (100ක ගුරු නියැදියක් යයි සිතමු) පළ කරන ගුරු භූමිකාව පිළිබඳ  ව සමීක්ෂණ පර්යේෂණයක් කළ හැකි ය. ආවෘත ප්‍රශ්නාවලියක් සහ ව්‍යූහගත නිරීක්ෂණ පත්‍රිකාවක් භාවිතයෙන් දත්ත රැස් කර, දත්ත සංඛ්‍යාන විද්‍යාත්මක ව විශ්ලේෂණය කර අනාවරණ හඳුනා ගත යුතු ය.  ප්‍රමාණාත්මක පර්යේෂණයෙන් ලද අනාවරණ තවදුරටත් පැහැදිලි කර ගැනීම, අර්ථනිරූපණය කර ගැනීම සහ තහවුරු කර ගැනීම සඳහා දෙ වන පියවරේ දී ගුණාත්මක ප්‍රවේශය අනුව දත්ත රැස් කළ යුතු ය. එහි දී සමීක්ෂණයේ අනාවරණ තවදුරටත් පැහැදිලි කර, අර්ථනිරූපණය කර, තහවුරු කර ගැනීමට, ප්‍රමාණාත්මක ප්‍රවේශයේ දත්ත රැස් කිරීමටභාජනය කළ නියැදි සාමාජිකයන් උචිත පරිදි, සහභාගි වන්නන් ලෙස භාවිත කර,  විවෘත සම්මුඛ සාකච්ඡා, ව්‍යූහගත නො වන නිරීක්ෂණ හෝ නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා පදනම් වූ ගුණාත්මක පර්යේෂණයක් කළ යුතු ය. 
      
  • Sequential Exploratory Designඅනුක්‍රමික ගවේෂණ පිරිසැලසුම
අවධි දෙකක මේ පර්යේෂණ පිරිසැලසුමේ දී, පළමු ව, ගුණාත්මක ප්‍රවේශයෙන් ගුණාත්මක දත්ත රැස් කරනුයේ, දෙ වන අවධියේ දී කෙරෙන ප්‍රමාණාත්මක පර්යේෂණයේ දී දත්ත රැස් කිරීමට පදනම් වන පර්යේෂණ උපකරණ සංවර්ධනය කිරීමේ සහ ඒ සදහා ඇවැසි පර්යේෂණ රාමුව (research framework) ද රාමුවට අයත් විචල්‍ය (variables) ද නීර්ණය කිරීම සඳහා ය.  මහනුවර දිස්ත්‍රික්කයේ 3 වන වර්ගයේ පාසල්වල 1 වන  ශ්‍රේණියේ ගුරුවරුන්ගේ භූමිකාව හඳුනා ගැනීමට අදාළ උදාහරණය ම මෙහි දී ගනිමු. මේ තේමාවට අදාළ ව පෙර පර්යේෂණ දැනුම නැති නිසා හෝ පවතින දැනුම ප්‍රමාණවත් නො  වන නිසා හෝ පළමු ව ගුරුවරුන් 25 දෙනකුගේ පාඩම් 25ක් නිරීක්ෂණය කර (දත්ත සන්තෘප්ත බව (saturation) යන සංකල්පයට අනුව ගුරුවරුන් ගණන සහ පාඩම් ගණන වෙනස් විය හැකි ය)  ගුණාත්මක දත්ත රැස් කළ හැකි ය. අනතුරුව පාඩම් 25 පිළිබඳ ව විවෘත සම්මුඛ සාකච්ඡා කළ හැකි ය. ඒ පදනම අනුව ගුරු භූමිකාවට අදාළ නිර්ණායක හා විචල්‍ය හඳුනා ගෙන ඒ පාදක ව ව්‍යූහගත ප්‍රශ්නාවලියක් සකස් කර ගුරුවරුන් 100ක් හෝ 200ක නියැදියකට හෝ (උචිත වනුයේ මහනුවර දිස්ත්‍රික්කයට සාමාන්‍යකරණය කළ හැකි දත්ත ලබා දෙන ගුරු නියැදියකි)  ලබා දී, ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් සමීක්ෂණයක් කර ගුරු භූමිකාවට අදාළ ලක්ෂණ ගවේෂණය කළ හැකි ය.
මේ අනුව පළමු ව විග්‍රහ කළ, අනුක්‍රමික ව්‍යාඛ්‍යාත්මක පිරිසැලසුම අනුව, දෙ වන අවදියේ දී ගුණාත්මක ප්‍රවේශය භාවිත කරනුයේ පැහැදිලි කිරීමේ අරමුණක් සහිත ව ය. මෙහි දී, එනම්  අනුක්‍රමික ගවේෂක පිරිසැලසුම අනුව, පර්යේෂණයේ දෙ වන අවදියේ දී ප්‍රමාණාත්මක ප්‍රවේශය භාවිතයෙහි ඇත්තේ වැඩිදුරටත්  ගවේෂණය කිරීමේ අරමුණකි.

  • Sequential Transformative Design අනුක්‍රමික පරිණාමන පිරිසැලසුම 
මෙය ද අවධි දෙකක පිරිසැලසුමකි. එහෙත් පර්යේෂක සතු සහ පර්යේෂණ ගැටලුවට අදාළ න්‍යාත්මක පසුබිම ද දර්ශනය ද පර්යාලෝකය ද අනුව පර්යේෂණයේ ගමන් මග ද දත්ත රැස් කරන පිළිවෙළ ද පැහැදිලි කර ගත හැකි ය; තීරණය කර ගත හැකි ය.  හෙවත් පළමු ව කරනුයේ ප්‍රමාණාත්මක ප්‍රවේශය පාදක පර්යේෂණය ද ගුණාත්මක ප්‍රවේශය පාදක පර්යේෂණය ද යනු තීරණය වනුයේ පර්යේෂණයට සම්බන්ධ පසුබිම අනුව ය. මේ අනුව තෝරා ගත් අනුපිළිවෙළින් ප්‍රවේශ දෙක අනුව දත්ත රැස් කර අවසන් ව, පියවර දෙකේ ම දත්ත සමෝධානය කරමින් අර්ථකථනය කරනු ලැබේ.
උදාහරණයක් වසයෙන් "ස්වකීය වෘත්තීය භූමිකාව පිළිබඳ ව ගුරුවරුන්ට පවතින තෘප්තිය" පිළිබඳ පර්යේෂණයක් කරන පර්යේෂකයකුට, මේ තේමාව පිළිබඳ ව දේශීය මෙන් ම විදේශීය  පර්යේෂණ අනාවරණ ද න්‍යාය ද පවතින බව දක්නට ලැබේ නම්, ඒ පදනම මත හඳුනා ගත් න්‍යායයක් පදනම් කර ගෙන, ශ්‍රී ලාංකික වර්තමාන පරිසරයෙහි රටා හඳුනා ගැනීමට, ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් පළමු ව දත්ත රැස් කළ හැකි ය. අනතුරු ව ප්‍රමාණාත්මක ප්‍රවේශයේ පර්යේෂණයෙන් ලද අනාවරණ පිළිබඳ ව, ශ්‍රී ලාංකික පරිසරයට අදාළ ගුරු පර්යාලෝක තවදුරටත් පැහැදිලි කර හඳුනා ගැනීමට, ගුණාත්මක ප්‍රවේශයෙහි පර්යේෂණයකින් දත්ත රැස් කළ හැකි ය. 
තවත් උදාහරණයක් අනුව ශ්‍රී ලංකාවේ ගුරුවරුන් ව පාසල්වල අධීක්ෂණය වන අයුරු පිළිබඳ ව පර්යේෂණ අනාවරණ ද න්‍යාය ද නො පවතී නම්, මේ ක්ෂේත්‍ර පිළිබඳ මූලික අදහස් ජනනය කර ගැනීමට ගුණාත්මක පර්යේෂණයකින් අදාළ දත්ත රැස් කළ හැකි ය. අනතුරු ව ගුණාත්මක පර්යේෂණයෙන් හෙළි වන ලක්ෂණ, විචල්‍ය සහ රටා, ශ්‍රී ලංකාවේ සංගහනයකට සාමාන්‍යකරණය කළ හැකි දැයි නිශ්චය කර ගැනීමට ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් පර්යේෂණයක් කළ හැකි ය. 

  • Concurrent Triangulation Design – සමගාමී ත්‍රිකෝණීකරණ පිරිසැලසුම    
පර්යේෂණ ගැටලුවකට සහ එයින් සුවිශේෂි කර ගත් පර්යේෂණ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ප්‍රවේශ දෙකින් ම එක් පියවරක දී එක් වර (සමගාමී ව), එහෙත් වෙන වෙන ම,  දත්ත රැස් කරනු ලැබේ. රැස් කරන දත්ත ගොනු (data sets) දෙක, වෙන වෙන ම විශ්ලේෂණය කර ලැබෙන අනාවරණ අනතුරු ව සසඳනු ලැබේ. සැසඳීම අනුව ප්‍රවේශ දෙකින් ම ලැබෙනුයේ සමාන අනාවරණ ද නැතිනම් ප්‍රතිවිරුද්ධ අනාවරණ  දැයි විමසනු ලැබේ. දත්ත ගොනු දෙක ඍජු ව එකිනෙක හා සැසඳීම නිසා දත්ත මූලාශ්‍රයවලට අභිසාරි ලක්ෂණය හිමි වේ.
එක් ආකාරයකින් රැස් කරන දත්තවල, නැති නම් එක් ප්‍රවේශයක ඇති අඩුපාඩු අනික් විධි ක්‍රමයෙන්/ ප්‍රවේශයෙන් ලැබෙන දත්තවලින් ශක්තිමත් කරලීම, මේ පිරිසැලසුම සදහා වන මූලික තාර්කිකයයි. ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ප්‍රවේශ දෙකින් ලබන දත්ත හා අනාවරණ හරස් පරීක්ෂාවට (cross validate) ද මේ මගින් හැකි වේ. ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක දත්ත ද රැස් කිරීමෙන්,  පර්යේෂණ ගැටලුව ගැන වඩා සම්පූර්ණ අවබෝධයක් ද ලැබිය හැකි ය.
(පහත සඳහන් කරන තුන් වන වර්ගීකරණය යටතේ ක්‍රෙස්වෙල් (2012) දක්වන පිරිසැලසුම් 6න්, පළමු වැන්න වන  "The convergent parallel/concurrent design අභිසාරී සමගාමී පිරිසැලසුම", යන පිරිසැලසුම යටතේ ඇති විස්තරය ද බලන්න).

  • Concurrent Nested (Embedded) Design – සමගාමී ගිල්ලවන/ ඔබ්බවන ලද පිරිසැලසුම
මේ මිශ්‍ර ක්‍රම පිරිසැලසුමේ දී, එක් පර්යේෂණ පියවරක් පමණක් ක්‍රියාත්මක වේ. එම පියවරේ දී එක් පර්යේෂණ ප්‍රවේශයක් ප්‍රධාන කොට පර්යේෂණය අඛණ්ඩ ව කර ගෙන යනු ලැබේ. එසේ එක් ප්‍රවේශයක් පදනම් ව පර්යේෂණය කර ගෙන යන අතර, ලැබෙන නව දැනුම සහ අවබෝධය අනුව, විටින් විට, අනික් ප්‍රවේශය ද භාවිතයෙන් දත්ත රැස් කරමින්, පළමු ප්‍රවේශයේ පර්යේෂණයට විවිධ අවස්ථාවල සම්බන්ධ කර ගනු ලැබේ. පර්යේෂණ අනාවරණවල ශක්තිමත්භාවයට සහාය ද කර ගනු ලැබේ.
උදාහරණයක් ලෙස ගුරුවරුන් විසින් පන්ති කාමරයේ දී  භාවිත කරනු ලබන ක්‍රම පිළිබඳ ව ගුණාත්මක ව දත්ත රැස් කර ගෙන යන අතර, මේ සම්බන්ධ ගුරු ආකල්ප ද හැදින ගැනීම උචිත යැයි පර්යේෂකට හැඟුණු විට, ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ ගුරු ආකල්ප මිණුමට ප්‍රමාණාත්මක වූ ආකල්ප පරිමාණයක් භාවිත කළ හැකි ය.
මේ පිරිසැලසුම, මයිල්ස් සහ හ්‍යුබර්මන් පෙන්වූ පිරිසැලසුම් හතරින්, (ඉහත සඳහන් කළ), දෙ වන පිරිසැලසුමට සමාන ලක්ෂණ පෙන්වයි. එසේ ම මීළඟට විස්තර වෙන ක්‍රෙස්වෙල් (2012) පෙන්වූ හතර වන  පිරිසැලසුම වූ The embedded design  ඔබ්බවන/ ගිල්ලවන ලද පිරිසැලසුමට සමාන ය.

  • Concurrent Transformative Design සමගාමී පරිණාමන පිරිසැලසුම   
අනුක්‍රමික පරිණාමන පිරිසැලසුමේ දී සඳහන් කළ පරිදි, පර්යේෂක සතු න්‍යායාත්මක පසුබිම ද දර්ශනය ද පර්යාලෝකය ද අනුව පර්යේෂණයේ ගමන් මග පැහැදිලි කර ගත හැකි නමුත් දත්ත රැස් කර අර්ථකථනය කරනු ලබනුයේ,  අනුක්‍රමික පරිණාමන පිරිසැලසුමේ දී කරන්නාක් මෙන් එක් ප්‍රවේශයකට පසු ඊළඟ ප්‍රවේශය භාවිතයෙන් නො ව,  සමාන්තර ව එක් වර මය.

III. වන වර්ගීකරණය
මිශ්‍ර ක්‍රම පිළිබද කරුණු දක්වන ජෝන් ක්‍රෙස්වෙල් John W. Creswell (2012) Educational Research: Planning, conducting and evaluating quantitative and qualitative research. 4th ed.  Boston: Pearson (3 වන රූපය) පෙන්වා දෙන මිශ්‍ර ක්‍රම පිරිසැලසුම් (designs) 6ක් මෙසේ ය. මෙයින් මුල් පිරිසැලසුම් හතර  මූලික ය. ඉතිරි දෙක වඩා සංකීර්ණ ය.
·         The convergent parallel/concurrent design අභිසාරී සමගාමී පිරිසැලසුම (සමගාමී ව එක්තැන් කිරීමේ පිරිසැලසුම)
·         The explanatory sequential design පැහැදිලි කිරීම මුල් වූ අනුක්‍රමික පිරිසැලසුම
·         The exploratory sequential design ගවේෂණය මුල් වූ අනුක්‍රමික පිරිසැලසුම
·         The embedded design  ඔබ්බවන/ ගිල්ලවන ලද පිරිසැලසුම
·         The transformative design පරිණාමන පිරිසැලසුම
·         The multiphase design බහු පියවර පිරිසැලසුම



(3 වන ලිපිය අපේක්ෂා කරන්න


4 comments:

  1. Bohoma wadagath pahadili adahas. Bohoma sthuthi sir

    ReplyDelete
    Replies
    1. තුති රසිකාට. දන්නා සැමට කියවන්න කියන්න.

      Delete
  2. Me gana hoyamin sitiye saralawa liyala thiyena nisa understanding pahasuyi sir me lipiya mata mail karanawada

    ReplyDelete
  3. ඔබ නමත් ලිපිනයත් සදහන් කර එවන්න.

    ReplyDelete